“මම” ගැන

“ආත්මය හෝ තමන් හෝ ‘මම’ යනුවෙන් හැදින්වෙන්නා වූ දෙයක් නොමැත” යන ප්‍රකාශය ඇතැම් විට ඔබට හුරුපුරුදු එකක් විය හැකිය. එම ප්‍රකාශය ඔබට හුරුපුරුදුද නැද්ද යන්න බොහෝදුරට ඔබ හැදී වැඩුණු ආගමික පරිසරය මත තීරණය වේ. “මම” යනුවෙන් හැදින්විය හැකි යම් දෙයක් වේද, එහෙව් දෙයක් ඇතොත් එහි ස්වභාවය කුමක්ද යනාදී දාර්ශනික ගැටලු විසදීමට ගන්නා ලද උත්සහයන් අපට පුරාතන ඉන්දීය දර්ශනයන්, පුරාතන ග්‍රීක දර්ශනයන්, බටහිර දර්ශනය ‍ඇතුළු නානාවිධ දාර්ශනික සම්ප්‍රදායන් තුළ හමුවේ.

හරබර දාර්ශනික අදහස් මදකට අමතක කර “මම” පිළිබද අප තුළ ඇති සරල අදහස වෙත යොමුවෙමු. ඒ අනුව‍, “මම” යනු “මගේ ඇස් වලින්” ගස්, ගල්, සද, හිරු, තාරකා, කුරුල්ලන්, මුහුදු රළ දෙස බලන්නාය. “මම” යනු “මගේ කන් වලින්” කුරුල්ලන්ගේ හඩ, ගුවන් යානා වල හඩ, පොලිස් රථයේ සයිරන් එකේ හඩ අසන්නාය‍. එනම්, “මම” යනු “මගේ” input devices වලින් තොරතුරු ලබාගෙන එලෙස ලබන තොරතුරු “අත්දකින” “තැනැත්තාය”‍. මෙකී “මම” “සිටින්නේ” හිස ප්‍රදේශය මෙන්ම මොලය ආශ්‍රිව යැයි අප සාමාන්‍යයෙන් උපකල්පනය කරනු ලැබේ. ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වූ රෙනෙ ඩෙකාට් කළ අනුමානයන් අනුව “මම” “සිටින්නේ” මොලයේ ග්‍රන්ථියක් වන කේතුක ග්‍රන්ථිය (pineal gland) තුළය. ඩෙකාට් ජීවත් වූ කාලය තුළ කේතුක ග්‍රන්ථියේ කර්තෘවය පිළිබද කරුණු හෙළිදරව්ව නොතිබිණි. නමුත්, වර්තමානය වන විට කේතුක ග්‍රන්ථිය වනාහී මෙලටොනින් වැනි හෝර්මෝන ස්‍රාවය කරමින් අවදි-නිදි රිද්මයන් පාලනය කරන ව්‍යුහයක් බව සොයාගෙන තිබේ.

තවද, “මම” පිළිබදව අප තුළ ඇති ප්‍රතිභානයන්ට අනුව “මම” යනු “මගේ අත් දෙකින්” විවිධ දෑ අල්ලන, උස්සන සහ විසිකරන “තැනැත්තාය”. එසේම, “මම” යනු “මගේ පා වලින්” ෆුට්බෝලයට, ගල් කැබැලි වලට, සහ පන්චිං බෑග් එකට පහර දෙනු ලබන “තැනැත්තාය”. දොඹකරයක රියදුරා/ පාලකයා දොඹකරයේ “අඩු” පාලනය කරන්නේ යම් සේද “මම” විසින් “මගේ අඩු” පාලනය කරනු ලැබේ. එනම්, “මම” යනු “මගේ අඩු” (අතපය) හසුරවන “තැනැත්තාය.”

එමෙන්ම, “මම” යනුවෙන් අදහස් කරන්නේ ඇස් දෙකින් දක්නට ලැබෙන දේ පිළිබද “තොරතුරු” පමණක් ලබන්නාවූ කන් දෙකින් ඇසෙන දෑ පිළිබද “තොරතුරු” පමණක් ලබන්නාවූ මෙන්ම රසයන්, ගද සුවද, උණුසුම සිසිල, පීඩනය පිළිබද “තොරතුරු” පමණක් ලබන්නෙක් නොවේ. ඇස් මගින් අහුකරගන්නා යම් සේයාරුවක් වේද, කන් මගින් අහුලාගන්නා යම් ශබ්දයක් වේද, සැකවින් කිවතොත්, “මගේ” විවිධ input devices වලින් අහුලාගන්නා යම් සංවේදනයක් වේද “මම” එය අත්දකී. එකී සංවේදන “මා” ඉදිරියේ ඇත. එනම්, ඇසට හසුවන රූප “සිත තුළ” ඇති තිරයකින් “මම” දකී‍. “සිත තුළ” ඇති ස්පීකරයන්ගෙන් කන් නැමැති මයික්‍රෆෝනයන්ට හසුවූ ශබ්දයන්ගේ ප්‍රතිවාදන “මම” අසයි. සැකවින් කිවතොත්, සංවේදී ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන සංවේදනයන් “සිත තුළ” හෙවත් “මා ඉදිරියේ” re-presentව ඇත්තා සේ මට දැනේ. “තමන්” පිළිබද අප බොහෝදෙනා තුළ ඇති සරල අදහස එයයි. එකී සරල අදහස අපට පහත රූපයෙන් විදහා දැක්විය හැකිය.

760px-Cartesian_Theater.svg

මෙම සරල අදහසට අනුව, “මම” යනු ශරීරය තුළ (මොළය තුළ?) ඇති කුඩා සිනමාහලේ ප්‍රේක්ශකයායි. නමුත්, මෙම “ප්‍රේක්ශකයා” වනාහී බාහිර ලෝකය “නරඹන” හුදු නිරීක්ෂකයෙක් පමණක් නොවේ. බාහිර ලෝකයේ ඇති දෑ හසුරවන නියමුවෙකි, පාලකයෙකි. දොඹකර‍යක පාලක‍යෙකු දොඹකරයේ කොටස් යොදාගෙන බාහිර ලෝකයේ ගල්, කොන්ක්‍රීට් එහෙට මෙහෙට චලනය කරන්නාක් මෙන් “මම” විසින් “මගේ ශරීරාංග” යොදා බාහිර ලෝකයේ දෑ හසුරවනු ලැබේ‍. එනම්, “මම” යනු “මගේ ශරීරය” නැමැති යන්ත්‍රයේ පාලකයායි.

මෙහිදී අපට පෙනී යන කරුණ නම්, “පුද්ගලයා” වනාහී ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක එකතුවක් බවයි. එම කොටස් දෙකෙන් එකක් නම් ශරීරය නැමති යන්ත්‍රයයි. ඇවිදීම, පිහිනීම, ආහාර ගැනීම, දිවීම යනාදී විවිධ දේ කිරීමට අවැසි අංගෝපාංග වලින් මෙකී ශරීරය සමන්විතය. එමෙන්ම, “මට” බාහිර ලෝකය පිළිබද අත්දැකීම් විදීමට සලස්වන ඇස්, කන්, දිව යනාදී නානාවිධ input devices වලින්ද ශරීරය නැමති යන්ත්‍රය සමන්විතය. අනෙක් කොටස නම්, ඉහත පිංතූරයේ දක්වා ඇති හිස තුළ ඇති “සිනමා හල” යි. අප සාමාන්‍යයෙන් “අත්දැකීම්” ලෙස හදුන්වන්නේ මෙකී සිනමාහලේ ප්‍රදර්ශනය වන “සිනමාව” (රූප මාධ්‍ය, ශබ්ද මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යයන්ගෙන් සැදුම්ලත්) වන අතර අප “මම” හෝ “ආත්මය” ලෙස හදුන්වන්නේ මෙම සිනමාහලේ “ප්‍රේක්ශකයායි”.

මෙහිදී ඉස්මතු වන එක් ගැටලුවක් නම්, මෙම “සිනමා හල” පිහිටියේ කොහෙද යන්න යි. පුරාතන ග්‍රීක සමාජයේ බහුලව පැතිර පැවති විශ්වාස වලට අනුව නම් එය පිහිටියේ හෘදය තුලය. රෙනෙ ඩෙකාට්ට අනුව නම් මෙම “සිනමා හල” පිහිටා තිබෙන්නේ මොලයේ කේතුක ග්‍රන්ථිය තුලය‍. විවිධ විද්‍යාඥයින් සහ විවිධ දාර්ශනිකයින් මෙකී “සිනමා හල” පිහිටි ස්ථානය සදහා විවිධ ශරීරාංග යෝජනා කර ඇත. මොලයේ ව්‍යුහයක් වන anterior cingulate cortex එක ඉන් එකකි.

ඉහතින් විස්තර කරන ලද “මම සිටින සිනමාහල” පිළිබද ස්ථාවරය පදනම්ව ඇති උපකල්පනය නම් මොලය තුළ යම් කිසි ආකාරයේ “headquarters එකක්” පිහිටා තිබේය යන්නය. ඇස්, කන් ඇතුළු සියලු සංවේදී ඉන්ද්‍රයන්ගෙන් එන ස්නායු මොලයේ යම් ස්ථානයකට අභිසාරී වන බවත්, අත් පය බඩ පපුව ආදිය මෙහෙයවන සියලු චාලක ස්නායු ඉහත කී “headquarters එකෙන්” “ඇරඹෙන” බවත් “මම සිටින සිනමාහල” පිළිබද මෙතුවක් විස්තර කරන ලද ස්ථාවරය තුළින් උපකල්පනය කර සිටී. මෙම උපකල්පනය සත්‍යද? නැත! මිනිස් මොලය යනු headquarters එකක් මගින් පාලනය වන ඒකකයක් නොවේ. මොලය යනු සංවේදී සහ චාලක ස්නායු එක ස්ථානයකට අභිසාරී නොවී දසත විසීරී පැතිරී ඇති parallel processing system එකකි.

ඇතැමුන්ට අනුව, මොලය තුළ “සිත” හෝ “මනස” යනුවෙන් හදුන්වන භෞතික නොවන දෙයකට ඉහත කී “මම සිටින සිනමාහල” සමාන වේ. නමුත්, මෙම ස්ථාවරයට ඉහතින් විස්තර කළ ගැටලුවට මුහුණ දීමට සිදු වේ. මොළය තුළ සියල්ල අභිසාරී වන ස්ථානයක් නොමැති නම් සියල්ල සිතට හෝ මනසට අභිසාරී වන්නේ කෙසේද? එසේම, සිතක් යනුවෙන් හැදින්වෙන භෞතික නොවන දෙයක් ඇතැයි යන ස්ථාවරයේ ඇති තවත් ගැටලු බොහෝය. ඒ පිළිබද ඉදිරි ලිපි වලින් කතාකරන්නෙමු.

ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to “මම” ගැන

  1. Amara says:

    මොලය යනු සංවේදී සහ චාලක ස්නායු එක ස්ථානයකට අභිසාරී නොවී දසත විසීරී පැතිරී ඇති parallel processing system එකකි.

    Then What is the difference between computer and human brain

    Like

  2. මේ ලිපිය ලියැවුනේ වත් පොත තුල පලවූ මගේ “Self in an illusion but life goes on” නැමති ලිපිය කියැවීමෙන් ලද උත්තේජනයෙන් බව. මේ බ්ලොග් අඩවිය මෙහෙයවන, ඇඩ්මින් තැන්පත් කුමාර සංකල්ප මා සමග පවසා සිටියත්, මගේ ලිපියේ නොතිබූ, හා මටත් මෙතෙක් කල් ග්‍රහනය නොවූ ඉතා වැදගත් දෙයක් මේ පලමු ලිපියෙන් කියැවෙනවා. එනම් මිනිසා යනු එක් headquarters එකකින් පාලන නොවන, විසිරීගිය නියුරෝන ජාලයක් බව.

    මේ නියුරෝන ජාලය “මම” නම් “මගේ” තීරන ගැනීමෙ ඇතැම් ක්‍රියාවලි, මොලයටත් එලියෙන් පිහිටි ප්‍රතීකචාපය වැනි තැන් වලින්ද සිදුවෙනවා. අපි ඇතම් ක්‍රියා සවිඥානික හා අවිඥානික ලෙස වර්ග කර තිබුනත්, මේ වර්ග කිරීම පවා සීමා ඉරකින් වෙන්කොට දෙපැත්තත කරන්න බෑ. හැම තැනම gray scales තියෙනව.

    “සිත” යනුවෙන් හඳුනාගත හැකි “මගේ” action-headquarters එකක් හෙවත් මෙහෙයුම්-මූලස්ථානයක් පැහැදිලිව අර්ථ දැක්විය නොහැකි බව පැහැදිලියි. ලිපියේ ඉතිරි කොටස්ද ඉක්මනින් ලියැවෙනු ඇතැයි සිතනවා.

    මගේ මුල් ලිපියට link එකක් (වත් පොතට ලොග් නොවී බලන්න බැරිව ඇති මම හිතන්නේ)

    http://www.facebook.com/notes/prasad-mapatuna/self-is-an-illusion-but-life-goes-on/606415146057490

    Like

  3. තවත් පොඩි අදහසක් එකතු කරන්න කැමතියි. මම (මොලය විසින් මම යන්නෙක් සිටිනවාය කියන බව) පහල වෙන්නේ කාලය යන හැඟීම ඇතිවිට පමනි. කාලය ගැන හැඟීමක් නැති තැන මම නොපවතී (මොලයට නොදැනේ).
    උදාහරනයක් ලෙස තද නින්දේ ඇති කෙනෙකුට ඒ අවස්තාවේ කාලය ගැන හැඟීමක් නැත. තමා සිටින බව ගැන හැඟීමක් නැත. කොටින්ම කිව්වොත් මොලය තුල data process වීමක් නැත.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s