“සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” ස්ථාවරයේ ගැටලු

සදාචාරය පිළිබදව නානාප්‍රකාර මතයන් ඇත. “සදාචාරය වනාහී මානව යුතුකම් ය” යනු ඒ අතරින් එකකි. “සදාචාරාත්මක දේ නම් මිනිසුන්ගේ සතුට රැකගන්නා දේය” යනු සදාචාරය සම්බන්ධයෙන් අප සමාජයේ ප්‍රචලිතව ඇති තවත් මතයකි. සදාචාරය පිළිබදව ඇති තවත් මතයක් වනුයේ “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි ” යන අදහස යි. මෙම ලිපිය තුළින් මූලික වශයෙන්ම විශ්ලේෂණයට ලක්වන්නේ ද “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි ” යන ප්‍රස්තුථය යි.

ඇමසන් වනාන්තරය වැනි ප්‍රදේශයන්ගේ වසන ප්‍රාථමික සමාජයන් ද ඇතුළුව දැනට හදුනාගෙන ඇති සියලු සමාජයන් තුළ යම් යම් සංස්කෘතිකමය සම්මතයන් (cultural norms) ඇත. සියලු සමාජයන්ම පාහේ හොද ක්‍රියාවන් සහ නරක ක්‍රියාවන් වෙන්කර හදුනාගැනීමට ඒ ඒ සංස්කෘතිමය සම්මතයන් හරහා උත්සහ දරා ඇති බවක් පෙනෙන්නට තිබේ. විවිධ සමාජයන් තුළ දක්නට ලැබෙන සංස්කෘතිමය සම්මතයන් එකිනෙකට වෙනස් ය. උදාහරණයක් ලෙස, පුරාතන ඊජිප්තු සමාජයේ සහ වත්මන් සමාජය තුළ හොද දේ සහ නරක දේ පිළිබද එකිනෙකට පටහැනි මතයන් තිබීම දැක්විය හැකි ය. තවද, විවාහ වන වයස, ගව මස් කෑම, එක් අයෙකුට විවාහ කරගත හැකි කාන්තාවන් සංඛ්‍යාව, දෙමාපියන්ට සැළකිය යුතු ආකාරය වැනි නානාවිධ කරුණු පිළිබදව වර්තමානයේ වුවද විවිධ සමාජයන් තුළ විවිධ සංස්කෘතිකමය සම්මතයන් තිබෙනු දක්නට ලැබේ. මෙම සංස්කෘතිකමය සම්මතයන් පිළිබදව මානව විද්‍යාව වැනි විෂය පථයන් තුළින් ඉතා විස්තරාත්මක ලෙස සහ ඉතා ගැඹුරු ලෙස අධ්‍යනය කරනු ලැබේ.

ගැටලුව වනුයේ සදාචාරය යනු ඒ ඒ සමාජයන් තුළ ඇති සංස්කෘතිකමය සම්මතයන් වලින් ස්වායක්ත වූ නිරපේක්ෂ වූවක් ද නැතහොත් ඒ ඒ සමාජයන්ගේ සංස්කෘතිකමය සම්මතයන්ට සාපේක්ෂ වූවක් ද යන්නයි. මෙම ගැටලුව පීළිබදව දර්ශනය තුළ නානාවිධ විවාදයන් සහ සංවාදයන් සිදුකර ඇත.

“සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” යන ප්‍රකාශය හරහා සන්නිවේදනය වන මූලික අදහස නම් සදාචාරය වනාහී හුදෙක් ඒ ඒ සමාජයන්ගේ ඇති සංස්කෘතිකමය සම්මතයන් පමණක් බවත් ඒ ඒ සමාජයන්ගේ සංස්කෘතිකමය සම්මතයන්ගෙන් ස්වාධීන වූ නිරපේක්ෂ සදාචාරයක් නොමැත යන්නත් ය. මානව විද්‍යාඥියක් වූ Ruth Benedict එක්දහස් නවසිය තිහේ දශකයේ දී මෙම මතය වෙනුවෙන් පෙනීසිටියා ය. ප්‍රාථමික සමාජයන් ද ඇතුළු නානාවිධ සමාජයන්ගේ සංස්කෘතිකමය සම්මතයන් සමීක්ෂණයට ලක්කරමින් ඇය “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි ” යන මතය උදෙසා කරුණු දැක්වීය.

කෙසේවෙතත්, දාර්ශනික මට්ටමෙන් ගත්කළ “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” යන ස්ථාවරයේ නානාවිධ ගැටලු ඇත.

යම් සමාජයක සංස්කෘතිකමය සම්මතයන් ගොඩනැගෙන්නේ එකී සමාජයේ සාමාජිකයන්ගේ බහුතර මතය අනුව ය. නමුත්, අපට යම් සමාජයක සියයට පනස් එකක මතයෙන් පමණක් හරිදේ සහ වැරදි දේ තීරණය කළ හැකිද යන්න ගැටලුවකි. අපට පෝස්ටර් කැම්පේන් එකක් හෝ රූපවාහිනී දැන්වීම් පළකිරීම හරහා හරි වැරැද්ද පිළිබද මිනිසුන්ගේ අදහස් වෙනස් කළ හැකි ය. නමුත්, පෝස්ටර් හෝ රූපවාහිනී දැන්වීම් හරහා හරි දේ සහ වැරදි දේ වෙනස් කළ හැකිද යන්න ගැටලුවකි. ඇරුත්, හරි වැරැද්ද පිළිබද යම් සමාජයක බහුතර මතය කාලෙන් කාලෙට වෙනස් වේ. උදාහරණයක් ලෙස, පුවත්පතක් හරහා කළ ගිය සතියේ මත විමසුම තුළ දී 60%ක් දෙනා සිය දිවි හානි කරගැනීම “වැරදි දෙයක්” ලෙස ඡන්දය පළ කර තිබුණා යැයි සිතන්න. එම පුවත්පතේම මෙම සතියේ මත විමසුම තුළ සිය දිවි හානි කරගැනීම වැරැද්දක් ලෙස සළකා ඡන්දය දී තිබුණේ 25%ක් පමණක් යැයි සිතන්න. මින් අදහස් වන්නේ යමෙක් ගිය සතියේ සිය දිවි හානි කරගත්තොත් ඒක වැරදිබව සහ මේ සතියේ සිය දිවි හානි කරගත්තොත් එය නිවැරදි බවද?

“සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” යන ස්ථාවරයේ ගැටලු මෙපමණකින් අවසන් නො වේ. යම් සමාජයක යම් සදාචාරාත්මක ගැටලුවක් පිළිබද බහුතර මතයක් සහ එය මත පදනම් වූ සංස්කෘතිකමය සම්මතයක් නොමැති අවස්ථාවක අප කළ යුත්තේ කුමක්ද යන ගැටලුවට ද “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” යන මතයේ සිටින අය පිළිතුරු දිය යුතු ය. උදාහරණයක් ලෙස, ක්ලෝනකරණය හරිද වැරදිද යන්න පිළිබදව අප සමාජය තුළ බහුතර මතයක් නැත. එබැවින්, ක්ලෝනකරණය හරිද වැරදිදි කියා මට තීරණයක් ගත නොහැකි ය. මට පමණක් නොව සමාජයේ අනෙක් අයටද ඒ පිළිබද තීරණයක් ගත නොහැක. කරුණු එසේ නම්, ක්ලෝනකරණයේ සදාචාරාත්මකභාවය ගැන කිසිදු සංස්කෘතිකමය සම්මතයක් ගොඩනොනැගෙනු ඇත.

මෙම කරුණු හරහා පෙනීයන්නේ “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” යන ස්ථාවරය ගැටලු සහගත බවයි.

ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” ස්ථාවරයේ ගැටලු

  1. ජේමිස් බණ්ඩා says:

    සදාචාරය කියන්දේ සංස්කෘතියට සාපේක්ශයි කියන එක පිලිගන්න බෑ. මෙහිදී ඔබත් එක්ක එකගයි. අපිට මේක දිහා මේ විදිහට බලන්න පුලුවන්. එක් රටක හෝ සංස්කෘතියක වටිනාකම් හා ඒ දෙස බලන විදිහ වෙනස් වූ පමණින් ඒවායින් තේරුම් ගන්න උත්සාහ කරන සදාචාරාත්මක සත්යන් වෙනස් වෙන්නේ නෑ. එම සත්ත්යන් කරා ලගා වූ සහ යොදා ගත් මාර්ගයන් ගේ වෙනස් කමක් පමණයි ඇත්තේ.එසේ සදාචාරාත්මක වටිනා කම් දිහා බලන ආකාරය වෙනස් වූ පමණින් සදාචාරය සාපේක්ශයි කියල කියන්න බෑ. ඒඩ්ස් වයිරසය ගත්තොත් එය පාකිස්තානයේදී වුවත්, ඇමරිකාවේදී වුවත්, ඉන්දියාවේදි වුවත්, ශ්‍රීලංකාවේදී වුවත් එය ඒඩ්ස් මයි. ක්‍රියා කරන්නේ එකම ආකාරයකටයි. අපි ඒඩ්ස් දිහා බලන විදිහවත් ඒ ගැන අපේ ඇති අවබෝධයවත් ඒඩ්ස් රෝගය ක්‍රියා කරන ආකරයට බලපාන්නේ නෑ. මේ වගේම ආදරය, කරුණාව වැනී දේත් ඇමරිකාවෙදි වුනත් ඉන්දියාවෙදි වුනත් එකයි නොවේද? මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ හරි වැරද්ද පකිස්ථානයේදී වුවත් බංගලිදේශයේදී වුවත් එකයි නොවේද? අපේ ඒ ගැන තිබෙන අවබෝධය හෝ එය අපි බලන විදිහ එහි සදාචාරාත්මක නිර්වද්යතාවයට අදාල වනවාද ? නැහැ.
    සදාචාරය යනු සත්යක්ද, නැතහොත් කෙනෙක්ට සාපේක්ශවූ අදහසක්ද කියන එකයි මෙතන තිබෙන ප්‍රශ්නය. මගේ අදහස සදාචාරය කියා සත්යක් තිබෙනවා කියන්න පුලුවන්. අපේ ඒ ගැන අවබෝධය මදි කම හෝ අපි ඒ දිහා බලන විදියන්ගේ වෙනස් කම් පමණයි තිබෙන්නේ. සදාචාරය යන දේ සොයාගෙන යන ගමනේ අපේ අවසාන ඉලක්කය අනුව මෙය ලගා කස්රගත හැකියි කියල මම හිතන්නේ. නිවැරදි ඉලක්කය තේරුම් ගැනීමෙන් අපට මෙය අවබෝධ කර ගැනීමට පුලුවන් කියන එකයි මගෙ අදහස.

    කෙටියෙන් කියනවනම් වස පානය කිරීම යනු හිතකර දෙයක් නෙමේ කියන දේ සක්සුදක් සේ පැහැදිලි සේම කුඩා ලමයින්ට හිංසා කිරීම වැරදියි කියන එකත් සක්සුදක් සේ පැහැදිලීයි. එය කිසියම් සංස්කෘතියක දැක්ම මත පදනම් වෙන්නේ නෑ

    ආගම යන දේ මෙහිදී නැගෙන ප්‍රධානම බාධකයක් බව කිව යුතුයි. ආගම් යනු මේ ඉලක්කයට ලගා වීමට මිනිසා යොදාගත් අසාර්ථක උපක්‍රමයක් කියල මම දකින්නේ. මෙහි ඇති භයානක කම නම් නොවෙනස් වන සදාකාලයටම අදාලයි කියන, සාකච්ඡාවට විවේචනයට විවෘත නැති ශුද්ධවූ කියා ඇලවූ ලේබල් එකක් සමග එන අසාර්ථක සදාචාරයන් වීමයි. නිදහස් සිතීමේ ක්‍රමය හැර මිනිස් සදාචාරාත්මක දියුණුවට ඇති ප්‍රධානම බාධකය ‘ආගම’ කියායි මගේ අදහස.

    Like

  2. මානව සදාචාරයට සංස්කෘතියට සාපේක්ෂද නැද්ද යන පැණය හරහා මෙහිදී උත්තර සොයන්නට යන්නෙ ‘සදාචාරය යනු කුමක්ද?’ (what is?) යන්නට නිර්වචනයකි. ‘කුමක්ද’ යන පැණයට ශාස්ත්‍රීය වටිනාකමක් ඇත. නමු මා වඩාත් උනනන්දු වන්නෙ සදාචාරය ‘කුමකටද?’ (what for?) යන පැණයට පිලිතුරක් හරහා සදාචාරයට නිර්වචනයක් දීමටයි. එවිට එම නිර්වචනයට හුදෙක් ශාස්ත්‍රිය පමණක් නොව ප්‍රායෝගික වටිනාකමක්ද ලැබේ.

    සදාචාරයද ලෝකයේ ඇති වෙනක් නොයෙකුත් දේවල් සේම තනි එක් සරල හේතුවක් නිසා ඇතිවූවක් නොව සංකීර්න හේතු රාශියක් නිසා ඇති වූවක් ලෙස මම කල්පනා කරමි. සදාචාරයට ජීව විද්‍යාත්මක මූලයක් ඇත. එනම් ස්වභාවික වරනය හරහා අපගේ ජාන වල කැටිවූ, අපට දැනෙන සදාචාර “ඉවක්” ඇත. ලෝකයේ ඔනෑම සංස්කෘතියක ජීවත්වන වැඩිහිටියෙක් සුරතල් කුඩා දරුවෙකු අනතුරකට ලක්වන අවස්ථාවන් වල (තමාගේ දරුවෙක් නොවුනත්) සිය ජීවිතය වුවද පරදුවට තබා එම දරුවා බේරා ගැනීමට ඉදිරිපත්වීමෙ ස්වභාවික “ඉවක්” ඇත. මේය තාර්කික පදනමකින් නොව හුදෙක් අපගේ instincts හරහා එන ආවේගයකි.

    ඇතැම් විට තාර්කික පදනමකින් අප මේ ආවෙගය පාලනය කරගනිමු. එනම් මේ දරුවා බේරා ගැනීමට ගියහොත් මාගෙ ජීවිතය අනතුරට වැටී මාගේ දරු පවුල අනාථවීමට ඉඩ ඇත යන “තාර්කික” පදනමින් අපි ඒ අවස්ථාව මගහැරීමට ඉඩ ඇත. නමුත් මෙහිදී අපි අපතුල ස්වභාවිකව ඇති සදාචාර මාලිමාවට එරෙහිව ගිය බැවින් කිසියම් වරදකාරි හැඟීමකින් (guilty concisience) අප පෙලීමට ඉඩ ඇත. මේ අන්දමින් වෙනත් බොහෝ අවස්ථාවල සංස්කෘතිය අතික්‍රමනය කරමින් අපගේ ශරීරය තුල ඇති සදාචාර මාලිමාව ක්‍රියාත්මක වන අවස්ථා පෙන්වාදිය හැක.

    ඉහත උදාහරණයෙන් පෙන්වන්නේ අපහේ ‘ජානගත’ සදාචාරයයි. කෙසේ සුවත් සමාජයීය සත්වයෙක් වන මිනිසා ජානගත (genetic) හැකියාවන්ට අමතරව, සංස්කෘතිය හරහා පරම්පරාවෙන් පරම්පරාවට ‘මීමගත’ (memetic) හැකියාවන්ද ගෙනයයි. සදාචාරයන් සම්බන්ධව සංස්කෘතික මීමයන්ද බෙහෙවින් වේ. එබැවින මානව සදාචාරය යනු මිනිසාගේ ජානගත හා මීමගත චර්යාවන්ගෙ සංකීර්න එකතුවකි.

    ඉහත සටහන සදාචාරය යනු ‘කුමක්ද?’ යන පැණයට පිලිතුරකි. නමුත් මා ඉහතදී කී පරිදි වඩා වැදගත්වන්නෙ ‘කුමකටද?’ යන පැණයට පිලිතුරයි.

    අපගේ ජානගත සදාචාරය යනු පරම්පරාව පවත්වා ගැනීමට (ජෛව පරිණාම වාදයේ අරුතින් කිවහොත් ‘ජානයේ’ පැවැත්ම වඩාත් තහවුරු කිරීම ) සඳහා සකස්වූවකි. පරිණාමවාදි අරුතකින් ගත්කල වඩා වැදගත් වන්නෙ එක් එක් ජීවියාගේ පැවත්ම නොව ‘ජාන’ වල පැවත්මයි. ජීවියා යනු මේ ජාන තාවකාලිකව රඳවා තබා රැගෙන යන ඓන්ද්‍රීය කොපුවක් පමණි. එබැවින් අපගේ ජානගත සදාචාර “ඉව” බොහෝවිට ජාන පරම්පරාව ඉදිරියට රැගෙනයාම සඳහා සකස්වී ඇත.

    අපගේ සංස්කෘතික මීමයන්ද සකස්ව ඇත්තෙ බොහෝවිට සංස්කෘතිය තැනූ ගෝත්‍රය ආරක්ෂා කරමින්, සමතුලිතව ඉදිරියට රැගෙන යාම සඳහාය. එබැවින් මීමයන් හැසිරෙන්නේද ජානයන් හැසිරෙන ආකාරයටමය. සිය ගෝත්‍රය ආරක්ෂා කර ගැනීම මත පදනම් නොවූ මීමයන් තැනූ ගෝත්‍රයන් වඳවීයන නිසා ඉතිරිවෙන්නේ, ගෝත්‍රයේ පැවත්මට අදාල වල මීමයන් තැනි ගෝත්‍රයයි. එබැවින් මානව සදාචාරයේ ගෝත්‍රික මීමයන්ද සකස්ව ඇත්තෙ සමස්ත ගෝත්‍රයේ පැවැත්ම අරමුනු කොටගෙනගය.

    කෙසේ වුවත් මාන ශිස්ථාචාරයෙ වර්තමාන සංදර්භය තුල අපගේ “ගෝත්‍රය” වඩා විශාල, හා භූගෝලීයව විසිරුනු එකක් බවට පත්ව ඇත. තරමක් රොමෑන්ටික ලෙස කල්පනා කරතොත්, ලෝකය පුරා වෙසෙන සියලු මානවයන් එකිනෙකා සමග විශාල ලෙස සම්බන්දවී එකිනෙකා හා යැපෙමින් ජීවත්වන බැවින්, සියලු ලෝක වාසින් බොහෝ දුරට එක ගෝත්‍රයකට අයත් වෙමින් යයි.

    මෙ තත්වය තුල මානව සදාචාරයද අලුත් තත්වයන් සමග පෑහීම සඳහා වෙනස් වෙමින් පවතී. සදාචාරයේ අරමුණ විය යුත්තේ මානවයාගෙ පැවැත්ම හා සමතුලිත භාවය යන පදනම මත නූතන සදාචාර දිශා දර්ශකයක් ගොඩනැගී ඇත. මේ දිශාදර්ශකය modern moral zeitgeist නමින් හැඳින්වේ. මෙය කිසියම් කන්ඩායමක් විසින් හිතාමතා ඇතිකල දෙයක් නොවේ, නමුත් ලෝකය පුරා මිනිසුන් විසින් අවිඥානිකව ගොඩ නැගූවක් වේ.

    විශේශයෙන් සඳහන් කල යුත්තෙ මේ නූතන සදාචාර පද්ධතිය, සදාචාරයේ හිමිකරුවා ලෙස උදම් අනන ආයතනගත ආගම් වලින් පරිබාහිරව වර්ධනය වී ඇති බවයි. සදාචාරය පිලිබඳ අදහස “ආයතනගත කිරීම” සම්බන්දයෙන් කිසියම් සේවයක් ආගම් විසින් ඉටු කලත් සදාචාරය කාලනුරූපව වෙනස් කරගනිමින් වර්ධනය කරගැනීම අනිවාරයෙන්ම සිදුවන්නෙ ආගමින් බැහැරවය. මිනිසාගේ සදාචාර දියුනුව සඳහා බොහෝවිට ආයතනගත ආගම් වලින් වන්නෙ භාදාවකි. නමුත් ආගම් වලින් බැහැරව මතුවන සදාචාරය ආගම් විසින් පසුකාලීනව සිය පද්ධතියට ඇතුලත් කරගැනීම හෝ අලුත් ආගමක් ලෙස එම වඩා නූතන සදාචාර පද්ධතිය සමාජය තුල ස්ථාපිත වීම සිදුවේ.

    කෙසේ වුවත් ආගම් වලින් බැහැරව වර්ධනයවූ නූතන හර පද්ධතීන් බොහොමයක් තවමත් ආගම් තුලට වැද්දාගෙන නැත. උදාහරණයක් ලෙස ‘වහල් වෙලඳාම නැති කිරීම’, ‘ගැහැණුන්ට සමාජයීය නිදහස ලබාදීම’, ‘ගැහැණුන් යනු පිරිමියාගේ දේපලක් නොවන බව සැලකීම’, ‘තනි පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය පිලිබඳ අයිතීන්’, ‘සම හා විෂම යන දෙවැදෑරුම් ලිංගික හැඟීම් ඇති පුද්ගලන් ස්වභාවිකය යන අදහස’ ආදී නුතන හර පද්ධතීන් තවමත් පැරණි ආගමික සංස්ථා විසින් ආයතනගත කර නොමැත.

    නූතන සමාජයේ සමබරතාව ආරක්ෂා කිරීමට නූතනත්වය විසින් ගොඩ නගනා හර පද්ධතීන් පහත ආකාර විවිධාකාර ලෙස සමාජගතවේ. මේව බොහෝවිට දැකිය හැක්කෙ එක් එක රටවල රාජ්‍ය ව්‍යවස්ථාවන්, රටවල් අතර ප්‍රඥ්ඥප්ති, ගිවිසුම්, නවකතා, සිනමාව වැනි කලාවන්, පුවත්පත කතුවැකි ආදිය තුලය.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s