අපේ ලෝකයේ මගේ ප්‍රවාද (රිටිගල ජයසේන සමග )

ප්‍රශ්නය: ඔබේ කාලයෙන් වැඩි කොටසක් “වාස්තවික යථාර්තය” නම් වූ සංකල්පයක් සාකච්ඡා කිරීම සඳහා වැය වේ. මෙය වැදගත් මාතෘකාවක්ද?

රිටිගල: තමන්ට බැහැරින් පවතින කිසියම් “පරම සත්‍යයක්” හෙවත් “ඇත්තෙන්ම පවතින ලෝක ස්වභාවයක්” ගැන අවිඥානක හෝ සවිඥානක සිතිවිල්ලක් ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති වල මූලික පදනම වේ. කොටින්ම කීවොත්, “දැනුම” යන වචනය පවා සාමාන්‍යයෙන් අර්ථදැක්වෙන්නේ “සාධාරණීකරණය කරන ලද සත්‍ය විශ්වාසයක්” (justified true belief) යනුවෙන්. මෙහි දෙවැනියට කියවුන “සත්‍ය” කියන නිර්නායකය සාමාන්‍යයෙන් විවරණය කරන්නේ “යථාර්තය සමග එකග වීම” (agrees with reality) යනුවෙන්. එතකොට, අපිට මෙතනින් පෙනෙන දේ තමයි මනසින් ස්වායක්ත “යථාර්තයක්” පිළිබද අදහස “දැනුම” කියන වචනය තුළ පවා ගැබ්ව තියන බව. ඉතින්, මේ “ඇත්ත ස්වභාවය” හඳුනා ගැනීම හා එම හඳුනා ගැනීම ඇසුරින් ලෝකය තමන්ට ඇවසි ආකාරයට හැසිරවීමට උත්සාහ කිරීම බොහෝ දැනුම් පද්ධති වල මූලික අරමුණ වේ. මේ ඇත්ත ස්වභාවය අපට පෙනෙන ආකාරයටම පවතී, හෝ අපට පෙනෙන්නේ ඇත්ත ස්වභාවයේ සෙවනැල්ලකි, හෝ මිනිස් දැනුම භාවිතාකර “ඇත්ත” ඇති සැටියෙන් කීමට නොහැක ආදී ලෙස නොයෙකුත් උප-අදහස් වලට මේ මුලික අදහස බෙදා වෙන්කල හැක. නමුත්, සමස්තයක් ලෙස ගත්කල “යථාර්තයක් පවතී” යන මූලික උපකපල්පනය සෑම දැනුම් පද්ධතියකම පදනම වේ.

ප්‍රශ්නය: එතකොට, “වාස්තවික වූ යථාර්තයක් නොමැත” යන පදනමින් තැනූ දැනුම් පද්ධති එකක්වත් ලොකයේ නැද්ද?

රිටිගල: දැනුම් පද්ධති ගොඩ නැගෙන්නේ “වාස්තවික යථාර්තය” පිලිබඳ දාර්ශනික ප්‍රශ්නයට පිලිතුරු සෙවීම සඳහා නො වේ. දැනුම් පද්ධති ගොඩ නැගෙන්නේ මොකක් හෝ ප්‍රයෝජනවත් වැඩක් කිරීම සඳහා ය. එම දැනුම් පද්ධති තුල “වාස්තවික යථාර්ථය පවතී” යන අවිඥානක උපකල්පනය සාමාන්‍යයෙන් තියෙන බව පෙන්වා දෙන්නේ දාර්ශනිකයන් විසිනි. “මිනිසාගෙන් බැහැරව පවතින වාස්තවික වූ යථාර්තයක් නැත” යන සවිඥානක ස්ථානයේ සිටිමින් ගොඩ නැගූ ලෝකයේ අද පවතින සමාජ-ආර්ථික රටාව තුල එදිනෙදා කටයුතු වලදී ප්‍රයෝජනයට ගත හැකි දැනුම් පද්ධතියක් ගැන මා දන්නේ නැත.

ප්‍රශ්නය: නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් විසින් කියනවා නේද තමන් “වාස්තවික වූ යථාර්තයක් නොමැත” යන පදනමින් දැනුම් පද්ධතියක් ගොඩ නගනවා කියලා?

රිටිගල: මට තේරෙන ආකාරයට නම් ඔවුන් “වාස්තවික යථාර්තයක් නැත” යන පදනමින් දැනුම් පද්ධතියක් ගොඩ නැගීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ උත්සාහයේ මූලික අරමුණ දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීමට වඩා “වාස්තවික වූ යථාර්තයක් නැත” යන වගන්තිය මන්තරයක් මෙන් කියමින් සිටීමයි. ඒ හරහා සිය මතවාදී ප්‍රචාරණයට වේදිකාවක් තනා ගැනීමයි. ඒ මට හිතෙන හැටි. නමුත්, නව දැනුම් පද්ධතියක් ගොඩ නැගීමට ඔවුන්ගෙන් ඇතැමෙක්ට අවංක උවමනාවක් තිබෙනවා විය හැකියි. එසේ තිබේ නම් එය පැසසිය යුතු කාරණයක්.

ප්‍රශ්නය: නිර්මාණාත්මක සාපේක්ෂතාවාදින්ට කවදා හෝ එවැනි දැනුම් පද්ධතියක් ගොඩ නැගිය හැකිවේවිද?

රිටිගල: මට හිතෙන හැටියට ඔවුන් කවදා හෝ ගොඩ නගන දැනුම් පද්ධතියේ වාස්තවික යථාර්තය පිලිබඳ උපකල්පනයක් තිබේ ද නොතිබේ ද යන්නට වඩා වැදගත් වන්නෙ මේ දැනුම් පද්ධතිය ගොඩ නැගුවෙ “වාස්තවික යථාර්තක් නැත” යන මන්තරය මතුරමින් වීම. උදාහරණයක් ලෙස කිව්වොත්, අමධ්‍යප කණ්ඩායමක් විසින් ව්‍යුත්පන්න කරන ලද ගණිත සූත්‍රයක් ගමු. ඒ සූත්‍රය හා අමධ්‍යපත්වය අතර සම්බන්ධයක් නොමැත. නමුත් අමධ්‍යපත්වය ප්‍රචලිත කිරීම සඳහා මේ සූත්‍රයේ සාර්ථකත්වය යොදා ගත හැක.

ප්‍රශ්නය: හරි! එතකොට, “බටහිර” විද්‍යාව තුල වාස්තවික වූ යථාර්තයක් පිලිබඳ උපකල්පනයක් තියනවාද?

රිටිගල: මා කලින් කියූ ලෙස ඕනෑම දැනුම් පද්ධතියක එවැනි අවිඥානක උපකල්පනයක් තියනවා. වඩා වැදගත් වන්නෙ එම උපකල්පනය නිසා එම දැනුම් පද්ධතියෙන් ගැනීමට හැකි ප්‍රයෝජනයට කිසියම් බලපෑමක් වෙලා තියනවාද යන්නයි. “බටහිර” විද්‍යාව කියන්නෙ තනි පුද්ගලයෙකුගෙ අදහස් සමූහයක් නො වේ. ඒ ඒ බටහිර විද්‍යාඥයන් ඒ ඒ ලෝදැක්මන් පිළිගෙන තිබෙනවා විනා සියලු බටහිර විද්‍යාඥයෝ එකම ලෝදැක්මක ඉදලා නෑ. මෙවැනි දාර්ශනික කරුණු ගැන ඔවුන් අතර පොදු එකගතාවයක් නෑ. ඒ වගේම වාස්තවික යථාර්තයක් තියනවා කියලා “නිල මතයක්” වත් එහෙම නෑ කියලා “නිල මතයක්” වත් බටහිර විද්‍යාව තුළ නෑ. උදාහරණයක් ලෙස, ක්වන්ටම් භෞතිකයේ පියා ලෙස සැලකෙන නීල්ස් බෝර් හා ඔහුගේ සගයන් විසින් කරන්නට යෙදුනු කෝපන්හේගන් විවරණය විද්‍යාඥයින්ගේ ලෝදැක්මන් වල එක් මතවාදී අන්තයක් පෙන්නුම් කරනවා. ඒ කාලයේදීම බෝර්ගේ අදහස් වලට එදිරි වූ ඇල්බට් අයින්ස්ටයින් තවත් මතවාදී අන්තයක් පෙන්නුම් කරනවා. මේ ඇතැම් මතවාදී ගැටලු තවමත් විසඳී නැත. කෙසේ වෙතත් එය විද්‍යාවේ ඉදිරි ගමනට ලොකු බලපෑමක් කරලා නෑ.

ප්‍රශ්නය: හොදයි. අපි නිකමට හිතමු “වාස්තවික යථාර්තයක් ඇත” කියන මතය “නිල වශයෙන්” බටහිර විද්‍යාව පිළිගන්නවා කියලා. ඒක එහෙමනං ඒක බටහිර විද්‍යාවේ අඩුපාඩුවක් ද?

රිටිගල: මටත් ඕක තේරෙන්නෙ නෑ. “වාස්තවික යථාර්තයක් තියනවා” කියා විශ්වාස කිරීම, “වාස්තවික යථාර්තයක් නැත” යනුවෙන් විශ්වාස කිරීමට වඩා බුද්ධිමය වශයෙන් “පහත්” වෙන්නෙ කොහොමද කියලා මට පැහැදිලි නෑ. මෙවැනි දාර්ශනික කාරණා ගැන ඔනේ තරම් විවාද කරන්න පුලුවන්. මම හිතන්නෙ නලින් ඇතුලු පිරිස තමන් නූතන විද්‍යාඥයින්ට වඩා “පොරවල්” බව සිතීමට හා පැවසීමට හේතුව තමයි ඔවුන් මේ කාරණා ගැන දාර්ශනිකව හිතා සවිඥානක වීම. එබැවින් අවිඥානකව තමන්ට හුරුපුරුදු කල ලෝක දැක්ම තුල පමණක් සිතන පුද්ගලයන්ත වඩා ඔවුන් “පොරවල්” වීම සාධාරණයි. මෙය දැනුම් පද්ධතියකට අනුගත වූ පුද්ගලයන් පිරිසකට වඩා තමන් පොරවල් වීමක් මිස, දැනුම් පද්ධතියක පදනම ගැන කතාවක් නොවේ.

ප්‍රශ්නය: නලින් ද සිල්වාට අනුව විද්‍යාවේ බොහෝ සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නොවන “පඤ්ඤප්ති”. ඒ කිව්වේ “අභූත” සංකල්ප. උදාහරණක් ලෙස, කලු කුහර, ඉලෙක්ට්‍රෝන වගේ ඒවා අපිට පේන්නෙ නෑ. අල්ලන්න බෑ. එහෙම එකේ ඒ දේවල් ඇත්තටම තියනවා කියලා පිළිගන්න එක ගැන නලින් ඉදිරිපත් කරන විවේචනය සාධාරණයි නේද?

රිටිගල: පලමු කතාව තමයි ඔය “ඉන්ද්‍රියගෝචර සංජානන” හා “පඤ්ඤප්ති” යන වෙන් කිරීම ඔය කියන තරම් කලු/සුදු නැහැ. ඒ කිව්වෙ, පැහැදිලි සීමා මායිමකින් වෙන් කරන්න බැහැ. නලින් ද සිල්වා ඔහුගේ “මගේ ලෝකය” කෘතියේදී ඔහුම මා කියපු මේ තර්කය ලොකුවට කරනවා. ඉන්ද්‍රිය ගෝචර යැයි අපි ගන්නා “පුටුව” කියන සංකල්පයම සංස්කෘතියේ නිර්මාණයක් වන්නෙ කොහොමද කියල ඔහු පෙන්වා දෙනවා. තවත් පැත්තකින්, Jacques Derrida පවසනවා අපේ මුලු ලෝකයම අපි වචන වලින් නිර්මාණය කර ගන්නවා කියල. ඕනෑම සංස්කෘතියක හා ඕනෑම දැනුම් පද්ධතියක ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප බර ගානක් අපි “ඇත්තටම පවතී” කියන විශ්වාසයෙන් කටයුතු‍ කරනවා. ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය, කලු කුහර වගේ සංකල්පත් මේ වගේම පරිචය නිසා ස්ථාපිත වෙච්ච දේවල්. යමෙක් “මහසෝනා” මිත්‍යා මතයක් ලෙසත් “කලු කුහරය” සැබෑවටම පවතී කියල විශ්වාස කිරීමත් ගැන තියෙන දාර්ශනික අවුල තමයි මෙතැන තියෙන්නෙ. මහසෝනා මිත්‍යාවක් වන්නේත් කලු කුහර සැබෑවක් වන්නේත් වත්මන් සංස්කෘතික පරිචය නිසාය කියල මේ ප්‍රශ්නය විසඳ ගන්න පුලුවන්.

ප්‍රශ්නය: එතකොට ඔබ “මහසෝනා” සංකල්පය හා “කලු කුහර” සංකල්පය එකම තලයේ ලා සළකනවාද?

රිටිගල: දාර්ශනික තලයේ දී, ඔව්. මේ දෙකම යම් යම් සංසිද්ධීන් වෙන ආකරය විස්තර කරන්න ගොඩ නැගූ, සෘජුවම ඉන්ද්‍රිය ගෝචර නොවන, සංකල්ප. දැන් ප්‍රශ්නය මේ සංකල්ප දෙකෙන් “හරි” එක මොකක්ද කියලානෙ. ඒක හොයාගන්නෙ මේ සංකල්ප දෙක අතුරින් අඩුවෙන්ම ගැටලු සහගත සංකල්පය තේරීම තුලින්. ඒකට කියන්නෙ inference to best explanation කියලා. කලු කුහර කියලා දෙයක් තියනවා නම් කලු කුහර මගින් ඒ ආසන්නයේ ඇති තාරකා ගිලගැනීම නිරීක්ෂණය කරන්න අපිට පුලුවන් වෙන්න ඕනි. එහෙම දේවල් නිරීක්ෂණය කරලා තියන නිසා කලු කුහර කියන සංකල්පයට යම් විස්වසනීයභාවයක් ලැබෙනවා.

ඒ වගේම, යම් යම් සංසිද්ධීන් විස්තර කරන්න වඩා හොඳ වෙනක් ආකෘති ඇති වෙනකොට අපි මේ සංකල්ප අත් හැර දාල වෙනත් සංකල්ප නිර්මාණය කර ගන්නවා. හැබැයි අපි විසින් වර්තමානයේ පිලිගන්නා ආකෘතිය තුල ඉඳන් කතා කරනකොට මේවා සැබෑවටම පවතී කියල ගැනීම ගැන මට නම් කිසිම වරදක් පේන්නෙ නෑ. උදාහරණයක් ලෙස, ගුරුත්ව කේන්ද්‍රය කියලා දෙයක් සැබෑවටම පවතී කියලා උපකල්පනය කිරීම පාලම් සෑදීම පිණිස ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා, ගුරුත්ව කේන්ද්‍රය සැබෑවටම පවතී කියලා හිතන එකේ වරදක් මම දකින්නෙ නෑ. කලක් විද්‍යාඥයන් හිස් අවකාශය තුල තියෙන Luminiferous aether කියලා දෙයක් ගැන හිතාගෙන හිටියා. ඔවුන් කතාබහ කරන කොට aether කියන වචනය පාවිච්චි කරන්න ඇත්තෙ “ඇත්තටම තියෙන” දෙයක් ලෙස සලකලා වෙන්නෙ ඇති. ඉතින් මොකක්ද ඒකෙ තියෙන වරද? දැන් එහෙම aether කියල දෙයක් ගැන අපි කියන්නෙ නෑ.

ප්‍රශ්නය: “බටහිර” විද්‍යාව හා නූතනත්වය තුල ඔබ කිසිදු ප්‍රශ්නයක් දකින්නෙ නැද්ද?

රිටිගල: නූතන විද්‍යාව හා නූතනත්වයේ වර්තමාන ආකෘතිය තුල අතිවිශාල ප්‍රශ්නයක් තිබෙනවා. මෙය ඉතා පැහැදිලි හා ඉතා ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නයක්. දැන් ලෝකය පවතින හා ක්‍රියාත්මක වන ආකෘතිය හෙවත් තුන්වන ලෝකයේ අසීමිත ජනගහන වර්ධනය හා පලමු ලෝකයේ සම්පත් කාබාසිනියා කර දැමීමේ යාන්ත්‍රනය තව අවුරුදු පනහකට වඩා පවතින්නට බැහැ. මහා පරිමාණයෙන් මානව සංහතිය ව්‍යසන වලට ගොදුරු වී ඒ විනාශයන්ගෙන් පසු අලුත් ආකෘතියක් තුලට නිතැතින්ම යන්නට වෙනවා. මේ විනාශය වෙනතුරු සිටිනවාද නැතිනම් එවන් විනාශයක් වීමට පෙර තත්වය කලමනාකරනය කරගන්නවාද යන්න ලෝකය ඉදිරියේ ඇති පොදු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට විසඳුම් පවතින පද්ධතිය තුලින්ම සොයන නොයෙකුත් ගාමක බලවේගන් කොතෙකුත් තියෙනවා. එම බලවේග වලට උපරිම සහය දීම ද පද්ධතියෙන් පිට විකල්ප විසඳුම් සොයන අයව දිරිගැන්වීම ද අප කල යුතුයි.

ප්‍රශ්නය: නලින් ඇතුලු පිරිස මේ මතවාදයන් සාකච්ඡා මේසයට ගැනීම නිසා ලංකාව තුල මෙවැනි හැදෑරීම් කරන අයගේ නිම් වලලු පුලුල් වුනා නොවේද?

රිටිගල: සත්‍ය වශයෙන්ම ඔව්. වෙනෙකක් තබා මේ කතාකරන මම, නලින් ද සිල්වා නොසිටින්නට “විද්‍යාව අදහන” බැතිමත් ශ්‍රාවකයෙක් වෙන්නට ඉඩ තිබුනා. නමුත් අද මම විද්‍යාව “අදහන්නෙ” නෑ. නමුත් නූතන විද්‍යාව එය බිහිවීමට හා දියුනුවීමට දායක වූ නූතනත්වය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. එය “බැතියෙන්” නොව අප ඉදිරියේ ඇති වෙනත් විකල්ප දෙස බලා “කිරා මැන” ගන්නා ලද තීරණයක්.

ප්‍රශ්නය: ඔබ හා නලින් අතර ඇති දාර්ශනික අසමානතා මොනවාද?

රිටිගල: නලින් හා මා අතර ඇත්තෙ දේශපාලනික මත ගැටුමක් මිස දාර්ශනික මත ගැටුමක් නොවේ. මා දන්නා පරිදි නලින් කිසිදු දර්ශනයක් “අදහන්නෙක්” නොවේ. එමෙන්ම මා ද කිසිදු දර්ශනවාදයක් “අදහන්නේ” නැත. ඔහු කිසියම් දර්ශනයක් ප්‍රචලිත කිරීමේ දේශපාලන වෑයමක යෙදී සිටී. මා ද කිසියම් දර්ශනයක් හා ලෝදැක්මක් ප්‍රචලිත කිරීමේ දේශපාලන වෑයමක යෙදී සිටිමි. ඔහු තෝරාගත් දර්ශනය මා තෝරාගත් දර්ශනයට වඩා වෙනස් බැවින් දේශපාලනිකව අපි එකිනෙකාට එදිරි වෙමු. මා උත්සාහ කරන්නෙ ලංකාවට හා ලෝකයට යහපතක් කිරීමටයි. නලින් උත්සාහ කරන්නෙ ලංකාවට හා ලෝකයට හොඳක් කිරීමට විය හැක. (කෙසේ නමුත් ඔහුගේ උත්සාහය මමත්වය හා පොරත්වය කේන්ද්‍ර කොට ගත්තක් දැයි මට කිසියම් සැකයක් වේ. කෙසේ නමුත්, සැකයේ වාසිය නලින්ට දී ඔහුගේ උත්සාහය සත්භාවයෙන් යුක්තව කරන්නක් යැයි දැනට උපලක්පනය කරමු). අප දෙදෙනාගෙන් එකෙක් නිවැරදි විය හැක. අප දෙදෙනාම නිවැරදි විය හැක. අප දෙදෙනාම වැරදි වියහැක. මේ කරුණු ගන සියයට සියයක විශ්වාසයක් මට කවදාවත් තිබුනේ නැත.

ප්‍රශ්නය: ඔබ නලින්ට එදිරිව වෙනත් තැන් වල අදහස් පලකිරීමේ දී පෞද්ගලික ප්‍රහාර හා ඔබ දැන් කියූ කරුණු වලට පටහැනි මත පලකරනවා නොවේද?

රිටිගල: වෙන්නට පුලුවන්! මා කලින් කීවාක් මෙන් මෙය දේශපාලනය පිලිබඳ ප්‍රශ්නයක්. මේ දේශපාලනයේ දී නලින් හා මා යන දෙදෙනාම දේශපාලනික “ගැලරි ඇමතීමක්” කරනවා. මේ අර්ථයෙන් ගත් කල නලින්ගේ දේශපාලනය මාගෙ දේශපාලනයට වඩා පහත් උපක්‍රම හරහා කෙරෙන්නක් ලෙස මා දකිනවා.

ප්‍රශ්නය: නලින්ගේ දේශපාලනයේ ඔබ දකිනා ප්‍රශ්න මොනවාද?

රිටිගල: සිය මතවාදයන් සඳහා පිරිස්බලය වැඩි කර ගැනීම සඳහා නලින් පහත අයුරින් කටයුතු කරනවා.

පලමු කොටම ඔහුට පෙන්නනවා ලාංකිකයන් නූතනත්වයට වැඩි වැඩියෙන් නිරාවරනය වන්නට එහි ඇති රසවත් දේ කෙරෙහි ඇලෙන පිරිස වැඩිවීම නිසා සිය මතවාද වලට ඇති වේදිකාව අඩුවන බව. එබැවින් හොඳින් හෝ නරකින් ලාංකිකයන් නූතනත්වයට එරෙහිව පෙල ගසන්නට ඔහු සූදානම්.

නූතනත්වයයේ ඇති සැබෑ ප්‍රශ්න නිසා සද්භාවයෙන් යුතුව එයට එරෙහිවන පිරිස් ලංකාවෙ නැතුවා නොවේ. නමුත් එවැනි අතලොස්සක් සිටියද, ලංකාවෙ සිටින නූතන විරෝධීන් බොහෝකොට සිටින්නේ අධාර්මික, අසත්පුරුෂ කුහකයන් ලෙසය. සිය දැනුමේ හා අත්දැකීම් වල සීමිත භාවය නිසා නූතනත්වය තුල අවලංගු කාසි බවට පත්වීමෙ භීතියෙන් පෙලෙන වයසට ගිය හනමිටි කරුවන් මින් ප්‍රධානයි. නූතනත්වය නිසා සිය බඩ ගෝස්තරය අහිමිවෙන බව දන්නා බැවින් ජනතාව මානසිකව වැට්ටවීම සිය මාකටින් උපක්‍රමය කරගත්, යන්ත්‍ර, මන්ත්‍ර, හදි, හූනියම් කරුවන් ඊලඟට. මේ සියල්ලටම වඩා දරුනු, ජනතාව අඳුරේ තබමින්, ඔවුන්ට භීතිකාවන් නිර්මාණය කොට පෙන්වමින්, මුලු රටම එකම හරක් ගාලක් කොට එය පහසුවෙන් පාලනය කිරීමට උත්සාකරන පටු දේශපාලකයින්ය. නලින්ගේ මතවාද මේ කඳවුරු වලට අහසින් වැටුනු වාසනාවකි.

මොනයම් හෝ කාරනයක් නිසා නලින් හා ගෝල පිරිස මෙවන් තීරනයක් ගෙන ඇත. එනම් සිය මතවාදයන් ප්‍රචලිත කිරීමේ හොඳම මග වර්තමාන නරුම දේශපාලන රෙජීමය ආරක්ෂා කිරීම බවයි. මෙය අතිශය භයානක, නැවත නිවැරදි කල නොහැකි අගාධයකට ලංකාව ඇද දැමිය හැකි තීරනයකි. ලොකු පිරිස් බලයක් නොමැති මෙවන් අවස්ථාවක මෙවැනි භයානක තීරන ගන්නා චින්තන කන්ඩායම, තවතවත් පිරිස් බලයෙන් ලොකු වූ විට ලංකාව අරභයා කුමන විනාශකාරී තීරන ගනීද යන සැකය හා බිය මා හට ඇත. එබැවින් ඔවුන් එල්ලයේ නිර්දය ලෙස මතවාදී ප්‍රහාර එල්ල කරමි. ඉදිරියට එසේ කරනු ඇත.

ප්‍රශ්නය: රෙජීමයට දර දිය ඇදීමේ ප්‍රශ්නය හැරුණුකොට ඔබට නලින්ගේ කන්ඩායම සමග වෙන අවුලක් නැතිද?

රිටිගල: රෙජීමයට සුදු හුනු ගෑම් හැරුනුකොට වෙනත් අවුල් ද තිබේ. මෙතක් කල් විද්‍යාව හා නූතනත්වය පිලිබඳ යම් “භක්තියක්” තිබීම ලාංකීය සමාජය තුල කිසියම් යහපත් වර්ධනයක් ඇතිකිරීමට ඉවහල් වූවා. මෙම “භක්තිය” ගැන අපට අවඥාවෙන් කතා කල හැකියි. ඇත්ත. උදාහරණයක් ලෙස, නිරාගමිකයන් භක්තිමත් ආගමිකයින් අවඥාවට ලක්කරනවා. මේ අර්ථයෙන්ම නලින් ඇතුලු පිරිස නූතනත්වය ගැන ජනතාව තුල තිබූ පහන් හැඟීම අවඥාවට ලක් කරනවා. මේ වාතවරනයෙන් ප්‍රයෝජන ගන්නෙ කවුරුන්ද? මා අර කලින් කී අධාර්මික, අසත්පුරුෂ, අධම කුහකයන් මෙයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා. හොඳ හා නරක දිශාව පිලිබඳ තීරණ ගැනීමට විකල්ප මාලිමවක් හෝ සත්‍ය අසත්‍ය පිලිබද මැනීමක් කිරීමට විකල්ප මිනුම් දන්ඩක් හෝ නොමැති අවස්ථාවක, නූතන හර පද්ධතීන් හෑල්ලුවට ලක්කිරීම තුලින් වන්නෙ කුමක්ද? ජඩ දේශපාලනය හා මහත්මා දේශපාලනය, මහා පරිමාණ රැවටීම හා ප්‍රයෝජනවත් වැඩ මේව සියල්ල එකම ගොඩට වැටීමයි. මර්වින් සිල්වා හෝ ලක්ෂම් කදිර්ගාමර්, ගාල්තැන්නෙ කපුවා හෝ මාතෘ සායන – මේවා වෙන්කර ගැනීමට අප භාවිතාකල මිනුම් දඬු සියල්ල විනාශකර දැමීම්ම චින්තන කන්ඩායම විසින් මේ අවස්ථාවෙ සිදුකරමින් පවතිනවා.

ලිව්වේ – රිටිගල ජයසේන

සංස්කරණය – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in කාලීන, දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

5 Responses to අපේ ලෝකයේ මගේ ප්‍රවාද (රිටිගල ජයසේන සමග )

  1. This one was missed by the journalist 🙂

    ප්‍රශ්නය: චින්තන කන්ඩායමේ ක්‍රියාකාරිත්වය නිසා කිසිම හොඳක් සිදුවී නැද්ද?

    රිටිගල: චින්තන කන්ඩායම දැනට ක්‍රියාත්මක වෙන ආකාරය නිසා රට තුල තවත් වියැවුල් ඇතිවීම සිදු උනත්, ඔවුන් විසින් කරන්නට යෙදුන ප්‍රයෝජනවත් වැඩ කිහිපයක් මා දුටුවා. එකක් තමයි පාරම්පරික ගොවිතැන නැවත ප්‍රචලිත කිරීමට කරන උත්සාහය. එමෙන්ම කෘෂි රසායන යෙදීමෙන් තොරව ගොවිතැන් කිරීමට ගොවියන් පෙලඹවීම. දැනට ලෝකයේ පවතින සමාජ-ආර්ථික තත්වයන් හා ජනගහන ඝනත්වය නිසා, දැනට ඇති ගොවි බිම් සියල්ලේම සාම්ප්‍රදායික ගොවිතැන කලොත් ලෝකයට කන්නට දෙන්න ප්‍රමාණවත් අස්වනු නෙලා ගන්නට බැහැ. නමුත් ලෝකය ගමන කරන ඉදිරි ආකෘතිය තුල (ජනගහනය සීමා කිරීම, වනාන්තර නැවැත වැවීම ) සාමප්‍රදායික ගොවිතැනෙන් ලෝකයට කන්න දෙන්න පුලුවන් වෙයි. දැනට මෙය “ප්‍රදර්ශනාත්මක” වැඩක් උනත්, වස විස කෑම අඩු කිරීමේ අනාගත වැඩ පිලිවෙලකට හොඳ ආරම්භයක් මේක.

    නූතන රාමුම තුලම සිටිමින් කෘෂි රසායන අවම කරමින් කාබනික (ඕර්ගැනික් ) ගොවිතැන ප්‍රචලිත කිරීමට ලෝකය පුරාම වැඩ පිලිවෙලක් තියෙනවා. නමුත් මාකටින් උපක්‍රමයක් ලෙස එම දෙයම සාම්ප්‍රදායික ගොවිතැන ලෙස නම් කොට හා සාම්ප්‍රදායික බව පෙන්වීම සඳහා “කෙම් ක්‍රම” හා “ආගමික වත් පිලිවෙත්” වැනි දේද මීට සම්බන්ද කර ගනිමින් මෙය තරමක ප්‍රදර්ශනයක් බවට පත් කිරීමක් මෙතැන් උනත්, සමස්තයක් වශයෙන් ගත් කල මෙය හොඳ වැඩක්.

    Like

  2. Mayya says:

    මගේ අවංක හැගීම නම් නලීන් ද සිල්වා හා රිටිගල ජයසේන යන දෙදෙනා එකම මට්ටමෙහි ලා , එකිනෙකට ප්‍රතිවිරුද්ද මතයන් දරන්නන් දෙදෙනෙක් ලෙස, ගෙන කෙරෙන මෙම සාකාච්චාව එක්තරා මට්ටමක සෙල්ෆ් චූන් එකක් ලෙස සැලකිය හැකි බවයි. එය සාම සාකච්චා කාලයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සංවිදානයක් හා ජනතාවගේ චන්ද බලයෙන් පත්වූ ආන්ඩුවක් එකම මට්ටමෙහිලා සැලකූ අබවෝධතා ගිවිසුම මෙන් නොගැලපෙන් තත්වයකි.

    මහචාර්‍ය නලීන් ද සිල්වා සමාජ්යේ ජීවත් වෙන චරිතයක් වෙන අතර ඔහුගේ භෞතික ක්‍රියාකාරකම් සමාජයේ වසන් වී නැත. එහෙත් රිටිගල ජයසෙන යනු මා දන්නා පරිදි සයිබරයේ ජීවත් වන චරිතයකි.ඔහු එකපුද්ගලයෙකුද නැතිනම් පුද්ගල කණ්ඩායමක්ද යනු පවා අපි නොදනී.

    අනිත් අතට හරි හෝ වැරදී වේවා නලින් මහතා සතුව ස්ථිර දැක්මක් පවතී. නමුත් රිටිගල යනු එවන් චරිතයක් නොව හුදෙක් නලීන් විවේචනයක් පමනි. නලීන් මාහතාව සමාජයේදී විවේචනය වන්නේ ඔහු පවසනා දැයේ කොන්ටෙක්ස් එක මත්ම නොව එය තුල ඔහුගේ භාවිතයද ප්‍රශ්ණ කරමින්.එහෙත් රිටිගල යනු අපි දන්නේ ඔහු ලිය්නා දැයේ කොන්ටෙක්ස්ට් එක මත පමනි. ඔහුගේ භාවිතය අපි නොදනිමු. ඩිස්කෝස් ඇනැලිසිස් එක රටිගල සම්භන්ධයෙන් අපහසුය.

    මේ අවස්ථාවේ මට සිහිවෙන්නේ ප්‍රතිවිරොර්දයද , ආදරයේ කොටසකි යන තර්කයයි. ඒ අනුව රිටිගල නීන් ට විරිද්ධ වෙනවා යැයි පවසමින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් නායකයා වීමට උත්සහ ගනි. නමුත් ඔහුගේ අවිඥාණික ආදරය ඇත්තේ නලීන්ටම යැයි මට සිතේ..මෙය මට සිතුනේ නලීනට කිසීම අදාල නැති තර්කන් වලදී පවා රිටිගල නලීන් මහතා ව එතැනට ඇදගෙන මැක්කගේ රචනාව ලියනු මා කීප වරක් දැක ඇති නිසාය. කොටින්ම ඉහත දක්වා ඈතී ප්‍රශ්ණ්ය පිලිතුර යනු ආකෘතියද නලීන් ද සිල්වාගේ’ ප්‍රභාකරන් හා ඔහුගේ සීයලා, බාප්පලා’ යන් කෘතියේ ආකෘතිය මට සිහි ගනවයි. (කෙසේ නමුත් මේ ආකුතිය නලිනගෙ අනොව ඊට පෙර ප්ලෙටෝ මෙන්ම මිලින්ද පණහා යන අයගේද ආකූතිය වේ.)

    Like

    • මයියාට හිතෙන දේවල්…… අප සමග බෙදා ගත්තාට ස්තූතියි…. හොඳේ

      මයියෝ මා වැනිම සයිබරයේ පමනක් ජීවත් වන භූතාතමයක් වන ඔබ හා මම දෙදෙනාටද එකිනෙකාට ආදරය කල හැක. ආදරය විවාහයෙන්ම කෙලවර විය යුතු නැත. 🙂

      Like

      • Prabhanga says:

        මට තේරෙන හැටියට මයිය ගෙනාපු සාධාරණ තර්කය රිටිගල ජයසේන විසින් චූටි ජෝක් එකක් දමා නොසළකා හැරීම තේරුම් ගන්න වෙන්නෙ තමනුත් අවසානයේදී කරන්නෙ දේශපාලනයක් යනුවෙන් රිටිගලම කියන පදනමින් වෙන්න ඕනෙ??

        රිටිගල කියන ඇතැම් දේ වැරදියි කියනව නෙමේ, නමුත් නලීන වටා ගොඩ නැගී ඇති සිවිල් බලයට (මෙය නලීන් සිය උවමනාවෙන් ගොඩ නගා ගත්තක්යැයි මින් නොකියවෙයි) රිටිගල සංවේදී නැතිනම් රිටිගල විසින් කළ යුතුව ඇත්තේ තම මතවාදය හරහා නලීන්ට සාර්ථක ලෙස අභියෝග කිරීම මිසක ‘මාත් දැං නලින් වගේම චරිතයක්’ වැනි නිගමන වලට පාඨකයන්ට එලඹීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාෂ කිරීම නොවේ (තමනුත් කරන්නේ නලීන් වැනිම දේශපාලනයක් යැයි කීමද මීට ඇතුලත්ය).

        Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s