සදාචාරය පිළිබද විමසුමක්

ඕනෑම දාර්ශනික සම්ප්‍රදායක් තුළ සදාචාරය පිළිබදව වන කතිකාවත ප්‍රධාන තැනක් ගනී. පාරභෞතිකය සහ ඥාන විභාගය යන විෂය පථයන් යටතට ගැනෙන සිතක් පවතීද, සහ මානව දැනුමේ පරාසයන් මොනවාද වැනි දාර්ශනික ගැටලු මෙන් නොව නානාවිධ සදාචාරාත්මක ගැටලු අප එදිනෙදා ජීවිතයට වඩාත් අදාල ය. උදාහරණයක් ලෙස, අපට ගබ්සාව, ගව මස් කෑම, ගණිකා වෘත්තියේ සදාචාරාත්මක බව වැනි ගැටලු වලට එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදු වේ. නමුදු, මානව දැනුමේ පරාසයන් වැනි ඥාන විද්‍යාත්මක ගැටලු අප එදිනෙදා ජීවිතයට ඇත්තේ අවම අදාලතාවයකි. කරුණු එලෙස බැවින්, නානාප්‍රකාර දාර්ශනික ගුරුකුල වල සහ නානාප්‍රකාර ආගම් වල සදාචාරය යන විෂය පථය ගැන සංවාදයට ලක්වී තිබීම අරුමයක් නො වේ.

වර්තමාන දාර්ශනික කතිකාවත තුළ, සදාචාරය යන විෂය පථය ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකින් යුක්ත ය. හොද දේ යනු කුමක්ද, නරක දේ යනු කුමක්ද යන ප්‍රශ්නයන් විවිරණය කරමින් හොද සහ නරක එකිනෙකින් වෙන් කරනු වස් ඉවහල් වන නිර්නායකයන් ස්ථාපිත කිරීමට වන උත්සහය ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙම ක්ෂේත්‍රය normative ethics යනුවෙන් හැදින් වේ. ඊට අමතරව මානව සදාචාරයේ ස්වභාවය, සහ පරිණාමය පිළිබදව වන කතිකාව ද නොසැළකිය නොහැකි ය. Meta-ethics යන වදනින් හදුන්වන්නේ එම කතිකාවයි. තවද, වර්තමානය සමාජය මුහුණ දී ඇති නානාවිධ සදාචාරාත්මක ගැටලු පිළිබදව වන්නා වූ සාකාච්ඡාවන් ද මේ අතර ප්‍රධාන ය. ව්‍යවහාරික සදාචාරය හෙවත් applied ethics යනුවෙන් හදුන්වන්නේ විවිධ සදාචාරාත්මක ගැටලු විසදීමට ගන්නා ලද උත්සහයන් සමූහය යි. ගබ්සාව, පෞද්ගලිකත්වය, ක්ලෝනකරණය, අවයව දන්දීම වැනි දේ වල සදාචාරාත්මක පැතිකඩවල් අධ්‍යනය අයත් වන්නේ ව්‍යවහාරික සදාචාරය යන විෂය පථය යටතට ය.

එමෙන්ම, නීතිය යනු සදාචාරය සමග ඡේදනය වන්නා වූ විෂයකි. සදාචාරාත්මක වශයෙන් වැරදි වන ඇතැම් ක්‍රියාවන් පමණක් නීතිමය වශයෙන් ද වැරදි ලෙස පැනවීම තුලින් සමාජයේ යුක්තිගරුකභාවය ආරක්ෂා කිරීම නීතිය තුලින් අපේක්ෂා කරයි. නමුත්, සදාචාරාත්මක වශයෙන් වැරදි වන්නා වූ සෑම දෙයක්ම නීතිමය වශයෙන් ද වැරදි ලෙස සැළකීම ප්‍රායෝගික නො වේ. උදාහරණයක් ලෙස, කේලාම් කීම සදාචාරාත්මක වශයෙන් වැරදිය. නමුත්, කේලාම් කීම නීති විරෝධී දෙයක් ලෙස පනවා කේලාම් කියන්නන් හිරේ දැමීම විහිලුවකි. යම් ක්‍රියාවක් සදාචාරාත්මක ද නැද්ද යන කතිකාව හා යම් ක්‍රියාවක් නීතිවිරෝධී විය යුතුද නැද්ද යන කතිකාව වනාහී එකක් නොව දෙකකි. එබැවින්, යම් ක්‍රියාවක් සදාචාරාත්මක වශයෙන් වැරදි වූ පමණින් එය නීති විරෝධී ලෙස පැනවිය යුතුය යනුවෙන් තර්ක කිරීම බුද්ධිගෝචර නො වේ. ව්‍යවහාරික සදාචාරය යන විෂය පථය යටතට ගැනෙන ගණිකා වෘත්තියේ සහ ගබ්සාවේ නීතිමය තත්ත්වය වැනි කාලීන ගැටලු පිළිබද සාකාච්ඡා කිරීමේ දී මෙම කරුණ වෙත අවධානය යොමුකිරීම වැදගත් ය.

බොහෝදෙනා තවමත් යම් සදාචාරාත්මක ගැටලුවක විසදුම ලබාගැනීමට සිය ආගමික පොත පත තුළට එබී බැලීම සිදු කරයි. මෙය ඉතාමත් අනුවණ ක්‍රියාවකි. ආගම් තුළ වර්තමාන සමාජයට බලපාන සදාචාරාත්මක ගැටලු පිළිබද පැහැදිලි ලෙස විග්‍රහ කර නොමැත. වර්තමානයේ අප මුහුණ දී ඇති සදාචාරාත්මක ගැටලු අතර නව තාක්ෂණයන්ගේ ආගමනය නිසා පැනනැගණු සදාචාරාත්මක ගැටලු ද වේ. නමුත්, ආගම් බිහිවූයේ වර්තමානයේ අප ජීවත්වන තාක්ෂණික දියුණුවේ ආගමනයට වසර සිය ගනණකට පෙරය. ආගම් තුළ අඩංගු වනුයේ අතීත හරයන් පිළිබදව තොරතුරු යි. එබැවින්, වර්තමානයේ පැන නැගී ඇති සදාචාරාත්මක ගැටලු විසදීමෙහිලා ආගම් ආධාර කරගැනීම වනාහී වින්ඩෝස් 7හි ගැටලු විසදීමට වින්ඩෝස් 95 අත්පොතක් බැලීම වැනි ක්‍රියාවකි. සැකවින් කිවතොත්, අපට ක්ලෝනකරණයේ හරි වැරදි බව, අවයව දන්දීම හා බැදුණු සදාචාරාත්මක ගැටලු වැනි දෑ සදහා පිළිතුරු පන්සිල් පද දෙස බැලීමෙන් හෝ බයිබලය දෙස බැලීමෙන් ලබාගත නොහැක. මින් පෙනීයන්නේ, ආගමෙන් ස්වායක්ත වූ නිරාගමික හර පද්ධතියක අවශ්‍යතාවය යි.

සදාචාරාත්මක විය යුත්තේ ඇයිද යනු තවත් ගැටලුවකි. ආගම් අදහන උදවිය නම් සාදාචාරාත්මක වනුයේ එක්කෝ දිව්‍ය ලෝක වලට යන්නට ය. නැතිනම්, අපායේ නොගොස් බේරී සිටීමට ය. එසේත් නැතිනම්, “පින්” ලබාගැනීමට ය. සැකවින් කිවතොත්, ආගම් අදහන අය සදාචාරාත්මක වනුයේ පින්, පරලොව සම්පත්, දිව්‍ය සම්පත්ති, ස්වර්ගය, දේව බැල්ම, දේව සැළකිලි, නිවන වැනි නානාවිධ ප්‍රතිලාභ ලබාගැනීමටය. ඒබ්‍රහමික ආගම් වලට අනුව හොද මිනිසුන්ට ප්‍රතිලාභ පිරිනමන්නේ සර්වබලධාරී දෙවියන් විසිනි. හින්දු, ජෛන, සහ බෞද්ධ විශ්වාස වලට අනුව හොද මිනිසුන්ට ප්‍රතිලාභ පිරිනමන්නේ කර්මය මගිනි. වැඩි වෙනසක් නැත. “ප්‍රතිලාභ පිරිනමන්නා” යන සංකල්පය මැයි දෙවියන් සහ කර්මය යන අදහස් දෙකම තුළ ගැබ්ව ඇත්තේ. ආගම් අදහන උදවියට අනුව, පින් යනාදී ප්‍රතිලාභ ලැබේ නම් එය ප්‍රමාණවත්ය. සදාචාරාත්මක වීම සිදුකරනුයේ ඒ වෙනුවෙනි. යම් හෙයකින් අපට කර්මය හෝ දෙවියන් “රැවැට්වීමට” හැකිනම් සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම ද අවශ්‍ය නොවනු ඇත. සැකවින් කිවතොත්, ආගම් අදහන උදවිය කරන්නේ සැබෑ ලෙස හොද මිනිසුන් වීම නොවේ. දෙවියන් හෝ කර්මය ඉදිරියේ හොදයි වගේ පෙනී සිටීමය!

ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in කාලීන, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to සදාචාරය පිළිබද විමසුමක්

  1. Pingback: නීතිය හා පාෂාණ්ඩනය | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s