විද්‍යාත්මක යථාර්තවාදය සහ විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය: කෙටි හැදින්වීමක්

“සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක දරුවන් ගණන 2.5 කි” යන වගන්තිය සළකන්න. මෙම වගන්තිය “නිවැරදියි” යැයි මදකට උපකල්පනය කරමු. එනම්, සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක සිටින දරුවන් ගණන 10.3ක් වත් 0.7ක් වත් නොව 2.5ක් යැයි සිතමු. සංගණන වාර්තා වල මෙන්ම විවිධ සමාජ සමීක්ෂණ වාර්තා වලද මේ ආකාරයේ වාක්‍යයන් අපට සුලභව දැකිය හැක. බැලූ බැල්මට මෙම වැකියේ කිසිදු “අවුලක්” නොමැත. නමුත්, “දරුවන් 2.5ක්” කියා දෙයක් නැත. යම් පවුලක් “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක්” ලෙස සැළකීමට නම් එම පවුල තුළ දරුවන් 2.5ක් සිටිය යුතුය. එබැවින්, “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක්” කියා දෙයක්ද නැත. සැකවින් කිවතොත්, “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුල” යනු නත්තල් සීයා වැනි දෙයකි – එනම් – non-existent object එකකි.

එසේවුවද, අප විසින් “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක දරුවන් ගණන 2.5 කි” වැනි ප්‍රස්තුථයන් “non-sense” ලෙස සළකන්නේ නැත. එය ඉතා ප්‍රයෝජනවත් තොරතුරකි. උදාහරණයක් ලෙස, එක් දරුවෙකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් පන්දහසක සහනයක් දීමට රජය තීරණය කරනවානම්,  ඒ සදහා වසරකට රජයට වැය වන මුදල පිළිබදව සතුටුදායක ඇස්තමේන්තුවක් අපට ඉහත වැකිය උපයෝගී කරගනිමින් ලබාගත හැකිය. එබැවින්, “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක්” යනුවෙන් හැදින්විය හැකි දෙයක් නොමැති වුවද “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුල” යන සංකල්පය වනාහී ඉතා ප්‍රයෝජනවත් නිපැයුමකි.

ඇතැම් චින්තකයන්ට අනුව, විද්‍යාව තුළ එන අපට නිරීක්ෂණය කළ නොහැකි ඉලෙක්ට්‍රෝන, චුම්බක ක්ෂේත්‍ර, කලු-කුහර, ගුරුත්වාකර්ෂණය, DNA වැනිදෑ ද ඉහත කී “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුල” බදු දේවල්ය. “පිච්ච මල්, පරසතු මල් හා චුම්බක ක්ෂේත්‍ර” පිළිබදව විදුසරට ලියන නලින් ද සිල්වා එය විස්තර කරන්නේ මේ ආකාරයෙනි.

බල රේඛා සිතෙන් මවාගත හැකි වුවත් චුම්බක ක්ෂේත්‍රය සිතෙන් මවාගත නොහැකි වියුක්තයක් පමණක් වෙයි. සිතෙන් මවා ගැනීමටවත් නොහැකි චුම්බක ක්ෂේත්‍රය ඇතැයි අප කියන්නේ අපට එසේ පුරුදු කර ඇති බැවින් මිස වෙනත් කරුණක් නිසා නොවේ. චුම්බක බල රේඛා මෙන්ම චුම්බක ක්ෂේත්‍රද අපට පවත්නා දේ ය. එහෙත් මේවා බටහිර විද්‍යාඥයින් ඇතැම් නිරීක්ෂණ තේරුම් ගැනීම සදහා නිර්මාණය කර ඇති සංකල්ප මිස අන් කිසිවක් නොවේ. ගුරුත්වාකර්ෂණය දැක බලාගත් කිසිවකු මෙදියත නැත.

පුටුව, මල ආදිය පවතින්නේ යැයි කෙනෙකු කීවත් චුම්බක ක්ෂේත්‍රය, කාලය ආදිය පවතින්නේ යැයි කිසිවෙකුටත් පෙන්වා දිය නොහැකිය. බටහිර විද්‍යාවේ ප්‍රවාද ද මිනිසුන් විසින්, මෙහිදී බටහිර විද්‍යාඥයින් විසින්, නිර්මාණය කෙරුණු කතන්දර පමණය. ඒවා ආධාර කරගෙන යම් යම් නිරීක්ෂණ තේරුම්ගත හැකි බව සැබෑය. එහෙත් ඒ ප්‍රවාද වල හෙවත් කතන්දර වල ඇත්තක් වේ යැයි, ඒ සංකල්ප වල පැවැත්මක් ඇතැයි, තර්ක කිරීමට නොහැකිය.

“සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුල” යන යෙදුමෙන් අදහස් කරන්නේ non-existent object එකක් බැවින් “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුල” වනාහී හුදු ප්‍රබන්දයකි – නලින්ගේ වචනයෙන් නම් “ප්‍රවාදයකි”. ඔහු කියනා අන්දමට, චුම්බක ක්ෂේත්‍රද, කාලයද, ගුරුත්වාකර්ෂණයද එසේ ය. නමුදු, දරුවන් වෙනුවෙන් මූල්‍ය සහනාධාරයක් ලබාදීම සදහා රජයට දැරීමට වන වියදම ඇස්තමේන්තු කිරීම යනාදී විවිධ කටයුතු වලට  “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුල” නැමැති “ප්‍රවාදය” (නැතහොත් “කතන්දරය”) ප්‍රයෝජනවත් වූවා සේම චුම්බක ක්ෂේත්‍ර, කාලය, ගුරුත්වාකර්ෂණය වැනි “ප්‍රවාද” ද අපට ප්‍රයෝජනවත් වේ. ඒ අන් කවරකටවත් නොව “යම් යම් නිරීක්ෂණ තේරුම් ගැනීමට” ය. නලින් ද සිල්වා විසින් මෙලෙස විස්තර කර ඇති මෙම ස්ථාවරය හදුන්වන්නේ විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය නැතහොත් scientific anti-realism යනුවෙනි. මෙහිදී “විද්‍යාත්මක” යන විශේෂණ පදය ව්‍යවහාර වනුයේ එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර වන අර්ථයෙන් නොව “විද්‍යාව පිළිබද” යන අර්ථයෙනි. එනම්, විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය යනු විද්‍යාව පිළිබද ප්‍රතියථාර්තවාදී ස්ථාවරයක් දැරීමයි.

විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය වනාහී මෑතක දී හදිසියේ හටගැනුණු දෙයක් නොව කලක සිට ඇතැම් දාර්ශනිකයන් සහ ඇතැම් විද්‍යාඥයින් අතර ප්‍රචලිතව පැවති ස්ථාවරයකි. ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයෙකු සහ දාර්ශනිකයෙකු වන හෙන්රි පොයින්ක්‍යාර් වනාහී ප්‍ර‍තියථාර්තවාදය උදෙසා කරුණු ගෙනහැර දැක්වූ අයෙකි.

විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදීන් තර්ක කරන ආකාරයට විද්‍යාවේ එන ගුරුත්වාකර්ෂණය, විද්‍යුතය, ශක්තිය යනාදී සංකල්පයන් “සත්‍යද” යනුවෙන් හෝ “පවතිනවාද” යනුවෙන් ඇසීමේ තේරුමක් නැත. මන්දයත්, එකී සංකල්පයන් වනාහී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ප්‍රවාද” නැතහොත් “කතන්දර” වන නිසාය. ඒ වෙනුවට අප විසින් ඇසිය යුතු වන්නේ නිරීක්ෂණ තේරුම් ගැනීම, විවිධ ස්වභාවික සංසිද්ධි විස්තර කිරීම හා අනාවැකි පළකිරීම වැනි කර්තෘවයන් උදෙසා විද්‍යාවේ එන සංකල්ප – නැතහොත් “ප්‍රවාද”  – සතුටුදායක මට්ටමකට ඉවහල් වනවාද යනුවෙනි.

විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදයේ ප්‍රතිවිරුද්ධ ස්ථාවරය විද්‍යාත්මක යථාර්තවාදය හෙවත් scientific realism යන නමින් හදුන්වයි. විද්‍යාව තුළ කියවෙන චුම්බක ක්ෂේත්‍ර, ගුරුත්වාකර්ෂණය, ඉලෙක්ට්‍රෝන යනාදී දේ වනාහී හුදෙක් නිරීක්ෂණ තේරුම් ගැනීමට හෝ අනාවැකි පළකිරීමට අප විසින් සංස්කරණය කරන ලද සංකල්ප පමණක් නොව “සත්‍ය වශයෙන්ම පවතින” දේවල්ය යනු විද්‍යාත්මක යථාර්තවාදීන්ගේ නිගමනයයි. මෙහිදී අවධානය යොමු කළ යතු වැදගත් කරුණක් වන්නේ යමෙකුට අවශ්‍ය නම් විද්‍යාවේ කියැවෙන ඇතැම් දේ සම්බන්ධයෙන් යථාර්තවාදී ස්ථාවරයකටත් තවත් දේ සම්බන්ධයෙන් ප්‍රතියථාර්තවාදී ස්ථාවරයකටත් යොමුවිය හැකි බවයි.

තවද, අදින්  වසර 200කට පෙර තිබුණු විද්‍යාව සහ අද තිබෙන විද්‍යාව එකිනෙකට සමාන නොවේ. උදාහරණයක් ලෙස, චලිතය පිළිබද නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද න්‍යායන් මත පදනම් වූ සමීකරණයන්ට අනුව චලනය වන වස්තුවක ගම්‍යතාවය වනුයේ එහි ප්‍රවේගයෙත් ස්කන්දයෙත් ගුණිතය යි. එම සමීකරණයන් ආධාර කොටගෙන අපට චලනය වන හිම බෝලයක් නිශ්චල ලී කුට්ටියක හැප්පීමෙන් පසුව එකී ලී කුට්ටිය චලනය වන ප්‍රවේගය ගණනය කළ හැකි ය. එසේවුවද, නිව්ටෝනියානු සමීකරණ යොදාගනිමින් අංශු ත්වරකයක් තුළ ආලෝකයේ වේගයට කිට්ටු වේගයකින් චලනය වන ඉලෙක්ට්‍රෝනයක ගම්‍යතාවය ගණනය කළ නොහැක. මන්දයත්, අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ න්‍යායන්ට අනුව වස්තුවක සාපේක්ෂතාශ්‍රිත ගම්‍යතාවය එහි නිව්ටෝනියානු ගම්‍යතාවය මෙන් 1/√1-(v^2/c^2) ගුණයක් විශාල වන බැවිනි. මේ කාරණය ප්‍රතියථර්තවාදී දෘෂ්ටිකෝණයෙන් විවරණය කරනු ලබන පුද්ගලයන් විසින් නිව්ටෝනියානු සංකල්පයන් අවලංගු වූ ප්‍රවාදයන් ලෙස සැළකීම නිතර දක්නට ලැබේ.

එසේවුවද, අයින්ස්ටයින් විසින් නිව්ටෝනියානු න්‍යායන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා යැයි තර්ක කිරීම වැරදිය. කාලය, දිග, ගම්‍යතාවය වැනි රාශීන් ගත් කළ, ඒවායේ සාපේක්ෂතාශ්‍රිත සමීකරණයන් හා නිව්ටෝනියානු සමීකරණයන් එකිනෙකින් වෙනස් වන්නේ 1/√1-(v^2/c^2) ගුණයකිනි. එබැවින්, vහි අගය බිංදුවට ආසන්න වත්ම – එනම් – දෛනික ජීවිතයේ අපට හමුවන වේගයන් යටතේ – කාලය, දිග, සහ ගම්‍යතාවය යනාදී රාශීන්ගේ සාපේක්ෂතාශ්‍රිත අනුවාදයන්ගේ හා නිව්ටෝනියානු අනුවාදයන්ගේ අගයන් බොහෝදුරට එක සමාන වේ. මේ උදාහරණයේ මෙන්ම බොහෝවිට විද්‍යාව තුළ සිදුව ඇත්තේ යථාර්තය පිළිබදව වන පසුකාලීන සියුම් සන්නිකර්ෂණයන් මගින් මුල්කාලීන රළු සන්නිකර්ෂණයන් වැඩි දියුණු කිරීමය.

විද්‍යාත්මක යථාර්තවාදීන්ගේ එන්ජිමට තෙල් එක් කරන තවත් කරුණක් වනුයේ විද්‍යාව තුළ යම් න්‍යායකට පිළිගැනීමක් ලැබීමට නම් එය නානාවිධ පර්යේෂණයන් සමත්විය යුතුය යන්නය. විවිධාකාර පර්යේෂණ රාශීයක ප්‍රතිඵලයන් එක් න්‍යායක් වෙතට අභිසාරී වීම තුළින් ගම්‍යමාන වනුයේ එකී න්‍යාය මගින් යථාර්තය ඉතා සියුම් ලෙස සන්නිකර්ෂණය කරන බවයි. ඇමරිකානු දාර්ශනික විලියම් ලෝහෙඩ්ගේ වචනයෙන් කිවතොත්,

…when many kinds of completely different experiments all seem to converge on some theory T, then either T is approximating the truth or it is sheer dumb luck that it is subject to so many kinds of experimental confirmations.

එමෙන්ම, විද්‍යාව තුළ ඇතිවූ ප්‍රධාන සොයාගැනීම් වලට පෙර කල සිටි විද්‍යාඥයින් විසින් විද්‍යාව පිළිබද යථාර්තවාදී ස්ථාවරයක් දැරීමම ඉවහල් වූවාය යන්න මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණකි. කොපර්නිකස් විසින් පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන බව දක්වමින් සිය ස්ථාවරය ඉදිරිපත් කළ විට එම ස්ථාවරයට එරෙහිව විවිධ විසංවාදයන් එකල ඉදිරිපත් විය. කොපර්නිකස්ගේ මිත්‍රයෙකු වූ Osiander විසින් කොපර්නිකස්ගේ න්‍යායයට ප්‍රතියථාර්තවාදී විවරණයක් ලබා දෙමින් ඊට එරෙහිව නැගුණු විසංවාදයන් මගහැරීය. කොපර්නිකස් ඉදිරිපත් කළ ප්‍රකාශනයේ පෙරවදන තුළ Osiander සදහන් කළේ කොපර්නිකස්ගේ න්‍යාය – එනම් – පෘථිවිය හිරු වටා භ්‍රමණය වන බවට වන ප්‍රකාශය “සත්‍ය” වීමට අවශ්‍ය නොවන බවත් එය නිරීක්ෂණයන් සමග සංගත වන ගණිත ක්‍රමයක් වීම පමණක් ප්‍රමාණවත් බවත්ය.

For the hypotheses [proposed by Copernicus] need not to be true nor even probable; if they provide a calculus consistent with observation that alone is sufficient.

එසේ වුවද, කොපර්නිකස්, එමෙන්ම ගැලීලියෝ, විද්‍යාත්මක යථාර්තවාදියෝ වූහ. එබැවින් ඔවුන් විසින් ප්‍රතියථාර්තවාදී විවරණයන් හරහා විසංවාදයන් මගහැර යනු වෙනුවට ඒවාට ඍජුවම මුහුණ දුන්හ. එමගින් ඔවුන් සිය න්‍යායන් වැඩි දියුණු කිරීමට පෙළඹිණි.


ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

2 Responses to විද්‍යාත්මක යථාර්තවාදය සහ විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය: කෙටි හැදින්වීමක්

  1. Mayya says:

    නිරීක්ශකයා සිදූවීමට සම්භන්දවීමේදී එනම් කොලොටේටිව් ජජ්මන්ට් එකකදී විද්‍යත්මක යාථාර්තයයේ ඔබ්ජෙක්ටිවිටි එක කොම්ප්‍රොමයිස් වෙන බව විද්‍යාත්මක යාථාර්තවාදී පිලිගන්නා තත්වයකි.
    වර්තමානයේ සිදූ වී ඇත්තේ නිරික්ශකයා සිදුවීමේන් ස්වායත්ත නොවෙන බව සැක රහිතව තහවුරු කිරිම පමෙනකි.ඒම තර්කය හමුවේ සියලු විද්‍යාත්මක යථාර්තවාදීන්ගේ තර්ක හිරු දු‍ටු පිනි මෙන් වාශ්ප වී යයි..

    Like

  2. Kristen says:

    Amazing! This blog looks just like my old one! It’s on a completely different subject but it has pretty much
    the same layout and design. Superb choice of colors!

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s