විද්‍යාව හා දර්ශනය පටලවා ගැනීම

දැනුම පිළිබද නානාවිධ අදහස් ඇත. එකී අදහස් කිසියම් විශ්ලේෂණයකට බදුන් කරන කතිකාව ඥාන විභාගය (epistemology) යනුවෙන් හැදින්වේ. “දැනුම” යන වචනය අර්ථදැක්වීම සහ මානව දැනුමේ සීමාවන් හදුනාගැනීම, දැනුමේ ස්වභාවය නිර්ණය කරගැනීම, දැනුම ලබාගැනීමෙහිලා ඉන්ද්‍රයන්ගේ භූමිකාව නිවැරදිව වටහාගැනීම, දැනුම සහ මනස අතර ඇති සම්බන්ධය හෙලිදරව් කරගැනීම යනාදී වශයෙන් වන්නා වූ දැනුම ආශ්‍රිත විවිධ ගැටලු පිළිබදව වන කතිකාවන් ඥාන විභාගය යන විෂය පථය යටතට ගැනේ.

ඥාන විභාගයේ කලක් තිස්සේ පැවත එන ප්‍රධානතම විවාදය නම් අනුභූතිකවාදය (empiricism) හා හේතුවාදය (rationalism) අතර විවාදය යි. අනුභූතිකවාදය යනු “ඉන්ද්‍රයන් හරහා කරනු ලබන නිරීක්ෂණ තුලින් ප්‍රධාන වශයෙන්ම දැනුම ලැබේ” යන ස්ථාවරය යි. හේතුවාදය යනු “විචාරය (reasoning) හරහා ප්‍රධාන වශයෙන්ම දැනුම ලැබේ” යන ස්ථාවරය යි. අනුභූතිකවාදය හා හේතුවාදය අතර මෙකී විවාදය පුරාතන ග්‍රීක දර්ශනය තුල ඇරිස්ටෝටල් හා ප්ලේටෝ අතර සිදු විය. ඇරිස්ටෝටල් අනුභූකිතවාදියෙකු වූ අතර ප්ලේටෝ හේතුවාදියෙකු විය. පුරාතන ග්‍රීක දර්ශනය පිළිබදව ලියන බොහෝ කතුවරුන් සාමාන්‍යයෙන් කරනුයේ ඇරිස්ටෝටල්ව හා ප්ලේටෝව එකිනෙකට එදිරි දාර්ශනිකයන් සේ හුවාදැක්වීමයි. එයට හේතුව දැනුම ලබාගැනීමෙහිලා ඉන්ද්‍රයන්ගේ හා විචාරයේ භූමිකාවන් පිළිබදව ඇරිස්ටෝටල්ගේ හා ප්ලේටෝගේ මතයන් එකිනෙකට පටහැනි ඒවා වීමයි.

දහහත් වන සියවස වනවිට යුරෝපයේ මහා බ්‍රිතාන්‍යයට අයත් දූපත් වල විසූ දාර්ශනිකයින් ප්‍රධාන වශයෙන්ම අනුභූතිකවාදීන් විය. Francis Bacon, David Hume, John Locke හා Thomas Hobbes යන චින්තකයින් එකල අනුභූතිකවාදය උදෙසා කරුණු දැක්වීය. බ්‍රිතාන්‍යයේ විසූ අනුභූතිකවාදීන්ගේ අදහස් විසංවාදයට ලක්කරමින් කරුණු දැක්වූ හේතුවාදීන් ප්‍රධාන වශයෙන්ම සිටියේ ප්‍රංශයේ සහ ජර්මනියේ ය. එම හේතුවාදීන් අතර රෙනෙ ඩෙකාට් හා Gottfried Leibniz ප්‍රධාන විය.

දාර්ශනික කතිකාවත තුළ අනුභූතිකවාදීන් හා හේතුවාදීන් අතර විවාදය එලෙස සිදුවද්දී විද්‍යාව ද කෙමෙන් කෙමෙන් දියුණු වෙමින් පැවතිණි. විද්‍යාවේ දියුණුවට අනුභූතිකවාදීගේ මෙන්ම හේත්වාදීන්ගේත් සහය ලැබිණි. එබැවින්, විද්‍යාව යනු අනුභූතිකවාදය මත පමණක් පදනම් වූවක්ය යන ප්‍රකාශය වැරදි ය. මානව දැනුම ලැබෙනුයේ ප්‍රධාන වශයෙන්ම නිරීක්ෂණයන් හරහා ද නැද්ද යන ප්‍රශ්නය වනාහී දාර්ශනික ගැටලුවකි. එය විද්‍යාත්මක ගැටලුවක් නොවේ. විද්‍යාවේ එන ගැටලු වල ස්වභාවය සහ දර්ශනයේ එන ගැටලු වල ස්වභාවය එක හා සමාන නොවේ. අප විසින් විද්‍යාව සහ දර්ශනය පටලවා නොගත යුතු නමුත් පහත ඡේදය ලියූ මහාචාර්ය නලින් ද සිල්වා එය පටලවාගෙන ඇත.

එහෙත් බටහිර විද්‍යාව මහත් ආඩම්බරයෙන් කියන්නේ එහි දී ඉන්ද්‍රිය ගෝචර සංජානන ගැන හදාරන බව ය. එපමණක්‌ නො ව පංචෙන්ද්‍රියනට ගෝචර සංජානන මත දැනුම පදනම් වන බව ය. එසේ වුවත් එසේ ලබාගන්නේ යෑයි කියනු ලබන සංජානන පිළිබඳ ප්‍රවාද ගෙතෙන්නේ වියුක්‌ත සංකල්ප ආධාරයෙනි. ඇතැම් විට සිතෙන්වත් මවාගත නොහැකි පඤ්ඤත්ති ඇසුරෙනි. (http://www.vidusara.com/2013/04/03/feature9.html)

“විද්‍යාව” යනු “බටහිරට” ආවේණික වූවක් ද යනු වෙනම කතාවකි. ඇරුත්, “බටහිර” යන්න අර්ථ දක්වන්නේ කෙසේද? විද්‍යාව ඉතා සීඝ්‍රයෙන් දියුණු වූ දහහත් වන සියවසේ දී එංගලන්තයේ හා ප්‍රංශයේ තිබුණේ එකම සංස්කෘතියක් නොවේ. නමුත්, එංගලන්ත මිනිසුන් මෙන්ම ප්‍රංශයේ මිනිසුන් ද එකල විද්‍යාවේ දියුණුවට සිය දායකත්වය සැපයීය. තවද, වර්තමානයේ විද්‍යාව යනු ලොව සෑම රටකම පාහේ වෙසෙන විවිධ සංස්කෘතික පසුබිම් වලින් පැමිණි නානාවිධ පුද්ගලයින්ගේ දායකත්වයෙන් ගොඩනැගෙන දෙයක් මිස තනි සංස්කෘතික පසුබිමකින් පැමිණෙන පිරිසකගේ වෑයමකින් ගොඩනැගෙන්නක් නොවේ.

කලින් ද සදහන් කළ පරිදි, දැනුම යනු “පංචේන්ද්‍රියන්ට ගෝචර වන සංජානන” මත පදනම් වන්නක් ද යන ගැටලුවට පිලිතුරු සෙවීමට විද්‍යාඥයින් උත්සහ කරන්නේ නැත. එම ගැටලුව යම් විමසීමකට භාජනය කරනුයේ දාර්ශනිකයින් ය. විවිධ දාර්ශනික අදහස් දැරූ පුද්ගලයින් විද්‍යාවට දායකත්වය සපයා ඇත. ඒ අතර “දැනුම යනු පංචේන්ද්‍රියන්ට ගෝචර වන සංජානන මත පදනම් වන දෙයක්ය” යැයි කියන අයද සිටින බව සැබෑවකි. නමුත්, එම අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් වන “දැනුම යනු විචාරය මත පදනම් වූවක් ය” යන අදහස දරන්නන් ද විද්‍යාවේ ප්‍රගතියට උර දී ඇති බව අප විසින් අමතක නොකල යුතු ය.

එමෙන්ම, විද්‍යාව තුලින් “ඉන්ද්‍රිය ගෝචර සංජානන” හදාරනවා යැයි මතයක් විද්‍යාව තුල නැත. විද්‍යාව මගින් ස්වභාවික පරිසරය පිළිබදව අදහස් දක්වනවා විනා විද්‍යාව මගින් විද්‍යාව පිළිබදවම අදහස් දැක්වීමක් සිදු නොකෙරේ. විද්‍යාවේ ස්වභාවය සහ විද්‍යාවෙන් ලබන දැනුමේ ස්වභාවය මෙන්ම එහි පරාසයන් නිර්ණය කිරීම වනාහී දාර්ශනිකයන්ට අයත් රාජකාරියක් විනා විද්‍යාඥයින්ට අයත් රාජකාරියක් නොවේ. ඇතැම් විද්‍යාඥයින් දාර්ශනිකයින් ද වන බව සැබෑ ය. නමුත්, සියලු විද්‍යාඥයින් දාර්ශනිකයින් නොවේ.

Advertisements
This entry was posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

4 Responses to විද්‍යාව හා දර්ශනය පටලවා ගැනීම

  1. shirantha chamara says:

    මට මේක එපාවෙලා කොයි වෙලාවේ හරි නවත්තයි. මට කෙලින්ම මේ ප්‍රශ්නේ අහන්න දෙන්න. නලින් ද සිල්වා මහතා විද්‍යාව හා දර්ශනය පටලවාගෙන ඇති බව එතුමා විද්‍යාව පිලිබඳ ලියා ඇති දෙයක් උපුටා දක්වමින් පවසයි. දැන් ඔයා හදාරලා තියෙන්නේ දාර්ශනිකයෝ විද්‍යාව ගැන කියන ඒවාද විද්යාන්යයෝ විද්‍යාව ගැන කියන ඒවාද? දෙවැන්න ගැන ප්‍රාමාණික දැනුමක් නැති කෙනෙකුට එතුමා විද්‍යාව ගැන කියන කතාව විවේචනය කිරීමේ සුදුසුකමක් නැති බව මගේ හැගීමයි.
    විද්‍යාව යනු අවසාන වශයෙන් ගත්කල ඉන්ද්‍රිය ගෝචර දේවල් අතර සම්බන්ධතා අනාවරණය කිරීම සඳහා වුවක් බවත් එම දැනුම අවසාන වශයෙන් පරීක්ෂා කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේවල් ඇසුරින් බවත් අතිශය බහුතර බටහිර විද්යාන්යයන්ගේ පමණක් නොව මගෙත් හන්ගීමයි. (ultimate test of physical theory is experiment) . නලින් ද සිල්වා මහතා කියා ඇත්තේ එයයි. විචාරය ප්‍රධාන වන්නේ අතරමැද වැඩවලදී (තර්කය හා උපකල්පන ආදිය සඳහා)පමණි. මෙය නොපිළිගන්නා දාර්ශනිකයන් ඇත්නම් මට ඔඋන් ගැන අනුකම්පා සිතේ. මම කියවා ඇති විශිෂ්ට විද්යාන්‍යයන් එකෙක් වත් එවැනි මත දරන්නේ නැත.

    ඉන්ද්‍රිය ගෝචර ලෝකය තුල සම්බාන්ධතා සෙවීම සඳහා නිරපේක්ෂ යතාර්ථය සොයා ගත යුතු බව සවින්යානිකව හා අවින්යානිකව බොහෝ ප්‍රධාන විද්යාන්යයෝ විශ්වාස කරති. එහෙත් අවසාන වශයෙන් දැනුම පදනම් වන්නේ ඉන්ද්‍රිය ගෝචර දෙවල් මත බව සියලු විශිෂ්ට විද්යාන්යයෝ පිළිගනිති (ඇතැම් විද්යාන්යයන්ගේ පොත් වල දාර්ශනිකයන්ව ඔවුන් සංවාදයට ලක්කරන්නේ හුදෙක් හාස්‍යය ජනිත කරවීම සඳහාය.). මමද පිලිගනිමි.

    අපගේ වෙනස වන්නේ මේ ඉන්ද්‍රියන් වලට ඇතැම් අතීන්ද්‍රිය හැකියාවන් සහිත (රාමනුජන්, නාථ දෙවියන්ව දකින මහත්මියව) අයගේ ඉන්ද්‍රියන්ද ඇතුලත් කරගතහැකි බව හා යුතු බව ය ය. රආමනුජාන් සම්බන්ධයෙන් බටහිර ගනිතන්යයෝ එය කළහ. මෙයින් ප්‍රවාද ගොඩනැගීමෙන් තොරව ඇතැම් තොරතුරු කෙලින්ම අප ඇස දෙකින් දකින්න මෙන්ම ලබාගත හැකි බව අපි කියමු. මෙය අපේ මතයයි. එයට අකමැති වීම එකකි. එයට එරෙහිව ඔබ තර්ක කරන්නේද?

    ///එමෙන්ම, විද්‍යාව තුලින් “ඉන්ද්‍රිය ගෝචර සංජානන” හදාරනවා යැයි මතයක් විද්‍යාව තුල නැත. විද්‍යාව මගින් ස්වභාවික පරිසරය පිළිබදව අදහස් දක්වනවා විනා විද්‍යාව මගින් විද්‍යාව පිළිබදවම අදහස් දැක්වීමක් සිදු නොකෙරේ.////

    මෙය මිනිසුන් මුලා කරන ප්‍රකාශයකි. බටහිර විද්‍යාවේදී (දර්ශනය ගැන මම දන්නේ නැත- ඒවා මට වැඩකුත් නැත. )ඉන්ද්‍රිය ගෝචර සංජානන පිලිබඳ හදාරනවා යන්නෙන් අදහස් කෙරෙන්නේ මිනිසුන් දකින ස්වභාවික පරිසරය පිලිබඳ හදාරීමය. ස්වභාවික පරිසරය යනු වෙන කුමක්ද? විද්‍යාව මගින් විද්‍යාව පිලිබඳ හදාරීමක්ද කෙරෙයි. එය යම් මට්ටමකින් අවංක හදාරීමකි. හේතුව එය ගඟට බට විද්යාන්‍යයන් විසින් කෙරෙන නිසාය. ඒවා ඔවුන්ගේ පොත්වල දැකිය හැකිය. ගොඩ සිට ඇදගෙන නාන අය විද්‍යාව පිලිබඳ කරන හැදෑරීමට වඩා විද්යාන්‍යයන් විද්‍යාව පිලිබඳ කියන දේවල් විශ්වාස කටයුතුය.

    Like

    • සමාවෙන්න පිළිතුරු ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන්. මෙම අඩවියේ ඉදිරියට පළ කිරීමට නියමිත ලිපි සකස් කිරීමත්, දෛනික ජීවිතයේ නානාවිධ වැඩ කටයුතුත් නිසා කාර්යබහුල වෙලා හිටියෙ

      නලින් ද සිල්වා විදුසරට ඉදිරිපත් කරලා තියන නිර්මාණය කරන බොරු නැමති ලිපියෙ ඔහු ඉදිරිපත් කරන මූලිකම තර්කය තමයි මම උපුටා ගෙන තියෙන්නෙ…මෙතනදි නලින් ද සිල්වා ප්‍රධාන වශයෙන් ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කරනවා
      1. විද්‍යාව විසින් නිරීක්ෂණයන් (නලින්ගෙ වචනයෙන් “ඉන්ද්‍රිය ගෝචර සංජානන“) හැදෑරීම සිදුකරන බවට “නිල මතයක්“ විද්‍යාව තුල ඇත.
      2. විද්‍යාව තුළ ඉදිරිපත් කරන සංකල්ප (උදා-සරල රේඛාව, ගුරුත්වාකර්ෂණය, කාලය) යනු ඉන්ද්‍රිය ගෝචර දෑ නොවේ. ඒවා මනසින් පනවා ගත යුතු පඤ්ඤප්ති

      ඉතිං නලින් ද සිල්වා කියන්නෙ මෙතන contradiction එකක් තියනවා කියලා…මම මේ ලිපිය තුල නලින් ඉදිරිපත් කරලා තියන අංක 2 ප්‍රකාශය සාකච්ඡාවට ලක්කරලා නෑ..(ඒක ගැඹුරින් විමසීමකට ලක් කරන්න ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වෙනවා…)
      මම මේ ලිපියෙන් argue කරලා තියෙන්නෙ නලින් ඉදිරිපත් කර ඇති අංක 1 ප්‍රකාශය වැරදියි කියා…විද්‍යාව විසින් හදාරන්නේ නිරීක්ෂණයන් කියලා සියලු විද්‍යාඥයින් විසින් නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු කරලා නෑ…එබැවින් “එහෙත් අවසාන වශයෙන් දැනුම පදනම් වන්නේ ඉන්ද්‍රිය ගෝචර දෙවල් මත බව සියලු විශිෂ්ට විද්යාන්යයෝ පිළිගනිති“ කියන ප්‍රස්තුථය අසත්‍යයි. ඉන්ද්‍රිය ගෝචර නිරීක්ෂණ වලට අමතරව විචාරය හරහා ස්ථාපිත කරන ලද න්‍යායන් විද්‍යාවේ තිබේ
      ඒ වගේම විද්‍යාව සදහා හේතුවාදීන් (ඒ කිව්වෙ විචාරය ප්‍රමුඛ කොට සලකන අය ) contributions කරලා තියනවා කියන එක මෙම ලිපිය තුල මම ඉස්මතු කරන තවත් කාරණයක්..

      කෙසේවෙතත්, ඔබ කියන ලද එක් කාරණයකට මම එකග වෙනවා..විද්‍යාඥයින් අතර බොහෝ දෙනා (සියලු දෙනා නොවේ) විද්‍යාව නිරීක්ෂණ හදාරනවා අය මතයේ සිටින බව ඇත්ත…නමුත් ඊට වෙනස් මතයන් දරන විද්‍යාඥයින් ද සිටී

      Like

  2. මෙම ලිපියේ අන්තර්ගතය සමඟ මම බොහෝ දුරට එකඟ වෙමි.මම එකඟ නොවන ප්‍රකාශ කිහිපයක් පිළිබඳව මම මාගේ මතයන් පහත ඉදිරිපත් කොට ඇත්තෙමි.

    //විද්‍යාව මගින් ස්වභාවික පරිසරය පිළිබදව අදහස් දක්වනවා විනා විද්‍යාව මගින් විද්‍යාව පිළිබදවම අදහස් දැක්වීමක් සිදු නොකෙරේ//

    මෙම ප්‍රකාශයට මම තරමක් එකඟ නොවෙමි. විද්‍යාව මගින් විද්‍යාව හැදෑරීමට ලක් කෙරෙන බව මම අසා ඇත්තෙමි.

    // විද්‍යාවේ ස්වභාවය සහ විද්‍යාවෙන් ලබන දැනුමේ ස්වභාවය මෙන්ම එහි පරාසයන් නිර්ණය කිරීම වනාහී දාර්ශනිකයන්ට අයත් රාජකාරියක් විනා විද්‍යාඥයින්ට අයත් රාජකාරියක් නො වේ. //

    විද්‍යාවේ පරාසයන් දාර්ශනිකයන් විසින් පමණක් නිර්ණය කළ යුතු නැත.විද්‍යාඥයන්ටද විද්‍යාවේ පරාසයන් නිර්ණය කළ හැකිය.එමෙන්ම ඔවුනුත් හැකි පමණින් එසේ කළ යුතු ය.යම් කිසි ක්ෂේත්‍රයක,විෂයක හෝ දැනුම් පද්ධතියක පරාසයන් වඩා පැහැදිලිව නිර්ණය කළ හැක්කේ එම ක්ෂේත්‍රයේ යෙදී සිටින අයවලුන්ට හෝ එම විෂය හෝ දැනුම් පද්ධතිය පිළිබඳ හැදෑරූ පුද්ගලයන්ටය.උදාහරණයකට නාරියවේදය සහ හෘද විද්‍යාව ගනිමු.හෘද රෝග විශේෂඥයාට නාරියවේදය ගැන මූලික දැනුමක් තිබෙන්නට පුළුවන් නමුත් ඔහුට නාරියවේදයේ පරාසයන් හෝ සීමාවන් නිර්ණය කිරීමට ප්‍රමණාවත් දැනුමක් නොතිබෙන්නට පුළුවන.හෘද රෝග විශේෂඥයාට වඩා නාරියවේද විශේෂඥයකුට ඒ විෂයෙහි පරාසයන් පැහැදිලිව සහ නිරවද්‍යව නිර්ණය කළ හැකිය.මන්ද යත් ඔහුට හෝ ඇයට එම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ඇති නිසාය.

    Like

  3. Sira San says:

    හේතුවාදය කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s