දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ මෙකී හේතුව නිසාය. කෙසේවෙතත්, මෙම ලිපි පෙල තුලින්, මම බලාපොරොත්තු වන්නේ “දර්ශනය” යන වචනය දාර්ශනික විවරණයකට බදුන් කිරීම නොවේ. මෙම ලිපි පෙලේ අරමුණ වන්නේ දර්ශනය යන විෂය පිළිබදව හා එම විෂයේ අන්තර්ගතය හා පරාසය ගැන “දළ අදහසක්” ඉදිරිපත් කිරීමයි.

ඉංග්‍රීසි භාෂාවේ ඇති “philosophy” යන වදන වනාහී පුරාතන ග්‍රීක භාෂාවෙන් බිදී එන්නකි. එහි වචනාර්ථය වනුයේ “උගත්කමට ඇති ආදරය” යන්නයි. දර්ශනයේ ඉතිහාසය පිළිබදව වන ප්‍ර‍වාදයන්ට අනුව, මුලින්ම, තමාව හදුන්වාගැනීම පිණිස, “philosopher” යන වචනය යොදාගෙන ඇත්තේ පයිතගරස්ය. එසේම, ජනප්‍රවාදයන්ට අනුව, “ඔබ උගතෙක්ද?” යැයි යමෙක් පයිතගරස්ගෙන් ඇසූ විට ඔහු ඊට දී ඇති පිළිතුර වන්නේ දෙවියෙකු මිස සාමාන්‍ය මිනිසෙකු වනාහී සැබෑ උගතෙකු නොවන බවයි. එසේවුවද, තමා වනාහී උගත්කමට ආදරය කරන “උගත්කමේ රසිකයෙකු” යැයි පයිතගරස් විසින් කියා ඇත. පයිතගරස් විසින් “philosopher” යන වදන හදුන්වාදුන්නද එය ප්‍ර‍චලිත කරනු ලැබූවේ සොක්‍ර‍ටීස් විසිනි. මේ අනුව, දාර්ශනිකයෙකු යනු උගත්කමට ඇලුම් කරන පුද්ගලයෙකුයි.

එමෙන්ම, දාර්ශනිකයන් විසින් “විශ්වය මැවූ දෙවිකෙනෙකු සිටීද? ” හා “මානව ජීවිතයට අර්ථයක් තිබේද?” යනාදී ප්‍ර‍ශ්න සාකච්ඡාවට ලක්කරන බව අප කවුරුත් දනිමු. මෙවන් ප්‍ර‍ශ්න “දාර්ශනික ප්‍ර‍ශ්න” ලෙස සැළකීමට හේතුව කුමක්ද? පිළිතුර නම්, මෙවන් ප්‍ර‍ශ්න වනාහී දෙවියන්, අර්ථය බදු ඉතාමත් මෞලික සංකල්ප කේනද්‍ර‍ කරගත් ඒවා වීමය. චිත්ත පර්යේෂණයක් ලෙස, “බෙහෙත් තෙල් කුප්පිය ඇත්තේ කොහිද?” යන ප්‍ර‍ශ්නය හා “සැබෑ සතුට ලැබිය හැක්කේ කුමන මාර්ගයකින්ද?” යන ප්‍ර‍ශ්නය සළකන්න. මෙම ප්‍ර‍ශ්නයන් දෙක එකිනෙකින් ඉතා වෙනස්ය. මින් පළමුවැන්න වනාහී සංයුක්තවූත් ස්පර්ශනීයවූත් බෙහෙත් තෙල් කුප්පියක් පිළිබදව වන ගැටලුවකි. දෙවැන්න, වනාහී වියුක්තවූත් නොපැහැදිලිවූත් “සතුට” යන සංකල්පය ආශ්‍ර‍ය කොටගත් ගැටලුවකි. අප විසින් අපගේ සංකල්පීය නිම්වළලු සංයුක්ත හා ප්‍ර‍ත්‍යක්ෂ වන අදහස් වලට පමණක් සීමාකරන්නේ නම් අප විසින් කෙදිනකවත් “බෙහෙත් තෙල් කුප්පිය ඇත්තේ කොහිද?” යන්නට වඩා සංකීර්ණ ප්‍ර‍ශ්න නොඅසනු ඇත. මින් පෙනීයන කරුණක් නම්, සැබෑ දාර්ශනික ගැටලු වනාහී වියුක්ත හා වඩා මෞලික සංකල්ප ආශ්‍ර‍ය කොටගත් ඒවා බවයි. මෙම කරුණු මත පදනම්ව අපට “දර්ශනය” යන වදනට තවත් අර්ථකථනයක් ලබාදිය හැකිය. එනම්, දර්ශනය යනු වියුක්ත හා මෞලික සංකල්ප ගැන මෙන්ම මානව ජීවිතයට ඒවායේ ඇති අදාලත්වය පිළිබදව වන්නා වූ ගැඹුරු අධ්‍යනයයි.

එක් අතකින් බැලූ කල, අප සමාජයේ වෙසෙන සියලු දෙනා දාර්ශනිකයෝය. මන්දයත්, අප කවුරුත් ස්වඡන්දය, මනස හා මොලය, දෙවියන්ගේ පැවැත්ම, හොද නරක යනාදී විවිධ දාර්ශනික මාතෘකා පිළිබදව වන නානාප්‍ර‍කාර දාර්ශනික නිගමනයන්ට එළඹ ඇති බැවිනි. එසේවුවද, අප අතරින් බොහෝ දෙනා මෙකී දාර්ශනික නිගමන වලට එළඹ ඇත්තේ ඒ ඒ දාර්ශනික ගැටලු පිළිබදව පුළුල් හා ගැඹුරු අධ්‍යනයක් කිරීමෙන් පසුව නොවේ. බොහෝදෙනා සිය දාර්ශනික විශ්වාස වලට එළඹෙන්නේ හෙම්බිරිස්සාව වැනි රෝගයක් වැළදගන්නා ආකාරයටය. හෙම්බිරිස්සාව ඇතිකරන වෛරසය සැළකුවහොත්, එය වනාහී මුලින්ම අප අවට පරිසරයේ පමණක් තියෙන දෙයක් වන අතර අප විසින් නොදැනුවත්වම එය අප තුලට සමාග්‍ර‍හණය (internalize) කරගැනීම සිදුකරනු ලබයි. එලෙසම, අපගේ දාර්ශනික විශ්වාසයන් හා නිගමනයන් වනාහී අපගේ සංස්කෘතියේ හා ආගමේ අන්තර්ගත දෑ වන අතර අප විසින් නොදැනුවත්වම ඒවා සමාග්‍ර‍හණය කරගෙන ඇත. මෙලෙස, අප විසින් නොදැනුවත්වම සමාග්‍ර‍හණය කරගෙන ඇති නානාවිධ දාර්ශනික විශ්වාසයන් වනාහී සැබවින්ම යුක්තියුක්ත කර ඇති ඒවාදැයි යම් විමසීමකට භාජනය කිරීම අප විසින් “දර්ශනය” යැයි හදුන්වනු ලැබේ.

මෙතෙක් සිදුකරනු ලැබූ කරුණු දැක්වීම් හරහා අපට “දර්ශනය” යන වදන සදහා මාන තුනක් ඔස්සේ විහිද යන ත්‍රිමාන අර්ථකථනයක් ලැබී ඇත. එනම්, “දර්ශනය” යනු,

  • උගත්කමට ඇලුම් කිරීමයි.

  • වියුක්ත හා මෞලික සංකල්ප ගැන මෙන්ම මානව ජීවිතයට ඒවායේ ඇති අදාලත්වය පිළිබදව වන්නා වූ ගැඹුරු අධ්‍යනයයි.

  • අපගේ ලෝකදැක්මේ ඇති මූලික දාර්ශනික විශ්වාස තාර්කිකව යුක්තියුක්ත කර ඇතිදැයි විමසා බැලීමයි.

  • මෙම ලිපි පෙලේ දෙවැනි ලිපියෙන් අප දර්ශනය නැමති විෂයේ අන්තර්ගතය හා පරාසය පිළිබදව අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    ලිව්වේ – අසීයා මිතුරුසිංහ

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

    ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1

    එදිනෙදා ජීවිතය තුල පැනනගින නානාවිධ සංවාදයන් තුල අප විසින් යම් යම් තර්කයන් (arguments) ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස, ඉදිරිපත් කරනු ලබන තර්කයන්ගෙන් ඇතැම් ඒවා “සාර්ථක” යැයි සැළකිය හැකි අතර තවත් ඒවා “අසාර්ථක තර්කයන්” වේ. ඇතැම් අවස්ථා වලදී, අප විසින් යම් යම් ප්‍රතිභානාත්මක අදහස් මත පදනම්ව සාර්ථක තර්කයන් හා අසාර්ථක තර්කයන් වෙන්කර හදුනාගනී. එසේවුවද, බොහෝ අවස්ථා වලදී අපට සාර්ථක තර්කයන්ගෙන් සාර්ථක නොවන තර්කයන් වෙන්කරගැනීම පිණිස අපගේ ප්‍ර‍තිභානයන් යොදාගත නොහැකිය. ඒ වෙනුවට, අප විසින් කළ යුතු වන්නේ, සාර්ථක හා අසාර්ථක තර්ක එකිනෙකින් වෙන්කරන නිර්නායක මාලාවක් ස්ථාපනය කරගැනීමයි. තර්කශාස්ත්‍ර‍ය (logic) නම් විෂයපථයේ මූලික අභිප්‍රායක් වනුයේ ඉහතින් සදහන් කල නිර්නායක මාලාව ස්ථාපිත කිරීමයි.

    ඕනෑම තර්කයක අරමුණ වනුයේ යම්කිසි ප්‍ර‍ස්තුථයක හෝ යම් ප්‍ර‍ස්තුථ කිහිපයක සත්‍යතාවය ගෙනහැර දැක්වීමයි – එනම් – යම් ප්‍ර‍ස්තුථයක් (හෝ ප්‍ර‍ස්තුථ කිහිපයක්) සත්‍ය බවට සනාථ කිරීම ඕනෑම තර්කයක අරමුණයි. මෙලෙස, යම් තර්කයකින් සත්‍ය යැයි කියාපෑමට බලාපොරොත්තු වන ප්‍ර‍ස්තුථ, නිගමනයන් (conclusions) ලෙස හදුන්වයි. මෙකී නිගමනයන් සනාථ කිරීම පිණිස ඉදිරිපත්කරන කරුණු තර්කාංග (premises) තුල අන්තර්ගත වේ. ඕනෑම තර්කයක් අසාර්ථක විය හැකි ආකාර දෙකකි. එනම්, එකී තර්කයේ අන්තර්ගතය නිවැරදි නොවීම හා තර්කයේ ව්‍යුහය නිවැරදි නොවීමයි. එමෙන්ම, ප්‍ර‍ධාන වශයෙන්ම අප අවධානය යොමුකළ යුතු තර්ක වර්ග දෙකක් ඇත. එනම්, උද්ගාමී තර්කයන් හා ආපෝහනයන්ය. ඕනෑම ආපෝහනයක මුඛ්‍ය අරමුණ වනුයේ නිගමනයේ සත්‍යතාවය සියයට සියයක සහතිකත්වයෙන් යුතුව ගෙනහැර දැක්වීමය. මෙම අරමුණ ඉටුකරගැනීම පිණිස, ඕනෑම ආපෝහනයක් විසින් සපුරාලිය යුතු කරුණු දෙකක් ඇත. ඉන් වඩා වැදගත් කරුණ වනුයේ, තර්කාංගයන් සත්‍ය නම් නිගමනයද සත්‍ය වන ලෙස ආපෝහනයයේ ව්‍යුහය සකස් කර තිබීමය. දෙවනුව, තර්කාංගයන් සත්‍ය වීමය. මෙකී කරුණු දෙකම සපුරාලන ආපෝහනයන් “සම්පූර්ණ ආපෝහනයන්” (sound deductive arguments) ලෙස හැදින්වේ. එමෙන්ම, තර්කාංගයන්ගේ සත්‍යතාවය මගින් නිගමනයේද සත්‍යතාවය සහතික කරන ආපෝහනයන් වනාහී වලංගු ආපෝහනයන්ය. එලෙසම, යම් ආපෝහනයක තර්කාංගයන්ගේ සත්‍යතාවය මගින් නිගමනය ගම්‍ය නොවන්නේ නම් එකී ආපෝහනය අවලංගු ආපෝහනයකි.

    ආපෝහනයන් පිළිබදව කරන අධ්‍යනය “ආපෝහන න්‍යාය” (theory of deduction) ලෙස හැදින්වේ. මෙකී ආපෝහන න්‍යාය තුලින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ ඒ ඒ ආපෝහනයන්ගේ ව්‍යුහය පිළිබදවය. ව්‍යුහමය වෙනස්කම් මත පදනම්ව වලංගු ආපෝහනයන් අවලංගු ආපෝහනයන්ගෙන් වෙන්කර හදුනාගැනීමට අවශ්‍ය කරන නිර්නායක ඉදිරිපත්කිරීම ආපෝහන න්‍යාය නම් විෂයපථයේ අරමුණකි. මෙකී අභිප්‍රාය සාක්ෂ්‍යවත් කරගැනීම පිණිස ගොඩනැගුණු න්‍යාය ප්‍ර‍ධාන වශයෙන්ම කොටස් දෙකකි. එනම්, සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනය (classical Aristotelian logic) හා නූතන සංකේතමය තර්කනයයි (modern symbolic logic).

    ඇරිස්ටෝටල් වනාහී පුරාතන ග්‍රීක සමාජයේ විසූ විද්වතෙකි. ඔහු විසින් මානව දැනුමේ සෑම ක්ෂේත්‍ර‍යකටම සිය දායකත්වය සපයා ඇත. අප විසින් අද සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනය ලෙස හදුන්වන්නේ එකල ඇරිස්ටෝටල් විසින් තර්කශාස්ත්‍ර‍ය පිළිබදව ලියූ ග්‍ර‍න්ථ සමූහයක (මෙම ග්‍ර‍න්ථ සමූහය වර්තමානයේ Organon යනුවෙන් හදුන්වයි) අන්තර්ගතයයි. පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා ගතවූ කාලය තුල, මෙකී සම්භාව්‍ය තර්කනය නානාවිධ සුෂිශ්ටතාවයන්ට භාජනය වී ඇත. එහි අංකනය දියුණු වී ඇති අතර එහි මූලධර්මයන්ද සියුම්කරණයට ලක්ව ඇත. ඇරිස්ටෝටල් ප්‍ර‍මුඛ වූ නානාප්‍රකාර තර්ක විශාරදයන් රැසකගේ මැදිහත්වීමෙන් ස්ථාපනය කරන ලද මෙකී න්‍යාය-පද්ධතිය වනාහී ඉතා බලසම්පන්න වූවක් වන අතර එය මානව සංහතියේ විශිෂ්ඨ බුද්ධිමය ජයග්‍ර‍ණයකි. ඉදිරි ලිපි වලින් අප මෙකී සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනයේ අන්තර්ගතය පිළිබදව සවිස්තරාත්මකව විශ්ලේෂණය කරමු.


    ලිව්වේ – අසීයා මිතුරුසිංහ

    Posted in තර්කනය, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , | 12 Comments

    උපත හා ජෝතිෂ්‍යය

    “උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට පැමිණි අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්ථාවද, දරුවා අඩන්නට පටන්ගත් අවස්ථාවද, නොඑසේ නම්, ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් නර්ස් නෝනා වේලාව බලා සටහන් කල අවස්ථාවද යන උභතෝකෝටික, කෙස් පැලෙන විවාදයක් බුකිය තුල පැන නැගී තිබෙනු දුටු බැවින් මෙම සටහන තබමි.

    ඔය කතාකරන්නේ වේලාපත්කඩය සෑදීමට “උපන් වේලාව” සොයාගැනීම ගැන නම්, ඒ ගැන ඔච්චර කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. “උපන් වේලාව” නම් ප්‍රසූතියේ (ස්වාභාවික හෝ සිසේරියන්) වැඩකටයුතු අවසන් කොට අත පිහදාගත් නර්ස් නෝනා විසින් තමන් කසාද බැඳපු මුල් කාලයේ උපන්දිනයකට සැමියා විසින් තෑගි දුන් ලාභ අත් ඔරලෝසුවෙන් හෝ ප්‍රසූති කාමරයේ බිත්තියේ ගසා ඇති පොට්ට ඔරලෝසුවෙන් බලා කොල කෑල්ලක ලියා දෙන වේලාවයි. දෛවෝපගත ලෙස, මෙම වේලාව ඔබේ අනාගතයට බලපානු ඇත. නර්ස් නෝනාට වේලාව වැරදුනි නම් එයත් ඔබගේ දෛවය අනුව සිදුවූ දෙයකි. කලින්ම කේන්දරය බලා සිසේරියන් කොට “නියමිත” වේලාවට එලියට ගත්තේ නම් එයත් දෛවෝපගතය. දෛවය සිසේරියන් කරලාවත් වෙනස් කල නොහැක. සෑම දොන්, සිමන්, ටොම්, ඩික් සහ හැරීගේ ළමයාම ඔය ආකාරයට කලින් යොදාගත් වේලාවක එලියට ගත නොහැක. ඉන්පසු ඔබ කේන්දරය බලවාගැනීමට යන දෛවඥයා කියන දේ අනුව (එක එක දෛවඥයා කියන්නේ එක එක දේවල්ය) වැඩ කොට ලැබෙන ඵල විපාකද දෛවෝපගතය. ඔබට කේන්දරය බැලීමට යන්න හිතෙන්නේද, නොහිතෙන්නේද, යන්නේ මොකා ගාවට දැයි තීරණය වන්නේද දෛවයට අනුවය.

    කෝකටත් කියා ළමයින් උපන් වේලාව නර්ස්ගෙන් අසා සටහන් කර ගත්තද, මේ වෙන තුරු මොනම කාරණයකටවත් කේන්දරයක් නොහැදූ හා නොබැලූ, ළමයින්ට දෙන නම්ද බිරිද ගර්භනී වෙන්නත් පෙරම තීරණය කෙරූ, මා වැනි අයටද එසේ කිරීමට හිතෙන්නේ දෛවයට අනුවය. බැරිවෙලාවත්, අනාගතයේ ඔය කේන්දර ටික හදවා බලවා ජෝතිශ්‍යකරු කියන යමක් ඇසීමට හෝ එසේ අසා වැඩකිරීමට (කුමන හෝ අවාසනාවක් නිසා) අපි හෝ අපේ පවුලේ යමෙක් තීරණය කළහොත්, එසේ වන්නේද දෛවයට අනුවය.

    කොටින්ම කියනවා නම්, දොරමඩලාව බලා, මින්පසු, “උපන් වේලාව” යනු කලලයේ පලමු හෘද ස්පන්දනය සිදුවූ වේලාව යැයි තීරණය කොට ලංකාවේම දෙමව්පියන් ඒ ආකාරයට කේන්දරය සෑදීමට තීරණය කළහොත්, ඒක වෙන්නේද මුලු ලංකාවේම දෛවය අනුවය (රටටත් කේන්දරයක් තියනවලු හොඳේ!).

    තව අවුරුදු මිලියනකින් පමණ පසු බ්‍රහස්පතීගේ චන්ද්‍රයන් මත ජනාවාස තනන මිනිස් පරපුරක් බිහිවුවහොත්, උපන් වේලාව අනුව ඔවුන්ද කේන්දර හදනු ඇත. ඒ කේන්දර වල පොඩි වෙනසකට ඇති දෙය නම්, කොටුවල ලොකුවටම ඉන්නේ අයියෝ, යුරෝපා, ගැනිමේඩ් හා කැලිස්ටෝ යන උපග්‍රහයන් වීමයි. මෙහෙම වෙන්නේ නැතැයිද, පෘථිවියෙන් බැහැර ජනාවාස තැනීමට තරම් දියුණු තත්ත්වයකට එලැඹෙන මිනිස් ශිෂ්ඨාචාරය ජෝතිශ්‍ය වැනි “මිථ්‍යාවන්” අත් හැර දමනු ඇතැයිද යමෙකු තර්ක කිරීමට පුලුවන. එවන් පුද්ගලයන් හට, පහත කරුණු ටික මතක් කර දෙනු කැමැත්තෙමි.

    මීට අවුරුදු දහස් ගනකට පෙරද, මානවයා විසින් අහසේ තරු රටා වලට සාපේක්ෂව ග්‍රහයන්ගේ පිහිටීම වෙනස්වන ආකාරය බොහෝදුරට නිවැරදිව හඳුනා ගෙන තිබුණි. එකල ගණිතය දියුණුව තිබුණද, දවසේ වේලාව “හරියටම” මැනීමේ ක්‍රම දියුණු වී තිබුනේ නැත. “ඉර මුදුන් වෙන්න පොඩ්ඩකට කලින්”, “ඉර අවරට ගිහින් හෝරාවකට විතර පස්සෙ” වැනි දල අදහසක් පමණි එකල සාමාන්‍ය ජනතාවට තිබුනේ. “ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා – කිතුල් පිත්ත උඩ පියවර මැන්නා ” පිරුල අහල තියෙනවද? මේ පිරුල හැදුනේ මෙහෙමයි. ඉස්සර කාලෙ ලංකාවේ, තමන්ගේ බිරිඳ ළමයා බිහිකරපු ආරංචිය වින්නඹු අම්මා ගෙදරින් එලියට ඇවිල්ල කිව්වහම, ළමයින්ගෙ පියා කරන්නේ (දවල් නම්) තමන්ගේ හෙවනැල්ලේ දිග පියවර කීයක්ද කියල මැනල තියාගන්න එක (රෑ නම් කලේ මොකක්ද කියල අහන්න නම් එපා. දන්නේ නෑ). මේ පියවර ගාන “ගණිතයා” හෙවත් නක්ෂත්‍රකරුවාට කිව්වහම මනුස්සයා වේලාව ගනන් බලලා වේලාපත්කඩය හදල දෙනවා. දැන් ඔය කිතුල් පිත්ත උඩ පියවර මැනපු කාලෙ ඉඳන්, පරමාණුක ඔරලෝසු වලින් අන්තිම තත්පර දශමෙට වේලාව මනින කාලෙ වෙනකන් ලෝකය කොච්චර වෙනස් උනාද? ඒ උනාට, ජෝතිෂ්‍යයට බිස්නස් අඩුවක් තියෙනවද? නෑ නේ. ඒ වගේ තමයි බ්‍රහස්පතීගෙ චන්ද්‍රයන් මත ජනාවාස ඉදිකරන කාලෙ වෙන කොටත්.

    ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන ආකාරය වගුගත කිරීම සම්පූර්ණයෙන්ම ගණිතමය වැඩක්. වැඩේ සංකීරණයි තමයි. මේ රටා එකක්වත් සරල සමීකරන වලට “ෆිට් වෙන්නෙ” නෑ. හැබැයි සංකීර්ණ වුනාට සම්පූර්ණයෙන්ම ගණිතමයයි. ඉස්සර කාලේ නක්ෂත්‍රකරුවාට “ගණිතයා” කීව්වෙ ඒකයි. (බරණ ගණිතයා ගැන අහල ඇතිනෙ!)

    දැන් මේ ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරණය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ. මෙන්න මේ වගේ දෙයක් තමයි වුනේ කියලා මම පොඩි කාලෙ හිතාගෙන හිටියා. දැන් ඔය කියපු අතීත ගණිතයන්ට කියන්න පුලුවන්නේ අහවල් දවසේ අහවල් වේලාවට සූර්යග්‍රහනයක් වෙනවා කියල. ගමේ මිනිස්සු මේ කතාව මුලින් විශ්වාස නොකරන්න ඇති. ගණිතයාට හිනා වෙන්නත් ඇති. හැබැයි කියපු වෙලාවට වැඩේ උනාම ගමේ මිනිස්සු හොඳටම බයවෙන්න ඇති. “අනේ ගණිතයෝ, ඔය වගේ කියන්න පුලුවන්ද ඊලඟ කන්නෙ නියඟෙට පාලු වෙයිද නැද්ද කියල” යනුවෙන් ඇහුවහම ගණිතයා කියන්න ඇති “ඔව් බොල, ඒ විතරක් නෙමෙයි තා මැරෙන දවස කියන්නත් පුලුවන්” කියල. ඔන්න ඔහොම තමා ඕක පටන් ගන්න ඇත්තෙ කියල තමයි පොඩි කාලෙ නොදන්නකමට මට හිතුනේ.

    දැන් මේ “අහසට වැටකොලු ප්‍රශ්නය” විසදන්න මහාචාර්ය නලින් ද සිල්වා “ප්‍රත්‍යක්ෂ” කියන සංකල්පය ඉදිරිපත් කරලා තියනවා. අපේ ගණිතයො හැන්දෑවේ රා කට්ටක් එහෙම ගහලා, හාන්සි පුටුවෙ වාඩි වෙලා, කකුල උඩ තියාගෙන කල්පනා කරන කොට එක පාරටම හිතෙනවා “අඩේ, මම මෙහෙම වේලි වේලි හිටියට, මගේ මස්සිනාට යන යන තැන ගෑනු පරාණයක් සෙට් වෙනවනේ. මොකද අප්පා ඒ…. හරි හරි මිනිහගෙ කේන්දරේ අහවල් ග්‍රහයා අහවල් තැන තියෙන නිසා තමයි ඒ!!” අන්න ප්‍රත්‍යක්ෂයෙන් පහල වූ අලුත් දැනුමක්! සුරාවෙන් සූදුවෙන් මෙන්ම දුම් පානයෙන්ද වැලකිලා, හත් දවසක් පේවෙලා, නාථ දෙවියන් ආරූඪ වෙච්ච ගෑනු කෙනෙක්ගෙන් අහල උනත් “ප්‍රත්‍යක්ෂ දැනුම්” ලබා ගන්න පුලුවන්. ඔන්න ඕකයි කතාව.

    දැන් ඉස්සර කාලෙ කේන්දරේ නොතිබිච්ච අලුත් ග්‍රහ වස්තු කේන්දරේට ආවට පස්සෙ ඒ ග්‍රහ වස්තු වලින් වෙන අපල උපද්‍රව හොයාගන්නෙ ප්‍රත්‍යක්ෂයෙන්. අන්න ඒ විදිහට ඉස්සරහට පහලවන ගණිතයො හොයාගනීවි බ්‍රහස්පතීගේ චන්ද්‍රයාමත ඇති ජනාවාසයක ජීවත් වන කෙනෙකුගේ ගැනිමේඩ් අටේ හිදීම නිසා විවාහය කල් යන බව!

    ලිව්වේ – රිටිගල ජයසේන

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

    නීතිය හා පාෂාණ්ඩනය

    නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා රටක පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමත්, යුක්තිගරුක සමාජයක් බිහිකිරීමත් සාමාන්‍යයෙන් නීතිය තුලින් අරමුණු කරගනී. එමෙන්ම, යම් සමාජයක් සුසම්පාදිත (well-ordered) වීමට නම්, සද්භාවී නොවන ක්‍රියාවන් අතුරින් කිහිපයක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පනවනවාට අමතරව, යම් යම් “කෘතිම නීති” ප්‍රමාණයක් සැකසීමද අවශ්‍යය. මෙහිදී, “කෘතිම නීති” යනුවෙන් අදහස් කරනුයේ සද්භාවය (morality) මත පදනම් නොවූ නීතීන්ය. උදාහරණයක් ලෙස, කහඉරක් නොමැති ස්ථානයකින් පාර මාරු වීම වනාහී සද්භාවී නොවන දෙයක් නොවේ. එසේවුවද, බහුතරයක් මිනිසුන් තමාට හිතෙන හිතෙන තැනින් පාර මාරුවීම සිදුකළහොත් මහමග සුසම්පාදිත බව නැතිවී ගමනාගමනය අසීරු වේ. එසේ වීම වළක්වාගැනීම පිණිස අප “කහ ඉරෙන් පමණක් පාර මාරු විය යුතුය” යන මාර්ග නීතිය ඇතුළු කොටගත් මාර්ග නීති පද්ධතියක් ස්ථාපනය කිරීම සිදුකරනු ලැබේ.

    සද්භාවී නොවන ක්‍රියා සියල්ලම නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස විවරණය කිරීම කළ නොහැකිය. අප විසින් සියලු සද්භාවී නොවන ක්‍රියා නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස නම් කළහොත් ඉන් අදහස් වන්නේ අප සියලු දෙනාම සිටිය යුත්තේ සිරගෙවල් වල බවයි. මන්දයත්, අප අතරින් කිසිකෙනෙක් සද්භාවයෙන් සුසාධිත (morally perfect) නොවන බැවිනි. එබැවින්, සමාජයේ සමෘද්ධිය නවතාලන හා අඩාල කරවන මිනීමැරීම යනාදී “දරුණු” සද්භාවී නොවන ක්‍රියා පමණක් නීතියෙන් තහනම් කළ යුතුය.

    දැන් අප, පාෂාණ්ඩනය (blasphemy) යන සංකල්පය වෙත යොමුවෙමු. පාෂාණ්ඩනය වනාහී සද්භාවී ක්‍රියාවක්ද නැතහොත් සද්භාවී නොවන ක්‍රියාවක්ද යන්න ගැටලුවකි. මෙකී ගැටලුව විසදීමෙහිලා අප විසින් මුලින්ම කළ යුතු වන්නේ “පාෂාණ්ඩනය” යන වදන අර්ථදැක්වීමයි. යම්කිසි වචනයක් නිර්වචනය කිරීම වනාහී රේඛීය චින්තනයෙන් පැවත එන පුරුද්දක් යැයි පවසමින් යම් දාර්ශනික ගැටලුවක මූලපද (keywords) විවරණය කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඇතැමුන් පෙළඹේ. එසේවුවද, වචන කේන්ද්‍ර කොටගෙන හටගන්නා වාග් ආරවුල් (verbal disputes) නිරාකරණය කරගැනීමට මෙන්ම යම් වදනකින් සන්නිවේදනය කරන අදහස පැහැදිලි කරගැනීමටද නිර්වචනයන් මහෝපකාරී වේ. එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථා වලදී අපට වචන අර්ථදැක්වීමේ අවශ්‍යතාවය පැනනගින්නේ නැත. එනමුත්, යම් සමාජ ගැටලුවක් දෙස දාර්ශනික, විද්‍යාත්මක හා නීතිමය කෝණයන්ගෙන් බලද්දී නිර්වචනයන්ගේ අවශ්‍යතාවය ඉස්මතු වේ.

    “පාෂාණ්ඩනය” නැතහොත් “ආගමට අපහාස කිරීම” යන සංකල්පයට පැහැදිලි හා ප්‍රමාණවත් සෛද්ධාන්තික විවරණයක් වර්තමාන සමාජය තුල නැත. මේ නිසා, ආගමිකයන්ට තමන් අකමැති ඕනෑම දෙයක් තම ආගමට එල්ලවන “අපහාසයක්” ලෙස සැළකීමේ “නිදහස” ලැබී ඇත. මෙය බරපතල තත්ත්වයකි. උදාහරණයක් ලෙස, මුස්ලිම් ගෝත්‍රිකයින් විසින්, ඉස්ලාමය සාධාරණ ලෙස විවේචනය කරන සාහිත්‍යමය නිර්මාණ පවා “අපහාස” ලෙස සළකා ප්‍රචණ්ඩත්වය මුදාහරින වත්මන් සන්දර්භය තුල “පාෂාණ්ඩනය” යන්න පැහැදිලිව නිර්වචනය කර නොමැතිවීම බරපතල තත්ත්වයකි.

    පාෂාණ්ඩනය සද්භාවී නොවන ක්‍රියාවක් යැයි මදකට උපකල්පනය කරමු. එසේවුවද, පාෂාණ්ඩනය වනාහී නීතියෙන් තහනම් කළ යුතු දෙයක්ය යන්න ඉන් ගම්‍යමාන නොවේ (සද්භාවී නොවන ක්‍රියාවන් සියල්ල නීතියෙන් තහනම් විය යුතු නොවන්නේ ඇයි දැයි ලිපිය මුලදී කරුණු දක්වා ඇත). මෙම ප්‍රකාශයට පදනම් වන ප්‍රධාන හේතු දෙකකි. එකක් නම්, ඍජුව හෝ වක්‍රාකාරව ආගමකට “අපහාස” කරනවා යැයි සැළකෙන ප්‍රකාශන තහනම් කිරීම තුල, මානවයාගේ මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අකුල් හෙලීම සිදුවීමයි. අප තේරුම්ගත යුතු අනෙක් කාරණය නම්, නීතිය ඇත්තේ මිනිස් අයිතිවාසිකම් වලට ගරුකරන යුක්තිගරුක සමාජයක් බිහිකිරීමට විනා යම් ආගමක් හෝ යම් සංස්කෘතියක් “සුරැකීමට” නොවන බවයි.

    එමෙන්ම, යම් ක්‍රියාවක් “සංස්කෘතියට පටහැනි” වූ පමණින් එය නීතිවිරෝධී විය යුතු යැයි තර්ක කිරීම බුද්ධිගෝචර නොවේ. මන්දයත්, කලින් සදහන් කළ පරිදි, නීතියේ අරමුණ “සංස්කෘතිය සුරැකීම” නොවන බැවිනි. ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් නීතියේ අභිප්‍රාය පිළිබදව වන මෙම මූලික මූලධර්මය පවා වටහාගෙන නොමැත. සමලිංගිකත්වය, රාත්‍රී සමාජ ශාලා පවත්වාගෙන යාම, ගවමස් කෑම යනාදී දේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයින්ගේ සංස්කෘතියට පටහැනි නිසා නීතියෙන්ද තහනම් කළ යුතුය යන ගුඩු තර්කය අපට නිතර නිතර අහන්නට ලැබෙන්නේ එබැවිනි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

    හොද විය යුත්තේ ඇයි?

    ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් පසුම්බිය අහුලාගනු දකින්නේ නැතැයි උපකල්පනය කරමු.) ඔබට පසුම්බියේ අයිතිකරුට කතාකර ඔහුගේ පසුම්බිය නැවත ඔහු වෙත ලබාදීමට හැකියාව ඇත. ඔබ කරන්නේ කුමක්ද? නැවත පසුම්බිය එහි අයිතිකරුට බාරදෙනවාද? නැතහොත් එම පසුම්බියේ තිබුණු මුදල් ඔබ තියාගන්නවාද?

    අප අතරින් බොහෝ දෙනා, ඉහත චිත්ත පර්යේෂණය තුලින් ඉදිරිපත් කෙරුණු මෙම පැනයට දෙන පිළිතුර වනුයේ “මම පසුම්බිය අයිතිකරුට නැවත ලබාදෙමි” යන්නයි. එයට හේතුව නම්, අයිතිකරුට සිය පසුම්බිය නැවත භාරදීම වනාහී “නිවැරදි ක්‍රියාව” යැයි අප තුළ යම් ප්‍රතිභානාත්මක විශ්වාසයක් තිබීමයි. මෙහිදී, අප විසින් නිරායාසයෙන්ම උපකල්පනය කරන තවත් ප්‍රස්තුථයක් වේ. එනම්, “අප සෑම විටම නිවැරදි ක්‍රියාව කළ යුතුය” යන ප්‍රස්තුථයයි. වෙනත් වචනයෙන් කිවතොත්, අපි “හොද” විය යුතු යැයි උපකල්පනයක් අප අතර සිටින බොහෝදෙනෙක් තුල ඇත.

    නමුත්, අප “හොද මිනිසුන්” විය යුත්තේ ඇයි? සද්භාවය (moral goodness) වනාහී අප විසින් සද්භාවය උදෙසාම ප්‍රගුණ කළ යුතු ගුණයක්ද? නැතහොත්, අප සද්භාවී විය යුත්තේ එසේ වීම තුලින් අපට ලැබෙන ප්‍රතිලාභ හේතුකොට ගෙනද? සාදෘශ්‍යයක් ඉදිරිපත් කරන්නේ නම්, අප ව්‍යායාම කරනුයේ ව්‍යායාම හරහා අපට ලැබෙන ප්‍රතිලාභ – එනම් – නිරෝගී සිරුරක්, ශක්තිමත් මස්පිඩු වැනි දෑ – නිසාය. යම් හෙයකින් ව්‍යායාම තුලින් අපට නිරෝගී සිරුරක් හා ශක්තිමත් මස්පිඩු නොලැබේ නම් අපට ව්‍යායාම කිරීම සදහා පදනම් වන මූලකාරණයක් නැත. සද්භාවයත් ව්‍යායාම බදුද? අපි සද්භාවී වනුයේ එසේ වීම තුලින් අපට ලැබෙන ප්‍රතිලාභ වන අත්අඩංගුවට ලක්වීමෙන් වැළකීම, “පින්” ලබාගැනීම හා දෙවියන්ගේ දඩුවම් වලට ලක්වීමෙන් වැළකීම වැනි දෑ හේතුකොට ගෙනද?

    නැවතත්, ඉහතින් දැක්වූ චිත්ත පර්යේෂණය වෙත යොමුවෙමු. ඔබ විසින් මුදල් පසුම්බිය අහුලාගනු දකින කිසිවෙක් නැතැයි අප එම චිත්ත පර්යේෂණය තුලදී උපකල්පනය කර සිටියෙමු. එනම්, ඔබට එකී මුදල් පසුම්බියේ ඇති මුදල්, අවශ්‍ය නම් තියාගත හැක. එය “වැරදි” වුවද එසේ කළ පමණින් ඔබට මනුලොව කිසිවෙක් දඩුවම් කරන්නේ නැත. එසේවුවද, අප අතරින් බොහෝදෙනා මෙවන් අවස්ථාවක මුල්තැන දෙන්නේ සද්භාවී වීම නැතහොත් “හොද” වීම උදෙසාය. බොහෝදෙනෙක් තමන්ට “නොමිලයේ” ලැබෙන්නට තිබුණ මුදල හොද මිනිසෙකු වීම උදෙසා කැපකරනු ඇත. මින් පැහැදිලි වෙන්නේ, සද්භාවී වීම නැතහොත් “හොද වීම” පිණිස අප විසින් යම් යම් කැප කිරීම් කළ යුතු බවයි.

    මෙකී කැපකිරීම් කිරීම පිණිස මිනිසා පොළඹවන්නේ ආගමින් යැයි මතයක් අප සමාජයේ පවතී. එම මතය මත පදනම්ව ඇතැමුන් තර්ක කරන්නේ නිරාගමික මිනිසුන් හට සද්භාවය උදෙසා සිය කාලය, ශ්‍රමය හා ධනය කැපකිරීමට පොළඹවන “මූලාශ්‍රයක්” නැති බවයි. මේ නිසා, නිරාගමිකයන්ට සිය ජීවිතය තුළ, නීතියෙන් බේරී, සද්භාවී නොවී සිටීමට “නිදහස” ඇතැයි ඇතැමුන් තර්ක කරනු දැකිය හැකිය. සිංහල බ්ලොග් අවකාශය තුල දක්නට ලැබුන එවන් තර්කයක් මෙසේය,

    “නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා… අනං මනං නිර්වාණ හොයන්නේ නැතුව…. ඕන වැරදි වැඩක් කරපන් පුතේ…. නීතීයට අහුනොවෙන්න…ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ.. ඒවා බොරු….. හැබැයි පු‍තෝ….නීතීයට අහු උනොත් නං උඹ පරාදයි….. නිරාගමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං…. ”

    සද්භාවය උදෙසා යම් යම් කැප කිරීම් කිරීමට මිනිසාව පොළඹවනු ලබන මූලාශ්‍රයක් (දෙවියන්, කර්මය වැනි) ඇත්ද නැද්ද යන ගැටලුව වනාහී පාරභෞතික ගැටලුවකි. සදාචාරය පිළිබදව වන මෙම ලිපිය තුළින් එකී පාරභෞතික ගැටලුව යම් විමසීමකට ලක්කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. එසේවුවද, “නිරාගමිකයන් හට සද්භාවී විය නොහැක” යන අදහසට හා ඊට ළගින් යන අදහස් වලට පිළිතුරක් දිය යුතුමය.

    ආගම් අදහන අය විසින් සද්භාවී වීම වනාහී ව්‍යායාම කිරීම වැනි දෙයක් යැයි සළකනු ලැබේ. එනම්, අප සද්භාවී වීම උදෙසා කැපකිරීම් කළ යුතු වන්නේ සද්භාවී වීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ නිසාය යන අදහස ආගම් අදහන පිරිස් තුල ඇත. මොවුන් විසින් නිරාගමිකයින්ට “නිරාගමිකයන් හට සද්භාවී විය නොහැක” යැයි චෝදනා කරන්නේද ඉහත කී අදහස ඔවුන්ගේ සිත් තුල කිදාබැස ඇති බැවිනි. නමුත්, සද්භාවී වීම යනු ව්‍යායාම කිරීම බදු දෙයක් නොවේ. අප සද්භාවී විය යුත්තේ සද්භාවයම උදෙසා (being moral for the sake of morality itself) මිස යම් යම් ලෞකික හා ලෝකෝත්තර ප්‍රතිලාභ උදෙසා නොවේ. මෙම ප්‍රස්තුථය වැඩිදුරටත් විස්තාරණය කිරීම ඉදිරි ලිපි තුලින් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 15 Comments

    සදාචාරය හා නිරාගමික භීතිකාව

    අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා සටහන වනාහී මේ බිය යම් පමණකට අඩු කිරීම උදෙසා ලියැවුණ සටහනකි.

    මූණුපොතේ එක් තැනක ඇති වූ සංවාදයක් කියැවීමේදී, ආගම් අදහන බොහෝ දෙනා හට වර්තමානයේ සමාජගතව පවතින “නූතන හර පද්ධතීන්” හා “නීතියේ ආධිපත්‍යය” වැනි සංකල්ප පිළිබද අවබෝධයක් නැති බව මට පෙනීගියේය. ඇත්තටම, “නූතන හර පද්ධතීන්” යන යෙදුම පවා ගැටලු සහගතය. මන්දයත්, වර්තමානයේ ගෝත්‍රික නොවන සමාජයන් තුළ ගරු බුහුමනට ලක්වන චාරවත් දිවියක් පවත්වාගෙන යාම, අනන්‍යයන්ගේ දුකට හා වේදනාවට තුඩු දෙන ක්‍රියාවලින් වැළකීම හා අන්‍ය අයිතිවාසිකම් වලට ගරුකිරීම වැනි සංකල්ප වනාහී අද ඊයේ හදිසියේ හටගත් ඒවා නොවන බැවිනි. උදාහරණයක් ලෙස, Nicomachean Ethics නම් ග්‍රන්ථය තුළින් ඇරිස්ටෝටල් ද, නානාවිධ දාර්ශනික ප්‍රකාශන හරහා ඉමෑනුවෙල් කාන්ට් ද අප මේ කියන “නූතන හරයන්” පිළිබදව “පුරාතනයේ” – එනම් – “නූතන” යුගයට පෙර කතාකොට ඇත.

    එසේවුවද, ආගම් විසින් මානව සමාජ-සංස්කෘතික ව්‍යුහය ආක්‍රමණ කර තිබුණු කාල වකවානු තුල, වහල් භාවය වැනි දෑ මානවයා විසින් පිළිකෙව් කොට දැමිය යුතු දේ යැයි මතයක් නොවිණ. වහල් භාවය අතහැරිය යුතුය යන අදහසට සමාජයේ යම් පිළිගැනීමක් ලැබුනේ සමාජ හර පද්ධතීන් ටිකෙන් ටික ආගමෙන් වියෝ වූ විටය. නමුත්, වර්තමානයේ වුවද, සමාජ හරයන් ආගමෙන් වියෝව නොමැති සංස්කෘතීන් තුළ වහල් භාවය වැනි දේ සාමාන්‍ය දේ ලෙස ක්‍රියාත්මක වේ.


    එසේවුවද, ආයතනගත ආගම් වලින් නූතන සමාජයට කිසිම මෙහෙයක් නොවේ යැයි මින් අදහස් නොවේ. ආගම් අදහන අය බොහෝවිට කරනුයේ තමතමන්ගේ ආගම් වලට පිටතින් ගොඩනැගෙන සදාචාරාත්මක ප්‍රමේයයන් සිය ආගම් තුළට අවශෝෂනය කරගෙන, එලෙස අවශෝෂණය කරගත් සදාචාරාත්මක හරයන් වලට තම ආගමේ වෙළද නාමය ගසා සමාජයේ ස්ථාපිත කිරීමයි. මෙහිදී, ඔවුන් සදාචාරය “නිෂ්පාදනය” කිරීමක් නොකරයි – “ඇසිරීම හා වෙළද නාමය ගසා බෙදාහැරීම” පමණක් සිදුකරයි. මෙය සමාජයේ බොහෝ අයට ප්‍රයොජනවත් වුවද, ආගම හරහා බෙදා හැරෙන සදාචාරය වෙනුවට එම සදාචාරයේම “ඓහික මූලයන්” වලින් උකහාගත් සදාචාරය භාවිතා කරන පිරිසක්ද සිටී. අපි ඔවුන් හැදින්වීමට “නිරාගමිකයන්” යන වදන යොදාගන්නෙමු.

    ලිව්වේ – රිටිගල ජයසේන

    සංස්කරණය – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

    සිරිසේන දිනුවේ ඇයි?

    මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත.

    දැන් අප “මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ඇයි? ” යන ප්‍රශ්නය වෙත සහ “සිරිසේන දිනුවේ කොහොමද? ” යන ප්‍රශ්නය වෙත අවධානය යොමුකරමු.

    සිරිසේන දිනුවේ සියයට පනහට වැඩියෙන් ඡන්ද ලබාගත් නිසාය. ඔහුට එලෙස ඡන්ද ලබාගැනීමට හැකිවූයේ සිරිසේන පරාද වූ ඡන්ද කොට්ඨාශ වල පවා බොහෝවිට සියයට හතලිහක් හෝ ඒ ආසන්නයේ හෝ ඊට ඉහලින් සිටීමට ඔහුට හැකිවූ නිසාය. එමෙන්ම, උතුරු නැගෙනගිර ප්‍රදේශවල දෙමල හා මුස්ලිම් ඡන්ද අතිවිශාල “කුට්ටි පිටින්” ලබාගත් නිසාය.

    එතකොට, සිරිසේනගේ ජයග්‍රහනයේ ප්‍රධාන සාධකය කුමක්ද? එම ප්‍රධාන සාධකය වනාහී ලංකාව පුරාම 40% හෝ ඊට ආසන්න ඡන්ද පදනමක් පවත්වා ගැනීමට හැකිවීමයි. එතකොට, අමතක කිරීමට නොහැකි, අතුරු සාධකය කුමක්ද? එකී අතුරු සාධකය වනාහී දෙමල හා මුස්ලිම් ඡන්ද “කුට්ටි පිටින්” සිරිසේනට වැටීමය. සිරිසේනගේ සංධානයේ ජයග්‍රහනය ගැන නොමනාප හා සිරිසේනගේ සංධානය ඇනගන්නවා දකින්න කැමති හා මෙම සංධානය අන්නවන්න කැමති අයට මේ වෙලාවේ මතුකරන්න පුලුවන් හොඳම දේශපාලන තුරුම්පුව කුමක්ද? ඒ වනාහී අන් කවරක්වත් නොව, කුට්ටි පිටින් වැටුන දෙමල හා මුස්ලිම් ඡන්ද වලට නොයෙකුත් භයානක අර්ථකථන සැපයීමය. එවන් භයානක අර්ථකථනයන් බොහොම ස්වභාවිකව තැන් තැන් වලින් මතුවෙමින් පවතී.

    අපි මෙම අර්ථකථන ගැන මදක් විමසා බලමු. TNA හා මුස්ලිම් කොංග්‍රසය යනු රටේ පොදු පුරවැසි අයිතීන් හෝ ජාතික තලයේ සමාජ-ආර්ථික කරුණු ගැන ලොකු උනන්දුවක් නොමැති, නිශ්චිත වාර්ගික හා ආගමික අනන්‍යතාවයකින් යුත් පුරවැසියන් කාණ්ඩ දෙකක් වෙනුවෙන් පමණක් පෙනීසිටිනා පක්ෂයන්ය. කෙටියෙන් කිවතොත්, මේවා “ගෝත්‍රික” පක්ෂයන්ය. මේවායේ පැවැත්ම හා අරමුණු ගැන මා තුළ එතරම් පැහැදීමක් නැත. කෙසේනමුත්, මෙවන් ගෝත්‍රික පක්ෂ වල පැවත්ම අනවශ්‍ය වෙන දේශපාලන වටපිටාවක් තවමත් හැදිල නැති තත්ත්වයක් මත සහ එවන් “ආගමික/වාර්ගික අයිතීන්” වෙනුවෙන් පමණක් පෙනී ඉන්න පක්ෂ වල පැවත්ම නීති විරෝධී නැති නිසා එම පක්ෂ පවතිනවාය. එබැවින්, ඒවායේ පැවැත්ම අපි කැමති උනත් අකමැති උනත් පිලිගැනීමට සිදුවේ.

    ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් වැනි ජාතික තලයේ මැතිවරණයක් ජයගැනීමට උත්සාහ කරන ඕනෑම කන්ඩායමක් තමන්ගේ පැත්තට ඡන්ද මිලියන බාගයක් විතර ගන්න පුලුවන් ක්‍රමයක් පේනවා නම් ඒ දෙස අනිවාර්යයෙන්ම බලනවා. එවන් අවස්ථා වලදී කවුරුවත් මෙකී “ගෝත්‍රික පක්ෂ” නොතකා ඉන්නේ නැත. වැදගත්ම කාරණය නම්, මේ පක්ෂ සමග සංධාන ගතවීමේ දී ජාතික තලයේ අභිලාෂ වලට හානි දායක කිසියම් “ඩීල්” ගහනවද නැද්ද යන්නයි. එවන් වූ “ඩීල්” එකක්, මේ කිසිම පක්ෂයක් සමග නැති බවට සහතිකයක් තියෙන මේ අවස්ථාවේ, සිරිසේනගෙ කන්ඩායමට ලැබුන දෙමල හා මුස්ලිම් ඡන්ද ගැන කෙරෙන අර්ථකථන ගැන දැන් විමසා බලමු.

    දෙමල හා මුස්ලිම් ඡන්ද කුට්ටි පිටින් නොවැටුනා නම් සිරිසේන දිනයිද? පැහැදිලිවම නැත. ඒ ඡන්ද බොහොම වැදගත් විය. දැන් මෙහි ඇති “වැරද්ද”, අපි මේ ගැන ආඩපාලි කියන සිංහලබෞද්ධෙ ගෝත්‍රිකයන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලමු.

    ලංකාවේ මැතිවරණ සිතියමේ උතුර හා නැගෙනහිර තියෙනවාද? ඔව්! තියෙනවානෙ. ඒක නැතිකරන්නනෙ ඊලාම් යුද්ධයක් ගියේ. ඒක තියාගන්න ඕනේ හින්දනෙ ප්‍රභාකරන් එක්ක ඔච්චර අමාරුවෙන් යුද්ධ කලේ. ඒ යුද්දෙ රජය (ඒ කියන්නෙ “අපි”) දිනුවානෙ. ඒ හින්ද මැතිවරන සිතියමේ උතුර හා නැගෙනහිර තියෙනවා. ඒවායේ ඉන්න මිනිස්සු ඡන්දෙත් දානවා. ඒ ඡන්ද අපි ගණනුත් කරනවා. මේවා මෙහෙම කරන්න ඕනේ නිසයි අච්චර වියදම් කර, අච්චර ජීවිත පරිත්‍යාග කර යුද්ධයක් කලේ. ඒ බව සියලු දෙනා මතක තබාගත යුතුය. උතුරු නැගෙනහිර ඡන්ද පෙට්ටි පිටින් මුහුදට දානවා නම්, ඒ කෑල්ල ප්‍රභාකරන්ටම දුන්නා හා සමානය. අමාරුවෙන් යුද්ධ කර ඒ කෑල්ල තියාගත්තෙ එහෙම කරන්න කැමති නැති හෙයිනි.

    දැන්, ඒ කෑලි වල ඉන්න මිනිසුන් පුරවැසි අයිතීන් නැති හා ජනාධිපතිවරණයක දී තමන් වඩාත් කැමති අපේක්ෂකයාට ඡන්දය දාන්න බැරි දෙවැනි ගණයේ පුරවැසියන් විදිහට ඉන්න ඕනේද? “එහම වෙනවා නම් හොඳයි” කියන නරුමයෝ එක්කෙනෙක් දෙන්නෙක් නම් ඇති. නමුත් එවන් නරුමයෙක් මේ ලිපිය වගේ එකක් කියවන එකකුත් නැති බැවින් එහෙම කියන කවුරුත් නැහැයි කියා උපකල්පනය කරන්නෙමි.

    දැන්, මේ උතුරු නැගෙනහිර ඉන්න දෙමල හා මුස්ලිම් මිනිස්සු “සිරිසේනට මෙච්චර කුට්ටි පිටින් ඡන්දෙ දැම්මෙ ඇයි?” කියල සමහරු ප්‍රශ්න කරති. මෙම ප්‍රශ්නය අහන බොහෝ දෙනා මේකට උත්තරෙත් දනී. නමුත්, කුහකකමට මේ ප්‍රශ්නය අහනවා. උත්තරේ තමයි ඒ මිනිස්සු අතරෙ මහින්ද රාජපක්ෂ කිසිසේත්ම ජනප්‍රිය නොවීම. එලෙස මහින්ද රාජපක්ෂ මෙම මිනිසුන් අතර ජනප්‍රිය නොවීමට හේතුද මෙම ප්‍රශ්න අහන අයම දනී. හැබැයි දන්නේ නෑ වගේ ඒ ප්‍රශ්නෙම අහනවා. මේ දෙමල/මුස්ලිම් මිනිස්සු සමහරෙක් මෛත්‍රීපාල කවුද කියල දන්නෙත් නැතුව ඇති. නමුත් මහින්ද එලවන්න නම් මෛත්‍රීට ඡන්දය දෙන්න ඕනේ කියන එක විතරක් දන්නවා ඇති. ඉතින් ඒ මිනිස්සු මෛත්‍රීගේ ලකුණ ඉස්සරහ පොදි පිටින් කතිරෙ ගැහුවා.

    මෙහි ඇති අයිරොනිය තමයි “ඇයි මේ මිනිස්සු මහින්දට විරුද්ධව සිරිසේනට ඡන්දය දුන්නෙ?” කියන ප්‍රශ්නය අහන ගොඩක් දෙනෙක් මහින්දගෙ දකින ලොකුම හොද දෙය වනුයේ සුළු ජාතික අභිලාෂ වලට ඉඩ නොදීම, යුද්ධය වසරක් පාසා උත්කර්ෂයට නංවමින් දෙමල ජනතාවගෙ හිත් පෙලීම, උතුරේ මංසන්ධිවල බලෙන් බුදු පිලිම පිහිටුවීම හා උතුරේ දිගටම හමුදා පාලනයක් පවත්වා ගැනීම. ඉතින් දෙයියනේ!! ඕවා කරනකොට දෙමල ඡන්ද හම්බු වෙයිද? එමෙන්ම, මහින්ද මහතා දෙමල ඡන්ද නැතිකර ගැනීමෙන් නොනැවතී බොදු බල සේනාවට නිදහසේ ජාතිවාදය හා ගෝත්‍රවාදය වැපිරීමට ඉඩ දෙමින් මුස්ලිම් ඡන්ද ටිකත් හෝල් සේල් නැතිකර ගත්තේය.

    මේ ආකාරයට මැටි මෝල් වැඩකර ඡන්දය පරාදවූ පසු “කරුණාකර තවත් ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන්නෙ නැතිව ඉන්න” කියන එක තමයි මහින්දවාදීන්ගෙන් මට ඉල්ලන්න තියෙන එකම දේ. සුළු ජාතිකයන් හා සුළු ආගමිකයන් දෙවන ගණයේ පුරවැසියන් විදිහට ජීවත්වෙමින් හෝ ඔවුන් සිංහලබෞද්ධ ගෝත්‍රික මහාසම්ප්‍රදායට “අවශෝෂණය” වී ජීවත්විය යුතුයි කියා කියන කට්ටිය ඉන්නෙ ලංකාවේ මුලු ජනගහනයට බාගයකටත් වඩා අඩුවෙන්ය. මොවුන් තේරුම් ගතයුතු කාරණය තමයි තමන් තවදුරටත් බහුතරය නොවන බව. මේ අය විශාල සුළුතරයක්. නමුත් විශාලම සුළුතරය වීම හා බහුතරය වීම කියන්නෙ දෙකක් බව මේ ඡන්දෙන් අවබෝධ කරගත යුතුය. කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට සිංහලබෞද්ධ අධිපතිවාදී මතයට පමණක් කේටර් කිරීමෙන් ජනාධිපතිවරණයක් ජයගත නොහැක.

    සිංහලබෞද්ධ අධිපතිවාදයට පමණක් කේටර් කරල ඡන්දයක් දිනන්න අවශ්‍යම නම් අඩු ගානෙ බිලියන ගණන් මහජන මුදල් ගසා නොකා, යහපාලනයට කෙළ නොකර සිටිය යුතුය. එහෙමත් බැරි වෙච්ච රාජපක්ෂ රෙජීමය කඩා වැටීම අරුමයක් නොවේ.

    පොඩිකාලේ සිට වංගෙඩියේ දා කොටල පොවපු සිංහලබෞද්ධ ගෝත්‍රවාදය අත් හැර ගන්න බැරිනම්, එම ගෝත්‍රවාදයට කේටර් කරන ආණ්ඩුවක් ඔනේ නම්, අඩුගානෙ තමන්ගෙ බැනර් එක උස්සාගෙන යන්න හොරු, මංකොල්ලකාරයො, කප්පම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මගඩි කාරයෝ, මන්ද බුද්ධිකයෝ නොවන පිරිසක් එකතු කරගන්න.

    ඒ වැඩේ කරගන්න පුලුවන් වෙනකම්, තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය නොදුන් පලියට තමන්ගේ සහෝදර ජනකොටස් වල හැම එකාම “බෙදුම් වාදියෙක්”, “ත්‍රස්තවාදියෙක්”, “අන්තවාදියෙක්” කියල නම් කිරීමෙන් කරුණාකර වලකින්න. ඉක්මනින් නොවුනත්, කවදාහරි ඇතිවෙන්න පොඩි ඉඩක් හරි තියෙන, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාව හා සැබෑ ජාතික සමගිය තිඹිරිගෙයිදීම මරල දාන්න හදන්න එපා! ගෝත්‍රවාදී නොවී පොදු අනන්‍යතාවයක් වෙනුවෙන් වැඩකරන්න. දැන්වත් හැදෙන්න බලන්න!

    පසුව ලිවීම – මෙම සටහන මුහුණුපොතේ පළකර පැය කීපයකට පමණ පසු මහින්ද මහත්මයා එයාගේ මැදමුලන ජනතාව අමතනවා දුටුවෙමි. ජනතාව අතර සිටි එක්කෙනෙක් “ඇයි මැතිතුමා සිරිසේන මරල හරි ජනාධිපතිකම ගත්තෙ නැත්තෙ?” යනුවෙන් ඇසීය. අපි එය නූගත් ගැමියෙකුගේ ප්‍රකාශයක් විදිහට වැඩිය ගනන් නොගෙන බැහැර කරමු. නමුත්, මේ කතාවේදී මහින්ද කියපු දෙයක් එහෙම සුළුවට බැහැර කළ නොහැක. මහින්ද කියනවා “එයා (සිරිසේන) ඊලාම් ඡන්ද අරන් දිනුවා” කියල. මෙය කෙතරම් නරුම ප්‍රකාශයක්ද? ඊලාම් යුද්ධය අවසන් කලා කියා තමන්ට මහා ගෞරවයක් ආරූඪ කරගත්තු හිටපු ජනාධිපති කියනවා උතුරු නැගෙනහිර පලාත් තාමත් “ඊලාම්” කියල. දේශපාලන බලය ලබාගන්න මෙහෙම සාපරාධී විදිහට උතුරු පලාතේ සාමාන්‍ය ජනතාවට “ඊලාම්” ලේබලය ඇලවීම කෙතරම් සදාචාරාත්මකද?

    ලිව්වේ – රිටිගල ජයසේන

    සංස්කරණය – කුමාර සංකල්ප

    Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments