“බටහිර” විද්‍යාව සහ පරිසර විනාශය

නලින් ද සිල්වා මැතිතුමාට අනුව බටහිර විද්‍යාව තුළින් පරිසරය විනාශ වීම හැර කිසිදිනෙක හොඳක් සිදු නො වේ. හේතු නොදක්වාම “ඊනියා” හරිත විප්ලවය, කාබනික ගොවිතැන, විකල්ප වෙදකම් යනාදිය ද “හරි යන්නෙ නැතිබව” එතුමා පවසයි. අපගේ පුරාණ කර්මාන්ත හා ගොවිතැන විසඳුම බවද එතුමා පවසයි. අපගේ පුරාණ කර්මාන්ත හා ගොවිතැන මගින් පරිසරය විනාශ නොවුනේ, ඒවා හරහා පරිසරයට හානි කිරීමට තරම් පෙරදිග සංවර්ධනය වීමට පෙර, බටහිර තුළ කාර්මික විප්ලවය සිදුවීම නිසා නොවේ ද? කාර්මික විප්ලවය ආසියාව ආශ්‍රිතව සිදු නොවුනේ එතුමා ඔය කියන සංකල්පමය වෙනස නිසාද නැතහොත් වෙනත් පාරිසරික සාධක නිසාද? හැම දෙයකම වරද “බටහිර” හා “ක්‍රිස්තියානිය” පිට පැටවීමට බලාසිටින චින්තනයකින් ලෝකය පිලිබඳව හරි වැටහීමක් ගත හැකිද? කොටින්ම කියතොත් මේ චින්තනයට අනුව අතීත “සිංහල-බෞද්ධ” සංස්කෘතිය තුල අබමල් රේණුවක වත් වරදක් තිබී නැත. සියලු වර්තමාන වැරදි වලට හේතුව සුද්දා පැමින “බටහිර ක්‍රිස්තියානිය” හරහා අපට කෙලවීම ය.

හේන් ගොවිතැන පරිසර හිතවාදී නොවේ. අවුරුදු දහස් ගනනක් පැරණි ගස් කපා, කැලය එලි කොට වනාන්තරය නිසා සරු වූ පොලවේ බෝග සිටුවීම හේන් ගොවිතැන යි. මෙම සරු පොලවේ වැවෙන බෝග ඉවත් කරගැනීම මිස පොහොර යෙදීමක් සිදු නොවේ. හේන නිසරු වන විට එය අත්හැර දමා කැලයේ වෙනත් තැනක් එලෙසම එලි කෙරේ. අත්හැර දැමූ හේනේ නැවත සෑහෙන කලකට මහ ගස් නොවැවේ. කුඩා පඳුරු සහ තෘණ වර්ග පමනක් වැවේ. පරිසරය කෙමෙන් වෙනස් වේ. කාලාන්තරයකට පසු බෝග වැවීමට නුසුදුසූ තෘණ භූමියක් බවට පත්වේ.වැසි වානාන්තර ක්‍රමයෙන් නිසරු තෘණ භූමි බවට පත්වීම මෙමගින් සිදුවේ.

එනමුත් හේන් ගොවිතැන හරහා පරිසරය විනාශවීමට නම් එය ආශ්‍රිතව ජීවත්වන ශිෂ්ටාචාරය වනාන්තරයට වඩා වේගයෙන් වර්ධනය විය යුතු ය. ඉපැරනි ඉන්කා සහ මායා ශිෂ්ටාචාර මෙසේ වැසිවාන්තර සියතින් විනාශකරගත් නිසා සරු භුමි නැතිවී වඳවී ගිය බවට මතයක් වේ. ලංකාවේ “හෝටන් තැන්න” (මහ එලිය) තෘණ භූමිය ද ස්වභාවිකව ඇතිවූවක් නොවන බව සඳහන් ය. ඉපැරනි මානවයින් (බලංගොඩ මානවයා) සතුන් අල්ලා ගැනීම සඳහා වනාන්තරය ගිනි ලෑමෙන් මෙම භූමිය නිර්මාණය වූ බව කියැවේ. බලංගොඩ මානවයා දන්නා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කුමක්ද? ලෝකයේ කොයි කොන සිටියත්, පන කෙන්ද රැකගැනීම සඳහා පරිසරය සමග එකම ආකාරයකට ඔට්ටු වූ එකම සතුන්ය අපි. ඔය කියනා “බටහිර/පෙරදිග” බෙදීම සම්පූර්නයෙන්ම දෙශපාලනික ය.

අනවශ්‍ය ලෙස සම්පත් පරිභෝජනය කිරීම සහ සමාජය තුල පරිභෝජනය කෘතිමව ඇතිකිරීමේ වෙලඳ ආර්ථිකය හා එම හේතුව නිසාම ඇතිවන සම්පත් බෙදීයාමේ විෂමතා, අධික ලෙස ජනගහන වර්ධනය රටක ජනජීවිතයට සහ පරිසරයට හානි කරන ප්‍රධාන හේතු ලෙස මම දකිමි. නලින් ද මීට සමාන මතයක සිටිනි බව පෙනේ. වෙනස ඇත්තේ ඔහු මේ සියල්ලේම වරද බටහිර චින්තනය හා ඒ තුළින් පමණක් බිහිවී ඇතැයි ඔහු කියන නවීන විද්‍යාවේ ගිනුමට බැර කිරීමයි. මේ සම්බන්දව මාගේ මතය පැහැදිලි කිරීමට නම් වෙනම ලිපියක් අවශ්‍ය වේ. කෙටියෙන් සඳහන් කරතොත්, ලොව සියලු සංස්කෘතීන්ට එකිනෙකාගෙන් එල්ල වෙන බලපෑම් නවතා ඔවුන්ගේම චින්තනය මත පදනම් වූ දැනුම් පද්ධතියක් සමග දියුනු වීටමට ඉඩ හැරියේ නම් ඒ සමාජයන් සියල්ල අඩු-වැඩි කාලසීමවකට පසු අප දැන් තිබෙන තැනට එන බව මගේ හැඟීමයි. ඒම චිත්ත පරීක්ෂණයේ ප්‍රතිඵලය අමතක කරමු. දැනට තිබෙන තත්ත්ව යටතේ කිසිම සමාජයකට වෙනත් සංස්කෘතීන්ගෙන් එල්ලවෙන බලපෑම් නවතා හුදකලා විය නොහැක. මෙම තත්ත්වයන් යටතේ නලින්ගේ චින්තනය සමග දිවෙන සමාජයක් කිසිදාක ඇති නොවේ. නලින්ගේ මතවාද තුල කිසියම් ගත යුත්තක් වේද ඒ ටිකද, බටහිර සමග ඇති වෛරී ස්වභාවය, අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය කරන “සිංහල-බෞද්ධ” ගෝත්‍රවාදී ලේබලය වැනි කරුනු නිසා ඉතා සුලු පිරිසකට පමණක් සීමාවේ.

විද්‍යාව තුලින් අප ලැබූ සම්පත් රිසිසේ පරිභෝජනය කිරිමේ හැකියාව කිසිදු පාලනයකින් තොරව භාවිතා කිරීම නිසා පරිසරයට වන හානි දැන් පරිණත සමාජයන් හොඳින් තෙරුම් ගෙන ඇත. පරිසරය සුරකිමින් විද්‍යාත්මක දියුණුව මානව සමාජයේ යහපතට භාවිතා කරන්නේ කෙසේද යන්න අද විද්‍යාත්මක කතිකාවේ ප්‍රධාන මාතෘකාව යි. ළිදේ වැටුන මිනිසා ගොඩ විය යුත්තේද ළිං කටිනි.

අල්පේච්ඡතාව හා අනවශ්‍ය ඇලීම් බැඳිම් වලින් තොර වූ දිවිපැවත්ම ප්‍රචලිත කිරීම අපේ චින්තනය යටතේ ලොවේ දැනුම් පද්ධතියට අපට දිය හැකි වැදගත් දායාදයකි. මේ සඳහා කලයුත්තේ විද්‍යාත්මක දැනුමට අපේ දැනුම් එක්කිරීම මිස, විද්‍යාව සම්පූර්නයෙන්ම අල්ලා විසිකිරීම නොවේ.

මාගේ මේ විවරණද බටහිර මතයන් තුල සිටිමින් බිහිකර ඇති නිසා ඔය විවරණ සියල්ල ද වලංගු වන්නේ බටහිර දැනුම තුල පමණක් බව දැන් නලින් අනුගාමිකයින් අනිවාර්යයෙනම පවසනු ඇත. බයිබලය වචනාර්තයෙන් ගන්නා ආගමික මූලධර්මවාදින් සමගද තර්ක කිරීමෙන් වැඩක් නැත. මොකා මොනවා කිව්වත් මෙකේ ඇත්තේ දෙවියන්ගේ සත්‍ය වචනය බැවින් පෘථිවිය යනු මේ ළඟකදී මැවූවක් මිස අවුරුදු බිලියන ගනනක් පැවතුන දෙයක් බව ඔවුන් පිලි නොගනී. එපරිද්දෙන්ම චක්‍රීය චින්තන මූලධර්මවාදින්ට ද කාලය හා අවකාශය සම්බන්ධ අපගේ සියලු දැනීම් “බටහිර ක්‍රිස්තියානි” සාපේක්ෂ දැනුම් වේ. හැබයි කාරෙකක් භාවිතා කරන මෙවැනි චක්‍රීය චින්තන මූලධර්මවාදියෙක්ට ගමනක් යන්නට වුවමනා වූ විට, සිය කලිසම් සාක්කුවට අතයවා, එහි වාස්තවික යථාර්තය තුල ඇති යතුර සොයා, කාරය පණගන්වා, සිය මනසතුල ඇති කාලය හා අවකාශය පිලිබඳ “බටහිර ක්‍රිස්තියානි” සිතියමේ අනුසාරයෙන් ගෙදර සිට ගමනාන්තය දක්වා ගොස්, වැඩේ කරගෙන ආපසු එයි. එසේ පැමිණ නැවත පරිගනකය ඉදිරිපිට වාඩිවී, “බටහිර” විද්‍යාවෙන් නිර්මාණය කළ සියලු තාක්ෂනය යොදා ගනිමින්, බටහිර විද්‍යාව යකෙකු බව පෙන්වන බ්ලොග් ලියයි.

මාගෙ පෞද්ගලික මතවාදය ගැන කියතොත්, දැනුම යනු සාපේක්ෂතාවයක් බව මම පිලිගනිම්. එමෙනම දැනුම එය නිර්මාණය කල සංස්කෘතියේ චින්තනයට අනුබද්ධ බව ද මම පිළිගනිමි. එය මගේ ලෝදැක්ම යි. මෙතෙක් දුරට නලින් හා මා එකඟය. එහෙත් දැනුම සාපේක්ෂ වූ බව පිළිගත් පමනින් “සියලු දැනුම් පද්ධති සමානය” යනුවෙන්ද පිලිගැනීම ගම්‍ය නොවේ. විස වීමකින් තොරව බුදින්නට හැකි සියලු දෙයට අපි “කෑම” යනුවෙන් පැවසුවද, හොඳ හා නරක කෑම ඇති බවට විවාදයක් නැහැ නේද? එපරිද්දෙන්ම “සත්‍ය” හා “අසත්‍ය” යන මිනුම් දන්ඩ නොව “හොඳ” හා “නරක” ලෙස අපට දැනුම් පද්ධති බෙදා ගතහැක. මා සිතන පරිදි තවමත් නලින් හා මා එකඟය.”බටහිර” දැනුම උන්ට හොඳය අපිට නරකය. යනුවෙන් සමහර නලින් අනුගාමිකයෝ පවසති. “බටහිර” දැනුමෙන් පරිසරය විනාශ වන බැවින් එය කාටත් නරකය යනුවෙන් සමහරු පවසති. මේ සම්බන්ධ චින්තන පර්ශදයේ ස්ථාවරය මා හරියට දන්නේ නැත. කෙසේ වෙතන් ‘ජාතික චින්තනය’ හා මම මතවාදීව වෙනස් වන්නේ මේ අන්තයටම පැමිණි විටය. වාස්තවික සත්‍යයක පැවතීම ගැන විස්වාශ කරන්නන් හා විද්‍යාව යනු සත්‍ය ගවේශනයක් ලෙස දකින්නන් ‘ජාතික චින්තනය’ හා මතවාදීව වෙනස් වන්නේ නලින් කට ඇරිය මොහොතේ සිට ය. කෙසේ වුවත් ලෝක දැක්මෙන් මට වඩා වෙනස් මත දරන්නන් සමග අත්වැල් බැඳ ක්‍රියාත්මක වීමට මට සිදුව ඇත්තේ ඔවුන් ගේ මතවලින් කිසිවෙකුට නුදුරු අනාගතයේ හානියක් නොවෙතැයි සිතෙන නිසා හා ‘ජාතික චින්තනය’ හරහා ඇතිවෙන අනවශ්‍ය “උන්” සහ “අපි” යන බෙදීම නුදුරු අනාගතයේ දීම ජාතියට යලිත් වින කල හැකි නිසාය.

සංස්කෘතිය යනු තව දුරටත් කිසියම් භූමි ප්‍රදේශයකට සීමා වන්නක් නොවේ. එමෙන්ම සංස්කෘතීන් එකිනෙක හා සම්මිශ්‍රණය වීමෙන් නවතම සංස්කෘතීන් බිහිවේ. මෙය අපට වැළැක්විය හැක්කක් නොවේ. ඇතැම් විට කොහෙත්ම පෑහෙන්නේ යයි නොසිතෙන මතවාද ඇති සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්, අවස්ථානුකූලව සිය මතවාද හා හර පද්ධතීන් එහා මෙහා කරගනිමින්, හෝ සමහරවිට සම්පූර්නයෙන්ම අත්හැර දමමින් එකිනෙකා හා යාලු මිත්‍රකම් පවත්වති, විවාහ වලට එලඹෙති. විශේෂ සංස්කෘතියක් හා බද්ධවූ දැනුම් පද්ධතියක් හුදෙකලාව වර්ධනය කිරීම ප්‍රායොගික නොවන්නේ එබැවිනි. සංස්කෘතීන් පරිණාමය වෙන විටදී දැනුම ද පරිණාමය විය යුතු ය.

දේශපාලනික හේතූන් මත නලින් ගේ කන්ඩායම “බටහිර” යන ලේබලය ඇලවීමට උත්සාහකල ද, නූතන විද්‍යාව යනු මා ඉහත කී ආකාරයේ සංස්කෘතිකව පරිණාමය වූ දැනුම පද්ධතියකි. විද්‍යාව හා බටහිර යුරෝපය අතර දැන් අත්තේ ඓතිහාසික සබඳතාවයක් පමණි. කිසිම ආගමකට හෝ සංස්කෘතියකට නූතන විද්‍යාව ඍජු තර්ජණයක් නොකරයි. නලින්ගේ කන්ඩායම අමාරුවෙන් නූතන විද්‍යාව හා අපගේ සංස්කෘතිය අතර ගැටීමක් සෑදීමට උත්සාහ කරන ආකාරයටම ක්‍රියාකරන විද්‍යා විරෝධීන්ගේ කන්ඩායම් ලෝකයේ නොයෙකුත් රටවල ඇත. ඩාවින්ගේ පරිණාම වාදයට විරුද්ධවන ක්‍රිස්තියානු, කතෝලික හා මුස්ලිම් මූලධර්ම වාදින් මේ අතර ප්‍රමුඛ වේ. ඒ වාගෙම, පරිණාමවාදය සත්‍යවූ (සත්‍යය යන වදන මෙහි යොදා ඇත්තේ සාපේක්ශ අරුතකිනි) පමනින් දෙවින්යන්ගෙ මැවුම් වාදය නිශ්ප්‍රභා නොවෙන බව තේරුම් ගැනීමට සමහර එබ්‍රහමික ආගමික නායකයන් සමත්ව ඇත. අවශ්‍ය වන්නේ සිය ආගමික මතවාද තරමක් ‘පරිණාමනය’ කරගෙන විශ්වයේ ‘නියමයන්’ පමනක් දෙවියන් විසින් මැවූ බව කීමයි. මේ ආකරයට වෙනස්වන දැනුම් පද්ධතීන් සමග සංස්කෘතීන් වෙනස් වෙමින් යන, ලෝකය යන විශාල තනි රටක අපි ජීවත් වෙමු. දෙශපාලනමය වශයෙන් රටවල් වෙන්ව පැවතිය ද, සංස්කෘතීන් තවදුරටත් දෙශ සීමාවලට කොටුවූ (හෝ කොටුකල හැකි) දෙයක් නොවේ.

අවසාන විග්‍රහයේදී නලින් හා මා එකඟ නොවන්නේ ඇයි? පලමුකොටම නූතන විද්‍යාව යනු ‘බටහිර’ බූදලයක් යයි මා නොසිතන නිසාය, දෙවනුව ‘උන්’ සහ ‘අපි’ ලෙස පැහැදිලිව බෙදීමට තරම් සංස්කෘතිය සදාතනිකව වෙනස් නොවන දෙයක් නොවන බව පැහැදිලි නිසාය. තෙවනුව, නූතන විද්‍යාව ඔස්සේ සිදුවන පරිසර හානිය නැවැත්විට හැකි එකම මග, පරිසර හානියට පිලියම් ලෙස විද්‍යාව තුලින් මතුවන විසඳුම් හරහා විද්‍යාව පරිවර්තනයකට ලක්කිරීම බව සිතන නිසා ය. මුලු ලංකාවම ජාතික චින්තනය හරහා වෙනස් මගක් ගත්තත්, නලින්ට සිය ‘සිංහල-බෞද්ධ’ චින්තනය ලෝකයට මාර්කට් කල නොහැක (කරන්නට නම් මුලින්ම ඔය ගෝත්‍රවාදි ලේබල ගැලවිය යුතුය). නූතන විද්‍යාව හරහා ලෝකය විනාශවේ යයි නලින් අවංකවම සිතනවානම් (ඔහු ඇත්තටම එසේ නොසිතන බවයි මගේ හැඟීම) ලංකාව තුළ වුවද ඉතා සීමිත පිරිසකට පමනක් ගෝචර වන ‘සිංහල බෞද්ධ ජාතික චින්තනය’ හරහා ලෝකය ගලවාගත නොහැකි බව ඔහුට වැටහිය යුතුය. ලෝකය විනාශ වූ විට ලංකාව පමණක් ඉතුරු නොවන බවද ඔහුට වැටහිය යුතුය. මේවා නොවැටහීමට තරම් නලින් අඳ බාලයෙක් නොවේ. ඇත්තම කියනවානම් ඔහු ලංකාවේ බිහිවූ විද්වතුන් අතර ප්‍රමුඛයෙක් ලෙස මම සිතමි. ඔහුගේ මේ සියලු ප්‍රවාද දේශපාලන අරමුණකින් පමණක් බිහිවෙන බව මා සිතන්නේ ඒ නිසාය.

අලුත් දැනුමක් ගොඩනැගීමට නම් ඔයතරම පැල් බැඳගෙන “බටහිරට” හා “ක්‍රිස්තියානියට” තැලීමට අවශ්‍ය නො වේ. ඊට වඩා සංයමකින් යුතුව “උන් සහ අපි” යන බෙදීම පදනම් කර නොගෙන මේ දෙය කිරීමට හැකි නම්, මේ අදහස් වටා මීට වඩා පිරිසක් එකතු වනු ඇත. නිර්මාණශීලි තැරුණයන් රාශියක් නලින් වටා එකතුවී ඇතිබව නම් සැබෑය. එනමුත් විද්‍යාවට පදනම් වී ඇති දර්ශනය සහ නලින් ගේ දර්ශනය අතර ඇති වෙනස ගැන මෙලෝ හසරක් නොදන්නා, කුමක් හෝ හීනමානයකින් පෙලෙන, දූපත් මානසිකත්වයක් ඇති, ගෝත්‍ර වාදී, පටු දේශපාලන අරමුණු සහිත භයානක පිරිසක්ද මේ අතර වේ.

ලිව්වේ – රිටිගල ජයසේන

Advertisements
This entry was posted in දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to “බටහිර” විද්‍යාව සහ පරිසර විනාශය

  1. Sanjaya says:

    මෙම විවෙචනය තුල නලින් ද සිල්වා, සිංහල බෞද්ධ චින්තනය, චින්තන පර්ෂදය ආදි වචන අඩංගු වුවද ඒ හා සම්බන්ධ අදහස්, මතවාද හා ප්‍රවාද එතරම් දුරකට අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ.
    උදා(උපුටා ගැනීම්):
    1. මේ චින්තනයට අනුව අතීත “සිංහල-බෞද්ධ” සංස්කෘතිය තුල අබමල් රේණුවක වත් වරදක් තිබී නැත
    2.හේතු නොදක්වාම “ඊනියා” හරිත විප්ලවය, කාබනික ගොවිතැන, විකල්ප වෙදකම් යනාදිය ද “හරි යන්නෙ නැතිබව” එතුමා පවසයි
    3.“සත්‍ය” හා “අසත්‍ය” යන මිනුම් දන්ඩ නොව “හොඳ” හා “නරක” ලෙස අපට දැනුම් පද්ධති බෙදා ගතහැක. මා සිතන පරිදි තවමත් නලින් හා මා එකඟය.

    විවෙචනය කිරීමට උත්සාහ කරන අදහස් වැරදි තේරුම්ගැනීමක් නිසා ලිපියෙහි පදනමම සාවද්‍ය වේ. සංවාදයක් ඇති කිරීමට නම් මීට වඩා පූර්ව අධ්‍යනයක් මත පදනම්ව ලිපි ලියන්නේ නම් මැනවි. ජාතික චින්තන මතවාද සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය (දැනුම පිලිබඳ අපේ දැනුම ) කනින් කොනින් අතගා බලා විවේචනය කල හැක්කක් නොවේ. එය පුලුල් සංගත පද්ධතියකි. එබැවින් සැබැ අවශ්‍යතාව සංවාදයක් නම් පළමුව අදාල ග්‍රන්ථ හා ලිපි පරිශීලනය කිරීමට ආරාධනා කරමි.

    Like

  2. මෙම ලිපිය තුළින් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර ඇත්තේ පරිසර විනාශය සදහා හේතුව “බටහිර” විද්‍යාව යැයි මහාචාර්ය නලින් ද සිල්වා ඉදිරිපත් කරන ප්‍රකාශයයි. එතුමාගේ ප්‍රකාශය නිවැරදි නම් හේන් ගොවිතැන හරහා වන වන විනාශය පරිසර විනාශයක් නොවේ. නමුත්, හේන් ගොවිතැන හරහා වන වනාන්තර විනාශය පරිසර විනාශයක් ලෙස ගැනෙනා බැවින් මහාචාර්ය තුමාගේ ප්‍රකාශය නිවැරදි නොවේ.

    Like

  3. Mayya says:

    මේ ලිපියෙන් නලීන් මහතාගේ සංකල්ප වැරදි ලෙස ඉදිරිපත් කිරීමක් මට හැගී යයි… ඒ මහතා බටහිර විද්‍යාව හා පරිසර විනාශය අතර සම්භන්ධය දකින්නේ පරිබෝජන්වාදයා අතින් මිස ඔබ ඉදිරිපත් කරන ආකරයෙන් නොවේය. පරිසර ප්‍රශ්ණයට වඩා නිවැරදි විසදුම පරිබොජනය අඩු කීරීම මිස, ‘සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා සංතෘප්ත කල යුතු යැයි ‘ තීරනය කරන , දේචියන් වහන්සේ සියලු දෙය මිනිසාගේ පරිබෝජනයට නිර්මානය කල ඇතැයි ‘ පවසන විද්‍යාවෙන් නොවන බව මට තේරුම් ගොස් ඇති නලීන් ගේ තර්කයි. ඒම නිසා ඔබ පවසන හේතු දැක්වීමකින් තොරව, චින්තන ක්‍රමයේ දුර්වල තාව මත පිහිටා නලීන් බටහිර විවේචනය කරයි…

    අනිත් අතට බටහිර සම්පූර්ණයෙන් ප්‍රත්ක්ක්ශේප කල යුතු බවක් නලීන මහතා කියන්නේ නැත.ඒය ඔබගේ වැරදි වැටහීමකි. ඒ වෙනුවට ඔහු විවිද දැනුම් පද්ධති වලින් සිංහල බෞද්ධ දැනුම් පද්ධතිය පෝශනය විය යුතු බව ඔහු තර්කයක් ලෙස පිලි ගනී. ඒ පිලිබද ව ඔහුගේ ක්‍රමවේදයන් නම් බොහෝ විවාද ශීලී බව සත්‍යකි

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s