නිල් පාට ඇස් සහ දුඹුරු පාට ඇස්

හිරු උදාවෙත්ම පෙරදා රාත්‍රියේ පැතිර තිබූ මීදුම කෙමෙන් කෙමෙන් මැකී ගියේ ය. තවත් අලුත් උදෑසනකි. තවත් අලුත් දවසකි. වෙනදා මෙන්ම එදින ද අයෝවා ප්‍රාන්ත වැසියෝ උදෑසනින්ම සිය දෛනික වැඩ කටයුතු ඇරඹීය. ගොවීහු සිය ගොවිපලවල් වෙත ගියහ. වෙළෙන්දෝ සිය කඩ කාමර වෙත පා නැගූහ. මේ අතර අයෝවාහි පාසලක තුන වසරේ ගුරුවරියෙකු වූ ජේන් එලියට් ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුපුරුදු පරිදි පන්ති කාමරය වෙත පිය නැගූහ. ඒ 1968හි අප්‍රේල් පස් වැනිදා යි. එනම්, මාර්ටින් ලූතර් කින්ග් ඝාතනය කළ දිනට පසු දිනයි.

ජාතිවාදයේ ගොදුරක් වීම යනු කවර ආකාරයේ අත්දැකීමක්දැයි සිය සිසු සිසුවියන් හට වටහා දීමට එදින ජේන් එලියට් විසින් සැලසුම් කරගෙන සිටියාය. ඒ සදහා ඇය විසින් සැලසුම් කරන ලද අභ්‍යාසයක් සිදුකිරීමට ඇයගේ සිසුන් එකග විය. ඒ අනුව, ජේන් එලියට් විසින් පන්තියේ ළමයින්ගේ කණිනිකාවේ වර්ණය මත පදනම්ව ඔවුන්ව “නිල් ඇස් ජාතිය” සහ “දුඹුරු ඇස් ජාතිය” යනුවෙන් “ජාතීන්” දෙකකට බෙදා වෙන් කරන ලදී. ඉන්පසු, නිල් පාට ඇස් ඇති ළමයින් වනාහී පන්තියේ සිටින “උසස්, මුඛ්‍ය ජාතිය” බවට එලියට් විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව දුඹුරු පාට ඇස් ඇති ළමයින් හට නොලැබෙන විශේෂ වරප්‍රසාද නිල් පාට ඇස් ඇති ළමයින්ට හිමි වනු ඇත. නිල් පාට ඇස් සහිත ළමයින්ට හිමිවූ විශේෂ වරප්‍රසාද  අතර විවේක කාලය සදහා අමතර විනාඩි පහක් ලැබීම, වතුර කරාමය අසීමිතව පාවිච්චි කිරීමට ඉඩ ලැබීම ආදිය විය. එමෙන්ම, “සුළු ජාතිය” වූ දුඹුරු ඇස් ඇත්තන් හදුනාගැනීම පහසු වන්නට ඔවුන්ගේ බෙල්ලේ රෙදි පටියක් පැළදවීමට ද එලියට් තීරණය කළාය.

මෙම අභ්‍යාසය එලියට් සිතුවාට වඩා විස්මය දනවන්නක් විය. සුලු මොහොතක් ඇතුළත, පන්තියේ ළමයින් අතර දිගු කලක් තිස්සේ පැවතුනු මිතුදම් බිද වැටුනි. වෙනදා සාමකාමීව හා එකිනෙකාට උදව් කරගනිමින් සිටි ළමයි අද රණ්ඩු වන්නට විය. ඒ සියල්ලටම හේතුව වූයේ උන්ගෙ ඇස් දුඹුරු පාට වීමත් අපේ ඇස් නිල් පාට වීමත්ය – නැතිනම් – උන්ගෙ ඇස් නිල් පාට වීමත් අපේ ඇස් දුඹුරු පාට වීමත්ය. නිල් පාට ඇස් “ගෝත්‍රයට” අයත් වන එක් සිසුවෙකු විසින් වේවැල සූදානමින් තබාගන්නා ලෙස එලියට් හට යෝජනා කලේය. ඒ අන් කවරකටවත් නොව බැරිවෙලාවත් දුඹුරු ඇස් ඇත්තෙකු පාලනය කර ගත නොහැකි වුවහොත් ප්‍රයෝජනයට ගැනීමටය. එමෙන්ම, නිල් ඇස් ජාතියේ අයෙකු තමාට “අපහාසාත්මක වදනක්” ප්‍රකාශ කලේ යැයි දුඹුරු පාට ඇස් සහිත දරුවෙකු චෝදනා කරන්නට විය. එකී “අපහාසාත්මක වදන” වූයේ අනෙකක් නොව “දුඹුරු ඇස්” යන්නය.

ඊට පසුදින එලියට් විසින් භූමිකා මාරුකිරීමක් සිදු කෙරීය. දැන් දුඹුරු ඇස් ජාතිය වනාහී “ප්‍රධාන” ජාතියයි. නිල් ඇස් ජාතිය වනාහී “සුළු ජාතිය” යි. මෙම භූමිකා මාරුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෙරදා පසුගාමීව කටයුතු කළ දුඹුරු පාට ඇස් ඇති දරුවන් දැන් තමන් පිළිබද ආත්ම විශ්වාසයකින් කටුයුතු කරන්නට විය. එමෙන්ම, පෙරදා ප්‍රබෝදයෙන් සිටි නිල් පාට ඇස් ඇති දරුවන් සැනින් ඉච්ඡාභංගත්වයට පත්විය.

එලියට් විසින් කරන ලද අභ්‍යාසය තුළ නිල් ඇස් ජාතිය සහ දුඹුරු ඇස් ජාතිය යනුවෙන් “ජාතීන්” තිබුණ ද සැබෑ ලෝකයේ “නිල් ඇස්” හෝ “දුඹුරු ඇස්” යනුවෙන් ජාතීන් නැති බවත්, සැබෑ ලෝකයේ ඇත්තේ “සිංහල”, “දෙමළ”, “මුස්ලිම්” වැනි ජාතීන් බවත් යමෙකුට තර්ක කල හැක. එවැනි තර්කයක් ඇගයීමට භාජනය කිරීමේදී අපට පැන නගින ගැටලුව නම් “නිල් ඇස් ජාතිය” සැබෑ ජාතියක් නොවීමටත් සිංහල ජාතිය සැබෑ ජාතියක් වීමටත් හේතුව කුමක්ද යන්නයි. මෙම ගැටලුව විසදීමට නම් “ජාතිය” යන වචනයේ අර්ථය කුමක්දැයි විමසා බැලිය යුතු ය. ඉදින්, “ජාතිය” යනු කුමක්ද?

සරලව සහ සංක්ෂික්තව අර්ථ දක්වන්නේ නම්, ජාතියක් යනු මිනිසුන් කණ්ඩායමකි. නමුත්, මෙම අර්ථදැක්වීම සතුටුදායක එකක් නොවේ. මන්දයත්, අප විසින් සිංහලයින් යන කණ්ඩායම ජාතියක් ලෙස සැළකුවද සමලිංගිකයින් යන කණ්ඩායම ජාතියක් ලෙස නොසළකන බැවිනි. සිංහලයින් යන කණ්ඩායම “ජාතියක් ලෙස ගැනෙන කණ්ඩායමක්” වන්නටත් සමලිංගිකයින් යන කණ්ඩායම “ජාතියක් ලෙස නොගැනෙන කණ්ඩායමක්” වන්නටත් හේතුව කුමක්ද? මෙම ප්‍රශ්නය විසදීමෙහිලා අපට ජාතියක් ලෙස ගැනෙන්නා වූ කණ්ඩායම් වෙන්කර හදුනාගන්නා නිර්නායකය කුමක්දැයි විමසීමට සිදුවේ. එම නිර්නායකය වනුයේ කෙස් වල වර්ණයද, හමේ වර්ණයද, භාෂාවද නැතහොත් ආගමද?

ජාතියක් පදනම් වන්නේ භාෂාව මත යැයිද සමලිංගිකයින් යන කණ්ඩායම වනාහී භාෂාව මත නොව ලිංගිකත්වය මත පදනම් වූවක් බැවින් එය ජාතියක් නොවේ යැයිද යමෙකුට තර්ක කළ හැක. නමුත්, මෙම තර්කය දෝෂ රහිත තර්කයක් නොවේ. උදාහරණයක් ලෙස, ස්විසර්ලන්තයේ ජර්මානු බස කතාකරන ජනතාවද ප්‍රංශ බස කතාකරන ජනතාවද ඉතාලි බස කතාකරන ජනතාවද සිටී. ස්විසර්ලන්තය යනු ජර්මානු ජාතිය, ප්‍රංශ ජාතිය, ඉතාලි ජාතිය යනුවෙන් ජාතීන් තුනක් සිටින රටක්ද නැතහොත් ස්විස් ජාතිය යනුවෙන් තනි ජාතියකින් සමන්විත වන රටක්ද? යම් හෙයකින්, ස්විසර්ලන්තය යනු ජර්මානු, ප්‍රංශ, ඉතාලි යනුවෙන් ජාතීන් තුනක් සිටින රාජ්‍යයක් නම් ඉන් ඇගවෙන්නේ ස්විසර්ලන්තයේ ජර්මානු බස කතාකරන මිනිසුන් සිටින කොටස ජර්මනිය යටටටත්, ප්‍රංශ බස කතාකරන මිනිසුන් සිටින කොටස ප්‍රංශය යටටටත්, ඉතාලි බස කතාකරන මිනිසුන් සිටින කොටස ඉතාලිය යටටටත් ගත යුතු බවද? එසේ කළ යුතු නම් ස්විසර්ලන්තයේ කිසිදු “ජාතික ප්‍රශ්නයක්” නොමැති මේ මොහොතේ පවා එසේ කළ යුතුද යන ගැටලුව මතු වේ. මින් පෙනීයන්නේ, “ජාතිය පදනම් වන්නේ භාෂාව මතය” යන ස්ථාවරය ගැටලු සහගත බවය.

“ජාතිය පදනම් වන්නේ ආගම මතය” යන ස්ථාවරය ගත්ත ද එය යුදෙව්වන් සහ මුස්ලිම්වරුන් විෂයෙහි වලංගු වන නමුත් ලොව අනෙක් ජාතීන්/ගෝත්‍රයන් විෂයෙහි වලංගු නොවේ. උදාහරණයක් ලෙස, ක්‍රිස්තියානි ආගම අදහන සියල්ලන් අයත් වන “ක්‍රිස්තියානි ජාතිය” කියා යමක් නැත. එමෙන්ම, සියලු බෞද්ධයන් අයත් වන “බෞද්ධ ජාතියක්” ද නැත. නමුත්, බුරුම, මැලේ, සිංහල වැනි විවිධ ජාතීන්ට අයත් වන බෞද්ධයින් සහ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, දෙමල වැනි විවිධ ජාතීන්ට අයත් වන ක්‍රිස්තු භක්තිකයින් ඇත.

මෙම විග්‍රහය තුළින් අපට පැහැදිලි වනුයේ “ජාතිය” යන සංකල්පය වනාහී සියුම්ව අර්ථ දැක්විය නොහැකි ඉතා පැටලිලිසහගත සංකල්පයක් බවයි.

පසුව ලිවීම-

ජේන් එලියට් විසින් කරන ලද අභ්‍යාසය ඇතුළත් වීඩියෝව,

Advertisements
This entry was posted in කාලීන, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

20 Responses to නිල් පාට ඇස් සහ දුඹුරු පාට ඇස්

  1. ඉතා හොද ලිපියක් අද දවසේ මෙවැනිම ලිපියක් කියෙව්වා සතර දිගන්තය බ්ලොගයේත්..

    Like

  2. dayal bathee says:

    බයිල කියනව…
    සිංහල ජාතියේදැයි සැක හැර දැන ගැනීමට, අත් දුටු අපට අනන්‍ය වූ ටෙස්ට්(පරීක්ශණ ) තිබේ..(1983දී මෙවැනි පරීක්ශණ භාවිතාවට ගැනින,)
    බාල්දිය යන පෘතුගීසි හෝ ලන්දේසි වචනය හරියට ශබ්ද කිරීමට පුලුවන් නම් දෙමල නොවේ, නොහැකි නම් අමු අමුවේ ගිනි ගොඩටය.
    නියම බෞද්ධයෙක් නම් කඹයක් වැනි පිරිත් නූලක් වම් අතේ මැණික් කටුවට ඉහලින් පැලඳිය යුතුය..
    1987 හරියේ සිංහල දේශප්‍රේමියෝ නම් පලාත් සභාවලට විරුද්ධ වූ අයය.
    වාමාංශිකයින්ට, ගමේ දොස්තරට වෙඩි තිබු අයය……..
    88-89 වන විට එංගලන්තයට පලාගිය අයය.
    1994 වන විට සිංහල දේශප්‍රේමීන් නම් චන්ද්‍රිකා ආණ්ඩුවට පන්දම් ඇල්ලු අයය, පලාත් සභාවලට කැමති අයටය.
    2005 වන විට රාජපක්ශට කැමති අයටය, මානෙල් මල් වලට පක්ශ අයටය
    2013 වනවිට උතුරේ පලාත් සභාවලට විරුද්ධ අයටය, හලාල් වලට විරුද්ධ අයටය, ක්‍රිස්තියානින්ට විරුද්ද අයටය,නාථ දෙවියනට පක්ශ අයටය, නියම බෞද්යෝ යම් අසපුවකට සම්බන්ධය. නාථ දෙවියනට පක්ශය…

    Like

  3. Prabhanga says:

    “මෙම විග්‍රහය තුළින් අපට පැහැදිලි වනුයේ “ජාතිය” යන සංකල්පය වනාහී සියුම්ව අර්ථ දැක්විය නොහැකි ඉතා පැටලිලිසහගත සංකල්පයක් බවයි.”

    ඕනෙම නම් srilanaknatheistsටත් ජේන් එලියට් කලා වගේ සරළ පර්යේෂණයක් කරන්න පුළුවං. නිවාඩු පාඩු වෙලාවක පාරට බැහැල පාරෙ හමුවෙන මිනිස්සු සිය දෙනෙකුගෙන් තමුන්ගෙ ජාතිය මොකක්ද කියල අහල බලන්න. එතකොට srilanaknatheistsටම බලා ගන්න පුළුවන් ‘සියුම්ව අර්ථ දැක්විය නොහැකි ඉතා පැටලිලිසහගත සංකල්පයක්’ ලෙස ඔබට හැ‍ඟෙන ජාතිය යන සංකල්පයට ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව පිළිතුරු දෙන ආකාරය. ඒකෙන් srilanaknatheistsට තේරුම් ගන්න තියෙන්නෙ ඉතාම සරළ නමුත් වැදගත් කරුණක්. එනම් යමක් නිර්වචනය කර ගත නොහැකි වූ (හෝ අපහසු වූ පමණින්) එවැන්නක් නැතැයි ගැනීම වැරදි බවයි. මිනිස්සු නිර්වචන හදාගන්නෙ දේවල් සාමාන්‍යයීකරණය කිරීමෙන්. නිර්වචන තිබීම විද්‍යාවට අනිවාර්ය වුණාට අනෙත් අයට එහෙම නැහැ. ජාතිය කියන සංකල්පයේ ඇති සංකීර්ණබව නිසා තමයි ඒක එහෙම සරළව සාමාන්‍යයීකරණය කරගන්න බැරි. එය srilanaknatheists තේරුම් ගන්නෙ ජාතිය යන දෙය විද්‍යාත්මක නැහැ කියල නම් ඒකෙන් ඇත්ත වශයෙන්ම කියවෙන්නෙ විද්‍යාව ජාතිය ග්‍රහණය කරගන්න තරම් ශක්තිමත් නැහැ කියන එක මිසක ජාතිය කියල දෙයක් නැහැ කියන එක නෙමෙයි.

    – ප්‍රභංග.

    Like

    • ජාතිය කියන්නෙ දේශපාලනික කඳවුරක්……. ඕක තමයි මට පේන හොඳම අර්ථ දැක්වීම. “ජාතිය” කියන එක නැහැ කියන්න බෑනෙ. අපොයි තියෙනවා. තියෙන එක තමයි ප්‍රශ්නේ. නමුත් ඔක “යූ.ඇන්.පී”, “ජෙ.වී.පී” වගේ එකක් මිස ජානගත යමක් නොවේය කියන අස්ථානයට එන්න පුලුවන් නම් ප්‍රශ්න අඩුයි. ජාතිය කියල දෙයක් “ග්‍රහනය” කරගත්තා කියල කාටවත් හොඳක් වෙන්නෙ නෑ. ඉතින් කොහොමට කට්ටිය අම්බානක “ග්‍රහනය” කරගෙන ඉන්න යමක් තව තව ස්ථාපිත කරන්න ප්‍රභංගලා වගේ අය උඩ දාගෙන දඟලන්නෙ ඇයි?………. ජාතික චින්තයන අනුව නම් “පුටුවත්” නෑ, “මනසත්” නෑ, “මමත්” නෑ….. හැබැයි “ජාතිය” …අන්න ඒකනම් අම්බානක තියෙනවා… පුටුව, මනස, මම, වගේද ජාතිය ….නේද? 🙂

      Like

      • Prabhanga says:

        නිකං පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා රිටිගල (මෙහෙම කතා නම් රිටිගල ඇත්තටම හුරතල්). ලොකෙ ඔයා හිතනවට වඩා සංකීර්ණයි. ප්‍රභංගවත් ප්‍රභංගගෙ ලයින් එකේ ඉන්න අයවත් ජාතිය කියන එක සළකන්නෙ ඔය ඇතැම් ජාතිකයන් වගේ ජානගත යමක් ලෙස නෙමෙයි කියන එක රිටිගල නොදන්නව වෙන්න බැහැනෙ (එස්. මහින්ද හාමුදුරුවන්ගෙ ජාතිය සම්බන්ධයෙන් නලීන් සහ කාලෝ අතර වුණු සංවාදය රිටිගලත් කියවල ඇතිනෙ). ප්‍රභංගටත් ජාතිය කියන්නෙ එ.ජා.ප., ජ.වි.පෙ වගේ සංස්කෘතික ගොඩනැගීමක් තමයි. නමුත් ගැටළුව තියෙන්නෙ එසේ වූ පමණින් රිටිගල බලාපොරොත්තු වෙන විදිහට ප්‍රශ්න අඩු නොවීමෙ. රිටිගල අවම තරමින් හිතනවද එජාපය තියෙද්දි ජවිපෙ හෝ ශ්‍රීලනිපය ස්වකැමැත්තෙන් විසිරී යයි කියල. මේ පක්ෂ වලට ගැ‍ටුම් වලට නොගිහිං දේශපාලනය කරන්න බැරි නම් කරන්න තියෙන්නෙ එක පක්ෂයක් විසුරුවා හරින එක නෙමේ, ඒ පක්ෂ වලට සහජීවනයෙන් දේශපාලනය කරන එක උගන්වන එක. ජාතිය සම්බන්ධයෙනුත් ඕක ඔහොමයි.

        – ප්‍රභංග.

        Like

        • උපහාසය වැඩි වැඩියෙන් ඔනේ වෙන්නේ, තර්කය අඩු අඩුවෙන් යොදා ගන්න පුලුවන් වෙනකොට නේද? 🙂

          ජාතිය කියන්නෙ දේශපාලනික ගොඩනැගීමක් බව හා ඊට ටිකක් එහාට ගිය ‘චින්තන/සංස්කෘතික’ ඒකකයක් බවට ජාතික චින්තනවාදී නිර්වචනය ගැන මම හොඳට දන්නවා. වර්තමානයේ ‘ජාතිය’ කියන දේශපාලනික උපකරනය ලංකාවෙ ක්‍රියාත්මක වන විදිහ බැලුවොත්, ඔය කියන ‘චින්තන හා සංස්කෘතික’ නිර්වචනයක් ඒකට දෙන්න අමාරුයි. හුදෙක්ම දේශපාලනික බල කඳවුරක් විදිහට තම්යි ක්‍රියාතමක වෙන්නෙ. ඊලඟට ජාතික චින්තන වාදින් විසින් ප්‍රබුද්ධ/වියත් ප්‍රජාව ඉලක්ක කොට ‘ජාතිය’ට බරසාර නිර්වචනයන් ලබා දුන්නාට, ඒ අය ඉලක්ක කරන ඡන්ද පදනමේ ඉන්න ප්‍රජාවට ‘ජාතිය’ ගැන තියෙන්නෙ ඔය විදිහේ බරසාර නිර්වචනයක් නොවේ.

          දැන් මේ ලිපිය ලියපු කරන්න හදල තියෙන්නෙ අර ඔය ගොල්ලො ‘පුටුව’ නැහැ, ‘මනස’ නැහැ, ‘මම’ නැහැ කියල අරන් යන දාර්ශනික ගේම් එකම ‘ජාතිය’ නැහැ කියල නූතනත්වය ඇසුරෙන් කරන එක. මට, මගේ මනසට, හෝ මගේ පුටුවට කලින් නැතිවෙන්න ඔනේ එකක් තමයි මගේ ‘ජාතිය’. ඒ හින්ද මේ ලිපිය මට නම් වැදගත්.

          Like

        • අර යූ.ඇන්.පී ය තියෙන නිසා ජේ.වී.පී.ය හෝ ශ්‍රි.ල.නි.ප පවතිනවා. යූ.ඇන්.පී ය තියෙනා තාක් කල් ජේ.වී.පීය හෝ ශ්‍රි.ල.නි.ප විසුරුවා හරින්න බෑ කියපු උදාහරනෙ අර්ථයත් තේරුනා. සුලු ජාතීන්ගේ ජාතිවාදය තියෙන තාක් මහජාතියේ ජාතිවාදය තියෙනවා හා තිබිය යුතුයි කියලනෙ ඔය කිව්වෙ. ඒ වගේම සිංහලෙන් සිංහල ප්‍රජාවත ආමන්ත්‍රනය කරල ‘ජාතිය’ පිලිබඳ ඔව්න්ගේ දැඩි අල්ලා ගැනීම බුරුල් කරන්නට කරන මෙවැනි සංවාදයන් ඔබ වැනි අය දකින්නෙ සිංහල ජාතිය විසුරුවා හැරීමෙ හා ඒ මගින් සුලු ජාතීන්ගෙ ජාතිවාදයට නිදහස ලබා දීමේ උත්සාහයක් හැටියට. එහෙම නේද?

          මේක නම් ඔබේ අර ‘ලදරු/හුරතල්’ වචන ඇත්තටම යොදා ගන්නෙ පුලුවන් තැනක්. අරුන් ජාතිවාදී වෙනතාක් අපිත් ජාතිවාදි කියන එක නම් බොහොම ලදරු තර්කයක්.

          නමුත් මේ විදිහේ මතක් කිරීමක් කරපු ගමන් ‘ජාතිය’ පිලිබඳ ඔය ගොල්ලන්ගේ නිර්වචනය තවත් සංකීර්න වෙනවා. ඉන්පස්සෙ මේක යුදෙව්-ක්‍රිස්තියානි-ග්‍රීක සංස්කෘතීන්ගේ ආධිපත්‍යයට එරෙහිව පෙරදිග සංස්කෘතීන්ගෙ ලාස්ට් ස්ටෑන්ඩ් එක වගේ බොහොම බරපතල කර්තව්‍යයක් කරන කට්ටියක් විදිහට ඔය ගොල්ලො තමුන්ව හඳුන්ව ගන්නවා. එහෙම හඳුනවාගෙන මහා සිංහ වේසයක් අරගෙන මේ පොඩි කොදෙව්වේ වැටිලා ඉන්න හිඟන ජාති කීපයක හිඟන්නන්ගේ ආරෝව මහා ලොකු සිංහ-කොටි සටනක් වගේ හිතාගන්නවා.

          Like

          • Prabhanga says:

            ප්‍රභංගට හාස්‍යය රසය. උපහාසය ඊටත් වඩා රසය. රස සොයා යන ප්‍රභංගට එය පිළිගැනීම සම්බන්ධව අවුලක් නැත. එහෙත් අවුල ඇත්තේ උපහාසයට මුවාවී ප්‍රභංග තර්කයෙන් කර හරී යන චෝදනාවෙහිය. එය අභූතය. වැරදිය. ඊටත් වඩා වැරදි වන්නේ ප්‍රභංග (සහ පොදුවේ ඔහුගේ ලයින් එකේ යන අය) කියන දෙය තේරුම් නොගෙන (හෝ වැරදියට තේරුම් ගෙන) ඔහුව විවේචනය කිරීමෙහිය. එහෙත් ප්‍රභංගට එහිද ගැටළුවක් නැත. මන්ද යත් ඒ රසවත් නිසාය. විහිළුසපයන්නන් ඇසුර රසවත් බව මේ අඩවියේම වෙනත් තැනකද උක්ත ලියුම්කරුම ලියා ඇත.

            ජාතික චින්තන මතවාදයටද ජාතිය සම්බන්ධ නිර්වචනයක් තිබූ බවක් ප්‍රභංග නොදනී. තිබුණද එය ඔවුන්ටද සීරියස් දෙයක් විය නොහැක. ප්‍රභංගද නිර්වචන බරපතළ දේ ලෙස නොදකී. යමෙකුට ජාතිය සම්බන්ධව යම් ප්‍රයෝජ්‍ය අදහසක් වෙත් නම් එහි පොදු ස්වරූපයක් (සාමාන්‍යයීකරණයක් හෙවත් generalised form එකක්) වචනයෙන් විස්තර කොට තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය නොහැක. එවැන්නකට නැති බරක් දිය හැක්කේ භාශාව දේව නිර්මාණයක් ලෙස සැළකෙන චින්තනයක මිස ජාතික චින්තන මතවාදයට පදනම්වන චින්තනයේ නොවේ. ජෝන්ගේ සුභාරංචියට අනුව වචන දේව-නිර්මිතය.

            මෙහිදී රිටිගල කර ඇති දෙවන වැ‍රැද්ද තමුන්ම කළින් කියූ දෙය අමතක කිරීමය. රිටිගල තම ප්‍රථම අදහස් දැක්වීමේදී කියන්නෙ ජාතිය යන්න ජානගත යමක් ලෙස ගැනීම වැරදි බවයි (හෙවත් එය දැනට එසේ සැළකෙන බවයි). එය දේශපාලන කඳවුරක් බවත් එය “යූ.ඇන්.පී”, “ජෙ.වී.පී” වැනි යමක් ලෙස තේරුම් ගැනීම වඩාත් සුදුසු බව එහිදී ඔහු වැඩිදුරටත් කියයි. එසේ පවසන රිටිගල දැං පවසන්නේ ජාතිය “හුදෙක්ම දේශපාලනික බල කඳවුරක් විදිහට තම්යි ක්‍රියාතමක වෙන්නේ” යනුවෙනි. එනම් එය ජානගත යමක් ලෙස නොව දේශපාලන කඳවුරක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහුම පවසයි. තම ප්‍රථම අදහස් දැක්වීමේදි ප්‍රශ්නයක් ලෙස ඔහු දු‍ටු දෙය දැං ප්‍රශ්නයක් නවන බව ඔහුම පවසයි. ප්‍රභංග හාස්‍යට කැමති බව ඇත්තය. නමුත් මේ මට්ටමින් කෙරෙන හාස්‍ය ඔහුට වුවුඅද දරා ගැනීමට අපහසුය.

            රිටිගල කරන තෙවන වැ‍රැද්ද නම් ඩොක්ටර් ජෙහාන් පෙරේරාට අඳින්න යාමයි, හෙවත් පවත්නා සන්දර්භය අමත කොට මනෝරාජික ලෙස ප්‍රශ්නයට පරවේෂ වීමට යාමයි. ප්‍රභංග කියන්නේ අරුන් ජාතිවාදී නම් අපිත් ජාතිවාදී විය යුතුය වැනි සරළ කරුණක් නොවේ. ජාතිය යනු දේශපාලන කඳවුරක් නම් රිටිගල කළ යුතුව ඇත්තේ එවන් දේශපාලන කඳවුරු බිහිවීමට එරෙහි වීම මිසක එක් ‍තෝරාගත් කඳවුරක පැවැත්මට එරෙහි වීම නොවේ (ප්‍රභංග පුද්ගලිකව මෙවැන්නක් පිළිනොගනී. ඔහුට අනුව කළ යුතුව ඇත්තේ දේශපාලන කඳවුරු ඉවත් කිරීම නොව ඒවා අතර ඇති ගැටළු සමනය කර ගැනීමයි). මෙය පක්ෂ දේශපාලන සදෘශ්‍යයෙන් පැහැදිළි කරන්නේ නම් ජවිපෙ බිහිවන්නේ එජාපය නිසා නොව ඊටත් මූලිකව පක්ෂ දේශපාලනය නිසා බැවින් කළ යුතු වන්නේ එම ආකෘතියට එරෙහිවීම මිස ජවිපෙ විසුරුවා හැරීමට යෝජනා කිරීම නොවේ.

            රිටිගලගේ අවශේෂ කරුණුවලට ප්‍රභංගට පිළිතුරු දීමට අදහසක් නොමැත. ප්‍රභංග මේ දිනවල යම් තරමකින් කාර්ය බහුල බව කරුණා පෙරදැරිව සලකන මෙන් ඉල්ලා සිටී.

            – ප්‍රභංග.

            Like

          • Prabhanga wrote: /**මෙහිදී රිටිගල කර ඇති දෙවන වැ‍රැද්ද තමුන්ම කළින් කියූ දෙය අමතක කිරීමය. රිටිගල තම ප්‍රථම අදහස් දැක්වීමේදී කියන්නෙ ජාතිය යන්න ජානගත යමක් ලෙස ගැනීම වැරදි බවයි (හෙවත් එය දැනට එසේ සැළකෙන බවයි). එය දේශපාලන කඳවුරක් බවත් එය “යූ.ඇන්.පී”, “ජෙ.වී.පී” වැනි යමක් ලෙස තේරුම් ගැනීම වඩාත් සුදුසු බව එහිදී ඔහු වැඩිදුරටත් කියයි. එසේ පවසන රිටිගල දැං පවසන්නේ ජාතිය “හුදෙක්ම දේශපාලනික බල කඳවුරක් විදිහට තම්යි ක්‍රියාතමක වෙන්නේ” යනුවෙනි. එනම් එය ජානගත යමක් ලෙස නොව දේශපාලන කඳවුරක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහුම පවසයි. තම ප්‍රථම අදහස් දැක්වීමේදි ප්‍රශ්නයක් ලෙස ඔහු දු‍ටු දෙය දැං ප්‍රශ්නයක් නවන බව ඔහුම පවසයි. ප්‍රභංග හාස්‍යට කැමති බව ඇත්තය. නමුත් මේ මට්ටමින් කෙරෙන හාස්‍ය ඔහුට වුවුඅද දරා ගැනීමට අපහසුය.**/

            ජාතිය කියන සංකල්ප්ය ඇත්තෙන්ම ක්‍රියාත්මක වන ආකාරය හා ජාතිය කියන සංකල්පයේ නිර්වචනය ගැන සාමාන‍ය ප්‍රජාව තුල ඇති අවබෝධයේ පරස්පරය ගැන තමයි මම කියන්න උත්සාහ කලේ. මේ දෙක දෙවැදෑරුම් කාරනා සමපාත වූ දාට ජාතිය කියන සංකල්පය මුල් කරගෙන ඇතිවී ඇති ගොඩක් ප්‍රශ්න ලිහිල් වෙනවා (සම්පූර්නයෙන්ම විසදෙනවා කියල මම කියන්නෙ නෑ )

            ඔබ කථික තරඟ තර්කයක් දාලා මම කිව්ව දේ පරස්පරය ඇති බවක් පෙන්වන්න වචන හරඹයක් කලාට, මම කියන්න හදපු දේ ඔබටත් තේරුනා කියල මම දන්නවා. මේ වගේ අවස්ථාවල තමයි මට අර ඉන්ටෙලෙක්චුවල් ඩිස්ඔනෙස්ටි කියන වචනය ආයෙත් මතක් කරන්න වෙන්නෙ.

            Like

            • Prabhanga says:

              ප්‍රභංගට රිටිගල පැවසූ දේ වැටහෙයි. රිටිගලට නොවැටහුණු ඇතැම් දේ ද වැටහෙයි. රිටිගල එක් අවස්ථාවකදී අප ජාතිය යන්න ජානගත දෙයක් ලෙස තේරුම් නොගන්නේ නම් (හෙවත් රිටිගලට අනුව ‘නිර්වචනය කර නොගන්නේ නම්’) ප්‍රශ්න අඩුකර ගත හැකි බව පවසයි. එයද යූ.එන්.පී හො ජ.වි.පෙ වැනි දේශපාලන කඳවුරක් ලෙස තේරුම් ගත යුතුව ඇතැයි ඔහු යෝජනා කරයි. ප්‍රභංග ජානගත කතාවට එකඟ නොවෙතත් රිටිගල පවසන දෙය ප්‍රභංගට වැටහෙයි. ඉන් අනතුරුව දෙවන අවස්ථාවකදී රිටිගල පවසන්නේ ලංකාවේ ජාතිය යන්න ක්‍රියාත්මක වන්නේ හුදෙක් දේශපාලන කඳවුරක් ලෙස බවයි. එයද ප්‍රභංගට වැටහෙයි. එපමණක් නොව ජාතිය යන්න සංස්කෘතික ගොඩ නැගීමක් ලෙස දකින ප්‍රභංග ඊට මූලිකව එකඟද වෙයි. මෙහිදී රිටිගලට නොවැටහෙන දෙයක්ද ප්‍රභංගට වැටහෙයි. එනම් රිටිගල මුලින් කියූව සහ දෙවනුව කියූ දෙය පරස්පර බවයි. එහෙත් එය රිටිගලට නොවැටහෙයි. නො-එසේ නම් නොවැටහුණා සේ සිටියි.

              ඉන් නොනැවතී ප්‍රභංග විවාද තරඟ තර්ක දමන්නේ යැයි රිටිගල චෝදනා කරයි. ඒ එසේ වන්නේ කෙසේ දැයි ප්‍රභංගට නොවැටහෙයි (නො එසේ නම් නොවැටහුණා සේ සිටියි!!). එය ‘කතික තරඟ තර්කයක්’ වුවද තර්කනය නිවැරදි නම් එහි ගැටළුවක් ප්‍රභංග නොදකියි. හැරත් තමුන්ද කරන්නේ දේශපාලනයක් බව ප්‍රභංග මුලදීම රිටිගලට පැවසූ බව ප්‍රභංග දනියි. එබැවින් යමක් ‘කතික තරඟ තර්කයක්’ වූ පමණින් රිටිගල කලබල වන්නේ ඇයි දැයි ප්‍රභංගට නොවැටහෙයි.

              Like

          • Prabhanga also wrote : /**ජාතිය යනු දේශපාලන කඳවුරක් නම් රිටිගල කළ යුතුව ඇත්තේ එවන් දේශපාලන කඳවුරු බිහිවීමට එරෙහි වීම මිසක එක් ‍තෝරාගත් කඳවුරක පැවැත්මට එරෙහි වීම නොවේ **/

            ඒක නේද මෙච්චර කල් මම කලේ. ඒකම නේද මේ මුලු බ්ලොග් පෝස්ට් එකෙන්ම මතුකරන්න යන කාරනාව. යේක තමයි අප්පා අපි කොරනවා…යේක කොරනවා කියල නෙමේද පේනවා? 🙂

            Like

  4. Mayya says:

    සිංහලයාට හෝ දෙමලාට ජාන වලින් එන පිරිසිදු කමක් නැත..මො දෙගොල්ලෝම එකිනෙක් හොදට කලවංය…ඒත් එයින් ඔවුන් වෙනස් ජාතීන් දෙකක් බව ගම්‍ය නොවේ…

    සිංහල ලේ පාරිශුද්ධ ද? -2 කොටස

    //ඒ පක්ෂ වලට සහජීවනයෙන් දේශපාලනය කරන එක උගන්වන එක. ජාතිය සම්බන්ධයෙනුත් ඕක ඔහොමයි.//

    අගනා කියමනක්..

    Like

  5. Mayya says:

    නිවැරදී කිරීමක්…

    ඒත් ඔවුන් සමාන ජාතීන් දෙකක් බව ගම්‍ය නොවේ…

    Like

  6. Pingback: ආගම් විවේචනයෙන් හා උපහාසයෙන් ආරක්ශා කල යුතුද ? | බණ්ඩාගෙ ලෝකය

  7. Pingback: ආගම් විවේචනයෙන් හා උපහාසයෙන් ආරක්ශා කල යුතුද ? | තෙවැනි ඇස

  8. Pingback: ආගම් විවේචනයෙන් හා උපහාසයෙන් ආරක්ශා කල යුතුද ? | නිදහස් අදහස්

  9. Pingback: 17. ආගම් විවේචනයට සහ උපහාසයට විවෘත කල යුතුද? | අසම්මතයා

  10. Pingback: 17. ආගම් විවේචනයට සහ උපහාසයට විවෘත කල යුතුද? | අසම්මතයා | Jamis Banda's Blog

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s