බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාරය කිරීම

සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගේ පවුල් වල ඉතා තදින් මුල්බැස ගෙන ඇති සහ අපේ පාරම්පරික “ගුණධර්මයක්” ලෙස ජනමාධ්‍ය තුලින් හා පාසැල් වලදී උත්කර්ෂවයට නැංවෙන “වැඩිහිටියන්ට දණ්ඩ නමස්කාර කිරීම” යන “චාරිත්‍රය” අරභයා ඇති වූ වත්පොත් සංවාදයක දී මා මෙසේ පවසා සිටියෙමි.

කැමති ඕනෑම අයෙක් තමන් කැමති ඕනෑම අයෙකුට වැන්දාට කමක් නැත. නමුත්, මෙය තරමක් පසුගාමී, ගෝත්‍රික (නූතන ලෝකය විසින් අතහැර දැමූ) චාරිත්‍රයක් නිසා ප්‍රසිද්ධියේ නොකරනවානම් වඩා හොඳය. ඒවගේම, මා කාගෙන්වත් වැඳුම් බලාපොරොත්තු නොවෙනවා පමණක් නොව කාටවත් වඳින්නේ ද නැත. මගේ දරුවන් ද අවුරුදු 18 පසුවී ඔවුන්ම තීරණය කොට කාට හෝ වැන්දොත් මිස මාගේ බාරයේ සිටින තාක් කල් කිසිවකුට වැඳීමට මම ඉඩදෙන්නේ ද නැත. කිසිවෙකු මාගෙ දරුවන්ගෙන් බලෙන් වැඳුම් ලබා ගැනීමට උත්සාහ කළහොත් හෝ කිසිවකුට වැඳීමට බලපෑම් කලහොත්, ළමා අපචාරය යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගනිමි.

“වැඩිහිටියන්ට වැඳීම” යනුවෙන් අප විසින් අද නූතන ලෝකයට තරමක් හෝ පෑහෙන විදිහට වෙනස් කරගෙන තියෙන, සිංහලබෞද්ධ චාරිත්‍රයක් ලෙස ඉහලින්ම තියාගෙන ඉන්න – ඒ වගේම – අපේ දරුවන්ට බලෙන්ම වාගේ පුරුදු කරන මෙම සිරිතේ මූලයන් සහ මෙම සිරිත මීට අවුරුදු සිය ගාණකට ඉහත ක්‍රියාත්මක වූ ආකාරය විමසා බැලුවොත් අපට මේ සිරිතේ සැබෑ අර්ථය තේරුම් ගැනීමට පුලුවන.

පලමු කාරණය නම්, මෙකී දණ්ඩ නමස්කාර සිරිත කොහොමටවත් සිංහලබෞද්ධ සංස්කෘතියට පමණක් සීමා වූවක් නොවන බවයි. බොහෝ නූතන සංස්කෘතීන් විසින් වර්තමානයේ අතැහැර දමා තිබුනත් ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ කිසියම් ආකාරයක “දණ්ඩ නමස්කාර” සිරිතක් අතීතයේ පැවත ඇත. වර්තමාන සිංහලබෞද්ධ සංස්කෘතිය වනාහී මෙම සිරිත තවමත් පවත්වාගෙන යන සංස්කෘතීන් සුළු ගණනින් එකකි.

පොඩි වෙනසකට ඇත්තේ වර්තමානයේ අප විසින් මෙම සිරිතේ අතීත අරුත පොඩ්ඩක් වෙනස් කරගෙන “වැඩිහිටියන්ට” වැඳීම හා “පූජ්‍ය පක්ෂයට” වැඳීම යන ආකාරයට විවරණය කිරීමට උත්සාහ කිරීමය. නමුත් මෙහි සැබෑ අර්ථය නම් “බලය ඇති ගෝත්‍රිකයාට යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීම” යි.

අප විසින් මෙම සිරිත “වැඩිහිටියන්ට වැඳීම” යනුවෙන් නම් කර තිබුණ ද බොහෝවිට “වැඩිහිටි බව” පමණක් වැඳුම් ලැබීමට ප්‍රමාණවත් කරුණක් වන්නේ නැත. බලය ඇත්තෙක් වීම සහ “කුලයෙන්” උසස් වීම වර්තමානයේ වුවද වැදුම් ලැබීම පිණිස අත්‍යවශ්‍ය කරුණකි. “කුලය” යනුවෙන් මෙහි දී අදහස් කරනුයේ සමාජ තත්ත්වයයි. එනම්, වැදුම් ලැබීමේ සාධකය ලෙස වැඩි භූමිකාවක් දරන්නේ වයස නොව බලයයි. ගෝත්‍රික නායකයා හෙවත් රජු පූජ්‍ය පක්ෂයෙන් හැර අනෙක් හැමෝගෙන්ම වැඳුම් ලැබීම අතීතයේදී සිදු විය. ඇතැම් විට, රජුගේ වැඩිමහල් ඥාතීහු පවා රජුට වැන්දෝය. එමෙන්ම ඇමතිහු, නින්දගම් හිමිහු ඔවුන්ගේ නින්දගම් වාසි කුල හීනයන්ගෙන් අනිවාර්යයෙන්ම වැඳුම් ලැබූහ. සැමියා බිරිඳගෙන් වැඳුම්  ලැබුවේ ය. අදටත් ලංකාවේ ඇතැම් පළාත් වල ඇතැම් විවාහෝත්සව වලදී මනමාලිය ලවා මනමාලයාට වැන්ඳවීම සිදුවේ.

අපි මේ සිරිත් ක්‍රමයෙන් අතහරිමින් සිටින්නෙමු. නමුත් මේ අතහැරීම එක්වරම සිදුකිරීමට සමාජය ඉඩ නොදෙන බැවින් අපි දැන් “දෙමාපියන්ට පමණක් වඳිමු”, “ගුරුවරුන්ට පමණක් වඳිමු” යනා දී විවරණ වලට අමාරුවෙන් එළඹෙන්න උත්සාහ කරමින් සිටී. උදාහරණයක් ලෙස, ඇතැම් මූලධර්මවාදී සිංහලබෞද්ධයන් පවා බිරිඳ සැමියාට ප්‍රසිද්ධියේ දනගසා වැඳිය යුතු යැයි සිතන්නේ නැත. නමුත් නූතනත්වයට බොහෝදුරට අනුගත වූ සිංහලබෞද්ධයන් වුවත් තවමත් “දරුවන් දෙමාපියට හා ගුරුවරුන්ට ප්‍රසිද්ධ සභාවක දණගසා වැඳිය යුතුයි” යන මතය සමග ලොකු අවුලක් නැත. මින් පැහැදිලි වෙන කරුණ නම් නූතනත්වය විසින් අතහරින්නට යෝජනාකරන ගෝත්‍රික සිරිතක් එක්වරම අත් හැරගත නොහැකි වීමේ සංකූලතාවයෙන් අප පෙලෙන බවයි.

මාගේ දරුවන්ට මම පෞද්ගලිකව දණ්ඩ නමස්කාර සිරිත හුරු නොකලත්, පාසලෙන් හුරු කිරීම නිසා සහ නෑදෑ හිත-මිතුරන්ගේ සම වයස් කාණ්ඩ වල දරුවන්ගේ ඇසුර නිසා ඔවුන් ද ඇතැම් අවස්ථාවල මේ සිරිත නොකලොත් අපහසුතා වලට පත්වීමට ඉඩ ඇත. මාගේ අදහස් තේරුම් ගත හැකි යැයි සිතන මිතුරන්ට මා විසින් මේ ගැන පවසා ඇති නිසා ඔවුන්ගේ පවුල් තුල මේ සිරිත තදින්ම තිබුනත් මා මෙම සිරිත නොකරන බව දන්නා බැවින් ඒ අවස්ථා වලින් මා සහ මගේ දරුවන් “මුදා හැරීමට” තරම් ඔවුන් කාරුණික වේ. නමුත් සිංහලබෞද්ධ අධිපතිවාදී මත දරන හා “වැඩිහිටියන් නැමඳීම” යනු අපේ සංස්කෘතියේ ලොකුම සංකේතය යැයි මූලධර්මවාදීව කල්පනා කරන ඇතැම් නෑදෑයන් හා මිතුරන් නිසා මා අපහසුතාවයට ලක්වන අවස්ථා ද නැත්තේම නොවේ. ඔවුන්ගේ හොඳ හිත පලුදු කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මුවින් නොබැන මගේ දරුවන් මේ දණ්ඩ නමස්කාර සිරිත කරනු බලා හිඳීමට මට සිදුව ඇත.

කෙසේ වෙතත්, මාගේ ඇතැම් මූලධර්මවාදී මිතුරන් විසින් “වැඩිහිටියන්ට” නැමදීම යනුවෙන් විවරණය කරන්නා වූ, නමුත් සත්‍ය වශයෙන්ම “බලය ඇති තැනට” වැදීමේ සිරිතේ සැබෑ ස්වභාවය ඉස්මතු වන අවස්ථා ද ඇත. මේ එවැනි අවස්ථාවක්:

දිනක් මම මගේ බිරිඳ, දරු දෙදෙනා, මගේ රියැදුරු ලෙස ඇතැම් විටෙක සේවය කරන වයස හැත්තෑවක් පමණ වන අසල්වාසියෙකු, සහ ගෙදර වැඩපල වලට උදව් දෙන අවුරුදු පනහක පමණ වයස ගැහැණු කෙනෙක් ද සමග කෙටි උවමනාවක් සඳහා මාගේ මූලධර්මවාදී මිතුරෙකු ගේ නිවසට ගොඩ වැදුනෝය. වැඩිහිටියන්ට නැමඳීම යනුවෙන් “සිරිතක්” පුරුදු නොකළද, සියලු පුද්ගලයන්ට තරාතිරම නොබලා, ගුණ යහපත්කම පමණක් බලා, අවශ්‍ය ගෞරවය ලබාදීම හා සමානාත්මතාවය යන සිරිත් මා විසින් මගේ දරුවන්ට හුරුකර ඇති බැවින් මගේ දරුවන් විසින් මගේ රියැදුරු හා ගෙදර අත් උදව් දෙන කාන්තාව අමතන්න්නේ “චන්ද්‍රපාල සීයා” හා “සමන්තා ඇන්ටි” (ඇත්ත නම් තරමක් වෙනස් කළෙමි) යනුවෙනි. එමෙන්ම ඔවුන් මේ දෙදෙනා සම්බන්ධව ක්‍රියා කරනුයේ ගෙදර අනෙකුත් වැඩිහිටියන් සම්බන්දව ක්‍රියාකරන ආකාරයට මැයි.

මෙම හමුවීමේ දී, ගෙදරින් පිටත් වෙන අවස්ථාවේ දී, මාගෙ මිතුරා සිය දරුවන් ලවා අමුත්තන්ගේ පාර්ශවයේ “වැඩිහිටියන්ට” වැන්දවීම සිදු කරනු ලැබීය. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම එකට අසුන්ගෙන සිටි අතර, ඇතිවූ කෙටි කතා බහේදී මා සමග ආ පුද්ගලයන් මාගේ කවුරුද යන්න මගේ මිතුරා දැනගත්තේය. වැඳීමේ නාඩගම පටන් ගත් මොහොතේ මා සහ මගේ බිරිඳගෙන් පටන්ගත් ඔහුගේ දරුවන් ඊලඟට “චන්ද්‍රපාල සීයා” වෙත යොමු විය. මෙහිදී මැදිහත්වූ මගේ මිතුරා “නෑ නෑ එයාට වඳින්න ඕනෙ නෑ. මෙයාට (කාන්තාව) වඳින්න ඕනෙත් නෑ. මේ මාමාට (මගේ බිරිඳගෙ මාමා) වඳින්නකො” යනුවෙන් වැඳිය යුතු ස්ථාන හා නොවැඳිය යුතු ස්ථාන පැහැදිලි කර දුන්නේය.

ආපසු ගෙදර යන අතර වාහනයේ දී මාගේ එවකට හය හැවිරිදි දියණිය “ඇයි තාත්ති ඒගොල්ලො චන්ද්‍රපාල සීයටයි, සමන්තා ඇන්ටිටයි වැන්දේ නැත්තෙ?” යනුවෙන් විමසීය. චන්ද්‍රපාල හා සමන්තා ඉදිරියේ දී මෙයට නිසි පිලිතුරක් දීමට මම අපොහොසත් විය. එසේවුවද, මාගේ මිතුරා ඔහුගේ දරුවන්ට උගන්වන්නේ “වැඩිහිටියන්ට ගරු කිරීම” හෝ සානුකම්පිත වීම හා සමානාත්මවාදී වීම නොවන බව නම් පැහැදිලිය. සමහරවිට “සමානාත්මතාවය” යනු සිංහලබෞද්ධ සංකල්පයක් නොවේ වන්නට ද පුලුවන.

ලිව්වේ – රිටිගල ජයසේන

Advertisements
This entry was posted in කාලීන, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

5 Responses to බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාරය කිරීම

  1. Vihan De Silva says:

    මාගේ අදහස මෙසේය,

    සාමාන්‍යයෙන් සිංහල සංස්කෘතියේ දණ්ඩ නමස්කාරය යන චාරිත්‍රය සිදු කෙරුණුයේ බලවත් හෝ නුවණැති යැයි සම්මත පුද්ගලයන් සඳහාය.කෙසේනමුත් දේශපාලඥයන් වැනි බලවත් යැයි සම්මත පුද්ගලයන් තම ගුරුවරුන්ට දණ්ඩ නමස්කාර කරනවා අපි දැක ඇත්තෙමු.දේශපාලඥයන් සැබැවින්ම පොදු ජනතාවගෙන් යැපෙන ඔවුන්ගේ සේවකයන් පිරිසක් වුවද රාජාණ්ඩු සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයට වඩා වැදගත් යැයි සම්මත සමාජයක දේශපාලඥයන් සිටුවරයන්ට හෝ රදළයන්ට සමානය.මෙය හුදු බලවතාට ගරු කිරීම උදෙසා කෙරෙන චාරිත්‍රයක් ලෙස කිව නොහැකි බව මාගේ මතයයි.මා දකින ආකාරයට දණ්ඩ නමස්කාරය කෙනෙක් තුළ තවත් කෙනෙක් හෝ වස්තුවක් ගැන ඇතිවන භක්තිය,ආදරය,ගරුත්වය,බිය වැනි හැඟීම් ඒත්තු ගන්වන්න යොදා ගන්නා එක්තරා කායික සංඥාවකි.මෙම සංඥාව සිංහල සංස්කෘතියට ආවේණික චාරිත්‍රයකි.මා සාමාන්‍යයෙන් දණ ගසා වඳින්නේ මා ගරු කරන පුද්ගලයන්ටය.එසේ විය යුතු බව මාගේ මතයයි.කෙසේනමුත් අප සිටින සමාජය තුළ එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තරමක් අපහසුය.මන්ද යත් කෙනෙකු වැඩිහිටියෙකු,ගුරුවරයෙකු හෝ පූජ්‍ය පක්ෂයේ කෙනෙකු වූ පමණින් ඔවුනට දණ්ඩ නමස්කාර කිරීම මෙම සමාජයේ පවතින සදාචාර රීතියක් වන නිසාය.

    Like

    • ඔව්, වැඩිමහලු පුද්ගලයින්ට, ගුරුවරුන්ට, පූජ්‍ය පක්ෂයට වැඳීම විලසිතාවක් ලෙස සියලුම සිංහල බෞද්ධ පුද්ගලයයින් අනුගමනය කරන බව ඇත්තයි. එතැනදී “බලය” යන සාධකය බල නොපාන බවද ඇත්තයි. කෙසේ නමුත් එය චාරිත්‍රයක් ලෙස හා තමන් ‘සිංහල බෞද්ධ’ සංස්කෘතිකාංගයට අනුගතව බව පෙන්වීමෙ ක්‍රමයක් ලෙස ප්‍රදර්ශනාතමකව භාවිතා වෙනවා. මේ චාරිත්‍රයේ ඒ පැත්ත ගැන මගේ ලිපියේ සාකච්ඡා වෙන්නේ නෑ.

      කෙසේ උනත් එයත් “සිංහල සංස්කෘතියට ආවේණික චාරිත්‍රයකි” යන්න නම් නිවැරදි නොවේ. පුරාණ භාරතයේ මෙන්ම වර්තමාන ඉන්දියාවේද බොහෝ ජන කොටස් මේ චාරිත්‍රය මේ ආකාරයටම තවමත් ක්‍රියාත්මක කරන බව මගේ වැටහීමයි. මා වැරදි නම් නිවැරදි කරන්න.

      Like

      • මා දන්නා අයුරින් ඉන්දියාවේ බොහෝ ජනවාර්ගික සංස්කෘති(විශෙෂයෙන්ම දමිළ සහ ඉන්දු-ආර්යානු ජනවාර්ගික සංස්කෘති ) වල නමස්කාර චාරිත්‍ර ඇතත් දණ්ඩ නමස්කාරය හෙවත් දණහිස්,දෙපා සහ දෑත් බිම මත පතිත වන ආකාරයට කෙරෙන චාරිත්‍ර නැත.සමහරවිට මම වැරදි වන්නට පුළුවන.

        //කෙසේ නමුත් එය චාරිත්‍රයක් ලෙස හා තමන් ‘සිංහල බෞද්ධ’ සංස්කෘතිකාංගයට අනුගතව බව පෙන්වීමෙ ක්‍රමයක් ලෙස ප්‍රදර්ශනාතමකව භාවිතා වෙනවා. //

        බොහෝ දෙනෙකුට මෙලෙස තමන් සිංහල සංස්කෘතියට අනුගතව කටයුතු කරන බව පෙන්වන්නට වී ඇත්තේ සමාජයෙන් ලැබෙන අවහාසයෙන් හෝ නින්දාවෙන් ගැලවීමටය.එසේ නැතහොත් ඔවුන් සමාජයෙන් කොන් වීමට බොහෝ ඉඩකඩ තිබේ.

        Like

  2. shirantha chamara says:

    මෙතන අනවශ්‍ය සාධාරණීකරණයක් තියෙනවා නේද? අර ‘සමන්තා ඇන්ටි’ ගේ උදාහරණය හැමතැනදිම වලංගුද? වැඳීම කියන්නේ දැන් නිකම්ම සංකේතාත්මක දෙයක්. වඳින්නේ කාටද කියන එක ගැන විවිද අය විවිධ නිර්ණායක දැම්මට අද අපි බහුතරයක් වඳින්නේ නිකම්ම චාරිත්‍රයක් හැටියට. සමහර වෙලාවට විතරක් අපි සමහර අ යට හද බැතියෙන් වඳිනවා .අපි නිරුවතින් පාරේ නොයන්නෙත් චාරිත්‍රයක් හැටියට. ඔය හැම දෙයක්ම නිකම් චාරිත්‍ර තමයි. ඒවා නොකිරීම නිසා ලැජ්ජාවට පත්වීමත් ගොඩක් චාරිත්‍ර වල ලක්ෂණයක්. මුස්ලිම් ප්‍රදේශයක කොට කලිසමක් ඇඳීම, ලෝකයේ බොහෝ රටවල් වල නිරුවතින් පාරේ යාම, විශ්වවිද්යආල නේවාසිකාගාර වල ඇඳුම් ඇඳගෙන නෑ ම. මේ ඕනෙම චාරිත්‍රයක් නොකිරීමෙන් යම් කොන් වීමක් තියෙනවා.
    අන්න එතැනදී රිටිගල සාදාරනීකරණය කරන්න පුළුවන් තැන අතහැරලා. චාරිත්‍ර , සමාජ සම්මත ඒ ඒ කාලයට සංස්කෘතියට සාපේක්ෂ වන අතරම ඒවා නොකරන අය යම් මට්ටම කොන්වීමකට ලක්වීම් හැම සංස්කෘතියකම වගේ ලක්ෂණයක්. වැදගත් වෙන්නේ මේ කොන්වීම සිදුවන මට්ටමයි. වැන්දේ නැත්නම් බොහොම පොඩි කොන්වීමක් වෙන්නේ. අනිත් එක අපි අපේ යහළුවන් හමුවේ ඕකට විතරක් නෙමේ ගොඩක් දේවල් වලදී මුනිවත රකිනවා. එහෙත් මම ලිපියක කියපු ටයි එක නොදැම්මොත් වෙන්නේ මොන වගේ කෙලියක්ද? රස්සාව නැතිවෙලා ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. එක මොන වර්ගයේ කොන්වීමක්ද?

    වැඳීම ඉන්දියාවෙන් ආපු එකක් කියල මමත් හිතනවා. සිංහල සංස්කෘතියේ ආවේනික ලක්ෂණයක් නෙමෙයි එක. එහෙත් බොහොම වැදගත් වෙනත් ආවේනික ලක්ෂණ තියෙනවා. පිටින් මොකක් හරි ආවම ඇතුලේ තියෙන දේට බැනල අලුත් එක කිසිම විචාරයක් නැතුව සංස්කෘතිය ඇතුලට ඔබ්බන එක. වැඳීම කුල භේදය එන්න ඇත්තේ එහෙම. බුද්ධාගම උනත් ආවේ එහෙම වෙන්න ඇති. මට එච්චර විශ්වාස නැහැ මොකද ඒ කලේ මේ ශාශ්ත්‍රීය සම්ප්‍රදාය ගොඩනැගිල තිබුනද කියල හොයන්න ඕනේ. ඒ වගේම අද අනිත් පැත්තට වැඳීම කියන එකට ගරහල ටයි දැමීම ගැන සද්ද නොකරන්නේත් ඒ විදිහටමයි. මේ ඔක්කොම අපේ නියම සිංහල ගති තමයි.

    ප්.ලි. : අර ඔබ්බන එක ලේසියෙන්ම කරන්නත් බහ. සමහර ස්වාදීන මිනිස්සු එරෙහි වෙන නිසා. ඉතිහාසේ හැම දාම වගේ ලංකාවේදී නම් ඒ මිනිස්සු වැදගත්ම කාරනා වලදී පැරදිච්ච බව තමයි පෙනෙන්න තියෙන්නේ.

    Like

  3. Pradeeptha Srinath says:

    මෙතන යොදා ඇති වචනයෙ වැරද්දක් දැකලා ලියන්නෙ…”දණ්ඩ නමස්කාරය කිරීම”..මා දන්නා විදිහට දණ්ඩ නමස්කාරය යනු මුලු ඇගම පොල්වෙ ගැවෙන ලෙස බිම දිගාවි කරන නමස්කාර ක්‍රමයය් (ලංකාවෙ මෙය වැඩිය දකින්නට නැත…ටිබෙට් බෞද්ධයන් මෙය කරනවා දැක ඇත. ලාංකිය බෞද්ධයන් කරන්නෙ පසග පිහිටුවා වැදිමය්… (ශරිරයෙ තැන් පහක් පොලවෙ ගැවෙන සෙ – දෙදන, දෙවැලමිට, සහ නලල)

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s