උද්ගමනය පිළිබද ගැටලුව සහ කාල් පොපර්

බටහිර, පෙරදිග, නිරිතදිග, ඊසානදිග, එක්ස්කිමෝ, ඊජිප්තු, චීන, ඇමසෝනියානු යනා දී වශයෙන් විද්‍යාව නානාවිධ මාදිලියන්ගෙන් යුක්ත වනවාද නැතහොත් “විද්‍යාව” යන වචනයේ නිවැරදි ව්‍යවහාරය වනුයේ කිසිදු විශේෂණ පදයකින් තොරව “විද්‍යාව” යනුවෙන් ද යන්න ගැටලුවකි. ඒ ගැටලුව අපට දාර්ශනික මට්ටමෙන් සංවාදයට බදුන් කළ හැකි ය. නමුත්, එක් දෙයක් පැහැදිලි ය. එනම්, ඕනෑම විද්‍යාවක් තුළින් බලාපොරොත්තු වන්නේ ස්වභාවික පරිසරයේ විවිධ දෑ වල ස්වභාවය හා හැසිරීම පිළිබද වන සාධාරණ සහ පොදු රටාවන් හෙළිදරව් කරගැනීම බව ය. උදාහරණයක් ලෙස, විද්‍යාව (හෝ ඕනෑම විද්‍යාවක්) තුළින් බලාපොරොත්තු වනුයේ අහවල් හංසයා සුදු පාටයි යනුවෙන් තනි හංසයෙකුගේ ස්වභාවය විස්තර කිරීම නොව සියලුම හංසයින්ට පොදු වූ ප්‍රස්තුථයන් අනාවරණය කරගැනීම ය. තවද, පොලොවට වැටෙන කොස් ගෙඩියේ චලනය විස්තර කිරීමට පමණක් සීමා නොවී පොලොවට වැටෙන ඕනෑම දෙයක චලනය පොදුවේ විස්තර කෙරෙන සමීකරණයක් සොයාගැනීම විද්‍යාව තුළින් අරමුණු කර ගැනේ.

ඇතැම් අවස්ථාවන්හිදී අපට නිරීක්ෂණයෙන් තොරවම යම් යම් දේ වලට පොදුවූ ලක්ෂණයන් හදුනාගත හැකි ය. උදාහරණයක් ලෙස, සියලුම තනිකඩයන් අවිවාහක බව දැනගැනීම පිණිස අපට සියලුම තනිකඩයන්ව නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නැත. මන්දයත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලු තනිකඩයන් අවිවාහක බැවිනි. එසේවුවද, අපට බොහෝ දේ වලට පොදු වන ලක්ෂණයන් දැනගන්නට ලැබෙනුයේ නිරීක්ෂණයන් හරහා ය. සියලුම හංසයින් සුදුද නැතහොත් කලු හංසයින්නුත් සිටීද යන්න දැනගැනීමට අපට ඇති වඩාත් සරලම ක්‍රමය වනුයේ සියලුම හංසයින් නිරීක්ෂණය කිරීම ය. එසේවුවද, යම් කුලකයකට ගැනෙන දේ අතුරින් සියල්ල නිරීක්ෂණය කිරීමට අපට ප්‍රායෝගිකව හැකියාවක් නැත. අප විසින් උද්ගමනය වෙත යොමුවන්නේ එබැවිනි. උද්ගමනය තුළ දී, අප විසින් යම් කුලකයක අවයව අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඒ අනුව එකී කුලකයේ සියලු අවයව වල ස්වභාවය පිළිබදව යම් අනුමානයක් කරනු ලබයි. උදාහරණයක් ලෙස, දැනට නිරීක්ෂණය කර ඇති සියලු ලෝහ රත් වූ විට ප්‍රසාරණය වනවාය යන කරුණ පදනම් කරගනිමින් “සියලුම ලෝහ රත් වූ විට ප්‍රසාරණය වේ යනුවෙන් නිගමනය කිරීම දැක්විය හැකි ය.

නිරීක්ෂණයන් පදනම් කරගනිමින් යම් යම් ප්‍රස්තුථයන් උද්ගමනය කිරීම ඕනෑම විද්‍යාවක් තුළ මූලික වශයෙන් සිදු වේ. එනම්, යම් විද්‍යාවක් “නොබටහිර” වූ පමණින් එකී විද්‍යාවට උද්ගමනයේ අවශ්‍යතාවයෙන් ගැලවිය නොහැකි ය. උද්ගමනය හරහා යම් ප්‍රස්තුථයක් ව්‍යුත්පන්න කරගැනීමේ දී අපට උද්ගමනය පිළිබද ගැටලුවට මුහුණ දීමට සිදු වේ. මෙකී උද්ගමනය පිළිබද ගැටලුව ගැන අප විසින් මීට පෙර ලිපියක විස්තර වශයෙන් කතා කළෙමු.

උද්ගමනය පිළිබද ගැටලුව සදහා විවිධ දාර්ශනිකයින් සහ චින්තකයින් විසින් විවිධ ප්‍රතිචාර ලබාදී ඇත. ඉන් ඇතැම් ප්‍රතිචාරයන්ට අනුව අප විසින් උද්ගමනය පිළිබද ගැටලුව විසදිය යුතු ය. තවත් ප්‍රතිචාරයන්ට අනුව අප විසින් උද්ගමනය පිළිබද ගැටලුව සමග ජීවත් වීමට ක්‍රමයක් සොයාගත යුතු ය. විද්‍යාවේ දාර්ශනිකයෙකු වූ කාල් පොපර්ගේ අදහස වූයේ අප විසින් උද්ගමනය පිළිබද ගැටලුව negotiate කරගෙන ඒ සමග ජීවත් වීමට ක්‍රමයක් සොයාගත යුතුය යන්නයි. ඔහු විසින් යෝජනා කරන ලද අසත්‍යකරණය කිරීමේ ක්‍රමවේදය වනාහී උද්ගමනය පිළිබද ගැටලුව negotiate කරගැනීමට හැකි එක් ආකාරයකි.

උද්ගමනය හරහා ව්‍යුත්පන්න කරගනු ලැබූ ප්‍රස්තුථයක් අසත්‍ය විය හැකි ය. උදාහරණයක් ලෙස, දහ හත් වන සියවසේ යුරෝපීය ජීව විද්‍යාඥයින් විසින් උද්ගමනය කරනු ලැබූ “සියලුම හංසයින් සුදු පාට ය” යන ප්‍රස්තුථය දැක්විය හැකි ය. කලු හංසයින් ද සිටින බව එවකට නිරීක්ෂණය කර නොතිබිණි. නමුත්, ප්‍රශ්නය වනුයේ යම් උද්ගාමී නිගමනයක් අසත්‍යදැයි අප දැනගන්නේ කෙසේද යන්න යි. අප විසින් විද්‍යාවේ එන න්‍යායක් “පට්ටපල් බොරුවක්” යැයි ලේබල් කළ පමණින් එකී න්‍යාය අසත්‍ය බව ඔප්පු නො වේ.

කාල් පොපර්ට අනුව විද්‍යාව සමන්විත වනුයේ අනුමානයන්ගෙනි. මෙම අනුමානයන් හැදින්වීමට කාල් පොපර් විසින් යොදාගත්තේ conjecture යන වචනය යි. මෙකී අනුමානයන් ව්‍යුත්පන්න කරගනුයේ උද්ගමනය හරහා ය. කාල් පොපර් සදහන් කළ ආකාරයට, විද්‍යාවේ න්‍යායන් වනාහී හුදු අනුමානයන් පමණක් බැවින් ඒවා සත්‍ය හෝ අසත්‍ය යනුවෙන් වර්ගීකරණය කළ නොහැක. ඒ වෙනුවට අප විසින් කළ යුත්තේ ඒ ඒ අනුමානයන්ගේ “ශක්තිමත් බව” පිළිබදව මිම්මක් ගැනීම ය. එය කරනුයේ ඒ ඒ අනුමානයන් මගින් කෙතරම් නිශ්ප්‍රභ කිරීම් (refutations) ප්‍රමාණයක් විද දරාගනී දැයි පර්යේෂණ හරහා මැන බැලීමෙනි. යම් අනුමානයක් මගින් නිශ්ප්‍රභ කිරීම් බොහෝ ප්‍රමාණයක් විදදරා සිටීනම් එය ශක්තිමත් අනුමානයකි. නැතිනම් එකී අනුමානය විශ්වසනීය එකක් නො වේ. විද්‍යාවේ ස්වභාවය පිළිබද කාල් පොපර් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය එයයි.

කාල් පොපර් විසින් විද්‍යාවේ ස්වභාවය පිළිබදව කරන ලද මෙකී විස්තර කිරීමේ යම් යම් අඩුපාඩු ඇත. එහෙත්, “උද්ගාමී නිගමනයක් අසත්‍යකරණයට ලක් කළ හැකි විය යුතුයි” යනුවෙන් පැවසීම තුළින් පොපර් උත්සහ කලේ විද්‍යාව සහ ව්‍යාජ-විද්‍යාව එකිනෙකින් වෙන්කිරීමට විනා විද්‍යාවේ න්‍යායන්ට සම්භාවනීයත්වයක් ආරෝපණය කිරීමට නො වේ.

එමෙන්ම, විද්‍යාවේ එන ගණිතමය ආකෘතීන් මගින් සිදුකරනුයේ ස්වභාවික පරිසරයේ නානාවිධ රටාවන් සන්නිකර්ෂණය කිරීම ය. විද්‍යාවේ ඇතැම් න්‍යායන් හරහා ඉතා රළු ලෙස ස්වභාවික පරිසරය සන්නිකර්ෂණය කරනු ලබයි. මෙලෙස ස්වභාවික පරිසරය රළු වශයෙන් සන්නිකර්ෂණය කරනු ලබන විද්‍යාත්මක න්‍යායන්ට උදාහරණ වනුයේ චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද  නිව්ටන් විසින් ඉදිරිපත් කරනු ලැබූ න්‍යායන් ය. තවද, ඉතා සියුම් ලෙස ස්වභාවික පරිසරය සන්නිකර්ෂණය කරන්නාවූ න්‍යායන් ද විද්‍යාවේ ඇත. ගුරුත්වාකර්ෂණය පිළිබද අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ න්‍යායන් ඊට නිදසුන් ය. සැකවින් කිවතොත්, නිව්ටන්ගේ න්‍යායන් අඩිරූලක් බදුනම් අයින්ස්ටයින්ගේ න්‍යායන් වර්නියර් කැලිපරයක් බදු ය. අපට වර්නියර් කැලිපරය භාවිත කිරීම තුළින් අඩිරූලට වඩා සියුම් මිම්මක් ලබා ගත හැක. නමුත්, එසේ වූ පමණින් අඩිරූලෙන් ගන්නා ලද මිම්ම “පට්ටපල් බොරුවක්” බව ගම්‍යමාන නො වේ. අඩිරූලෙන් ලබාගන්නා මිම්මේ සහ වර්නියර් කැලිපයරයෙන් ලබාගන්නා මිම්මේ වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා නිවැරදිභාවයේ නො වේ. එලෙසම, චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද නිව්ටෝනියානු සහ අයින්ස්ටයිනියානු න්‍යායන් අතර වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා සත්‍ය අසත්‍යභාවයේ නො වේ.

Advertisements
This entry was posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

27 Responses to උද්ගමනය පිළිබද ගැටලුව සහ කාල් පොපර්

  1. උද්ගමන පිලිබඳ ගැටලුවෙ දෙවැනි දිගුව පලකිරීම ගැන ස්තූතියි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. මෙහි තියෙන සමහර පාරිභාෂික වචන හුරු නැති වීම නිසා සමහර පාථකයන්ට මෙහි සම්පූර්න අදහස ගලපා ගැනීමට ටිකක් අමාරුවෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට මෙහි තියෙන ගොඩක් වචන පිලිබඳ මා දැනුවත් උනාට “සන්නිකර්ෂනය” කියන වචනය මම දන්නෙ නෑ. මෙහි context එක අනුව තේරුම හිතා ගන්න පුලුවන්. නමුත් අවාසනාවට අපි ගොඩ දෙනෙක් මේ විෂය සම්බන්ධයෙන් හදාරන්නෙ හා හිතන්නෙ ඉන්ග්‍රීසියෙන් නිසා. ‘සන්නිකර්ෂනය’ කියන පාරිභාෂික වචනය මොන ඉන්ග්‍රීසි වචනයටද සමපාත වෙන්නෙ කියල දැන්ගන්න තුරු තේරුම හරියට ඔලුවට යන්නෙ නෑ. මේකෙ තියෙන අමාරු වචන වල ඉන්ග්‍රීසි තේරුම කමෙන්ට් එකක් විදිහට දාල පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?

    Like

    • මෙතනදි සන්නිකර්ෂණය යනුවෙන් යෙදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙ approximate කියන වචනය වෙනුවට..මෙහිදී අවධානයට ලක්වන කාරණය වන්නේ විද්‍යාවේ එන තියරි හා mathematical models මගින් කරන්නෙ ස්වභාවධර්මයේ ස්වභාවය සහ හැසිරීමේ රටාවන් approximate කිරීම බව…නිව්ටන් සිය ගණිතමය ආකෘති, එනම් F=ma වැනි සමීකරණ මගින් කොස් ගෙඩියක් බිමට වැටීම වැනි ස්වභාවික සංසිද්ධි approximate වශයෙන් විස්තර කරා…අපිට නිව්ටෝනියානු සමීකරණ උපයෝගී කරගනිමින් බිමට වැටෙන කොස්ගෙඩියේ වේගය, කාලය, ස්ථානය වගේ රාශීන් පිළිබද හොද satisfactory approximation එකක් ගන්න පුලුවන්…නමුත්, නිව්ටෝනියානු ගණිතමය ආකෘති අපට වේගය වැඩි හෝ ස්කන්දය වැඩි දේවල් විෂයෙහි ඇප්ලයි කලොත් ලැබෙන approximations ඉතාමත් රලුයි…හරියට අඩිකෝදුවකින් නියපොත්තක ඝනකම මැන්නා වගේ…precise measurement එකක් ගන්න බෑ…ඒ නිසා තමයි අයින්ස්ටයිනියානු න්‍යායන් අපට අවශ්‍ය වෙන්නෙ

      Like

  2. Mayya says:

    ////එලෙසම, චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද නිව්ටෝනියානු සහ අයින්ස්ටයිනියානු න්‍යායන් අතර වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා සත්‍ය අසත්‍යභාවයේ නො වේ.///

    උත්තරය්යේ ඇත්තේ සන්නිකර්ශන ප්‍රොබලම් එකක් නම් අපි මේ හොයන්නේ නිවැරදි උත්තරයක්ද? ඒක අර ස්පර්ශොන්මුඛයක් වගේ කවදාවත් අල්ලා ගත් නොහැකි තේරුම් ගත නොහැකි යථාරථයක්ද?

    සියලු විශ්වාස දුරලිය යුතු යැයි කියන ‘ඇතැම්’ නිරාඅගමිකයන්…..යථාර්තයක් ඇතැයි කියන ඔප්පු නොකල ස්ටිරියෝටයිප් එකක් විශ්වාස කරති…ඔවුනුත් ගල් ගසන්නේ වීදූරු ගෙවල් වල් සිට බව අපට නම් පේනේ….

    Like

    • “නිරාගමිකයන්” යනු එක මතවාදී ගුරු කුලයක් නියෝජනය නොකරන විවිධ මත පරාසයක සිටින පුද්ගලයන් බැවින් මයියා නැවත නැවත මෙතැනත පැමිණ “නිරාගමිකයන්” ස්ටීරියෝටයිප් කිරීම නොකර හිටියොත් හොඳ නැද්ද. අර “ඇතැම් නිරාගමිකයින්” කියා ‘ඇතැම්’ කෑල්ලක් දැමීමෙන් මේ චෝදනාවෙන් ගැලවෙන්න පුලුවන් බව මම දනිමි. නමුත් ඔබට අවශ්‍යව ඇත්තෙ නිරාගමිකයන් ස්ටීරියෝටයිප් කිරීම බවයි පේන්නෙ.

      එමෙන්ම මාතෘකාවට අදාල ලෙස ප්‍රබුද්ධව සංවාදයකට එලැඹෙන ගතියට වඩා මයියා නිරාගමිකයන් සමග ඇරියස් කවර් කිරීමකට එන බව හැඟවෙන ආකාරයේ වාග් ප්‍රහාර වලින්ම සංවාදය පටන් ගන්නෙ ඇයි. අර “…ඔවුනුත් ගල් ගසන්නේ වීදූරු ගෙවල් වල් සිට බව අපට නම් පේනේ….” වාක්‍යය අනවශ්‍යයි නේද? මේ විදිහට නැතුව සංවාදශීලී ලෙස මෙ මාතෘකා කතා කරන්නට බැරිද?

      Like

    • නිරාගමිකයන් යනු ‘සියලු විශ්වාස දුරලිය යුතු යැයි’ කියන්නන්ද? මම හිතන්නෙ කොහෙවත් එහෙම අර්ථ දැක්වීමක් නැහැ. නිර්-ආගමිකයන් කියන්නෙ “ආගමකට” හෝ පාරම්පරික ඇදහිලි හෝ විශ්වාස මත පදනම්වූ දැනුම් පද්ධතීන් වලට අනුගත නොවූ, විද්‍යාත්මක ක්‍රම වේදය හරහා ගොඩ නැගෙන දැනුම් පද්ධති මත සිය ‘විශ්වාසය’ තාවකාලිකව තබා ඉන්නා පුද්ගලයන්. “සියලු විශ්වාස දුරලිය යුතු” වගේ දාර්ශනික පදනමක් නෙමෙයි එතැන තියෙන්න. මයියා ඔය කියන්නෙ වෙනම කතාවක්.

      විද්‍යාව කියන්නෙ “සත්‍යය සෙවීම” වගේ දාර්ශනික මෙව්වා එකක් නොවේනේ මයියා. විද්‍යාව කියන්නෙ අපේ එදිනෙදා වැඩ කරගන්න, ජීවිතය පහසු කරගන්න, වඩ හොඳ ජීවන තත්වයක් ලඟා කරගන්න වගේ බොහෝම ප්‍රායෝගික වැඩ වලට යොදා ගන්න දැනුම් පද්ධතියක්. මයියාට තියෙන්නෙ “සත්‍යය” සොයා යෑම වගේ උවමනාවක්. ඒ හින්දා නේද ඔය විද්‍යාත්මක ක්‍රම වේදය හා විද්‍යාවෙ දර්ශනය ගැන නොයෙකුත් දාර්ශනික අවුල් ඇතිවෙන්නේ?

      විද්‍යාව කියන්නෙ “සත්‍ය ගවේෂනයක්” කියල හිතන ඒ විදිහට විද්‍යාව දකින කට්ටියත් ඉන්නවා. ඒකත් ප්‍රශ්නයක් නොවේ. අනික් අතට යථාර්ථක් “ඇත්” යන ලෝක දැක්මත්. “එහෙම එකක් නැත” යන ලෝක දැක්මත් දෙකම එක වගේ. අර “නැත” යන එක “ඇත” යන එකට වඩා සිරා නෑ. නැත යන එකේ තියන අමුතු දාර්ශනික කික් එක නිසා, ඒ පැත්ත්ට බර කට්ටිය හිතනවා අපි සිරා කියල. මොකද මිනිසාට අවිඥානික ඉවක් තියෙනවා “යථාර්ථය” කියල එකක් ගැන. ඉතින් ස්වභාවිකව තමුන්ට දැනෙන තත්වයට වඩා වෙනත් අස්වාභාවික ඉවක් ඇති කරගත්ත කට්ටිය හිතනව අපී සිරා, අපි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් විදියකත ලෝකය දකිනවා කියල. මේ කියන “පොරත්වය” මයියාගේ කමෙන්ට් වලින් මට පේනවා. ඔය පොරත්වයම තමා නලිනාගම අදහන ශ්‍රාවකයන්ටත් තියෙන්න.

      Like

  3. මයියා “යථාර්ථය” පිලිබඳ මැක්කාගේ කතාව නැවතත් මතුකල බැවින් හා පිලිතුරක් ලිවීමට කාල වේලා නොමැති කමින්. වෙනත් තැනෙක වෙනත් අරමුනකට ලියූ දෙයක් මෙතැන copy-paste කරමි. context එකේ වෙනස ගැන සමාව භජනය කරන්න.

    /**
    වාස්තවික යථාර්තය(objective reality) යන සංකල්පයද සාපේක්ෂතාවයක් බැවින් එයට “ඇත” හෝ “නැත” යන නිරපෙක්ෂ අගයක් ලබාදීම පරස්පරයක් (contradiction) බව පමණි මට එකඟ වියහැකි මතය. රේඛීය චින්තනය යටතේ එය පරස්පරයක් වුවද චක්‍රීය චින්තනය යටතේ එසේ නොවන බව, එමෙන්ම රේඛීය හා චක්‍රීය චින්තන යනු එකිනෙකින් ස්වායත්ත දේවල් වන්නෙ කෙසේද යන දේවල් මට පැහැදිලි නැත. නොදන්නා දේවල් ගැන මීට වඩා අදහස් පලකල නොහැක. දන්නා දෙයක් ගැන කියන්නේ නම්, ක්වන්ටම් වාදයේ කෝපන්හෙගන් විවරණය තුල කියවෙන්නේ “යථාර්තය” යනු නිරීක්ෂකයා (observer) හා නිරීක්ෂ්‍යය (observee) එකතුවෙන් සෑදෙන නිරීක්ෂනයක් (observation) බව පමණි. එබැවින් නිරීක්ෂනයට පිටතින් නිරපේක්ෂව පවතින “ඊනියා” යථාර්තයක් ගැන කතාකිරීම් පදනම් විරහිත බව එයින් කියවේ. මේ ගැන වෙනම ලිපියක් පසුව ලියන්නට බලාපොරොත්තු වෙමි. කෙටියෙන් කියතොත් අපට පොල්ගෙඩි බිමට වැටෙන බව පෙනේ. එබැවින් පොල්ගෙඩි බිම වැටේ යන්න අපට සාපේක්ෂව යථාර්තයකි. පොල්ගෙඩ් බිමට වැටෙන්නේ ඇයි, යන ප්‍රශ්නයට උත්තර සෙවීමේදී “දැනුම” නිර්මාණය වේ. පොල්ගෙඩි බිම වැටේ යන කරුන අපගේ පද්ධතිය තුල සත්‍යයකි. මෙම සත්‍යය වෙනස්වන්නේ අපගේ නිරීක්ෂන හැකියාවේ තත්වයන් විශාල ලෙස වෙනස් කිරීමෙන් පමණි.

    පොල්ගෙඩි බිම වැටේ යන්න අපිට සාපේක්ෂව සත්‍යයක් ලෙස පිලි නොගන්නා දැනුම් පද්ධතියකින් එදිනෙදා දිවියේදී වැඩක් ගත නොහැක. එමෙන්ම සාමාන්‍ය තත්ව යටතේ පොල්ගෙඩි බිම වැටෙනවා හැරෙන්නට වෙනත් ආකාරයකට හැසිරෙන්නනේ නොමැතිබවද පිලිගැනීම වැදගත්ය. පොල්ගෙඩි ඉහලට ගමන් කිරිමක් හෝ හිටිගමන් අතුරුදහන් වීමක් හෝ ගැන කිසිවෙකු පැවසුවොත් එය මනෝ විකාරයක් හෝ හිතා මතා ගෙතූ බොරුවක් බව අපි නිගමනය කරමු. එසේ වන්නේ සමූහයක් ලෙස පිලිගතහැකි මට්ටමකින් අපි එම නිරීක්ෂනය නැවත නැවත සිදුවන බව ඔප්පුකර නැති නිසාය. ඇත්තටම එහෙම දේවල් උනත් එය අපගේ ජීවිතවලට බලපාන මට්ටමකින් සිදුනොවේ. එබැවින් ඔප්පුකර පෙන්වන තුරු, “එවැනි දේ සිදුවීමට ඉඩක් නැත” යන්න ඉතා හොඳ ස්ථාවරයකි.

    පොල් ගෙඩියද, මහ පොලවද, බිම වැටීම යන සංකල්පයද අපගේ මනසේ නිර්මානයක් බැවින් “පොල් ගෙඩි බිම වැටීම” යන්නේ කිසිම යථාර්තයක් නොමැතිබව පවසන දර්ශනයන් පුරාතන ඉන්දියාවේ මෙන්ම නූතන යුරෝපයේද යහමින් පැවතිනි. “නිර්මානාත්මක සාපෙක්ශතාවාදීන්” මෙම සංකල්ප වලට මනරම් සිංහල වචන යෙදීම හා ගෝත්‍රවාදී මුහුනුවරක් ලබාදීම හැරුනුකොට අන් යමක් කර ඇත්ද? යමක් කර ඇත්නම් එය මට තවමත් වැටහුනේ නැත. එය වැටහුනු දාක මා අතින් සම්පූර්ණ වෙනස් ලිපියක් ලියවෙනු ඇත.

    දැනට මා දන්නා ඉතිහාසය අනුව “පරම සත්‍යයක් නැත” යන පරම සත්‍යය ඇසුරින් “මනස ඇතුලුව සියල්ල මනසේ නිර්මානවේ” යන දැනුම පාදකවූ දැනුම් පද්ධතීන් තුල ප්‍රායෝගික විද්‍යාවන් නිර්මාණයවී නැත. “පොල් ගෙඩිය බිම වැටීම සත්‍යයකි” යන දැනුම පදනම් වූ විද්‍යාවකින් අඩුගනනේ අපිට සම්බෝලයක්වත් හදාගත හැක. වාස්තවික සත්‍යයන් නැත යන අස්ථානයේ සිටින පඬිරුවන්, ‘නැති’ පුටුවේ වාඩිවී, අනුගේ දැනුමින් තැනූ ‘නැති’ සම්බෝල සමග ‘නැති’ පාන් කමින් සිය පනකෙංද රැකදෙන සම්බෝලය සෑදු දැනුමට ගරහනු පමනි මා මෙතෙක් දැක ඇත්තේ. නලින් ගේ දර්ශනය මෙතැනින් එහා තැනකට යන අයුරු පැහැදිලි කලහැකි පඬිරුවනක් වෙත්නම් මා මේ මුලාවෙන් ගලවාදෙනු මැනවි.**/

    Like

  4. ස්තූතියි…

    මා කමෙන්ට් කර ඇත්තේ ‘srilankanatheist.’ යන අයට හා ‘ලාංකික නිරාගමිකයන්’ යන බ්ලෝග් අඩවියටයි. රිටිගල ජයසේනම් මීට ඉහත ප්‍රකාශ කර ඇති පරිදි ඔහු මෙහි ඇඩ්මින්වරයකුද නොවේ.. මාව පෙර දැනුවත් කර ඇති පරිදි මෙම බ්ලෝගය විවිධාකාර ස්ථරවල’නිරාගමික’තත්වයක් (විශ්වාසයක්?) දරන පුද්ගල සමූහයක එකතුවකි. මේ ලිපිය තුලින් ‘යථාර්ථයක් ඇත’ යනුවෙන් විශ්වාසකරනු ( සමහරවිට අවිඥානක විශ්වාසයක් වීමට ඉඩ ඇත) ලබන නිරාගමිකයකු මා දැක ඇත. මා ප්‍රශ්ණ කරන්නේ ඔහුගේ ස්ථාවරයයි. මා අසන්න්නේ ‘ යතාර්ථයක් ඇත, නමුත් විද්‍යාව ඒ යථාර්ථය සදහා අතැම්විට රළු හෝ සුමට සන්නිකර්ශනයක් ‘ යන ඔහුගේ ලිපියේ අන්තර්ගතයේ වලංගුතාවය පිලිබද ප්‍රශ්ණයයි.

    //යතාර්ථයක් ඇත, නමුත් විද්‍යාව ඒ යථාර්ථය සදහා අතැම්විට රළු හෝ සුමට සන්නිකර්ශනයක් // යන්නද හුදු විශ්වාසයක් බැවින්, මා ඊලගට ප්‍රශ්ණ කරන්නේ නිරාගමිකයන් විශ්වාසය/තර්කනය මත පදන්ම් වු අනෙත් ආගම්/දර්ශන විශේශයෙන් බුද්ධදර්ශනය ප්‍රශ්ණකිරීමේ වලංගුතාවයයි. මා දන්නා පරිදි ‘විශ්වාසයෙන්’ තොර දැනුම් පද්දතියක් ගොඩ නගා නොමැත. එසේ තිබියදී ‘ඇතැම්’ නිරාගමිකයන් හුදෙක් ‘විශ්වාසය’ කිරීම ගැබ් වු පමණිඅන් එය දඩමීමා කරගෙන් විශේශයෙන් බුද්ධ දර්ශනය දෙකේ කොලේට දැමීම මට පෙනී යන්නේ ‘වීදුරු ගෙවල් වල සිට ඇදුම මාරු කරනවා. නැතිනම් ගල් ගසනවා’ ලෙසය.මීට වඩා රසවත් ආකරයකින් (සුමට ආකාරයකින් :)) එය ප්‍රකාශ කිරීමට නොහැකි මගේ සිංහල භාශාවේ අඩු දැනීම පිලිබද සමාවෙන්න..

    දැන් රිටිගල ජයසේනයන්ට යොමු වෙමු. ඉස්සර අපේ ස්කූල් බස් එකේ පොඩි එකෙක් වෙන කොහේ හරි වලියක් දාගෙන ගුටිකා පැමිනියොත්, අපේ ස්ක්කුල් බස් එකේ ලොකු අයියලා කාරණයේ හරි වැ‍රැද්ද පැත්තකින් තිබියදී අර අපේ පොඩි එකාට නෙලපු එවුන්ට බිවු මවු කිරි කටින් එන්නට රිටර්න් එක දෙති.ඒ සදහා අවශ්‍ය බයිසිකල චේන් , දැලි පිහි, ට්යුබ් ලයිට් බසයේම සඟවා ඇත. ලොකු අයියලාට වැදගත් වන්නේ සදාරණය අසාදාරනය නොව තමන්ගේ ස්කූල් බස් එකේ තත්වය ‍රැක ගැනීමය. එවිට එකෙක්වත් අපේ ස්ක්කුල් බස් එකට වලියක් දැමීමට ඉදිරපත් වෙන්නේ නැත.

    මා ප්‍රශ්ණ කර ඇත්තේ ‘ඇතැම්’ නිරාගමිකයන්ගේ ‘යතාර්තයක් ඇත’ යන ස්ථාවරයයි….ඒහෙත් රිටිගල ජයසේන ‘යථාරතයක් ඇත හෝ නැත’ …ඒය වැඩකදු නැත යන පැරඩොක්සියක් ඉදිරිපත් කර සම්ස්ත නිරාගමිකයන් වෙනුවෙන් පෙනී හිටියි. නිරාගමිකයන් සිටිරොයෝටයිප් කර ඇත්තේ මයියා නොව රටිගල ජයසේන බව බුද්ධිලෝලීහු දැන ගනිත්වා…

    දෙවන කාරණය ‘නලීන්ගේ එවුන්’ හා ‘අපේ එවුන්’ යන භෙදය, නැතිනම් ඉරක් ගසා..’උන් සහ අපි’ යනුවෙන් වෙන්කර උන් නරකය,අපි හොදය යන අවිඥානක සිතුවිල්ල රෝපණය කිරීමය…පෞද්ගලක්ව මා නලීන් මහතාගේ වර්තමාන දර්ශනයක් එකඟතාවයක් නැත..ඒත් මාව ඒ ගොඩට දැමූ විට චිරාත් කාළයක් තිස්සේ ප්‍රගුණ කල ‘නලීන්ට නෙලිමේ කලාව’ නැමැති ගෝත්‍රික සටන ක්‍රමයෙන මගේ සාධාරන ප්‍රශ්ණය බුල්ඩෝසර් කිරීම කිරීම ඉතා පහසුය.කෙතරම පහසුද කියන්නේ නම් එය ‘කට් ඇන්ඩ් පේස්ට්’ කිරීමක් පමණය. මට මතක් වෙන්නේ අපේ ලොකු අයියලා බසයේ හංගා තිබු බයිසිකල් චෙන්, දැලි පිහි , නංචක්කුය :)) පොඩි මල්ලිලා වලියක් දා ගත්තම ලොකු අයියලා බයිසිකල් චෙන්,නංචක්කු වලින් රිටර්න් එක දෙන්නේ පොඩි මල්ලිලාට ඇති ආදරයක් නිසා නොව තමන්ගේ තත්වය තියා ගන්නටය….එහි ආගමික ස්වරූපය ‘එබ්‍රහිමක් ආගම’ ලෙස සෑම් හැරිස්, රිචඩ් ඩෝකින්සෝ වැනි ඉංරිසී භාශාවෙන් ලියන නිරාගමිකයන් මුලින්මද..ඊට පසු ඒවා සිංහලට නැගීමේන් රිටිගල ජයයසේන සිංහල පාඨකයන්ටද මීට පෙර ඉදිරිපත් කර ඇත..

    Like

    • නිරාගමික සියලු දෙනාට පොදු වූ කරුණ වනුයේ ඔවුන් සාම්ප්‍රදායික සහ පාරම්පරික ඇදහිලි වලින් මිදී විචක්ෂණශීලී ලෙස ලෝකය දෙස බලන පිරිසක් වීමයි. නිරාගමික බොහෝදෙනෙක් විද්‍යාව කෙරෙහි යම් ලැදියාවක් දක්වන මුත් නිරාගමිකයෙකු වූ විට අනිවාර්යයෙනම විද්‍යාව පිළිගත යුතුයි කියා නියමයක් නැත. නමුත්, මේ අඩවියට සහභාගී වී ඇති නිරාගමිකයන් සියල්ලම විද්‍යාව පිළිබද ධනාත්මක ස්ථාවරයක් තමයි දරන්නෙ. නිරාගමික අය අතර නානාප්‍රකාර ස්ථාවර දරන උදවිය ඉන්නවා..උදාහරණයක් ලෙස, මා මිත්‍ර රිටිගල ජයසේන ගණිකා වෘත්ති නීති ගත කළ යුතුය යන ස්ථාවරය දරන කෙනෙක්…නමුත් මා සිටින්නෙ ඊට ප්‍රතිරෝධී ස්ථාවරයේ…යථාර්තයක් ඇත්ද නැද්ද යන ප්‍රශ්නය ගත්තත් ඒ පිළිබදවද නිරාගමික උදවිය විවිධ අදහස් දරනවා…මයියා නිරීක්ෂණය කර තිබුණු පරිදි මා සිටින්නේ යථාර්ථයක් ඇත යන ස්ථාවරයේ

      Like

  5. මා හිතන්නේ තනිකඩයන් පිළිබද උදාහරණය, අර්ථදැක්විමක් (definition) සහ ප්‍රවාදයක් (theory) අතර වෙනස නොදැනීම නිසායි ඉදිරිපත් කරලා තියෙන්නේ. තනිකඩයන් යනු විවාහ නොවූ පුද්ගලයන්ය කියන එක අර්ථ දැක්වීමක්. ප්‍රවාදයක් නොවේ. ඒ අර්ථදැක්වීමම ‘සියලුම තනිකඩයන් විවාහ නොවූ පුද්ගලයන්ය‘ කියලා ප්‍රවාදයක් විදියට ඉදිරිපත් කිරීමෙන් එය ප්‍රවාදයක් වන්නේ නෑ. මොකද අර්ථදැක්වීමට අනුවම ඒක එහෙම වෙන්ඩ එපැයි. එයින් නිර්මාණය වන අලුත් දැනුමක් නෑ. ඇත්තටම මේක යොදා ගන්ඩ පුළුවන් ප්‍රවාද ගොඩනැගීම කොතරම් නොමග යවන සුළුද කියන එකට උදාහරණයක් ලෙස. අන්තිමට වෙලා තියෙන්නේ එක තැන කැරකෙනවා වගේ වැඩක්.

    කපුටන් පිළිබද කතාව ඊට වෙනස්. එතන උද්ගමනය මත පදනම් වූ සාධාරණීකරණයක් තිබෙනවා. ඒ අනුව කවදා හෝ සුදු කපුටෙක් හමුවන තුරු ‘සියලුම කපුටන් කළු පාටය‘ කියලා ප්‍රවාදයක් ගොඩනගන්ඩ පුළුවන්.

    නමුත් මීට වඩා ඉතා වැදගත් දෙයක් බටහිර විද්‍යාවේ වෙනවා. එනම් මේ ප්‍රවාදවලට වියුක්ත (abstract) සංකල්ප යොදා ගැනීම. එසේත් නැතිනම් වියුක්ත ප්‍රවාද ගොඩනැගීම. සියලුම කපුටන් කළු පාටය කියන එක වියුක්ත ප්‍රවාදයක් නොවේ. කපුටා අපට පේනවා. කළු පාට පේනවා. ඒකට අවශ්‍යනම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රවාදයක් කියලා කියන්ඩ පුළුවන්.

    නමුත් ගුරුත්වාකර්ෂණය පිළිබදව නිව්ටන් ඉදිරිපත් කළේ එවැනි ප්‍රවාදයක් නොවේ. වියුක්ත වස්තු පොළවට වැටෙන්නේ ඇයි කියලා ඉදිරිපත් කරපු වියුක්ත ප්‍රවාදයක්. ගුරුත්වාකර්ෂණය කියන්නේ වියුක්ත සංකල්පයක් නොවේ. එය ඉන්ද්‍රිය ගෝචර නොවනවා පමණක් නොව හිතෙන් මවා ගැනීමට පවා නොහැකියි. වියුක්ත සංකල්ප සංයුක්ත සංකල්ප ඇසුරෙන් අර්ථ දක්වන්ඩ පුළුවන්. නමුත් වියුක්ත සංකල්පවල මව් බස බටහිර ගණිතයයි. ගණිතය භාෂාවක් ලෙස සැලකුවොත් එයින් තමයි වියුක්ත සංකල්පයක් වඩා සාර්ථකව නිරූපනය කළ හැක්කේ.

    බටහිර විද්‍යාවට ‘බටහිර‘ කියන විශේෂණ පදය එන්නේ මෙන්න මේ වියුක්ත ප්‍රවාද නිසයි. නැතුව දේශපාලන හේතුවක්, භූගෝලීය කරුණු නිසා හෝ ආසාවට නොවේ. අනිත් සංස්කෘතිවලත් ප්‍රවාද තිබුනා. නමුත් ඒ සංයුක්ත ප්‍රවාද. වියුක්ත ප්‍රවාද එන්නේ බටහිර විද්‍යාවේ පමණයි. ඒ එන්නේත් බටහිර සංස්කෘතියේ සහ ඊට පදනම්වූ චින්තනයේ ඇති වියුක්ත භාවය නිසයි.

    පෙරදිග විද්‍යාවන් වල දැනුම් නිර්මාණය කළේ උද්ගමනය මත පමණක් නොවේ. ප්‍රත්‍යක්ෂයද තිබුනා. පැරණි භාරතීයයන් සෞර ග්‍රහ මණ්ඩලය ආදය ගැන දැනගෙන සිටියේ නිරීක්ෂණයෙන් නොව ප්‍රත්‍යක්ෂයෙන් ලද දැනුමෙන්. ප්‍රත්‍යක්ෂයෙන් දැනුම ලබා ගත් අයට නූතන යුගයේ හොදම උදාහරණය තමයි රාමනුජන් නම් ඉන්දීය ගණිතඥයා. එහිදී වන්නේ ඉන්ද්‍රිය ගෝචර දැනුම ලබා ගැනීමක් නොව මනසින් සෘජුවම දැනුම ලබා ගැනීමයි. මේ කරුණෙනුත් බටහිර විද්‍යාව අනිත් විද්‍යාවන්ගෙන් වෙනස් වෙනවා. බටහිර විද්‍යාවට අනුව උද්ගමනයෙන් ලබා ගන්නා දැනුම පමණයි සත්‍ය දැනුම වන්නේ (එපමණක් නොව එහිදී යොදා ගන්නේ ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යාය පමණයි. වෙනත් න්‍යායකට අවස්ථාවක් නෑ). වෙනත් දැනුම ලබා ගැනීමේ ක්‍රමයක් ගැන කියවෙන්නේ නෑ. ‘අධ්‍යයනය‘ යන සංස්කෘත වචනයේ තේරුමත් ‘ධ්‍යාන නොවන‘ දැනුම ලබා ගැනීම කියන එකයි. එයින් හැගවෙන්නේ ධ්‍යානයෙන් දැනුම ලබා ගැනීමක් ඇති බවයි. ඇත්තටම පැරණි සමාජයේ වඩා උසස් ලෙස සැලකුනේ උද්ගමනයට වඩා ප්‍රත්‍යක්ෂ්‍යයයි.

    අපිට සාමාන්‍ය ජීවිතයේ ප්‍රත්‍යක්ෂයෙන් දැනුම ලබා ගැනීමට ඇති කිට්ටුම අත්දැකීම ‘හැගීම්‘ කියලා මට හිතෙන්නේ. මිනිස්සු තීරණ ගන්ඩ මේ හැගීම් පිළිබද දැනුම භාවිත කරනවා බෙහෙවින්ම. මම මගේ මවට ආදරය කරනවා කියන එක මට ‘දැනෙන‘ දෙයක්. එය දැනෙන්නේ මනසටයි. එය බටහිර විද්‍යාත්මක ක්‍රමයෙන් තහවුරු කරන්ඩත් බෑ. පොදු නිරීක්ෂණයකට ගන්ඩත් බෑ. එනයින් ඒක බොරු වෙනවාද?

    පොපර්ගේ අසත්‍යකරණය පිළිබද න්‍යායේ ඇති අඩුපාඩු නිසා තමයි පෝල් ෆෙයාබන්ඩ් පසු කාලීනව සුසමාදර්ශය (paradigm) කියන සංකල්පය ඉදිරිපත් කළේ. නිව්ටෝනීය සහ අයින්සටයින්ගේ භෞතිකය කොතරම් වෙනස් වෙනවාද කියනවා නම් ඒ දෙක සුසමාදර්ශ වෙනසක්. නිව්ටෝනීය භෞතිකයේ ඇති අවස්ථිති රාමු අයින්ස්ටයින්ගේ සුසමාදර්ශයේ නෑ. කාලය සහ අවකාශය වැනි මූලිකම සංකල්ප පවා මේ දෙකේ යොදා ගන්නේ වෙනස් ආකාරයට. වර්නියර් කැලිපරයේ උදාහරණය අවශ්‍ය නම් නිව්ටන් ඉදිරිපත් කරපු දුරකදී සිදුවන ක්‍රියාව (action at a distance) සහ පසුකාලීනව ෆැරඩේගේ චුම්බක ක්ෂේත්‍ර ඇසුරෙන් තනාගත් ගුරුත්ව ක්ෂේත්‍ර (gravitational field) කියන සංකල්පයට ඉදිරිපත් කරන්ඩ පුළුවන්. මොකද ගුරුත්ව ක්ෂේත්‍රයෙන් කලින් තිබූ දුරකදී වන ක්‍රියාවේ තිබ්බ අවුල් සහගත බව සෑහෙන දුරට නිරවුල් කරපු නිසා. නමුත් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු සුසමාදර්ශය ඊට සම්පූර්ණයෙන්ම පටහැනි එකක්. ඒක හරියට අඩි රූලෙන් දුර මැන මැන හිටපු මිනිහට දුරත් එක්ක කාලයත් මනින්ඩ කිව්වා වගේ වැඩක්. ඒක කරන්ඩ බෑනේ. අඩි රූලයි කැලිපරයි දෙකම පැත්තකට දාලා වෙනත් දෙයක් යොදා ගන්ඩ වෙනවා. මීටත් වඩා වෙනසක් තියෙනවා අයින්සටයින් ඉදිරිපත් කරපු සුසමාදර්ශය සහ ක්වොන්ටම් සුසමාදර්ශය අතර.

    පොපර් ඉදිරිපත් කරපු අසත්‍යකරණ න්‍යාය බටහිර විද්‍යාවේ උනත් ඒ ආකරයට භාවිත වන්නේ නෑ. ෆෙයාර්බන්ඩ් කියූ ආකාරයටම සුසමාදර්ශයක් ඇතුළේ කරන්නේ ඒ සුසමාදර්ශය තහවුරු කිරීමට කරන සාමාන්‍ය විද්‍යාවක්. මේක අද හොදටම පේනවා විශ්වවේදයේ ඇති මහා පිපිරුම් න්‍යාය සම්බන්ධයෙන්. ප්‍රවාදය එක්ක නිරීක්ෂණ එකග නොවූ විට විශ්වවේදින් කරන්නේ කවුරුත් හීනෙන්වත් නොදැකපු අදුරු පදාර්ථ (dark matter) අදුරු ශක්ති (dark energy) ආදිය හිතෙන හිතෙන විදියට නිර්මාණය කරමින් අර සුසමාදර්ශය රැක ගැනීමයි. නිරීක්ෂණ එක්ක එකග නොවුනා කියලා ඒක අත හරින්නේ නෑ. අත් හරින්ඩ බෑ ඇත්තටම වෙනත් විකල්පයක් නැතුව. ඒ නිසා වෙන්නේ ‘අණ්ඩු දමමින්‘ හෝ තියෙන සුසමාදර්ශය රැක ගැනීමයි. මේකම වෙනවා ජීව විද්‍යාවේ නව ඩාවින්වාදය (neo Darwinism) සම්බන්ධයෙන්. කිසිම ජීව විද්‍යාඥයෙක් පරීක්ෂණ කරන්නේ නෑ නව ඩාවින්වාදය ප්‍රතික්ෂේප කරන්ඩ. එහෙම කලොත් ඔහුට විශ්ව විද්‍යාල පද්ධතියේ පැවැත්මක් නෑ. ඒක තහවුරු කරන්ඩ තමයි පරීක්ෂණ නිරීක්ෂණ කරන්නේ.

    Like

    • බොහොම ස්තූතියි දර්ශන නිරාගමිකයන් වෙනුවෙන් අලුතින් අරඹන ලද මේ අඩවියේ කමෙන්ට් කිරීම සම්බන්ධයෙන්. කාල් පොපර් විසින් ඉදිරිපත් කරනු ලැබූ අසත්‍යකරණය සම්බන්ධ අදහස් වල යම් යම් ගැටලු තියෙන බව ඇත්ත. ඒ බව මම මේ ලිපියෙන් පැවසුවා වගේම ඒ සම්බන්ධයෙන් විස්තර වශයෙන් ඉදිරි ලිපියක කතාකරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ලිපි මාලාව ඉලක්ක කර ඇත්තේ විද්‍යාව සහ විද්‍යාවේ දර්ශනය කියන විෂය පථයට ආධුනික අයට…එම නිසා ඉතා හෙමින් කරුණු තෝරා බේරා ගනිමින් තමයි මෙම ලිපි මාලාව ඉදිරියට ඇදෙන්නෙ.. සුසුමාදර්ශය වැනි මාතෘකා පිලිබද මේ ලිපිය තුල කතාකලේ නැත්තෙ එබැවින්..BTW, සුසුමාදර්ශ පිළිබද අදහස මුලින්ම ඉදිරිපත් කලේ තෝමස් කුන්ග් නේද…the structure of scientific revolutions (1962) ග්‍රන්ථයෙන්…
      සියලුම තනිකඩයන් අවිවාහකය කියන ප්‍රස්තුථය ගත්තොත් එය “තනිකඩයා“ කියන වචනයේ අර්ථදැක්වීමෙන් ව්‍යුත්පන්න කරගනු ලැබූ ප්‍රස්තුථයක්. එලෙස ව්‍යුත්පන්න කරගෙන තිබෙන්නෙ අපෝහන තර්කයක් හරහා. සියලුම ත්‍රිකෝණ වල කෝණ තුනක් ඇත කියන ප්‍රස්තුථයත් “ත්‍රිකෝණය” කියන වචනයේ අර්ථදැක්වීම තුලින් ව්‍යුත්පන්න කරගන්නා ලද්දක්

      ඒ වගේම නිව්ටන් ඉදිරිපත් කළ ගුරුත්වාකර්ෂණ න්‍යාය ගත්තොත් එය වස්තූන් බිමට වැටෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දීම උදෙසා ඉදිරිපත් කරන ලද න්‍යායක් නොවේ. නිව්ටන් පැහැදිලි කොට තිබුණා වස්තූන් බිමට වැටෙන්නේ ඇයිද කියන ප්‍රශ්නය ඇඩ්‍රස් කිරීමක් ගුරුත්වාකර්ෂණය පිලිබද ඔහු ඉදිරිපත් කරන ලද F=Gm1m2/r^2 සමීකරණයෙන් සිදුනොකරන බව. F=Gm1m2/r^2 නැමැති ගණිතමය ආකෘතියෙන් විස්තර කරන්නෙ බිමට වැටෙන වස්තුවක චලනයේ ස්වභාවය විස්තර කිරීම.
      මෙතන ඔයා වියුක්තකරණය කියන්නෙ විශාල වරදක් ලෙස හුවා දක්වලා තියෙනවා..නමුත් ඒක පදනම් විරහිත ප්‍රකාශයක්…වියුක්තකරණය කියන්නේ මානව චින්තනයේ තියෙන ස්වභාවික අංගයක්..ඇත්තෙන්ම කපුටා කියන සංකල්පය ඇතුලු ඕනෑම සංකල්පයක ගොඩනැගීම වියුක්තකරණය හරහා සිදුවන්නක්..වියුක්තකරණය කියන්නෙ ගුරුත්වාකර්ෂණය කියන සංකල්පයට ආවේණික වූවක් නො වේ.

      Like

  6. මයියා එල්ල කරපු සමහර චෝදනාවන් පිලිගන්නවා. අර ස්කූල් බස් උදාහරණය මගේ හිතට ඇත්තටම වැදුනා. 🙂 මොකද කියනවා නම් ඔය ජාතියේ ස්කූල බස් අත්දැකීම් මටත් තියෙනවා. මයියාත් පොඩ්ඩක් පරිස්සමින් වචන පාවිච්චි කරනවා නම් අර රිටිගල ඇතුලේ ඉන්නා “යකා” එලියට පනින්නේ නෑ. නමුත් මයියා ඔබ මේ බ්ලොග් අඩවිය කරන පුද්ගලයන් “දැන උගත් කමින් මයීයට වඩා පාතින් ඉන්නේ” කියන හිතාගේන් ඉන්න බව ඔබේ කමෙන්ට් වලින් පේනවා. එහෙම හිතාගෙන හිටියට කමක් නෑ. ඒ විදිහට පේන කමෙන්ට් දාන්න එපා. එතකොට තමයි වැඩේ අවුල් වෙන්නෙ. කොටින්ම ඔබ හිතනවා මේ බ්ලොග් අඩවියේ ලිපි ලියන ගොඩ දෙනෙක් තාමක් බුදු දහම පිලිබඳ හරි අධ්‍යයනක යෙදිල නෑ, ඒ හින්දා තමා මුන්ට “බටහිර” ලෝක දැක්ම හරි ලොකු. මුන්ට මට තේරුම් ගිහිල්ල තියෙන දේවල් තේරුම් ගියදාට මේ විදිහේ ලිපි ලියවෙන්නෙ නෑ. කියල. බොරුද මම කියන්නෙ? එහෙමනෙ ඔබ හිතන්නෙ? එහෙම හිතුවට කමක් නෑ කමෙන්ට් දාන්කොට, බොරුවට හරි මේ බ්ලොග් අඩවියට පොඩි ගෞරවයක් දීලා ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් ‘රිටිගල’ බයිසිකල් චේන් අරගේන එන්නෙ නෑ.

    මෙතැන කමෙන්ට් කරන්න කාලය වැය කල දර්ශන කස්තුරිරත්න මැතිතුමාටත් ස්තූතියි. මම නලින් ද සිල්වා සම්බන්ද දේවල් හා චින්තන කන්ඩායම අරභයා “දෙන්න්නම් බැටේ” විචාර ශෛලියල් අනුගමනය කරන බවත්. සංවාදශීලි නොවන බවත් මම පිලිගන්නවා. ඒකට හේතු වන අතීත කතා ගොඩක් තියෙනවා. චින්තන කන්ඩායමේ සාමාන්‍යයෙන් මම දකින “අපිට තේරිලා තියෙන දේවල්, මුන්ට තේරෙන්නෙ නැත. මුන් මේ බටහිරයා කියන දේ පුනරුච්චාරනය කරන මැට්ටෝය” යන ආකල්පයෙන් ඉවත් වෙල සංවාදශීලි වෙනවා නම්, අර මගේ “දෙන්නම් බැටේ” විචාර ශෛලිය මට අනුගමනය කරන්න බැහැ. එහෙම කලොත් මමයි මෝඩයා වෙන්නේ.

    අපි උත්සාහ කරල බලමු හොඳ සංවාදයක් ගොඩ නගන්න. අපි හැමෝගෙම තියෙන ඊගෝ ප්‍රශ්න නිසා ඒක ටිකක් අමාරු තමයි.

    මේ බ්ලොග් අඩවියට මයියා හෝ දර්ශන වගේ අය ඇවිත් කමෙන්ට් කරල. ටිකක් අමාරු ප්‍රශ්න මතු කලේ නැත්තම් මේ වගේ බ්ලොග් අඩවියකින් වැඩක් නෑ. ඒ හින්දා ඔබලා මෙහි ගෙන්වා ගැනීමට මිසක් එලවා ගැනීමට අදහසක් නෑ.

    මම මේ බ්ලොග් අඩවියේ ඇඩ්මින් කෙනෙක් නොවුනාට, මෙහි ඇඩ්මින් ලමයා (ලමයා කිව්වෙ ආදරේට 🙂 ) මගේ කිට්ටු මිතුරෙක්. ඔහු මටත් ඇඩ්මින් බලතල ලඟදීම දෙනවා කියලත් තියෙනවා. ඒ හින්දා මෙහි තාම ඇඩ්මින් යතුර නොලැබුනාට මේ අඩවිය “මගේ” කියල හිතාගෙන තමයි වැඩ කරන්නෙ.

    Like

  7. ස්තූතියි හා මා අතින් සිදු වූ හිතරිදවීමක්, පහත්කිරීමක් ඇත් නම් සමාවෙන්න…මා හිතා මතා කිසිවකුගේ දැනුම අඩු තක්සේරුවකට ලක් කිරීමට උත්සහ කර නැත.

    කෙසේ නමුත් මගේ ප්‍රශ්ණය සදහා ප්‍රමාණවත් පිලිතුරක් ලැබී නැති බව මට හැඟී යයි.

    මා අසා ඇත්තේ ‘යථාර්ථයක් ඇත, විද්‍යාව යනු එහි සන්නිකර්ශනයක් පමනි’ යනුවෙන් විශ්වාස කරන්නෙකුට බුද්ධදර්ශනයේ එන’විශ්වාස’ අභියෝගයට ලක් කිරීමේ සදාචාරත්මක් අයිතිය කුමක්ද යන්නයි…

    එය හුදෙක් ම මගේ ආගමේ එන විශ්වාස ඕබේ ආගමේ එන විශ්වාසයන්ට වඩා උසස් යැයි සිතන ගෝත්‍රවාදී චින්තනයෙන් වෙනස් වන්නේ කෙසේද? මට හැඟී යන් පරිදි නිරාගමිකයෙක් සිතා මතා එසේ සිතන්නේ නැත..එහෙත් අවසාන විග්‍රයේදී එය එසේ නොවේද?

    Like

    • අවසාන විග්‍රහයේදි ඔව්! අවසාන විග්‍රහයේදී මේ සියලුම කතා ගොඩ නැගෙන්නේ, දැනුම් පද්ධතියක් මත අප තුල ඇති “විශ්වාසය” පදනම් කරගෙන තමයි. මෙහිදී axioms වශයෙන් ගන්නා සවිඥානික හෝ අවිඥානික උපකල්පන තියෙන්නේ පුලුවන් (යථාර්ථයක පැවැත්ම වගේ).

      හැබැයි මයියා කියන අවසාන විග්‍රහට යන්න කලින් තෝරා බේරා ගතයුතු අවබෝධ කර ගත යුතු ගොඩක් දේවල් තියෙනවා. අර දුවන්න කලින් ඇවිදින්න ඉගෙන ගන්න ඔනේ කියනවානේ. මයියාට දුවන්න පුලුවන් බව මම පිලිගන්නවා. නමුත් විද්‍යාවේ දාර්ශනික පසුබිම ගැන මුකුත් නොදැනම, ඉතාම සරල තර්ක භාවිතා කරමින් මයීයා/දර්ශන වගේ අය ඔය කියන කතාවම කියන්න උත්සාහ කරන දුවන්න තියා තාම කෙලින් කටින් හිටගන්නත් බැරි බබාලා චූන් කිරීමට ඇති අකමැත්ත නිසා, ඔය මයියා කියන තලයේ සංවාදයකට යන්න පෙර මේ බ්ලොග් අවකාශය තුල කලයුතු සංවාද ගොඩක් තියෙනවා. සිංහල බ්ලොග් අවකාශය තුල විද්‍යාවට සාධාරනය ඉටු කලාට පස්සෙ මම කැමතියි ඔය මට්ටමේ සංවාදයකට යන්න. මෙහි මුල ඉඳන්ම මයියා දාපු කමෙන්ට් වලින් මට පැහැදිලියි උනා ඒ තලයෙ සංවාදයකට යන්න මයියාට නොඉවසිලිමත් කියල. නමුත් අර මම කියපු බබාල මේක බලන් ඉඳල ඊට පස්සෙ කියන්න ඉඩ තියෙනවා අන්න දැක්කද රිටිගලත් අන්තිමට කියන්නෙ නලින්/මයියා කියන එක තමයි කියල. මෙතැන කිසියම් දේශපාලනයකුත් තියෙනවානේ මයියා.

      ඒ වාගේ තමයි යමක් “ඇත්ත” හෝ “පවතී” කියල විශ්වාස කිරීම හා යමක් “ඇත්ත” හෝ “පවතී” යන හරහ ගොඩ නැගෙන දැනුම් පද්ධතිය ප්‍රයෝජ්‍ය අගය ගැන ‘විශ්වාස කිරීම’ කියන කතාවත් දෙකක්. අර යථාර්ත කතාව ගත්තොත්. අපෙන් පරිබාහිර එක් සත්‍යවූ යථාර්ථයක් පවතී කියන උපකල්පනය කරන්නෙ දැනුම් පද්ධතිය විසින්. (අපි නොවෙයි) ඒ දැනුම් පද්ධතිය ‘විශ්වාස’ කරන අය එහෙම කරන්නෙ ‘යථාර්ථය’ පවතී කියල පරම සත්‍යයක් අදහන නිසා නෙමෙයි. යථාර්ථය කියන එක දැනුම් පද්ධතියෙ උපකල්පනයක් විතරයි. දැනුම් පද්ධතිය විශ්වාස කරන්නෙ empirical evidence වලින් පෙන්වන ප්‍රජෝය්‍ය අගය නිසා.

      හැබැයි ඔය යථාර්තය සම්බන්ද කතාව නම් ඒච්චර සරල නෑ මයියා. ඔය ‘යථාර්ථය’ කියන එකෙ අර්ථදැක්වීම අනුව තමයි ඔකට “ඇත” “නැත” අගයක් දෙන්න පුලුවන්. ඒ කතාවත් පසුව කරමු. මගෙ copy-paste කරපු කමෙන්ට් එක මම කියන්න උත්සාහ කරපු දේ පැහැදිලි නැතුව ඇති.

      කොහොම උනත් මේ යථාර්ථ කතාව ඇදගන්න මම මේ වෙලාවෙ එචචර සූදානම් නෑ. 🙂

      Like

      • Re-posting part of my previous reply as there were couple of typos there

        ඒ වාගේ තමයි යමක් “ඇත්ත” හෝ “පවතී” කියල සවිඥානික විශ්වාස කිරීම හා යමක් “ඇත්ත” හෝ “පවතී” යන axioms පදනම්ව ගොඩනැගෙනගොඩ නැගෙන දැනුම් පද්ධතිය ප්‍රයෝජ්‍ය අගය ගැන ‘විශ්වාස කිරීම’ කියන කතාවත් දෙකක්. අර යථාර්ත කතාව ගත්තොත්. අපෙන් පරිබාහිර එක් සත්‍යවූ යථාර්ථයක් පවතී කියන උපකල්පනය කරන්නෙ දැනුම් පද්ධතිය විසින්. (අපි නොවෙයි) ඒ දැනුම් පද්ධතිය ‘විශ්වාස’ කරන අය එහෙම කරන්නෙ ‘යථාර්ථය’ පවතී කියල පරම සත්‍යයක් අදහන නිසා නෙමෙයි. යථාර්ථය කියන එක දැනුම් පද්ධතියෙ උපකල්පනයක් විතරයි. දැනුම් පද්ධතිය විශ්වාස කරන්නෙ empirical evidence වලින් පෙන්වන ප්‍රයෝජ්‍ය අගය නිසා.

        හැබැයි ඔය යථාර්තය සම්බන්ද කතාව නම් ඒච්චර සරල නෑ මයියා. ඔය ‘යථාර්ථය’ කියන එකෙ අර්ථදැක්වීම අනුව තමයි ඔකට “ඇත” “නැත” අගයක් දෙන්න පුලුවන්. ඒ කතාවත් පසුව කරමු. මගෙ copy-paste කරපු කමෙන්ට් එක මම කියන්න උත්සාහ කරපු දේ පැහැදිලි නැතුව ඇති. වාස්තවික වූ යථාර්ථයක් පවතීද නැද්ද යනුවෙන් අහන ප්‍රශ්නයේම තේරුමක් නෑ කියලයි මම කියන්නෙ. ඔය ප්‍රශ්නය දාර්ශනික මර උගුලක් මිසක් අවසාන විග්‍රහයේදී වැඩක් ඇති කතාවක් නොවෙයි කියලයි මම කියන්නෙ.

        කොහොම උනත් මේ යථාර්ථ කතාව මේ වෙලාවෙ ඇදගන්න මම මේ වෙලාවෙ එචචර සූදානම් නෑ 🙂

        Like

  8. //දැනුම් පද්ධතිය විශ්වාස කරන්නෙ එම්පිරිචල් එවිඩෙන්චෙ වලින් පෙන්වන ප්‍රයෝජ්‍ය අගය නිසා//

    මේ කථාව මට පිලිගන්න පුලුවන් එකක්…ඒ නිසාම තමයි බාහිර ලෝකය කෙසේ උනත් බුද්ධදර්ශනය මිනිසාට පරම සැපය ලබා දෙන සීල , සමාධි, ප්‍රඥා වැඩීම නැතිනම් ප්‍රයෝජ්‍ය අගය මා ඉතා උසස් කර සලකන්නේ…එය තනි තනි පුද්ගලයාට පමනක් නොව මුලු මහත් සමාජයටම ගලපේන් නිවැරදි ක්‍රමයක් බව හැඟී යන්නේ ‘පරිසර ප්‍රශ්ණය’ , ‘එන්වයර්මන්ට් සස්ටේන්බිලිටි’ වැනි ප්‍රශණ ආමන්ත්‍රනය කිරීම සදහා ද ඒය ගැලපෙන ක්‍රමයක් බව මට හැඟී යන නිසා..මේ ගැන මා මීට කලින් මේ වෙබ් අඩ්වියේ සාකාච්චා කර ඇති නිසා මා නැවත මතක් කරන්න යන්නේ නෑ…මට මතක විදිහට ඒ ගැන යම් එකඟතාවයක් තිබුනා…

    ///ඔය ‘යථාර්ථය’ කියන එකෙ අර්ථදැක්වීම අනුව තමයි ඔකට “ඇත” “නැත” අගයක් දෙන්න පුලුවන්. ඒ කතාවත් පසුව කරමු. මගෙ චොප්ය්-පස්ටෙ කරපු කමෙන්ට් එක මම කියන්න උත්සාහ කරපු දේ පැහැදිලි නැතුව ඇති. වාස්තවික වූ යථාර්ථයක් පවතීද නැද්ද යනුවෙන් අහන ප්‍රශ්නයේම තේරුමක් නෑ කියලයි මම කියන්නෙ. ///

    මේකත් මට පිලිගන්න පුලුවන් එකක්…(මට තේරුම් ගන්න බැරි එකක් ඔයා ලියලා නෑ 😉 ) බුද්ධ දේශන්යේ ‘කච්චායන සූත්‍රය’ කියලා එකක් තියෙනවා…

    //සියලු දේ පවතී: මෙය එක අන්තයකි….සියලු දේ නොපවතී : මෙය තවත් අන්තයකි…..තථාගතයන් වහන්සේ මෙම අන්ත දෙකම ප්‍රතික්ශේප කරන අතර මැද මාවත දේශනා කරයි…….කියලා දැක්වෙනවා…//

    මේ සුත්‍රය මගින් යථාර්ථයේ ප්‍රශ්ණයට බුද්ද දර්ර්ශනයේ පිලිතුර දී තිබෙන්වා…

    මට තේරුම් ගන්න බැරි ඔබගේ අදහස් සමග බුද්ධ දර්ශන යම් තාක් දුරට පැහෙද්දී….එය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලමින්..ඒය දෙකෙ කොලේට දමා කතා කිරීමේන් ඔබ බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්නයි…සමහර විට එය ඔබ සදහන් කරන දේශපාලනයම විය හැකියි…

    Like

    • Mayya says:

      මීට පෙර CT දී ශ්‍යාමන් මහතා විසින් ලියු පහත ලිපියේදී මා ඉතා දිග සංවාදයක් නියැලුණා..

      ඒ විද්‍යාවෙත් විශ්වාස කලයුතු දේවල් ඇති යැයි සම්භන්දයෙන්

      In Defence Of The Non-Religious

      Like

      • Mayya says:

        Like many other indigenous systems, as well as the science, Religions also a knowledge SYSTEM that explains the things around us. As similar to Science, Religions also have some concepts which can not be proved in conventional ways as we do in science. Even science have such a things which are not subjected to be challenged. Mostly these are categorized as AXIOMS. You have to believe in AXIOMS to build up the great kingdom of science and very same AXIOMS are the Achilles heel of the Classical Science of the 17-19th century and still in debate in modern science. it is pity that learned professor is questioning the beliefs of different religions but accept the science neglecting the AXIOMS , without giving them the same treatment of scrutiny. Even the Newtons laws are some kind of axioms which can not be proved. Merely the incident of sending rockets to moon using Newton does not prove that Newton is correct. It is way of explaining some scenario and getting work done but not the reality ( reality: if such a thing exists). The way of Newton is failed in quantum physics. But still you advise us to believe in Newton to find the corners of Universe. (/// Propositions or conclusions with regard to the universe are purely the jurisdiction of science. ///)

        The CONSISTENCY of the science was broken with the new theories of Quantum physics and it is questioning the limitation of the science which is primarily based on the five senses of the human. This paradigm shift of science has unlocked the path of the scientists to extract the concepts in Buddhism and similar eastern philosophies which are may be irrational to eyes of classical scientists.

        Last but not least, as you have taken from the Kalama Sutra of Lord Buddha, you have missed a point here. Lord Buddha has preached not accept anything just merely it is being Rational either. You can believe this or not. Just being science is rational, do not keep your faith in Science. Its CONSISTENCY has already shaken,.

        Like

        • N says:

          Mayya,

          The basis of your argument is that axiomatic beliefs in science are the same as faith in a religious belief. This is not true.

          An axiom must necessarily be a minimal, unavoidable assumption in order to make practical progress in our world. Note the word “minimal” and “practical”. An example would be, do things exist or is the world merely an illusion (maya)? While it would be possibility to tie yourself in a philosophical knot and say that the world is an illusion (and personally, I see no way of resolving that problem either way), the reality is that we can’t make this claim and stop eating food for example, claiming that the food is also an illusion. Nor can we jump out a window thinking that we will never hit the illusory ground. Why? Because if we don’t accept the axiom that the world exists as we see it, empirical reality will bring about a short brutish end to our philosophical fantasy. So even if you still claim that the world is illusory, the practical applicability of that belief is zero. Therefore, whatever your protestations, the truth is that you yourself accept the axiom that the world is not illusory for all practical purposes. These are unavoidable axiomatic assumptions, by their very nature.

          This is the only real axiom that you need for the scientific worldview. And it is an axiom that even a religious person clearly cannot avoid. Once we accept that our reality exists for all practical purposes, then the only question is what method we use to understand that reality. Clearly, the only way to test reality is to see what practical benefit we can gain from some assumption about reality (because it has already been shown that not believing in reality doesn’t give us zilch). And the way to do that is again, clearly, to test the result of acting on that assumption. If the real world responds to our assumption and provides empirical evidence of its truth, then we can consider that assumption to be “valid” for all practical purposes. If not, it is invalid. This is the simple, practical, philosophical basis of science.

          Therefore, the entire knowledge system in science is tested against real world evidence. All axioms are merely working assumptions, for entirely practical purposes. It is not the determinant of validity or invalidity in science. Real world empirical evidence is.

          In contrast, religious faith is about making unnecessary (not minimal) and unverified assumptions about reality. The problem with that is, there is no basis on which these unverified assumptions are made. They are simply pulled out of thin air, based on mere assertion, from the infinite space of belief (and it should be evident that the space for belief is indeed infinite). Unlike scientific axioms, without the basis of validation against the real world, the chance of any of these beliefs being valid are astronomically small. This is simple common sense. This is elementary math.

          Science is therefore the only methodology we humans can use in practice, for separating facts of practical applicability from the space of infinite belief. This is why religion cannot simply assert its way out of its obligation to provide empirical evidence for its claims.

          Like

  9. Dimithri says:

    මයියා,

    //…ඒ නිසාම තමයි බාහිර ලෝකය කෙසේ උනත් බුද්ධදර්ශනය මිනිසාට පරම සැපය ලබා දෙන සීල , සමාධි, ප්‍රඥා වැඩීම නැතිනම් ප්‍රයෝජ්‍ය අගය මා ඉතා උසස් කර සලකන්නේ…එය තනි තනි පුද්ගලයාට පමනක් නොව මුලු මහත් සමාජයටම ගලපේන් නිවැරදි ක්‍රමයක් බව හැඟී යන්නේ ‘පරිසර ප්‍රශ්ණය’ , ‘එන්වයර්මන්ට් සස්ටේන්බිලිටි’ වැනි ප්‍රශණ ආමන්ත්‍රනය කිරීම සදහා ද ඒය ගැලපෙන ක්‍රමයක් බව මට හැඟී යන නිසා.//

    ඔබ භාරයක් ඔප්පු කිරීමට (හෝ කවුදෝ කීවාක් මෙන් ඇරියර්ස් කවර් කිරීමකට) මෙන් තැන නොතැන හමතැනම මෙය (හෝ මෙවැන්නක්) කිය කියා යනවා. [පරිසර ප්‍රශ්නයට ප්‍රධාන හේතුව බටහිර අධිපරිභෝජනයය, එයට විසඳුම බුද්ධ දර්ශනයය වැනි] ඇත්තෙන්ම මේ සංවාදයට ප්‍රස්තුථවූ ලිපියට කොහෙත්ම අදාල නැහැ නේද? කොහෙත්ම අදාල නොවුනත්, ඔබට ඒවා කිවයුතුමනම්, හුදෙක් වාක්‍යක් ලෙස (නලින්: බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්; මයියා: බුද්ධ දර්ශනය තමා වඩා ගැලපෙන ක්‍රමය etc.) නොව ඒවා ඒත්තු යන පැහැදිලි කිරීමක් සමගයි කිවයුත්තේ. කිසි හදිසියක් හෝ ඉඩ පිලිබඳ ප්‍රශ්නයක් නැහැ. වෙලාව, ඉඩ අරගෙන හැකිනම් පැහැදිලි කරන්න. ඇඩ්මින් මහතා මෙයට මා සමග එකඟ වනු ඇත.

    //බුද්ධ දේශන්යේ ‘කච්චායන සූත්‍රය’ කියලා එකක් තියෙනවා…; මේ සුත්‍රය මගින් යථාර්ථයේ ප්‍රශ්ණයට බුද්ද දර්ර්ශනයේ පිලිතුර දී තිබෙන්වා…//

    මයියා නැවතත්! පෙර ලෙසමයි! තනි තනි වාක්‍යයන්! ඔබනේ දන්නේ කච්චායන සූත්‍රය කියලා එකක් තියෙන බව.. කියවන අය නොවෙයිනේ.. හැකිනම් මේවා ඒත්තු යන ලෙස මූලාශ්‍ර සමගින් වෙලාව, ඉඩ අරගෙන පැහැදිලි කරන්න… කිසි හදිසියක් හෝ ඉඩ පිලිබඳ ප්‍රශ්නයක් නැහැ.

    නිර් ආගමික මිතුරන්ගෙන් මා ඉල්ලා සිටින්නට කැමතියි, නිතරම මූලාශ්‍ර, පැහැදිලි කිරීම් වල යෙදෙන්න; ඉල්ලා සිටින්න; එමගින් ජනප්‍රිය, පෞද්ගලික, ප්‍රියතම හිතලු මගින් වටිනා සාකච්චා අපගමනය වීම් අවම කර ගත හැකියි!

    Like

  10. shirantha chamara says:

    “අපට වර්නියර් කැලිපරය භාවිත කිරීම තුළින් අඩිරූලට වඩා සියුම් මිම්මක් ලබා ගත හැක. නමුත්, එසේ වූ පමණින් අඩිරූලෙන් ගන්නා ලද මිම්ම “පට්ටපල් බොරුවක්” බව ගම්‍යමාන නො වේ. අඩිරූලෙන් ලබාගන්නා මිම්මේ සහ වර්නියර් කැලිපයරයෙන් ලබාගන්නා මිම්මේ වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා නිවැරදිභාවයේ නො වේ. එලෙසම, චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද නිව්ටෝනියානු සහ අයින්ස්ටයිනියානු න්‍යායන් අතර වෙනස ඇත්තේ සියුම්භාවයේ විනා සත්‍ය අසත්‍යභාවයේ නො වේ.” ” ”

    මෙය නම් පට්ටපල් පට්ටපල් බොරුවකි . විද්‍යාව කටගාගත් මිනිසුන් තරම් පට්ටපල් බොරු කියන මිනිසුන් නැත. අයින්ස්ටයින් සත්‍ය වූ විගසම නිව්ටන් පට්ටපල් බොරුකාරයෙකු වේ . ලංකාවේ බාග විද්යන්යයන් හා බටහිර රටවල විද්‍යාව කටගාගත් මිනිසුන් නොපිලිගත්තට මෙය බටහිර විද්යන්යින්ද පිළිගනිති . උදාහරණයකට නිව්ටෝන් නියම මෙන් නොව අයින්ස්ටයින් නියම අනුව ආලෝකය විශාල දුර පරාස වලදී හා බලවත් ගුරුත්ව ක්ෂේශ්ත්‍ර වලදී නැමී ගමන් කරයි . මෙවැනි අහසට පොලව මෙන් දේවල් ඇත. විශේෂයෙන්ම මේ ප්‍රවාද දෙකෙහි ලෝක දැක්ම අහසට පොලව මෙනි. නිරගමිකයන් යනු ඉතා ප්‍රථමික මිනිසුන් කොටසකි . ඔවුන් නොදන්නවට අයින්ස්ටයින් සපෙක්ක්ෂතවාදයට අනුව අප දකින භෞතික ලෝකය මිත්‍යාවකි . ඊට අනුව සත්‍ය ලෝකය ඇත්තේ ගණිත සමීකරණ වලින් පමණක් ලියවෙන කාටවත් නිරීක්ෂණය කල නොහැකි අවකාශ කාලය නම් වන ගණිත ලෝකයයි . (මම මෙය පිළිගන්නේ නැත. එහෙත් බටහිර විද්‍යාව යනු ලංකාවේ නිරගමිකයන්ගේ ළදරු මනස වලට ගෝචර වන්නක් නොවන බව අපහසත්මකව කිව යුතුය. ඔවුන් දන්නේ ආගම වලට අපහස කිරීමට පමණි.)

    බටහිර විද්‍යාවේ අදහස සන්නිකර්ෂණය නොව සත්‍ය සෙවීමය. සන්නිකර්ශනයේ විද්‍යාවක් නැත. එහි ඇත්තේ හුදු නිරීක්ෂණ එකතු කිරීමකි. විද්‍යාවේ කෙරෙන්නේ ඇත්ත හේතු සෙවීමය .නෙව්ටෝන් කලේ ස්න්නිකර්ශනයක් නොවේ . ඔහු ඇත්තටම ගුරුත්වාකර්ෂණ බලයක් ගැන විශ්වාස කළේය . අද විද්යන්යයෝ ගුරුත්වාකර්ෂණය (ගුරුත්වය නොවේ) නමින් බලයක් ලෝකයේ නැති බව විශ්වාස කරති . අයින්ස්ටයින් ඇත්තටම අවකාශ කාලයක් ගැන විශ්වාස කළේය. අද භෞතික විද්‍යාවේ අලුත් අදහසක් පිළිගැනීමේදී එය අවකාශ කාලයේ ලිවිය හැකි වීම වැදගත්ය. අයින්ස්ටයින් ඉපදී නොතිබුනේ නම් කුමක් වනු ඇත්ද?

    Like

    • shirantha chamara අප වැනි ලදරු මනස් ඇති පුඟුලන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙහි පැමිණ ඔබෙගෙ බුද්ධිය ‘නිරාගමිකයන්ග්’ ගේ මතවාද මත විදහාපා ඒ මතවාද හිරු දුටු කදෝපැනියන්මේන් නිෂ්ප්‍රභාකර දැමූ අපූරුව! අප මේ මුලාවෙන් ගලවා සත්‍යය පෙන්වාදුන් ඔබ ඒ පින් බලයෙන්, මතු භවයකදී පතන්නාවූ බෝධියකින් නිර්වාන සම්පත්තිය ලඟා කරගනු ඇතැයි අපගේ පාර්ථනාවයි.

      කෙසේ වෙතත් මෙසේද කිය යුතුය. “බටහිරයන්” නමින් ඔබ නම් කරන එකතරා සත්ව කොටසක්, හිතන මතන ආකාරයක් ගැන ඔබගේ කිසියන් එල්බගත් නිර්වචනයක් ඇත. මේ ඔබගේ සිතිවිලි වන ජීවත්වන “බටහිරයන්” නම් මේ ආකාරය. ඔවුන් කියන්නෙ මේවාය, ඔවුන් නොකියන්නේ මේවාය, ඔවුන්ගෙ සිතිවිලි මේ ආකාරය. මේවා නලින් තුමා ලියූ පැරනි පුස්කොල පොත්වලද සඳහන්ව ඇත. ඒවා දේව වාක්‍ය වන නිසා සත්‍යවේ යනුවෙන් ඔබ සිතා සිටී.

      ඔය කියන්නා “බටහිරයන්” නමින් වූ සුවිෂේශී සත්ව කොටසක් අපි නොහඳුනමු. නොයෙකුත් විශාල මතවාද පරාසයක් විහිදුන විවිධාකාර සත්ව කොටස් ගැන දනිමු. මේ විවිධාර වූ මතවාදයන් අතර නූතන විද්‍යාත්මක දැනුමේ දාර්ශනික අරටුව විය යුත්තෙ කුමක්ද් යන්න පිලිබඳව කිසියන් දල එකඟතාවයක් මෙ නිරාගමික වෙබ් අඩවියට ලිපි ලියන පුද්ගලයන් අතරවේ. එයද ඉතාම දල එකඟ තාවයක් පමනි.

      ‘බටහිර’ හා ‘පෙරදිග’ යනුවෙන් ඉරක් ගසා වෙන්කොට නඩු ඇසීම මේ අඩවියේ අරමුන නොවෙ. ඔබේ ගෝත්‍රික සටන වෙනුවෙන්ම පවතින නොයෙකුත් වෙබ් අඩවි තැන තැන ඇත. මේ අඩවිය තුල අප දාර්ශනික කරුනු සංයමයෙන් යුතුව සාකච්ඡා කිරීමට බලාපොරොතු වෙමු.

      රිටිගල තුල සිටින ඓතිහාසික “යකා” අවුස්සා නොගැනිමේ ලොකු වුවමනාවක් ඇති නිසා, අනාගතයේදි මීට වඩා සංයමයෙන් අදහස ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි.

      Like

  11. shirantha chamara says:

    මම ස්ථාන තුනක දී සංයමයෙන් අදහස් ප්‍රකාශ කර නැත. එය සංවාදයකට සුදුසු නැති බව පිලිගනිමි. එහි සැකයක් නැත. මේ නිරගමිකයන් ආගමික ශාස්තෘ වරුන්ට මම ඔවුන්ට කලා මෙන් සියගුනයෙන් අපහස කර ඇත. මේ වෙබ් අඩවියට අදාල ෆේස් බුක් අඩවියේ ම ඒ බව දැක ඇත. මම ඔවුන්ට අපහසත්මකව කතා කරන්නෙම ඒ නිසාය මා කර ඇති වරද ඔබ විසින් අපහාසය සඳහා වෙන් කර ඇති ෆේස් බූක් අඩවියේ මේ ලිපිය නොලිය දර්ශනය සඳහා වෙන් කර ඇති වෙබ් අඩවියේ මෙය ලිවීමය . මම මුළු ලිපිය පුර ම අපහස කර ඇත්තේ වර දෙකකදීය . එය මේ නිරගමිකයන් කරන තරම් දරුණු අපහාසයක් නොවේ . ඇඩ්මින්ට අවශ්‍ය නම් ඒවා ඉවත් කල හැක. මෙය ඔබගේ වෙබ් අඩවිය නිසා ඒවා ලිවීම මට නවත්වීමටද හැක. එහෙත් සුදනන් මෙන් මේවා ගැන පරල වීමේ කේන්ති ගැනීමේ අවශ්‍යතාවක් නැත. ඔවුන්ට ඒවා අලුත් දේවල්ද ?මම ලියන ඒවායේ අවුල් තියෙනවා නම් එක වෙබ් අඩවියේ සදාචාරයට/ අරමුණට ට විරුද්ධ නම් ඒවා නොලිය ඉන්නම්.මෙම අපහස වැකි දෙක හැරෙන්නට මම ඉතා පැහැදිලිව සන්ධර්භය තුල කරුණු දක්වා ඇත.
    මට ප්‍රතිචාර දැක්වූ තැනැත්තා මා ලියු දෙය කියව නැත. මම මෙහි බටහිරයෙක් ගැන සඳහන් කර නැත. මම සඳහන් කර ඇත්තේ බටහිර විද්යන්යයන් ගැනය . ඔවුන් විවිද දේවල් ගැන සිතන පතන ආකාරයක් ගැන මා සඳහන් කර නැත. මා සඳහන් කර ඇත්තේ ඔවුන් (සියල්ලන් නොවන බව දනිමි. ම කතා කරන්නේ අද ආධිපත්‍ය දරන අයගෙන් බහුතරය ගැනය. ) අද නෙව්ටෝන් ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් ලෙස සලකන බවත් ඔවුන් විද්‍යා ප්‍රවාද ගොඩනගන්නේ සත්‍ය සෙවීමට මිස සන්නිකර්ෂණය කිරීම අරමුණු කරගෙන නොවන බවය. ඊට අනුව මා විසින් උපුටා දක්වා ඇති ලිපියේ කොටස පට්ටපල් බොරුවකි. මට ප්‍රතිචාර දැක්වූ තැනැත්තා මම නොකී දේවල් ගැන නොට ලියා මම කී දේවල් ගැන නිශ්ශබ්දව සිට ඇත. මම ‘ළදරු මනසක් ‘ ගැන සඳහන් කිරීම නිසා ඇතිවූ කේන්තියට එසේ වී ඇත්දැයි නොදනිමි. එය හා එවැනි අනෙක් වැකි දෙක ඉල්ලා අස් කරගත හැක (යක අවිස්සීමකට බයේ නෙමේ. සංවාදයකට සුදුසු නැති නිසාය. ) . දැන් මා නොකියූ දේවල් ගැන ඔබ කියූ දේවල් ඉල්ලා අස්කරගෙන මා කියූ දේවල් ගැන (අවශ්‍ය නම්) ඔබේ අදහස් පැවසීමට හැකිද ? ඉල්ලා අස් කරගැනීමට අකමැති නම් පහත දේවල් ඔබ පවසන්නේ කුමන සාධක මත දැයි පෙන්වා දිය හැකිද?

    “කෙසේ වෙතත් මෙසේද කිය යුතුය. “බටහිරයන්” නමින් ඔබ නම් කරන එකතරා සත්ව කොටසක්, හිතන මතන ආකාරයක් ගැන ඔබගේ කිසියන් එල්බගත් නිර්වචනයක් ඇත. මේ ඔබගේ සිතිවිලි වන ජීවත්වන “බටහිරයන්” නම් මේ ආකාරය. ඔවුන් කියන්නෙ මේවාය, ඔවුන් නොකියන්නේ මේවාය, ඔවුන්ගෙ සිතිවිලි මේ ආකාරය. මේවා නලින් තුමා ලියූ පැරනි පුස්කොල පොත්වලද සඳහන්ව ඇත. ඒවා දේව වාක්‍ය වන නිසා සත්‍යවේ යනුවෙන් ඔබ සිතා සිටී”

    Liked by 1 person

  12. Pingback: විද්‍යාවේ දර්ශනය – කෙටි හැදින්වීමක් | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

  13. Pingback: Gregory Smith

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s