මගේ ජාතිය, මගේ ආගම

ජනවාර්ගිකව සිංහල ද, හැදුනු වැඩුනු ආගමික පරිසරය අනුව බෞද්ධ ද වන මා, වර්තමානයේදී කිසිදු ජනවාර්ගික මූලයකට හෝ කිසිදු ආගමික සංස්ථාවකට විශේෂ ලැදියවක් නොදක්වන බැවින් මාගේ ඇතැම් නෑදෑයන් සහ මිතුරන් විසින් සිංහල හා බෞද්ධ පදනම මත නිර්මාණය වූ “අපි” යන කුලකට මා අයත් බව පවසන සෑම අවස්ථාවකම මා පවසන යමක් ඇත. එනම්, හුදෙක් ජනවාර්ගික හා ආගමික ලේබලයක් මත පමනක් පදනම්ව හැදෙන කන්ඩායමක සිටිනා හොර, මැර, වංචා, දූෂණ  වලින් ගහන පුද්ගලයන් ආකල්පමය ලෙස මා  සමග අහසට පොලව බදු වන හෙයින් ඔවුන් සියල්ල නියෝජනය කිරීමට මට කිසිම වුවමනාවක් නැති බවයි. එමෙන්ම, එසේ කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් මට නොපෙනේ. විශේෂයෙන්ම “අපේ අයගේ වැරදි” ගැන කතා කෙරෙන අවස්ථා වලදී මෙම ප්‍රකාශය මා අතින් නිතරම සිදුවේ. එනම්, ඔය කියනා “වැරදි” නම් “අපේ” යනුවෙන් මා අදහස් කරන කන්ඩායමේ අය සිදු නොකරන බවයි. එයට හේතුව නම් ජනවාර්ගික මූලය ලෙස “සිංහල” වුවද, කොහේවත් යන කාලකන්නි අපතයෙක් “අපේ” නොවන බැවිනි.

සිංහල-බෞද්ධ යන කුලකයට සැබැවින්ම අයත් වීමට නම් යම් යම් ආකාරයේ ගුණාංග තිබිය යුතු බවත්, එබැවින් කාලකන්නි අපතයින් මේ කුලකයට අයත් නොවන බවත් ඇතැමුන් මට පවසා ඇත. අඳෝමැයි! සිංහල-බෞද්ධ කතන්දරය ඉදිරියට දමා, ඒ බැනරය යටතේ පෙලගැසෙන බහුතරය වනාහී කිසිම ශිෂ්ඨත්වයක් ප්‍රදර්ශනය නොකරන, ඉච්ඡා හංගත්වයට පත්, ඒ නිසාම මාරාන්තික කෝපයකින් හදවත අවුලුවාගත්, සිය පෞද්ගලික දුර්වලතා වසාගැනීමට ගෝත්‍රික කන්ඩායමේ විශාලත්වය භාවිතා කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “අපතයන්”  පිරිසක් බව මෑතකාලීන ප්‍රවෘත්ති හා වත්පොත් සටහන් පිරික්සීමෙන් පැහැදිලි වේ. ලංකාවේ ක්‍රියාත්මකවන අනෙකුත් ලොකු කුඩා ජනවර්ග නියෝජනය කරන ගෝත්‍රික කන්ඩායම් වල තත්වයද මීට අඩු වැඩි වශයෙන් සමාන වනු මිස වෙනස් නම් නොවේ. උදාහරණයක් ලෙස, ඉස්ලාමීය ගෝත්‍රයේ පිරිසක් ටික කලකට ඉහතදී කවුරු හෝ යු-ටියුබ් එකට දැමු වීඩීයෝවකින් තමන්ගේ ආගමට “අපහාස” වනවා යැයි කියමින්, සිය ජාත්‍යන්තර ගෝත්‍රික මූලස්ථානයේ කැඳවීමෙන් උසිගැන්වී පාරවල් පුරා යකා නැටූහ. එනමුත්, ගෝත්‍රික සවුදි රාජ්‍ය විසින් සිය ජනවර්ගයටම අයත් දැරියක් අසාධාරණ ලෙස පස් වසරක් සිරකොට තැබීමෙන් අනතුරුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර දැමීම පිලිබඳව කිසිදු හඬක් නොනැගුවා පමනක් නොව “සවුදි රාජ්‍යයේ ශරියා නීතියට අනුව ලැබූ දඬුවම පිලිගනිමු” යැයි දීන ප්‍රකාශයක්ද නිකුත් කලහ.

මනසින් ශතවර්ශ ගනනාවක් අතීතයේ ජීවත්වන මේ ගෝත්‍රික කන්ඩායම් වල වීදි සටන් පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු තරම් බුද්ධි මට්ටමක් ප්‍රදර්ශනය කරතැයි මා පෞද්ගලිකව අපේක්ෂාකල කල ඇතැම් පුද්ගලයන් ද මේ ගෝත්‍රික හටනේ සාමාජිකත්වය ගෙන ඇති බැව් දැකීම අනෙක් අවාසනාවන්ත තත්වයයි.

කෙසේවුවත්, කිසියම් කන්ඩායමකට අනුගතවීම (sense of belonging) – එනම් – කිසියම් ආකාරකට ගෝත්‍රවාදී වීම – මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බැවින් “අපේ” යයි මා සිතනා, මා අයත් යැයි මා විසින් පිලිගන්නා කිසියම් “ගෝත්‍රයක්” ද ඇත. පහත සඳහන් වන්නේ එම ගෝත්‍රය කුමක්ද යැයි නිර්වචනය කිරීමට මා දැරූ උත්සාහයකි. පහත කියැවෙන ආකාරයෙන් පොදු අවකාශය තුල එකිනෙකාගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට ද ගරු කරමින්, සහජීවනයෙන් ජීවත් වීමත කැමති, එවන් සමජයක ජීවත්වීම අවංකවම අපේක්ෂාකරන, එවන් සමාජයක් තැනීම උදෙසා වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන් සහාය දක්වන සියල්ලෝම , “ජාතියෙන්ද”, “ගෝත්‍රයෙන්ද”, “ආගමින්ද”,  “කුලයෙන්ද”, “තරාතිරමෙන්ද” මාගෙ සමානයෝ වෙති.

  • මානව සමාජය ක්‍රමිකව විකාශනය වීමෙදී සංස්කෘතීන් එකිනෙක හා ගැටේ. සංස්කෘතීන් සහ ඒ හා බැඳුනු හර පද්ධතීන් එකිනෙක මිශ්‍රවේ. මෙය වැළැක්විය හැක්කක් නොවේ. එබැවින්, සමාජයේ සමතුලිත බව රැක ගැනීමට නම් සාකාච්ඡාවෙන් සහ සම්මුතියෙන්, මානව කේන්ද්‍රීයව සිතමින් අපගේ හර පද්ධතින් තෝරාගැනීම නිරන්තරයෙන් ම කල යුතු වේ. මෙවැනි ලෝකයක කිසිවක් සදකාලික නැත. එම නිසා, සැම කලටම ගැලපෙන සංස්කෘතියක්, සදාචාරයක්, නීති පද්ධතියක්, රාජ්‍ය ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක් තිබිය නොහැක. මේවා කලානුරූපීව වෙනස් විය යුතුය. අනුවර්තනය විය යුතුය.

  • ඉහතකී “වෙනස් කම් කිරීමේ ක්‍රමවේදය” සාකච්ඡාවට හා අභියෝගයට ලක්කල හැකි “මිනිස් දැනුම” (human knowlege/human perspective) මත පදනම් විය යුතු ය. සදාකාලික වූ සත්‍යයන්, දේව වාක්‍ය, පරම සත්‍යය, සනාතන දහම්, අකාලික දහම් ආදී සාමාන්‍ය මිනිසුන් විසින් ප්‍රශ්න නොකලයුතු දේ ලෙස හුවාදැක්වෙන, පූජනීයත්වයට ඔසවා තැබෙන මති මතාන්තර මත පදනම්ව රටක, රාජ්‍ය පරිපාලනය, පොදු නීතී සකස් නොවිය යුතු ය. සදාකාලික සත්‍යයන් පිලිබඳ ඇදහිලි මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය හැඩගස්වාගැනීමට මිස, පොදු තීරණ ගැනීමෙ නිර්නාකය ලෙස යොදා නොගත යුතු ය.

  • යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් සමූහයකගේ පෞද්ගලික ඇවතුම පැවතුම් නිසා පොදු සමාජයේ සමබරතාවය භයානක සේ නොබිඳෙන තාක් කල් එම ඇවතුම් පැවතුම් සහ මති මතාන්තර පවත්වා ගැනිමේ ප්‍රගුන කිරීමේ නිදහස උපරිමයෙන් තිබිය යුතුය (කෑම, බීම, ඇඳුම්, පුද්ගල සම්බන්ධතා) (Individual freedoms and freedom of expression).

  • යහපත් සමාජයක් යනු දිගු කාලිනව ස්ථායී, (sustainable) සමාජයකි. සමාජයක මිනිසුන් ගේ සමස්ත සතුටේ එකතුව (sum total of Happiness) වැඩිවන දිශානතිය යනු “යහපත්” දිශානතියයි. ඒ ඔස්සේ ඉදිරියට යාම හැර “යහපත්” සමාජයක් පිලිබඳ වෙනත් සංකීර්න නිර්වචන අවශ්‍ය නැත. “හොඳ හා නරක” පිලිබඳ වෙනත් සංස්කෘතික සහ ආගමික විශ්වාසයන් හා බැඳුනු පෞද්ගලික මති මතාන්තර සමාජයේ පුද්ගලයන්ට හා පුද්ගල සමූහ වලට තිබිය හැක. කෙසේ වුවත් එම මති මතාන්තර පොදු අවකාශයට ගෙන ඒමේදී, ඉහත කී “යහපත් දිශානතිය” පිලිබඳ මූලධර්මයේ උරගල භාවිතා කිරීමට සිදු වේ. එම උරගල භාවිතා කිරීමේදි, විවේචනයට ලක් නොවීමේ (immunity from criticism)  “පූජනීය වරප්‍රසාද” කිසිදු ආගමික හෝ ආගමික නොවන මති මතාන්තරයකට නොලැබෙනු ඇත.

  • විවේචනයට බඳුන් කිරීමට අකමැති යම් “පූජනීය” මතවාදයක් වේ නම්, එය එම පූජනීයත්වයට දැනටමත් අනුගතවූ පිරිසකගේ පෞද්ගලික අවකාශයේ පමණක් තබාගත හැක.

  • පොදු අවකාශය තුල ගන්නා තීරණ වල දී කිසියම් දෙයක වර්තමාන තත්ත්වය ඇගයීමට ලක්කිරීමේ දී යොදා ගත යුතු එකම මිනුම් දන්ඩ නම් සමාජ ප්‍රගමනයේ යහපත් දිශානතියට එම දේ මගින් ලබාගත හැකි ප්‍රයෝජ්‍ය අගයයි.

  • මෙම දිශානතිය ඔස්සේ ඉදිරියට යාමේ දී සමූහයක් ලෙස හෝ පෞද්ගලික ලෙස ගන්නා හැම තීරණයක්ම “වැරදි විය හැක” හා  “මීට වඩා හොඳ ක්‍රමයක් තිබිය හැක” යන අස්ථානයේ සිටිමින්, නිවැරදි කරගැනීමේ සූදානමින් සිටිය යුතු අතර, එනමුත් දැනට පොදුවේ එකඟවූ ක්‍රමයට සම්පූර්ණව අනුකූල ක්‍රියා කල යුතු ය. බොහෝවිට මෙය පොදු ආචාර ධර්ම, පොදු නීති-රීති ආදියට අදාල වේ (remain cautiously skeptical, but fully compliant).

  • තාවකාලික උපාය මාර්ගයක් (tactical purpose) ලෙස වුවද ජනවාර්ගික සහ ආගමික මූලයක් පදනම් වූ කඳවුරු සෑදීම තුළින් ඉහත කී ආකාරයේ සමාජයක් කරා ප්‍රගමනය වීමේ දිගුකාලින පරමාර්ථ (strategic goals) වලට හානි ගෙන දීම සිදු වේ. එබැවින්, ඉතාම සුලු අවස්ථා කීයපකදී හැර දේශපාලනමය අවශ්‍යතාවයක් උදෙසා ජනවාර්ගික හෝ ආගමික ලෙස සංවිධානය වීම, පිරිස් රැස්කිරීම අනර්ථකාරි බව පිලිගත යුතු ය. එවන් කඳවුරු වලට අනුගත වීම හෝ සහාය දීම නොකළ යුතු ය.

  • වර්තමානයේ පවතින අවාසනාවන්ත තත්වයන් නිසා එසේ ජනවාර්ගික ලෙස හෝ ආගමික ලෙස සංවිධානය වූ කන්ඩායම් සිටින බව දන්නා අතර, එම කන්ඩායම් ඉහත කී ආකාරයේ සමාජයක් ගොඩනැගීමට එරෙහි ගාමක බලවේග බවත පත්වී ඇති පරිසරයක් තුළ, එම කන්ඩායම් “දියකර හැරීමෙ” හොඳම උපාය මාර්ගය, ඉහත කී ආකාර පොදු අවකාශයක් තැනීමේ ගාමක බලවේගයක් ප්‍රබල ලෙස ඉස්මතුකර ගැනීම බව විශ්වාස කරමු.

ඉහත කී ආකාරයේ පොදු අවකාශයක් තුල එකිනෙකාගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට ද ගරු කරමින්, සහජීවනයෙන් ජීවත් වීමත කැමති, එවන් සමජයක ජීවත්වීම අවංකවම අපේක්ෂාකරන, එවන් සමාජයක් තැනීම උදෙසා වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන් සහාය දක්වන සියල්ලෝම , “ජාතියෙන්ද”, “ගෝත්‍රයෙන්ද”, “ආගමින්ද”,  “කුලයෙන්ද”, “තරාතිරමෙන්ද” මාගෙ සමානයෝ වෙති.  ලොවපුරා විසිරී සිටින නිදහස් මිනිසුන් අති මහත් ප්‍රමාණයක් මේ “ගෝත්‍රයට” අයත් බැවින් මේ සුවිශාල ගෝත්‍රයක් වේ. කෙසේනමුත්, ලෝකය පුරා තිබෙන රටවල් බොහෝ ප්‍රමාණයක දේශපාලන බලය ඇත්තෙ මේ ගෝත්‍රය අත නො වේ. එබැවින් ලෝකය පුරා සංඛ්‍යාත්මකව විසිරී සිටිය ද, සිය රට තුල දී මොවුන් බොහෝවිට සුලු ජනවර්ගයකි.

ලිව්වේ – ප්‍රසාද් මාපටුන

Advertisements
This entry was posted in ඓහිකත්වය (secularism), කාලීන and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s