ආගම නිරන්තරවම ප්‍රශ්නකිරීමට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුළ පැවතීම වැදගත් වන්නේ ඇයි?

සුරාව, සූදුව සහ ආගම කිසි දිනෙක සමාජයෙන් ඉවත් කළ නොහැක. ලොකයේ බොහෝ රාජ්‍යයන් කිසියම් හෝ කලක මේවා බලහත් කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත (උදාහරණ: ඇමරිකාව, රුසියාව, චීනය). මෙම උත්සාහයන් සාර්ථක නොවීය. නමුත්, සුරාව, සූදුව සහ ආගම අසීමන්තිකව දෝරේ ගලන්නට පටන්ගතහොත් රටක සමාජ ආර්ථික ව්‍යුහය බිඳ වැටේ. භාවිත කිරීමේ නෛතික නිදහස ලබාදෙන ගමන්, යම් යම් සීමාවලින් පිටට නොපැනීමට වැටවල් ගසා මේවා පාලනය කළ යුතු වන්නේ එබැවිනි.

ආගම සිය සීමාවන් තුළින් පිට පැනීම පාලනය කිරීමට නම් ආගමික මානසික වහල් භාවයෙන් මිදුනු, සදාචාර සම්පන්න, විවෘත මනසකින් යුතු පුද්ගලයින් අඩු ගනනේ සුලුතරයක් හෝ සමාජයක් තුල සිටිය යුතුය. මෙවන් පිරිසක් රටක නොමැති විට ආගම මගින් රටේ පාලනතන්ත්‍රය ආක්‍රමණය කරයි. මෙය වැලක්විය නොහැක. ආගම මගින් රටේ රාජ්‍ය පාලන තන්ත්‍රය ආක්‍රමණය කළ විට බිහිවන්නේ ගතානුගතික පැවත්ම අනුශාසනා කරන, පසුගාමී, අන් මත නොඉවසන, අන්‍ය ලබ්ධිකයන්ගේ සහභාගීත්වයක් නැති රාජ්‍යයකි. මෙය බොහෝ විට දුර්වල රාජ්‍යයකි. කෙටි කාලිනව ශක්තිමත් සේ පෙනුන ද පරිණාමය වීමට නොහැකි නිසා සීඝ්‍රයෙන් ගරා වැටී අස්ථාවර වන රාජ්‍යකි. රටක සාමාන්‍ය ජනතාව කොතරම් ආගමික වුවද, ආගමිකත්වයෙන් මිදුනු රාජ්‍යතන්ත්‍රයක් ඇති රටවල් දිනෙන් දින ශක්තිමත් වේ. ආගමිකත්වයෙන් මිදුනු රාජ්‍ය ක්‍රමයක් ආරම්භයේ තිබුන ද පසු කාලීන ආගමික බලපෑම් නිසා දුර්වල වන රටකට හොඳ උදාහරණයකි, ඇමරිකා එක්සත් ජනපදය. රාජ්‍යතන්ත්‍රය සහ ආගම සහමුලින්ම වෙන් කරන ලද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ 1791 දී ගමන් අරඹා ඉතා කෙටි කාලයක් තුල ලෝක බලවතෙකු වූ ඇමරිකාව, සීත යුද සමයේ සහ මෑතකදී බුෂ් පාලනය යටතේ තරමක ක්‍රිස්තියානි ආගමික ආක්‍රමණයකට නතුවිය. අද ඇමරිකාව කලින් පතුරවා ගත් සිය පුරාණ බල පරාක්‍රමය නිසා එක්වරම නොපෙනුනද, සීඝ්‍රයෙන් දුර්වල වන රාජ්‍යයකි.

ආගමික මානසික වහල් භාවයෙන් මිදුනු, සදාචාර සම්පන්න, තාර්කිකව සහ විවෘත මනසකින් යුතුව තීරණ ගැනිමේ හැකියාවක් ඇති, පුද්ගල පිරිසක් සමාජයක් තුල ඉබේ බිහිවෙන්නේ නැත. රටක අධ්‍යපනික ආයතන, ජනමාධ්‍ය තුල ආගම ඔසවා තැබීම පමණක් වෙන්නේ නම්, හා ආගම යනු හැම පුද්ගලයෙකුම තුල තිබිය යුතු අනිවාර්ය පොදු සාධකයක් ලෙස හුවා දක්වීම පමණක් වෙන්නේ නම්, රටේ ළමා පරපුර ආගමින් මත්ව මානසික වහලුන් ලෙස තරුණ දිවියට පිවිසේ. මෙය වැළැක්වීමට අපි කුමක් කළ යුතුද? ආගමෙන් ස්වායක්ත වූ හර පද්ධතීන් පැසල් වල ඉගැන්වීම, හා ආගම හා එහි සංකල්ප නිරන්තර ප්‍රශ්නකිරීම් වලට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුල පැවතීම මගින් වඩාත් ප්‍රගතිශීලි සහ සමබර වටපිටාවක් නිර්මාණය වේ.

සුරා විරෝධී වැඩපිලිවෙලවල් කොතරම් තිබුනද, පාසැල් දරුවන් සුරාවෙන් ඉවත් කිරීමට කෙතරම් උත්සාහ ක‍ළද, සුරා පානය සමාජයේ ජන ජීවිතයේ ප්‍රධාන අංගයකි. නක්ෂ්‍යත්‍රය පාසැල් තුල ඉගැන්වීම නොකළද එය සමාජයේ හැම වැඩකටම සම්බන්ධ වන අනිවාර්ය අංගයකි. ආගමත් මෙසේමැයි! එය පාසැල් වල විෂය නිර්දේශයෙන් ඉවත් කළද, ආගම් වල ඇති හර පද්ධතීන් ප්‍රශ්න කරන ශාස්ත්‍රීය සංවාද මාධ්‍ය තුල ඇතිවුවද, එය සමාජයෙන් ඉවත් වේ යයි බියක් ඇතිකරගත යුතු නැත.

කොටින්ම කියතොත්, සමාජයක ආගමට සහ සුරාවට එකම සැළකීම ලබා දිය යුතු ය. මේ දෙකම සමාජයෙන් සම්පූර්ණයෙන් ඉවත් කළ නොහැක. එසේ බලෙන් ඉවත් කිරීමට යාම නිසා භයානක ප්‍රතිඵල අත්වේ. මීට අවුරුදු අසූවකට පමණ පෙර ඇමරිකා එක්සත් ජනපදය හා තවත් බටහිර රටවල් කිහිපයක් සුරාව සම්පූරනයෙන්ම නීති විරෝධී කිරීම නිසා ඇතිවූ තත්වය අපි දනිමු. එමෙන්ම චීනය හා රුසියාව ආගම බලෙන් සමාජයෙන් ඉවත් කිරීමට ගත් වෑයමටත් අත්වූයේත්, ඇමරිකාව සුරාව සපුරා තහනම් කොට සමාජයෙන් ඉවත් කිරීමට ගත් වෑයමට අත් වූ ප්‍රතිඵලයමය.

සංස්කෘතියක නොයෙකුත් රසවත් සෞන්දර්යාත්මක/ අධ්‍යාත්මික  පැතිකඩවල් ඇතිවීමට සුරාව මෙන්ම ආගම නිසාද දායකත්වයක් ලැබේ. ආශ්චර්යමත් සංගීත, කලා හා ශාස්ත්‍රීය නිර්මාණ බොහොමයක් බිහිව ඇත්තේ එක්කෝ සුරාවෙන්, එක්කෝ ආගමින්, නැතහොත් මේ දෙකෙන්ම “මත් වූ” මිනිසුන්ගෙනි.

ඔබ සුරාව සමාජයෙන් ඉවත් කිරීමට සපුරා විරුද්ධ පුද්ගලයෙකු යයි සිතමු. එසේ වූවද සුරාවේ ආදීනව ගැන කතාකරන සංවිධාන සහ වැඩමුලු නොතිබිය යුතු යැයිද, ඒ ගැන සමාජය තුල කතිකාවක් ඇතිවිය යුතු නැතැයිද කියා ඔබ සිතන්නේ නැහැ නොවේද? එමෙන්ම, ආගම සාමාජයෙන් ඉවත් නොකළ යුතු දෙයක් යැයි ඔබ සිතන්නේ නම්, ආගමට විරුද්ධව ඇතිවෙන සංවාද ගැනත් කිව යුත්තේ ඔය ටික මැයි! සුරාවට ඇබ්බැහි නොවූ මිනිසුන් රාශියක් රටකට අවශ්‍යවන්නේ යම්සේද, ආගමකට ඇබ්බැහි නොවූ මිනිසුන්ද ස්වල්පයක්වත් රටක පැවත්ම සඳහා අවශ්‍යයි.  මේ මිනිසුන් ස්වල්පය පවත්වාගැනීම වෙනුවෙන් කරන සංවාද ගැන බිය නොවන්න.

ලිව්වේ – රිටිගල ජයසේන

සංස්කරණය – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in ඓහිකත්වය (secularism), කාලීන, දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s