සදාචාරය!

සදාචාරය වනාහී හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගයක් වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති (සාපේක්ෂ) නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන්නන් සියල්ලම පාහේ සැළකිලිමත්වන්නේ තම තමන්ගේ සදාචාරත්මකභාවය ගැන නොවේ. තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ “හැදියාව” ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට ලැබී ඇත්තේ අප රටේ වෙසෙන්නන්ගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.

බොදු බල සේනාව හා අනෙකුත් “ජාතික ව්‍යාපාර” වලින් රටට සිදු වන හානිය හුදෙක් ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් නොවේ – රටේ තරුණ පරපුරෙහි මනස තුල පසුගාමී, අතීතකාමී සහ ගෝත්‍රික චින්තනයක් වැපිරීමේ හානිය මේ දෙකටම වඩා භයානකය. “හම්බයින්ට”, “අවජාතකයින්ට” සහ “කුරුසකාරයින්ට” එල්ල වන ප්‍රචණ්ඩත්වය පිළුණු වූ විට මොවුන් හැරෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනදා නිදහසට සහ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට එරෙහිව අන්තවාදී සහ පසුගාමී “සිංහලබෞද්ධ” ගෝත්‍රික යුටෝපියාවට රට ගෙනයන, බෞද්ධ සෞදි රාජයකට පාර කපන බල කඳවුරටය.

ජාතික ව්‍යාපාරයට පෙර මෙවැනි ආකල්ප තිබුණි නම් එය සුළුතරයකි. සිංහලකමද නොවන, බෞද්ධකමද නොවන මෙවැනි ආකල්ප වලට මුල් වන්නේ ඊර්ෂ්‍යාව සහ කාලකන්ණිකමයි. රටෙහි ගැහැණුන් “සදාචාරාත්මක” කිරීමට වලිකන පිරිමින් තුල ඇත්තේ සදාචාරය නොවේ – ආතතිය සහ පැරනොයාවයි. අරාබිකරයේ වෙසෙන ඉස්ලාම් ගෝත්‍රයේ අන්තවාදීන් විසින් මෙම පැරනොයාව දැනටමත් අත්පත් කරගෙන සිය කාන්තා පරපුර හිසේ සිට පාද තෙක් වසා, සමාජයෙන් කොන්කර, භාෂණයට හා අධ්‍යාපනයට ඇති අයිතීන් උල්ලංඝනය කොට මුහුණක්, හඬක් හෝ සිතිවිලි නැති හුදු ප්‍රජනන උපාංග බවට පත් කිර තිබේ. ඔවුන්ට එරෙහිව හඬ නගන අපේ ජාතිකවාදී යැයි කියාගන්නා කරුමක්කාරයින් වෙනස් වන්නේ ජාතියෙන් සහ ආගමෙන් පමණි – ආකල්ප අතර වැඩි වෙනසක් නැත.

සිය මව හැරෙන්නට අන් කිසි ගැහැණියකට සමීප නොවන්නෙකුගේ මනසේ වෙසෙන ගැහැණිය, සිය මව වැනි දරදිය අදින, පියාට කීකරු, පුද්ගලිකත්වයක් නැති තැනැත්තියකි. එබැවින් සමාජයට පිළිපන් කල්හි මොවුන් අන් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මනෝභාවයන්ට අභියෝග නොකරන ඉතා කීකරු ඇවිදින මළකඳන්ය – ඔවුන් තනාගන්නා රාමුවෙන් පිට ජීවත් වන ගැහැණිය යනු “නිවැරදි මගට ගත යුතු” වෛශ්‍යාවකි.

ගැටුම් විසඳිය හැක. දේපල පිළිසකර කල හැක. නමුත් මෙවන් අතීතකාමී, ගෝත්‍රික ආකල්ප සමාජය පුරා ඔඩු දිවීම ඒ දෙකටම වඩා පිළිසකර කිරීමට අපහසු තත්වයකි.

Advertisements
This entry was posted in කාලීන, දර්ශනය, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s