මනසින් ස්වායක්ත වූ බාහිර ලෝකයේ පැවැත්ම

“මට හරිම කණගාටුයි. මේ දරුවව බේරගන්න විදියක් නෑ” දොස්තර ස්මිත්සන් පැවසුවේ අලුත උපන් ලුඩ්විග් දෙස බලමිණි. ඒ වන විටත්, අසරණ ලුඩ්විග් හට සේලයින් බෝතලයක් සහ ඔක්සිජන් ටැංකියක් සවිකර තිබිණි.

“මේ දරුවාට අක්මාවක් නෑ. ඒ වගේම එක පෙනහැල්ලකුත් නෑ. ඒ විතරක් නෙමේ, මෙයාගෙ හදවතේ ලොකු සිදුරක් තියනවා. ඒ වගේම ලුඩ්විග්ගෙ ප්‍රතිශක්ති පද්ධතියත් සාමාන්‍ය දරුවෙකුගේ ප්‍රතිශක්ති පද්ධතියට වඩා හොදටම දුරුවලයි” දොස්තර ස්මිත්සන් ලුඩ්විග්ගේ තත්ත්වය විස්තර කළේ ය.

“මගේ දරුවව බේරගන්න විදියක් ඇත්තෙම නැද්ද සර්?” නිහැඩියාව බිදිමින් ලුඩ්විග්ගේ මව ඇසීය. යලිත් වරක් දිගු නිහැඩියාවක් ඇති විය. “හ්ම්ම්..එක ක්‍රමයක් තියනවා.” මෙවර නිහැඩියාව බිදුනේ දොස්තර ස්මිත්සන්ගේ කටහඩිනි.

“ලුඩ්විග්ගෙ මොලේ සහ ස්නායු වල කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට පුලුවන් ලුඩ්විග්ගෙ මොලය සහ ඊට සම්බන්ධ සංවේදී ස්නායු වෙන්කරලා අරගෙන රෝහලේ තියෙන life support system එකකට සම්බන්ධ කරන්න” දොස්තර ස්මිත්සන් කීවේය. “අනේ එහෙම හරි කමක් නෑ. මගේ දරුවව බේරගන්න පුලුවන්නං” ලුඩ්විග්ගේ මව දොස්තර ස්මිත්සන්ගේ අදහසට එකග විය.

ඉතා සියුම් වූත්, ඉතා දීර්ඝ වූත් ශෛල්‍යකර්මයකින් අනතුරුව දොස්තර ස්මිත්සන් ඇතුලු ශෛල්‍ය වෛද්‍යවරු විසින් ලුඩ්විග්ගේ මොලය සහ සංවේදී ස්නායු ලුඩ්විග්ගේ ශරීරයෙන් වෙන් කෙරීය. ඉන්පසු, ඔවුන් රෝහලේ වූ  life support system එකකට ලුඩ්විග්ගේ මොලය, මොලයට සම්බන්ධ රුධිර වාහිනී හා සංවේදී ස්නායු සවි කළේය. කෘත්‍රිම හෘදයකින් ද, ඔක්සිජන් ටැංකියකින් ද, ආහාර සැපයම් යන්ත්‍රයකින් ද ලුඩ්විග්ගේ මොලයේ සෛල මිය නොයා තබා ගැනීමට අවශ්‍ය කරන අනෙකුත් ආම්පන්න වලින් ද එකී  life support system එක සමන්විත විය.

දැන් “ලුඩ්විග්” වනාහී යන්ත්‍රයකට සවිකරන ලද මොලයකි! ලුඩ්විග්ගේ ශාරීරික සංවර්ධනය පිළිබද බලාපොරොත්තු අතහැර දැමීමට දොස්තර ස්මිත්සන්ට සහ ලුඩ්විග්ගේ දෙමාපියන්ට සිදු වුවද ලුඩ්විග්ගේ මානසික සංවර්ධනය පිළිබදව තවමත් ඔවුන් තුළ බලාපොරොත්තු පවතී.

ව්‍යාමෝහයන් (hallucinations) ජනනය කරන යන්ත්‍රයක් ලුඩ්විග්ගේ මොළයට සම්බන්ධ කිරීම හරහා ලුඩ්විග්ගේ ඥනාත්මක හා බුද්ධිමය වර්ධනය උදෙසා දොස්තර ස්මිත්සන් කටයුතු කළේය. මෙකී ව්‍යාමෝහ ජනනය කරන යන්ත්‍රය හරහා නානාප්‍රකාර රූපයන්, නානාප්‍රකාර ශබ්දයන්, නානාප්‍රකාර රසයන්, නානාප්‍රකාර ගන්ධයන්, සහ නානාප්‍රකාර ස්පර්ශයන් පිළිබදව මෙන්ම උණුසුම සිසිල පිළිබදවද වන සංවේදනයන් ඉතා සූක්ෂකම ලෙස පාලනය කරවා ඔබත් මමත් අපගේ පංචේන්ද්‍රයන් හරහා අත්දකින ලෝකයට සම්පූර්ණයෙන්ම සමාන වූ virtual reality එකක් ලුඩ්විග් වටා ගොඩනැගීමට දොස්තර ස්මිත්සන් ඇතුළු වෛද්‍යවරු සමත් විය.

මෙම කතාවේ, ලුඩ්විග් විසින් “අත්දුටු” ලෝකය වනාහී ලුඩ්විග්ගේ මනසෙහි නිර්මාණයකි. එම නිර්මාණය සදහා දොස්තර ස්මිත්සන්, රෝහලේ තිබුණු ව්‍යාමෝහ ජනනය කරන යන්ත්‍රය, life support system එක සහ රෝහල් කාර්ය මණ්ඩලය දායක වූ බව සැබෑවකි. නමුත්, ලුඩ්විග්ගේ ලෝකය තුළ “පැවති”, ලුඩ්විග් “දුටු” සූරියකාන්ත මල්, තල්මසුන්, කොහොඹ ගස්, පොත් පත් වැනි දෑ වනාහී හුදෙක් රෝහලේ වූ ව්‍යාමෝහ යන්ත්‍රය මගින් ජනනය කරන ලද ව්‍යාමෝහයන් පමණි. ඒවා ලුඩ්විග්ගේ මනසින් ස්වායක්තව පැවති දේවල් නොවේ.

එසේවුවද, අප ලුඩ්විග් මෙන් නොවන බවත්, අප මනසින් ස්වයක්ත වූ බාහිර ලෝකයක් අත්දකින පිරිසක් බවත් අපි සිතන්නෙමු. උදාහරණයක් ලෙස, අප දකින සූරියකාන්ත මල් වනාහී ලුඩ්විග් දකින සූරියකාන්ත මල් මෙන් හුදු ව්‍යාමෝහ නොව සැබෑ සූරියකාන්ත මල් බව අපි සිතන්නෙමු. අපට ඇහෙන සංගීතය ලුඩ්විග්ට ඇහෙන සංගීතය මෙන් හුදු ව්‍යාමෝහයක් නොව බාහිර ලෝකයේ පවතින සැබෑ සංගීතයක් යැයි අපි සාමාන්‍යෙයන් සිතන්නෙමු. නමුත්, ගැටලුවකට ඇත්තේ ලුඩ්විග්ට මෙන් අපට ද අපේ අත්දැකීම් වලින් එලියට පැන අප අත් දකින ලෝකය හා බාහිර ලෝකය එකිනෙකට සංසන්දනය කර ඒවා සමානදැයි බැලිය නොහැකි වීමයි. කොටින්ම කීවොත්, අප ලුඩ්විග් වැනි නම්, අපේ අත්දැකීම් වලින් ස්වායක්ත වූ බාහිර ලෝකයක් තියනවාද කියා බැලීමටවත් අපට නොහැකි ය. ඇරුත්, අප ලුඩ්විග් වගේද නැද්ද යැයි අප හරියටම දන්නේ නැත.

ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු සහ ගණිතඥයෙකු වූ රෙනෙ ඩෙකාට් විසින් මනස සහ ශරීරය (“ශරීරය” කියූ විට මොළය ද අයිතිය) වනාහී එකක් නොව දෙකක්ය යන බව පෙන්වීම සදහා ඉහත ලුඩ්විග්ගේ කතාවට සමාන චිත්ත පර්යේෂණයක් යොදාගත්තේය. ඩෙකාට් පැවසුවේ ඔබත් මමත් අත්දකින අප ශරීරය අසීමිත බලයන්ගෙන් යුත් යක්ෂයෙකු විසින් අප මනසට ඇතුළු කර ඇති ව්‍යාමෝහයක් පමණක් විය හැකි බවයි – එනම් – එය එසේ වීමට සියයට පනහක සම්භාවිතාවක් ඇති බවයි. වෙනින් වචනයෙන් කිවතොත්, ඔබත් මමත් අත්දකින අප අත්, පා, බඩ, පපුව වැනි දෑ වනාහී හුදෙක් සැබෑ ලෙසම පවතින දෑ ද නැතහොත් හුදු ව්‍යාමෝහයන් ද අප හරියන්ටම නොදන්නා බව ඩෙකාට් විසින් කියා සිටියේය. එසේවුවද, අපගේ මනසේ පැවත්ම අපට සංශය ගෙන දෙන්නක් නොවන බව ඩෙකාට් වැඩි දුරටත් කියා සිටියේය. ඩෙකාට්ගේ තර්කය අපට මෙලෙස ගෙනහැර දැක්විය හැකිය.

  1. මගේ ශරීරය ඇත්තටම පවතිනවා දැයි මට සැක කළ හැක.
  2. මගේ මනස ඇත්තටම පවතිනවා දැයි මට සැක කළ නොහැක.
  3. යම් දේවල් දෙකක එකිනෙකට පරස්පර ලක්ෂණ ඇතිනම් ඒවා එකම දේ නොවේ.
  4. එබැවින්, මගේ ශරීරය (විශේෂයෙන්ම මගේ මොලය) සහ මගේ මනස යනු එකම දේ නොවේ.

ඩෙකාට් විසින් මෙම තර්කයේ පළමු ප්‍රස්තුථයෙන් කියන්නේ අප ශරීරයේ අත්, පා, අක්මාව, හදවත සහ මොලය පවා ඇත්තටම පවතින දේ ද නොඑසේ නම් හුදු මායාවන් පමණක් දැයි අපට සැක කළ හැකි බවයි. අප විසින් ශරීරයේ පැවැත්ම එලෙස සැක කළද මනසේ පැවැත්ම සැක කළ නොහැකි බව ඩෙකාට් විසින් දෙවැනි ප්‍රස්තුථය තුළින් කියයි. මන්දයත්, මනසේ පැවත්ම සැක කරන්නේ ද මනසෙන්ම වන බැවිනි. දර්ශනය තුළ සාමාන්‍යයෙන් තෙවැනි ප්‍රස්තුථය හදුන්වන්නේ Principle of the Non-identity of Discernibles යනුවෙනි. මෙම මූලධර්මයේ ප්‍රායෝගික ව්‍යවහාරයක් අපරාධ පර්යේෂණයන් තුළ සිදුවේ. උදාහරණයක් ලෙස, මිනීමැරුමකට භාවිතා කළ පිහියේ ඇගිලි සළකුණු සැකකරුවාගේ ඇගිලි සළකුණු සමග ගැලපෙන්නේ නැතිනම් එකී සැකකරුවා නිර්දෝෂී යැයි නිගමනය කිරීම සාමාන්‍යයෙන් අපරාධ පර්යේෂණය තුළ සිදුවේ. ඒ කරුණු මත පදනම්ව, ඩෙකාට් විසින් මනස සහ මොළය යනු එකක් නොව දෙකක් යැයි නිගමනය කරන ලදී.

ඩෙකාට්ගේ තර්කය බැලු බැල්මට බලගතු තර්කයක් සේ පෙනුණ ද එම තර්කයේ යම් යම් අඩුපාඩු ඇත. ඒ බව වඩාත් හොදින් පැහැදිලි කරගැනීමට ඩෙකාට්ගේ තර්කයට ව්‍යුහයෙන් සමාන පහත තර්කය බලන්න.

  1. දහසය වැනි ඇමර්කානු ජනාධිපතිට රැවුලක් තිබුනේද යන්න මට සැකය.
  2. එබ්‍රහම් ලින්කන් හට රැවුලක් තිබුනේදැයි මට සැකයක් නැත.
  3. යම් දේවල් දෙකක් එකිනෙකට පරස්පර ලක්ෂණ ඇතිනම් ඒවා එකම දේ නොවේ.
  4. එබැවින්, දහසය වන ඇමරිකානු ජනපති සහ එබ්‍රහම් ලින්කන් යනු එක් අයෙක් නොවේ.

එබ්‍රහම් ලින්කන් හට රැවුලක් තිබුණු බව සැවොම පාහේ පිළිගනී. නමුත්, ඇමරිකාවේ දහසය වන ජනාධිපති හට රැවුලක් තිබුනේද නැද්ද යන්න බොහෝ දෙනෙක්ට ප්‍රශ්නාර්ථයකි. එනම්, ඇමරිකාවේ දහසය වන ජනාධිපති කවුදැයි යන්න බොහෝ දෙනෙකු හට පැහැදිලි නැති බැවිනි. එමෙන්ම, මනස සහ මොලය එකක් බව තේරුම් ගැනීමට තරම් ඩෙකාට් විසින් මනසේ ස්වභාවය වටහා ගෙන නොතිබුණා වීමට සියයට පනහක සම්භාවිතාවක් තිබිය හැකි බව මෙහිදී අප අවධාරණය කළ යුතු ය.

නැවත ලුඩ්විග්ගේ කතාව වෙත යොමු වෙමු. අප ලෝකයත් ලුඩ්විග්ගේ ලෝකය මෙන් මනසෙහි නිර්මාණයක් ද? නැතිනම් මනසින් ස්වායක්ත වූ බාහිර ලෝකයක් අප අත් දකින්නේ ද?

යම් හෙයකින් අප ලුඩ්විග් වැනි නම් අප තුළ විවිධ අත්දැකීම් යම් කිසි ක්‍රමානුකූල රටාවකට ජනනය කරවීමට දොස්තර ස්මිත්සන්ට කළ යතු රාජකාරී විශාල ප්‍රමාණයක් ඇත. උදාහරණයක් ලෙස, ලුඩ්විග් මුහුදු වෙරලේ සිටින බව ලුඩ්විග් හට ඒත්තු ගැන්වීමට දොස්තර ස්මිත්සන්ට අවශ්‍ය වූවා යැයි සිතන්න. ඒ සදහා මුලින්ම වැල්ල, මුහුද, අහස, වළාකුළු සහ පතොක් පදුරු ඇතුලු ඇතුළු නොයෙකුත් දෙයෙහි දර්ශන කේතාංකනය කොට ලුඩ්විග්ගේ දෘශ්‍ය ස්නායුවට ලබාදිය යුතුය. මීළගට රළ බිදෙන ශබ්දය ඇතුළු නොයෙකුත් ශබ්දයන් නිසි පරිදි කේතාංකනය කොට ලුඩ්විග්ගේ ශ්‍රවණ ස්නායූන් වෙත ලබාදිය යුතුය. මීළගට, වැලි කැට පිටේ ගෑවෙන බව දැනෙන්නා වූ සංවේදන ද නිසි පරිදි කේතාංකනය කර ලුඩ්විග්ගේ මොළයට සැපයිය යුතු ය. අනෙකුත් ඉන්ද්‍රයින්ගෙන් ලැබෙන සංවේදනයන් ද මේ අයුරින්, සුදුසු පරිදි කේතාංකනය කර, ලබා දිය යුතු ය.

එවැන්නක් සදහා විශාල තොරතුරු ස්කන්දයක් ගබඩා කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු වේ. වර්තමානයේ තරුණයින් අතර ජනප්‍රියව පවතින Crysis-3 වැනි නවතම ත්‍රිමාණ පරිගණක ක්‍රීඩා තුළින් නිර්මාණය කෙරෙන “ලෝකය”  සදහා දෘඪාංගයෙන් ඉතා විශාල මතක ධාරිතාවක් වෙන් කළ යුතු ය. ඒ කරත්, එකී පරිගණක ක්‍රීඩා වල ඇති ලෝකය ඇත්තේ ඔබත් මමත් අත්දකිනන්නා වූ ලෝකයට බොහෝ දුරිනි. ඇරුත්, එවන් පරිගණක ක්‍රීඩා වල ගන්ධයන් පිළිබදව, රසයන් පිළිබදව, උණුසුම සිසිල පිළිබදව, ස්පර්ශය පිළිබද මෙන්ම වේදනාව පිළිබදව ද තොරතුරු ගැබ්ව නැත. තිබෙන්නේ රූප මාධ්‍ය සහ ශබ්ද මාධ්‍ය පමණි.

ඊටත් වඩා ගැටලුව වනුයේ ලුඩ්විග් විසින් කරන ශරීර චලනයන්ට ප්‍රතිචාර දැක්වීමයි. වැල්ලේ වාඩි වී සිටින ලුඩ්විග් සිය අතින් වැල්ල පිරිමැද්දා යැයි සිතමු. ලුඩ්විග්ගේ අතට දැනීමට ඉඩ ඇති සංවේදන විශාල ප්‍රමාණයක් ඇත. ලුඩ්විග්ගේ අතට දැනෙන සංවේදනය වනුයේ එකී ඉඩ-ඇති-සවේදන අතුරින් කුමක්ද යන්න ලුඩ්විග් විසින් වැල්ල පිරිමදින වේගය, කෝණය රිද්මය වැනි නොයෙකුත් සාධක මත රදා පවතී. එම සියලු සාධක සළකා බලා යම් ප්‍රතිචාරයක් තෝරාගෙන එම ප්‍රතිචාරය real-time ලබාදීමට නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇදහිය නොහැකි තරම් වේගයකින් තොරතුරු සම්ප්‍රේශ්‍රණය කරන යන්ත්‍රයක් තිබිය යුතු ය. නමුත්, එවැන්නක් තිබීම උගහට ය.

මින් පැහැදිලි වන කාරණය නම් දැඩි ව්‍යාමෝහයන් පැවතීම උගහට බවයි. මෙහිදී “දැඩි” ව්‍යාමෝහයන් යනුවෙන් අදහස් කරන්නේ අප විසින් කරන අංග චලනයන්ට ප්‍රතිචාර දක්වන ව්‍යාමෝහයන්ය. එනම්, ඉහත කතාවේ දොස්තර ස්මිත්සන් හට ලුඩ්විග්ව බේරාගැනීමට නොහැකියි පමණක් නොව ඔබත් මමත් වනාහී ලුඩ්විග් මෙන් virtual reality එකක ජීවත් වන පුද්ගලන් වීම ද උගහට ය. එනම්, අප අත්දකින ලෝකය වනාහී මනසින් නිර්මාණය කරන ලද්දක් නොව මනසින් ස්වායක්ත වූවකි.

Advertisements
This entry was posted in දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to මනසින් ස්වායක්ත වූ බාහිර ලෝකයේ පැවැත්ම

  1. // එම සියලු සාධක සළකා බලා යම් ප්‍රතිචාරයක් තෝරාගෙන එම ප්‍රතිචාරය රේල්-ටිමෙ ලබාදීමට නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇදහිය නොහැකි තරම් වේගයකින් තොරතුරු සම්ප්‍රේශ්‍රණය කරන යන්ත්‍රයක් තිබිය යුතු ය. නමුත්, එවැන්නක් තිබීම උගහට ය.//

    එවැන්නක් නොතිබෙන්නේ අපි දකින virtual reality එක තුල පමණි. සත්ය ලෝකයේ තත්වය මෙයට වඩා බොහෝ වෙනස් විය හැකිය. අප අත්දකින සියල්ල (සියලු භෞතික විද්යා නියම) දොස්තර ස්මිත්සන් විසින් කේතනය කර තිබෙන නියමයන් පමණි. සැබෑ ලෝකයේ පරිඝනක Turing machine ඒකේ සීමාවල් ඉක්මවා තිබිය හැකිය.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s