සදාචාරය සහ ආගම

සදාචාරය (ethics) යන විෂයපථයෙන් මූලික වශයෙන්ම අරමුණු කරගන්නේ අප කළයුතු දේ සහ නොකළ යුතු දේ වෙන්කර හදුනාගැනීමෙහිලා ඉවහල් වන නිර්නායකයන් ස්ථාපිත කරගැනීමයි. එනමුදු, සදාචාරය වනාහී මානව හැසිරීම සම්බන්ධයෙන් යම් යම් උපදේශනයන් අඩංගු වන්නා වූ එකම විෂයපථය නොවේ. ආගම් තුලින්ද, මානව හැසිරීමේ පිළිගත හැකි සහ පිළිගත නොහැකි පැතිකඩවල් වෙන්කර හදුනාගැනිමට උත්සහයක් දරා තිබේ. සැකවින් කිවතොත්, බොහෝ දෙනා සිතන්නේ සදාචාරය සහ ආගම යනු එකිනෙකින් වෙන්කළ නොහැකි ක්ෂේත්‍රයන් යුගලයක් ලෙසය. ආගමෙන් තොරව අපට කිසියම් සදාචාරාත්මක හර පද්ධතියක් ස්ථාපනය කළ නොහැකි බව සාහිත්‍යධරයෙකු වන ලියෝ ටෝල්ස්ටෝයිගේ මතයයි. ටෝල්ස්ටෝයි පවසන ආකාරයට,

The attempts to found a morality apart from religion are like the attempts of children, who, wishing to transplant a flower that pleases them, pluck it from the roots that seem to them unpleasing and superfluous, and stick it rootless into the ground. Without religion there can be no real, sincere morality, just as without roots there can be no real flower.

ලොව ඇති ආගම් සදාචාරය සමගින් ඉතා දැඩි ලෙස බැදී ඇති බව සැබෑවකි. සදාචාරය ගැන කිසිදු වචනයක් කතා නොකර දෙවියන්, සිත, ආත්මය වැනි මාතෘකා ගැන පමණක් කතා කර ඇති ආගමක් සොයා ගැනීම කළු නික සොයනවා වැනිය. ඇත්තෙන්ම, කන්ෆියුසියන් දහම වැනි ආගම් වනාහී ප්‍රධාන වශයෙන්ම සදාචාරය පිළිබදව වූ මූලධර්ම මාලාවකි. එසේවුවද, ඇතැම් පුද්ගලයන්ට අනුව, ආගම් මගින් සිදුකරනුයේ “බාල වර්ගයේ සදාචාරයක්” ප්‍රචලිත කරමින් මානවයාගේ සැබෑ සදාචාරාත්මක වර්ධනය අඩපණ කිරීමය. එලෙසම, සදාචාරාත්මකව ජීවත් වීම පිණිස ආගම අත්‍යාවශ්‍ය අංගයක් නොවනමුත් ආගම මගින් අපගේ සදාචාරාත්මක සංවර්ධනයට රුකුල් දීමක් සිදුවනවාය යන ස්ථාවරය දරන්නෝ ද සිටිති. මේ අතර, තවත් අය පවසන්නේ සදාචාරය යනු අනිවාර්යයෙන්ම ආගම මත පදනම් වූවක් සහ ආගමෙන් ස්වාධීන වූ සදාචාරයක් තිබීම සිදුවිය නොහැක්කක් බවය. මේ ලිපිය තුළින් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවන්නේ මින් තෙවනුව සදහන් කළ “ආගමෙන් ස්වාධීන වූ සදාචාරයක් තිබිය නොහැක” යන ස්ථාවරය පිළිබදවය.

සැබවින්ම, ආගමෙන් තොරව අපට සදාචාරාත්මක නියාමයක් (ethical theory) ගොඩනැගිය නොහැකිද? සදාචාරය යනු ආගමික බලාධිකාරියක් මත පදනම් වූ දෙයක්ද? නිර්-ආගමිකයන් (ඇතැමුන්ට අනුව “ආගමක් දහමක් නැති අය”) හට සදාචාරාත්මකව ජීවත්විය නොහැකිද? ආගම් අදහන බොහෝ අයට අනුව, මෙම ප්‍රශ්නයන්ට පිළිතුර වනුයේ “ඔව්” කියා ය. එසේ වුවද, යම් හෙයකින් සදාචාරය පදනම් වන්නේ ආගම මත නම්, ඒ කවර ආගම මතද යන ගැටලුව මෙහිදී ඉස්මතු වේ. මන්දයත්, ආගම් තුළ බොහෝ දුරට එකිනෙකට පරස්පර වූ සදාචාරාත්මක මාර්ගෝපදේශනයන් අන්තර්ගත වන බැවිනි. උදාහරණයක් ලෙස, ඇතැම් ආගම් වලට අනුව සතුන් මැරීම සදාරාත්මක නොවන අතර තවත් ආගම් වලට අනුව එය “අවුලක් නැති” ක්‍රියාවකි. මෙවන් තත්ත්වයක් යටතේ අපට සදාචාරය ගැන යම්කිසි ආගමක් මගින් ඉදිරිපත් කරන රාමුවක් මත පදනම් ව “කවුද හරි-කවුද වැරදි” යනුවෙන් තීරණය කිරීමේ හැකියාවක් නැත. එය තීරණය කළ යුත්තේ සියලු ආගම් වලින් ස්වායක්ත වූ වාස්තුවික නිර්නායකයන් මත පදන්ම්වය. මන්දයත්, යම් හෙයකින් අප X ආගමේ සදාචාරාත්මක නියාමයන් මත පදනම්ව Y ආගමේ සදාචාරාත්මක නියාමයන් විවේචනය කරනවා නම්, එහිදී අප විසින් X ආගමේ සදාචාරාත්මක නියාමයන් නිවැරදි යැයි පූර්ව-නිගමනයකට එළඹීමක් සිදුකරන බැවිනි. නමුත්, “Xද හරි – Yද හරි?” යන ප්‍රශ්නයේදී, අප එලෙස පූර්ව-නිගමන වලට එළඹීමෙන් සිදුකරනුයේ අප විසින් ඔප්පු කරන්නට බලාපොරොත්තු වන ප්‍රස්තුථය ඔප්පු නොකරම උපකල්පනය කිරීමය.

එමෙන්ම, “ආගමෙන් ස්වාධීන වූ සදාචාරයක් තිබිය නොහැක” යන ස්ථාවරය සම්බන්ධයෙන් පැන නගින තවත් ගැටලුවක් වන්නේ සදාචාරයට මූලාශ්‍රය වන ආගම පිළිබදව අප සමාජයේ මිනිසුන් අතර කිසිදු එකගතාවයක් නොමැති වීමයි. එලෙස එකගතාවයකින් තොරව අපට බහු ආගමික පරිසරයක ජීවත්වීම ඉතා අභියෝගාත්මකය. හැමදාම ආගමික රණ්ඩුසරු වල එල්බගෙන සිටීම වනාහී ප්‍රායෝගික නොවන ක්‍රියාවක් මෙන්ම නිෂ්ඵල ක්‍රියාවකි. මින් පෙනී යන්නේ ආගමෙන් ස්වාධීන වූ සදාචාරාත්මක ප්‍රමේයයක අවශ්‍යතාවයයි.

එමෙන්ම, අප විසින් “සදාචාරයට පදනම් වන්නේ අහවල් ආගමය” යනුවෙන් නිගමනය කළ ද එකී ආගම තුළ සදාචාරාත්මක වන දේ සහ නොවන දේ පිළිබදව ඉදිරිපත් කර ඇති අදහස් විවරණය කළ යුතු ආකාරය පිළිබදවද ගැටලු මතු වේ. නිදර්ශනයක් ලෙස, බයිබලය තුළ නිතරම පාහේ බොරුකීම හෙළා දැක තිබුණද, එහි ඇතැම් ස්ථාන වල දෙවියන් විසින් බොරු කීම අගය කළ අවස්ථාද, තවත් ස්ථාන වල දෙවියන් විසින් බොරුකීමට නියෝග දුන් අවස්ථාද දක්නට ලැබේ. තවත් උදාහරණයක් දක්වන්නේ නම්, මාංශ ආහාරයට ගැනීම බුදුදහමට එකගද නැත්ද යන තේමාව ඔස්සේ බෞද්ධ ප්‍රජාව ඉතා දීර්ඝ ලෙස වාද කරයි. ඇතැම් බෞද්ධ දේශකයන්ට අනුව, යම්කිසි මස් වර්ගයක් “ත්‍රිකෝටි පාරිශුද්ධ” නම් එය ආහාරයට ගැනීම ගැටලුවක් නොවන අතර තවත් බෞද්ධ පිරිස් සදහන් කරන්නේ කිසිම මාංශයක් ආහාරයට ගැනීම බුදුදහමට පටහැනි බවයි. මෙම උදාහරණ වලින් අපට පෙනීයන්නේ අප විසින් “අහවල් ආගමෙන් තමයි සදාචාරය එන්නේ” යනුවෙන් තීරණයක් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එකී ආගම තුළ සදාචාරය පිළිබදව ඉස්මතු කර ඇති කාරණා තෝරා බේරා ගෙන නිවැරදි ලෙස විවරණය කිරීමද කළ යුතුය. ඒ සදහා ආගමික මත වලම එල්බ ගැනීමෙන් තොරව කරුණු කාරණා පිළිබදව ගැඹුරින් කල්පනා කිරීම සිදු කළ යුතුය.

“ආගමෙන් ස්වාධීන වූ සදාචාරයක් තිබිය නොහැක” යන ස්ථාවරයේ ඇති ගැටලු මෙපමණකින් අවසන් නොවේ. එයට හේතුව නම්, ආගමික මූලාශ්‍රයන් මත පදනම්ව පිළිතුරු දිය නොහැකි සදාචාරාත්මක ගැටලු රාශියක් වර්තමාන සමාජය හමුවේ තිබීමයි. බොහෝ ආගම් මගින් හොරකම, බොරුකීම වැනි මාතෘකා සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ. එසේ වුවද, වර්තමාන සමාජය හමුවේ ඇති ක්ලෝනකරණය, වෛද්‍ය පහසුකම් බෙදාදීම, පෞද්ගලිකත්වය යනාදී තේමාවන් ඔස්සේ දිවයන සදාචාරාත්මක ගැටලු සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් ආගම් තුළින් සිදු නොවේ. උදාහරණක් ලෙස, අපට බුදුදහමේ එන පන්සිල් පද පහ දෙස බලා හොරකම් කිරීම සදාචාරාත්මකද නැත්ද යන්න පිළිබද ව නිගමනයක් ගත හැකිය. නමුදු, අපට පහත සදහන් සදාචාරාත්මක ගැටලු පිළිබදව නිගමනයක් ගැනීමේලා පන්සිල් පද ආධාර කරගත නොහැක.

1. මිනිසුන්ව ක්ලෝනකරණය කිරීම හරිද වැරදිද?
2. රෝගීන් ප්‍රමාණයට සරිලන පරිදි වෛද්‍ය පහසුකම් නොමැති නම්, තියෙන්නා වූ වෛද්‍ය පහසුකම් බෙදී යා යුත්තේ කෙසේද?
3. යම් හෙයකින් සිය ස්වාමිපුරුෂයා වද බැවින් නිර්නාමික ශුක්‍රාණු දායකයෙකුගේ ශුක්‍රාණු හරහා යම් කාන්තාවක ගැබ් ගැන්වූයේ නම්, ඉපදෙන දරුවාට තමාගේ “සැබෑ පියාගේ” අනන්‍යතාවය පිළිබද දැනගැනීමට අයිතියක් ඇත්ද?

එමෙන්ම, “ආගමෙන් ස්වාධීන වූ සදාචාරයක් තිබිය නොහැක” යන ස්ථාවරයේ ඇති තවත් ගැටලුවක් අපට සොක්‍රටීස් විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රශ්නයක් අනුසාරයෙන් විස්තර කර දැක්විය හැකි ය. සොක්‍රටීස් විසින් ඉස්මතු කරනු ලැබූ  ප්‍රශ්නය වනුයේ “දෙවියන් විසින් යම් යම් ක්‍රියාවන් අනුමත කරන බැවින් එකී ක්‍රියාවන් ‘හොද වැඩ’ වනවාද, නැතහොත් දෙවියන් විසින් යම් යම් ක්‍රියාවන් අනුමත කරන්නේ එකී ක්‍රියාවන් ‘හොද වැඩ’ නිසාද?” යන්නයි. බුදුදහමේ එන කර්ම සංකල්පයද අදාල කරගෙන මෙම ප්‍රශ්නයම වර නගන්නේ නම් අපට “ඇතැම් ක්‍රියාවන් වලට කර්මානුකූලව කුසල් ලැබෙන බැවින් එකී ක්‍රියාවන් ‘හොද වැඩ’ වනවාද, නැතහොත් ඇතැම් ක්‍රියාවන්ට කර්මානුකූලව කුසල් ලැබෙන්නේ එකී ක්‍රියාවන් ‘හොද වැඩ’ නිසාද?” යනුවෙන් විමසිය හැකිය. මෙහිදී, අපට විකල්ප දෙකක් ඇත. පළමු විකල්පය නම්,

1. ඇතැම් ක්‍රියාවන්ට කර්මානුකූලව කුසල් ලැබෙන බැවින් එකී ක්‍රියාවන් “හොද වැඩ” වේ.

කර්මය මගින් හුදෙක් අහඹු ලෙස ඒ ඒ ක්‍රියාවන්ට කුසල් ලබාදීමක් සිදු කරන බව මින් කියැවේ. එනම්, කුසල් ලබා දිය යුත්තේ කවර ක්‍රියාවන් වලටද කියා සහ අකුසල් ලබා දිය යුත්තේ කවර ක්‍රියා වලට ද කියා නිර්ණය වීම සිදුවන්නේ හුදෙක් අහඹු ලෙසය. කරුණු එසේ නම්, යම් හෙයකින් කර්මය මගින් බොරුකීම වෙනුවෙන් කුසල් ලබා දේ නම් බොරුකීම ද “හොද වැඩක්” වේ. දෙවනි විකල්පය බලමු,


2. ඇතැම් ක්‍රියාවන්ට කර්මානුකූලව කුසල් ලැබෙන්නේ ඒවා “හොද වැඩ” බැවිනි.

මින් අදහස් වන්නේ කර්මානුකූලව යම් යම් ක්‍රියාවන් උදෙසා කුසල් ලැබීම තීරණය වන්නේ යම් හේතුවක් මත පදනම්ව බවයි. එනම්, එකී ක්‍රියාවන් “හොද වැඩ” වීම නිසාය. කරුණු එසේ නම්, ඒ ඒ ක්‍රියාවන් හොදද නැත්ද යන්න නිර්ණය වන්නේ කර්මය මගින් නොවේ. කර්මය මගින් සිදුවනුයේ “කොහොමත් හොද” ක්‍රියාවලට කුසල් පිරිනැමීම පමණි. එනම්, කර්මය කියා දෙයක් නොතිබුණත් යම් ක්‍රියාවක හොදබව හෝ නරකබව නොවෙනස්ව පවතී. කරුණු එසේ නම්, ඉන් අදහස් වන්නේ ආගමෙන් ස්වාධීන වූ සදාචාරයක් පැවතිය හැකිය යන්නයි.

ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in දර්ශනය, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to සදාචාරය සහ ආගම

  1. Mayya says:

    මෙම ලිපියේ බුදුදහම සම්භන්ධව ලියා ඇති කරුණු හුදෙක් මතුපිටින් අතගා බුද්ධ දර්ශනය ඉගෙන ගත්තකු අදහස් යැයි මට හැඟීයයි…

    ඔබට යම්ක් ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති අයෙකු බව හැඟී යන නිසා මෙයා ලීවා මිසක් ඔබගේ අදහස් පහත් කිරීමට මා උත්සහ නොකල බවද ඔබට තේරුම් යතැයි මා බලාපොරොත්තු වනවා

    Like

    • මේ ලිපියේ බුදු දහමේ කුසල් අකුසල් යන සංකල්පය ඇසුරින් දක්වා ඇති උදාහරණය ‘දහම් පාසැල්’ මට්ටමින් බුදු දහම තේරුම් ගන්නා හා මහපොලවේ සැබෑවටම බුදු දහම ‘අදහන’ හූදී ජනයින් ගේ ‘සැබෑ’ බුදු දහම මට්ටමෙන් ගෙන ආ උදාහරණයක්. මයියා කියා ඇති කතාව හරි. ඉහතකී පුද්ගලයන් බුදු දහම යාන්තම් මතුපිටින් අතගානවා වෙන්න පුලුවන්. නමුත් දාර්ශනික හෝ ‘අසපු’ මට්ටමෙන් බුදු දහම අතපත ගාන පුද්ගලයන් අතලොස්සට සාපෙක්ෂව ඉතතකී මට්ටමෙන් බුදු දහම තේරුම් ගන්න පුද්ගලයන් සංක්‍යාත්මකව විශාල බැවින්, “සැබෑ” (එනම් මපොලවේ පවතින ) බුදු දහම යනු මයියාට අනුව නම් තරමක් බාල වර්ගයේ දහමක් වෙන්නට පුලුවන්.

      මේ ලිපිය මට හිතෙන ආකාරයට කුමාර සංකල්ප මහතා විසින් සිතා මතා තරමක් dumb down කර ඇති බව පේනවා. වැඩි පිරිසකට මේ ලිපිය ගෝචර වීම සඳහා එසේ කලා වන්නට පුලුවන්. කෙසේ වෙතත් මේ ලිපියේ බුදු දහම ගැන ගැඹුරු විශ්ලේශනයක් කිරීමේ අරමුනක් කෙසේවත් තිබී නැහැ. මානව සදාචාරය ව්‍යුත්පන්න කිරීම ආගම් වලින් බැහැරව සිදුවන දෙයක් බවට තර්කයක් ගොඩ නැගීමයි මේ ලිපියේ ප්‍රධාන අරමුන වී ඇත්තෙ

      Like

    • By the way Mayya, any religious apologetic reading this post will say the exact same thing about their respective religions. Any Christian or Islam apologetic will very well say that this post is only “scratching the surface” of their respective theistic religions. And all of them are equally correct in their comments, just like you Mayya.

      Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s