පඤ්ඤත්ති පිළිබද විමසුමක්

නලින් ද සිල්වා විසින් නිතරම පාහේ ආඩම්බරයෙන් කියන්නේ කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව ය. නලින් විසින් ඉදිරිපත් කරනු ලබන මෙකී ප්‍රස්තුථයේ නිරවද්‍යතාවය නිර්ණය කරගැනීම පිණිස මූලික වශයෙන්ම අර්ථ දැක්විය යුතු වචන දෙකක් තිබේ. එකක් නම්, “කාලය” යන වචනය යි. අනෙක නම්, “පඤ්ඤත්තිය” යන වචනය යි. “කාලය” යන වදන අර්ථදැක්වීම ඉතා ගැඹුරු මාතෘකාවකි. මෙම මාතෘකාව පුරාතන ග්‍රීක දර්ශනයේ මෙන්ම නූතන පාරභෞතිකය තුළද දීර්ඝ ලෙස විග්‍රහ වී තිබේ. කෙසේවෙතත්, “කාලය” යන සංකල්පය යම් විවරණයකට ලක්කිරීම මෙම ලිපියේ අරමුණ නො වේ. මෙම ලිපිය තුළින් ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක්වන්නේ “පඤ්ඤත්ති” යන අදහස යි.

“පඤ්ඤත්තිය” යන වචනය එදිනෙදා ව්‍යවහාරය තුළ භාවිත වන්නක් නො වේ. මෙම වචනය ප්‍රධාන වශයෙන්ම භාවිතව ඇත්තේ විද්‍යාව හා බැදුණු දාර්ශනික ගැටලු පිළිබද නලින් විසින් ලියන ලද ලිපි තුල ය. එබැවින්, “පඤ්ඤත්ති” යන පදයේ අරුත සෙවීමට ඇති හොදම ක්‍රමය නම් නලින් විසින් සිය ලිපි තුළ එම පදය ව්‍යවහාර කරනු ලබන ආකාරය අධ්‍යනය කිරීම ය.

නලින්ට අනුව “පඤ්ඤත්තියක්” යනු මනසින් පනවා ගත යුත්තකි. එනම්, ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්පයකි. මෙම අර්ථ දැක්වීමට අනුව බලන කල විද්‍යාවේ ද යම් යම් පඤ්ඤත්ති ඇති බව පැහැදිලි ය. නමුත්, ගැටලුව වන්නේ යම් දැනුම් පද්ධතියක පඤ්ඤත්ති තිබූ පමණින් එම දැනුම් පද්ධතිය පිළිගැනීම අනුවණ ක්‍රියාවක් වනවාද යන්නයි.

ගුරුත්ව කේන්ද්‍රය ඉන්ද්‍රිය ගෝචර නො වේ. අපට ඇපල් ගෙඩියක් දර්ශනය වන ආකාරයට ගුරුත්ව කේන්ද්‍රය දර්ශනය නො වේ. ඇපල් ගෙඩිය අපට ස්පර්ශ කළ හැකිය. නමුත්, ගුරුත්ව කේන්ද්‍රය යනු ස්පර්ශ කළ හැකි වස්තුවක් නො වේ. එබැවින්, ගුරුත්ව කේන්ද්‍රය යනු පඤ්ඤත්තියකි. එය මනසින් පනවාගත යුත්තකි. නමුත්, ගුරුත්ව කේන්ද්‍රය යන සංකල්පය ඉන්ද්‍රිය ගෝචර නොවුන පමණින් එය නිෂ්ඵල දෙයක් වන්නේ නැත. පාලම්, ගොඩනැගිලි සෑදීම සදහා ගුරුත්ව කේන්ද්‍රය යන පඤ්ඤත්තිය ප්‍රයෝජනවත් වේ. එනම්, ගුරුත්ව කේන්ද්‍රය යන පඤ්ඤත්තිය වනාහී ප්‍රයෝජනවත් නිපැයුමකි. එබැවින්, ගුරුත්ව කේන්ද්‍රය ගැන කතාකිරීම බුද්ධිමය වශයෙන් පහත් ක්‍රියාවක් වන්නේ නැත.

චුම්බක කේෂ්ත්‍රය යනු පඤ්ඤත්තියකි. චුම්බකයක් වටා ඇති බල රේඛා යනු සංකල්පීය නිපැයුමක් මිස “ඇත්තටම තියන දෙයක්” නො වේ. එසේවුවද, චුම්බකයක් අසලින් ගමන් කරන ආරෝපිත අංශුවක් එම චුම්බකයෙන් ඉවතට කෙතරම් තදින් තල්ලු වේදැයි ගණනය කිරීමට චුම්බක කේෂ්ත්‍රය යන පඤ්ඤත්තිය මහෝපකාරී වේ. එබැවින්, චුම්බක කේෂ්ත්‍රය පඤ්ඤත්තියක් වුන පමණින් අප විසින් චුම්බක කේෂ්ත්‍රය යන සංකල්පය ඉවතලිය යුතු නැත. විද්‍යාව තුළ යම් යම් පඤ්ඤත්ති තිබීම විද්‍යාවේ අඩුපාඩුවක් බව හුවාදක්වමින් නානාවිධ ප්‍රකාශයන් සිදුකිරීමට නලින් ද සිල්වා භාවිත කරන මයික්‍රෆෝනය සහ ස්පීකරය ද චුම්බක කේෂ්ත්‍රය යන පඤ්ඤත්තිය ආධාර කරගෙන නිපදවන ලද්දකි.

ඕනෑම දැනුම් පද්ධතියක පඤ්ඤත්ති අන්තර්ගතව තිබීම ස්වභාවික ය. යම් දැනුම් පද්ධතියක ඇති පඤ්ඤත්ති වල වැදගත්කම පිළිබද අප යම් මිම්මක් ගනු ලබනුයේ එදිනෙදා ජීවිතයේ කාර්යයන් පහසු කරගැනීමට එකී පඤ්ඤත්ති කෙතරම් දුරට ප්‍රයෝජනවත් වී ඇද්දැයි බැලීමෙනි. විද්‍යාව තුළ අන්තර්ගත නානාප්‍රකාර පඤ්ඤත්ති ඉවහල් කරගෙන අප දෛනික ජීවිතය පහසු කරගැනීමට සිදුකර ඇති නිපැයුම් ප්‍රමාණය අතිමහත් ය. එබැවින්, චුම්බක කේෂ්ත්‍රය, ගුරුත්ව කේෂ්ත්‍රය, හා ගුරුත්ව කේන්ද්‍රය යනාදී පඤ්ඤත්ති විද්‍යාව තුළ තිබීම විද්‍යාවේ අඩුපාඩුවක් නො වේ.

Advertisements
This entry was posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

12 Responses to පඤ්ඤත්ති පිළිබද විමසුමක්

  1. ඉතාම හොඳ ලිපියක්. නමුත් මෙයට ඉතා වැදගත් ඌන පූර්ණයක් කරන්නට අවශ්‍ය බව මට හිතෙනවා. ‘ගුරුත්ව-කේන්ද්‍රය’ හා ‘චුම්බක බල රේඛා’ යනු ‘ඇත්තටම පවතින’ හෙවත් (ඊනියා? ) යථාර්තයේ කොටසක් හෝ ස්වභාවධර්මයේ පවතින්නක් බව විද්‍යාර්ථීන් හෝ නූතන විද්‍යාවේ ලෝක දැක්ම තුල සිය චින්තනය පදනම් කරගත් අය පවා සිතන්නෙ නෑ. ඔවුන් ‘ගුරුත්ව-කේන්ද්‍රය’ හෝ ‘චුම්බක බල රේඛා’ යනු මතාකෘතියක් හෙවත් පැහැදිලි කිරීමෙ පහසුව සඳහා ගොඩ නැගු කෘත්‍රිම සංකල්පයක් බව දන්නවා. ක්ෂුද්‍ර සබ්-ඇටමික් ලෝකය “ලොකු කර බලන්නට” පුලුවන් නම් අවකාශයේ ඇඳී ඇති චුම්බ්ක බල රේඛා තමන්ට පෙනෙනු ඇතැයි ඔවුන් සිතන්නෙ නෑ.

    මෙය තමා හරි දැක්ම. මේවා සියල්ල මතාකෘති.

    නමුත් විද්‍යාර්ථීන් හා නූතන විද්‍යාවෙ ලෝක දැක්මට අනුගතව සිය සිතිවිලි මෙහෙයවන්නන් ‘ඉලෙක්ට්‍රෝන’, ‘ප්‍රෝටෝන’ හෝ ‘කලු කුහර’ වැනි සංකල්ප අරභයා ලොකු වැරද්දක් කරනවා. චුම්බක බල රේඛා යනු ප්‍රඥ්ඥප්තියක් සේ ගන්නා ඔවුන්ම ඉලෙක්ට්‍රෝන ‘ඇත්තටම පවතින’ හෙවත් (ඊනියා? ) යථාර්තයේ කොටසක් හෝ ස්වභාවධර්මයේ පවතින්නක් බව සිතනවා. ක්ෂුද්‍ර සබ්-ඇටමික් ලෝකය “ලොකු කර බලන්නට” පුලුවන් නම් අවකාශයේ පාවෙන ඉලෙක්ට්‍රෝන තමන්ට දැකිය හැකි යැයි ඔවුන් හිතනවා. අවාසනාවාට ඉලෙට්‍රෝන අන්වීක්ෂ මගින් ගන්නා ලද පරමානුවක ඡායාරූප ඔව්න් ගේ මේ සිතිවිල්ල තවත් තහවුරු කරනවා. නමුත් මේ ‘ඡායාරූප’ යනු පරමාණු යහ ප්‍රඥ්ඥප්තියේ “සෙවනැලි” මිස අපි සාමාන්‍ය ජීවිතයේ කැමරාවලින් ගන්නා පින්තූර වැනි දෙයක් නොවෙ. මේ ඡායාරූප හා ඉලෙක්ට්‍රොන බල රේඛා කඩදාසියක් මත ඇඳීමට අපි ලෝහ පීරි-කුඩු යොදා අටේ පන්තියෙ කරන පරික්ෂනය වැනි දෙයක්ම මිස සැබෑ ඡායාරූපයක් නොවේ.

    ඉලෙක්ට්‍රොන හෝ කලු කුහර යනුද ව්ක්‍රාකාරව අපට සංවේදනය කල හැකි ප්‍රඥ්ඥප්ති මිස; ‘ඇත්තටම පවතින’ හෙවත් (ඊනියා? ) යථාර්තයේ කොටසක් හෝ ස්වභාවධර්මයේ පවතින්නක් නොවන බව නූතන විද්‍යාව වෙනුවෙන් කතා කරන සියලු දෙනාම පැහැදිලිව වටහාගත් දිනට “නලින්ද සිල්වාගේ ඓතිහාසික කාර්යභාරය” අවසන් වෙනවා. ඇත්තෙන්ම නලින් අනූවෙ දශකයේ මැදභාගය වන තෙක්ම උත්සාහ කලේ මේ සරල කතන්දරය විද්‍යාර්ථීන්ගෙ ඔලු වලට තේරුම් කර දීමටයි. නමුත් නලින් සමග වාද විවාද වලට පැටලුන ඔහුගෙ සමකාලීනයන්ට මේ දෙය වටහා ගැනීමට නොහැකි වූ බැවින්, අවාසනාවට නලින්ට “පිස්සු හැදුනා” කිව්වොත් නිවැරදියි. දෙදාස්-එකේ දශකයේදී අපට මානසිකව රෝගී වූ නලින් කෙනෙක් ලැබුනේ මේ නිසයි.

    චුම්බක බල රෙඛා මෙන්ම මතාකෘතියක් වන ‘ඉලෙක්ට්‍රෝන’ වල ස්වභාවය විස්තර කිරීමට අංශු වාදය මෙන්ම තරංග වාදය යන දෙකක්ම අවශ්‍ය වන්නේ එය සැබෑවටම නොපවතින්නක් නිසාය. චිර-ප්‍රසිද්ධ “ද්විත්ව-සිදුරු” පරීක්ෂනය ඇතමෙකුට උභතෝකෝටික ගැටලුවක් වන්නෙ. ඉලෙක්ට්‍රොන එක්කො “අංශුය” නැතිනම් “තරංගය”, එහෙම නැතුව එක වෙලාවක “අංශු” ලෙසද, වෙනත් වෙලාවක “තරංග” ලෙසද හැසිරීම ඔට්ටු නැත යන ‘යථාර්තවාදී’ ස්ථාවරය නිසාය. ඉලෙක්ට්‍රෝන යනුද චුම්බක බල රේඛා සේම සැබෑවටම නොපවතින මතාකෘතියක් යැයි අවබෝධ වූ දාට මේ උභතෝකෝටිකය නැතිවේ.

    කෙසේ වෙතත “යථාර්ථවාදය” මෙතැනින් නිශ්ප්‍රභා නොවේ. යථාර්තවාදය හා ප්‍රති-යථාර්ථවාදය යනුද සදාකාලික දාර්ශනික අරගලයකි. ඉඩක් ලැබුනහොත් මේ කරුනු වලට ‘යථාර්ථවාදි’ පදනමකින් උත්තර බැඳීමට මම බලාපොරොත්තු වෙමි. නමුත් ‘seek to understand before seeking to be understood’ යන පදනම යටතේ දැනට ‘ප්‍රති-යථාර්තවාදී’ ඇසකින් මේ දෙස බලමි.

    Like

  2. ස්කන්ධය, වේගය, ගම්‍යතාව වැනි ඍජු මිනුම් වලට වලට ලක්වන ඉලෙක්ට්‍රොනය හුදු සංකල්පයක් පමනක් වන්නෙ කෙසේද? යනුවෙන් වෙනත් තැනෙක මතූවූ ප්‍රශ්නයට මා දුන් පිලිතුර පහත පරිදිවේ:

    ඉලෙක්ට්‍රෝනයට හුදෙක් සංකල්පයක් යැයි අපට කියන්නට වෙන්නෙ එයට අප ‘ඇත්තටම පවවතින දේ’ යන නිර්වචනයට අසුවන අනෙකුත් දේ වලට ඇති ගුන කිසිවක් නැති නිසාය. එය ඇසට පෙනෙන්නෙ නැත, පාටක් නැත, නිශ්චිත හැඩයක් නැත, නිශ්චිත කෙලවරවල්/සීමා නැත, තද බව හෝ මොලොක් බව යන ගුනාංග නැත. විටෙක එය එක් තැනක ඇති අංශුවක් සේද, විටෙක එකවරම කිහිප තැනෙක පිහිටන අංශු වලාවක් සේද විස්තර කල හැක. සමහර අවස්ථාව වල්දී එය අවකාශයෙ එක තැනෙකින් ‘චුත’ වී වෙනත් තැනෙක ‘පහල වීමට’ පුලුවන. සමහර අවස්ථාවලදී එහි පිහිටීම ගැන නිශ්චිත සීමාවක් දිය නොහැක. අසුවල් සීමාව තුල පැවතීමට මෙපමන සම්භාවීතාවයක් තිබේ යැයි පමනක් පැවසිය හැක.

    එයට තිබිය හැකි ගුනයන් වන ‘පිහිටීම’, ‘ස්කන්ධය’, ‘වේගය’, ‘ගම්‍යතාවය’ වැනි ගුනයන් වලට ඔය දැන් මා කියු ආකාරයේ අගයන් ලබාදීම සඳහා කිසියම් මැනුම් අපට කල හැක. ඇත්තෙන්ම කියවොත් ඉලෙක්ට්‍රෝනය පවතින්නෙ අප කරනු ලබන මිනුම් වලට ලැබෙන අගයයන් පැහැදිලිකිරීම සඳහාමය. එබැවින් ‘පවතින ඉලෙක්ට්‍රෝන මැනීම’ වෙනුවට ‘මැනුම් වලට එන අගයයන් නිසා ඉලෙක්ට්‍රෝන පවතී’ හෙවත් ‘නිරීක්ෂනය කිරීම නිසා ඉලෙක්ට්‍රෝන මැවේ’ හෙවත් ක්වන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරනය මෙතැනදී සඳහන් කල හැක.

    නැවතත් මතක් කල යුත්තෙ, “ඇත්තටම පවතී” යනුවෙන් අප සාමාන්‍යයෙන් පිලිගන්නා “පුටුව” වැනි සංකල්ප පවා දාර්ශනික තලයේදී “ඉලෙක්ට්‍රොනය” යන සංකල්පයෙන් විශාල ලෙස වෙනස් නොවන බවට උවමනා නම් තර්ක කල හැකියි. එබැවින් දාර්ශනිකව ඔනෑම කබරගොයෙකු, තලගොයෙකු කිරීමට හෝ වයිසෙ-වර්සා කිරීමට හැක. එබැවින් විද්‍යාර්ථීන් විසින් ‘ඉලෙක්ට්‍රොනය’ ස්වභාවධර්මයේ කොටසක් සේ ගැනීම ගැන මහා ලොකු දාර්ශනික ආරෝවක් මට නැත.

    Like

  3. Prabhanga says:

    **නලින්ට අනුව “පඤ්ඤත්තියක්” යනු මනසින් පනවා ගත යුත්තකි. එනම්, ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්පයකි. මෙම අර්ථ දැක්වීමට අනුව බලන කල විද්‍යාවේ ද යම් යම් පඤ්ඤත්ති ඇති බව පැහැදිලි ය. නමුත්, ගැටලුව වන්නේ යම් දැනුම් පද්ධතියක පඤ්ඤත්ති තිබූ පමණින් එම දැනුම් පද්ධතිය පිළිගැනීම අනුවණ ක්‍රියාවක් වනවාද යන්නයි….චුම්බක කේෂ්ත්‍රය පඤ්ඤත්තියක් වුන පමණින් අප විසින් චුම්බක කේෂ්ත්‍රය යන සංකල්පය ඉවතලිය යුතු නැත. විද්‍යාව තුළ යම් යම් පඤ්ඤත්ති තිබීම විද්‍යාවේ අඩුපාඩුවක් බව හුවාදක්වමින් නානාවිධ ප්‍රකාශයන් සිදුකිරීමට නලින් ද සිල්වා භාවිත කරන මයික්‍රෆෝනය සහ ස්පීකරය ද චුම්බක කේෂ්ත්‍රය යන පඤ්ඤත්තිය ආධාර කරගෙන නිපදවන ලද්දකි.**

    srilankanatheists විසින් වහ වහා කළ යුතු පළමු කර්තව්‍ය නලීන්ගේ මගේ ලෝකය (සහ ඇතැම් අපේ ප්‍රවාද ලිපි) හදාරා ඔහු කියන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමයි. නො-එසේව රිටිගල විසින් “ඉතාම හොඳ ලිපියක්” යනුවෙන් කරන ලද බොරු අගය කිරීමට වහල් වීමෙන් සිදු විය හැක්කේ srilankanatheists විහිළු සපයන්නකුගේ තත්ත්වයට පත්විමයි (මින් අදහස් වන්නේ දැනට srilankanatheists එවැන්නකු නොවන බව නොවේ).

    ඉහත උපුටා දක්වන ලද කොටසින් ගම්‍ය වන්නේ srilankanatheistsට අනුව නලීන් ද සිල්වා (බටහිර) විද්‍යාව පිළිගැනීම අනුවණ දෙයක් ලෙස සලකන්නේ එහි පඤ්ඤත්ති තිබීම හේතුවෙන් බවයි. මෙය මුළුමනින්ම වැරදි නිගමනයකි. නලීන්ට ප්‍රඤ්ඤප්ති සමග ගැටළුවක් නැත (අල්ලා මිරිකා ලෙවකා බැලිය හැකි පු‍ටු ගස් ගල්ද මනසේ නිර්මාණ ලෙස විග්‍රහ කරන නලීන්ට යම් දැනුම් පද්ධතියක් කාලයද එවැන්නක් ලෙස අඩු වැඩි වශයෙන් ගැනීම ගැටළුවක් විය නොහැක. ඇත්ත වශයෙන්ම නලීන්ට (බටහිර) විද්‍යාවේ ඇති ගැටළුව වන්නේ එහි කාලය පඤ්ඤප්තියක් ලෙස නොසැළකීමයි. ඔහුට ගැටළුව වූයේ (බටහිර) විද්‍යාව කාලය යනු අපෙන් බාහිරව පවත්නා ඊනියා යතාර්ථයක්, හෝ ඊටත් ප්‍රාථමික ‘සාධනයක් පවා නුවුවමනා මූළික දැනුමක්’ (හෙවත් priori එකක්) ලෙස සැළකීමෙහියි. දැං මෙම වාක්‍ය කිහිපයෙන් srilankanatheistsට කලාන්ත ගතියක් දැනෙන්නේ නම් එය මගහරවා ගැනීම පිණිස ඔහු/ ඇය විසින් කළ යුත්තේ ප්‍රභංග ඉහත සඳහන් කළ පරිදී නලීන්ව හරියට හැදෑරීමයි.

    ඇත්ත වශයෙන්ම මෙහි srilankanatheists නොදැන කරන දෙයට වඩා ගැටළුව ඇත්තේ රිටිගල දැනුවත්ව කරන දෙයහිය. රිටිගලගේ අවශේෂ කරුණු දැක්වීම් සම්බන්ධව ප්‍රභංගට සැළකිය යුතු තරමේ ගැටළුවක් නැත. නමුත් මෙම ලිපියේ ඇති මූළිකම දුර්වලකම (වැ‍රැද්ද) නොදැක්කා සේ සිට ‘මොන විදිහෙන් හෝ නලීන්ට පහර දීම’ අගය කළ යුතුය යන පදනමින් මෙම ලිපිය අගය කිරීම වංචනිකය.

    – ප්‍රභංග.

    Like

    • කාලය ප්‍රඥ්ඥතියක් ලෙස නොපිලිගැනීම, මනස ඉන්ද්‍රියක් ලෙස නොගැනීම, ලෝකය මිනිසාට අයිති යැයි සිතීම, ලෝකය තමන්ට රිසිපරීදි වෙනස් කර ගැනීමට උත්සාහ කිරීම හා ඒ හේතුවෙන් පරිසර විනාශය ආදී නොයෙකුත් හේතු හා චෝදනා අටෝරාසියක් සිය යුදෙව්-ක්‍රිස්තියානි-ග්‍රීක චින්තනය හා ඒ තුලින් පැන නැගුනා යැයි නලින් තර්කකරන නූතන (බටහිර) විද්‍යාවට එහෙරිහිව නලින් වරින් වර නගා තිබෙනවා. නමුත් මේ චෝදනා “උන්” සහ “අපි” යන බෙදීම ඇති කිරීමේ සටන් පාථ මිස ඒ තරම් බැරෑරුම්ව ගත යුතු චෝදනා නොවේ.

      මේ චෝදනා වල යම් සත්‍ය තාවයක් නැත්තේත් නැත. නමුත් මේ චෝදනා එදා සිට අද දක්ව ලෝකය පුරා පැන නැගුන සංස්කෘතීන් හා ඒ සංස්කෘතීන් ඇසුරුකොට තැනුනු ඔනෑම දැනුම් පද්ධතියකට එරෙහිව නැගිය හැක. නලින්ද සිල්වා කරන්නෙ දේශපාලනික විවේචයනන් හා දැනුම් පද්ධතියක් ගොඩ නගනවායැයි විසිල් ගසමින් සිටීම හා ප්‍රොපගැන්ඩාව පීනිස නාථ දෙවියන් හා පාරම්පරික ගොවිතැන සමග සීමිත බල්ටි කිහිපයක් ගැසීම පමනක් බැවින්, ඔහු විසින් ගොඩන් නැගූ දැනුම් පද්ධතියක් කියා එකක් නැති බැවින් මේ චෝදනා ඔහුගේ දැනුම් පද්ධතියට එරෙහිව නැගිය හැකිද, හෝ මේ චෝදනා වලින් විනිමුක්ත “දැනුම් පද්ධතියක්” බැරිවෙලාවත් තැනුවොත් එය “ප්‍රදර්ශනය” සඳහා මිස වෙනත් මෙලෝ වැඩක් ගත හැක්කක් වේද යන්න අප දන්නෙ නැත.

      කෙසේ නමුත් “කාලය” නම් ඔනෑම දැනුම් පද්ධතියක සැලකුනෙ ප්‍රඥ්ඥප්තියක් ලෙසය. වෙනස නම නිව්ටෝනියානු හා ඉන් පෙර පැවතුන බොහෝ දැනුම් පද්ධතීන්හී “කාලය” යන්න අපෙන් පරිබාහිරව නිර්පේක්ෂව ගලා යන්නක් ලෙස හා කිසිදි ආකාරයකින් පාලනය හෝ වෙනස් කිරීමට බැරි ධර්මතාවයක් ලෙස සැලකීම හා පසුව පැමිනි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදී මොඩලයේදී එය තවත් “මානයක්” ලෙස ගනිතමය මොඩලයකට සම්බන්ද වීමයි. අයින්ස්ටයින්ගේ ලෝකය තුල කාලය නිර්පේක්ෂ ධර්මතාවයක් නොවෙ. මේ මොඩලය භාවිතාකොට විශ්වයේ අප දකින් “අමුතු” දේ, නිරවුල්ව විස්තර කිරීමට හැකි බැවින්, නූතන විශ්වවේදය තුල තවදුරටත් “කාලය” යනි නිරපේක්ෂ ධර්මතාවයක් සේ නොසැලකේ. එබැවින් නලින් ඔය කතාකරන්නෙ නිව්ටන්ගෙ සම්භාව්‍ය භෞතික විද්‍යාව පිලිබඳවයි. එම තර්කය කල් ඉකුත්වී දැනට සියවසක් පමන ගතවී ඇත.

      මනස ඉන්ද්‍රියක් ලෙස ගැනීමෙ විසංවාදී තර්කය ගැනත් පසුවට කතා කල හැකියි.

      Prabhanga මහතාට තව දුරටත් යමක් කිවහොත් srilankanatheists බොලොග් අඩවිය කරවන තරුණ මහතා කිසිසේත්ම විහිලු සපයන්නෙක් නොවෙ. ඔහුගේ වයස මා දන්නා බැවින්, මට කිව හැක්කෙ ඒ වයසෙදී නලින් සිටියාට වඩා ගව් ගනනක් ඉදිරියෙන් ඔහු අද සිටින බවයි. ඔහුගේ ලිපිවල පමනක් නොව කාගෙ ලිපි වලත් අඩු පාඩු ඇත. දේශපාලනික අරමුණකින් පැමිනෙන විට ඔය අඩුපාඩු මිස, අරඹා ඇති සංවාදයේ වැදගත්කම නොපෙනීම පුදුමයට කරුනක් නොවෙ. ඔබ එවන් දේශපාලනික පහරදීම් හා උපහාසය යොදා ගැනීම ගැන මගේ ලොකු අවුලක් නැත. දේශපාලනික කමෙන්ටු වලට දේශපානික පිලිතුරු සපයමි. එතකොට අපි ඊවන්ය. 🙂

      Like

      • Prabhanga says:

        ප්‍රභංග රිටිගල ජයසේන වෙත (මින් ඉදිරියට හුරතලයට ‘රිටිගල’) එල්ල කලේ ඉතාම නිෂ්චිත චෝදනාවක්. රිටිගල කළ යුත්තේ එම චෝදනාවට පිළිතුරු දීමයි. එසේ නොමැතිව වෙනත් ආඩපාළි කියමින් හතර අතේ ගල් ගැසීමෙන් මෙහි ඇති පලක් නැහැ.

        එය නැවත පුනරුච්චාරණය කරන්නේ නම්, srilankanatheists මෙම ලිපිය මුළුමනින්ම ලියා ඇත්තේ අතිෂයින්ම වැරදි අස්ථානයක සිටයි. එනම් විද්‍යාව තුළ යම් පඤ්ඤප්ති තිබීම නලීන් අඩුපාඩුවක් ලෙස දකින බවයි. මෙය සුළුප‍ටු වැ‍රැද්දක් නොවේ. මන්ද යත් නලීන්ට විද්‍යාවේ තිබුණු ගැටළුව වූයේ එහි පඤ්ඤප්ති තිබීම නොව ඒවා නොතිබීමයි. නලීන්ට විද්‍යාවත් සමග තිබුණු ගැටළුව (වෙනත් කරුණුවලට අමතරව) එහි පඤ්ඤප්ති නොතිබීම බව රිටිගලද පිළිගනී. එබැවින් srilankanatheists කළ වැ‍රැද්දක් නොදු‍ටුවේ යැයි කීමටද රිටිගලට නොහැකිය. සියල්ල එසේ තිබියදීත් එම මහාපරිමාණ වැ‍රැද්ද ගැන කෙළ බිඳක් නොහෙළන රිටිගල ප්‍රශස්ත ලිපියක් ලිවී යැයි කියමින් srilankanatheistsව පසසයි.

        රිටිගල එහිදී කළ දෙය වංචනිකයි කීමෙන් රිටිගලගේ සිත රිදුණේ නම් එම වචනය ඉවත් කරගැනීම සම්බන්ධව ප්‍රභංගට ගැටළුවක් නැත. එහෙත් එසේ වූ පමණින් srilankanatheists තරුණ මහතාට සිදුවුණු අසාධාරණය නොවිස‍ඳෙයි. රිටිගල එම මහතාව පුද්ගලිකව දන්නේ නම් ඔහු විසින් කළ යුත්තේ ප්‍රභංග යෝජනා කොට ඇති පරිදී නලීන් කියන දේ වල ඇති ගැඹුර (හෝ රිටිගලට ඇවැසි නම් එහි නොගැඹුරු බව) එම තරුණ මහතාට නිරවුල් කර දීමයි. එය නොකරන තාක් srilankanatheists තරුණ මහතා මෙවන් විහිළු සැපයීම (නලීන් එක හෙළා විවේචනය කරන යමක් ඔහු එසේ නොකරන්නේ යැයි ගෙන ඔහුව විවේචනය කිරීම විහිළුවක් නොවේ නම් වෙන කුමක්ද) දිගටම කරගෙන යනු ඇති බව මගේ හැඟීමයි.

        රිටිගලගේ දීර්ග අදහස් දැක්වීමේ ඇති සියළුම කරුණු සම්බන්ධව ප්‍රතිචාර දැක්වීමට ප්‍රභංගට බලාපොරොත්තුවක් නොමැත. එහි ඇති ඇතැම් කරුණු සම්බන්ධව ප්‍රභංග එකඟ වන අතර ඇතැම් කරුණක් සම්බන්ධව ඔහුට වෙනත් කියවීමක් තිබිය හැක. කෙසේ නමුත් පහත සඳහන් අභූත චෝදනාව සම්බන්ධයෙන් ප්‍රභංගට යමක් පවසා සිටිය නොහැක.

        “Prabhanga මහතාට තව දුරටත් යමක් කිවහොත් srilankanatheists බොලොග් අඩවිය කරවන තරුණ මහතා කිසිසේත්ම විහිලු සපයන්නෙක් නොවෙ. ඔහුගේ වයස මා දන්නා බැවින්, මට කිව හැක්කෙ ඒ වයසෙදී නලින් සිටියාට වඩා ගව් ගනනක් ඉදිරියෙන් ඔහු අද සිටින බවයි. ඔහුගේ ලිපිවල පමනක් නොව කාගෙ ලිපි වලත් අඩු පාඩු ඇත. දේශපාලනික අරමුණකින් පැමිනෙන විට ඔය අඩුපාඩු මිස, අරඹා ඇති සංවාදයේ වැදගත්කම නොපෙනීම පුදුමයට කරුනක් නොවෙ. ඔබ එවන් දේශපාලනික පහරදීම් හා උපහාසය යොදා ගැනීම ගැන මගේ ලොකු අවුලක් නැත. දේශපාලනික කමෙන්ටු වලට දේශපානික පිලිතුරු සපයමි. එතකොට අපි ඊවන්ය.”

        srilankanatheistsගේ ලිපි වල ඇති අඩුපාඩු පෙනි පෙනීත් (පඤ්ඤප්ති සම්බන්ධ මෙම ලිපියේ නම් ඇත්තේ අඩු පාඩුවක් නොව නොසළකා හැරිය නොහැකි වැ‍රැද්දක් බව නැවත් මතක් කිරීම වටී) ප්‍රභංග මෙම අඩවියට මෙලෙස හෝ පැමිණෙන්නේ srilankanatheists අරඹා ඇති සංවාදයේ වැදගත්කම නිසාවෙනි. ප්‍රභංග වෙනත් අවස්ථාවකදීද සඳහන් කළ පරිදී ඔහුගේ අරමුණ මෙයට දායක වන තරුණ මහතුන් හෝ මහත්මීන් අධෛර්යමත් කිරීම නොව ඔවුන් අතගසා ඇති කාර්යයේ බරපතළකම ඔවුන්ට අවබෝධ කරදීමයි. Atheism සම්බන්ධ කතිකාව මේ වන විට සැළකිය යුතු දුරකට වර්ධනය වී ඇතත් මීට දායක වන ලේඛකයන් එයට සංවේදී වී ඇති බවක් නොපෙනෙයි. ප්‍රභංගට දේශපාලනයක් නැතැයි ඔහු කිසිවිටෙකත් නොපවසයි. ප්‍රභංග මෙම කරුණු දැක්වීම පවා කරන්නේ එම ව්‍යාපෘතියේම කොටසක් ලෙස බව කීමටද නොපැකිළෙයි.

        අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ srilankanatheist තරුණ මහතා දැං සිටින වයසේදී නලීන් සිටි තැනට වඩා srilankanatheists ගව් ගනනක් ඉදිරියෙන් සිටීම වලංගු තර්කයක් නොවන බවයි. මින් අදහස් කරන්නේ srilankanatheists තරුණ මහතාට නලීන් ට වඩා දුරක් යා නොහැකි බව නොවෙයි, නමුත් නලීන්ද සිල්වා විසින් කරන ලද පුරෝගාමී (pioneering) කර්තව්‍ය නොසළකා නගන මෙය තර්කයක් ලෙස අනාත බවයි. සිදුහත් කුමරුන් වයස අවුරුදු හතේදී කෙළි දෙලෙන් පසු වුනද රාහුල කුමරුන් එම වයසේදී මහණ දම් පිරීම තෙක් දුර ගොස් සිටි පමණින් ඔහු සම්මා සම්බුද්ධත්වයද ඉක්මවූ දුරක් ගිය බවක් කොහේවත් නොකියවෙයි.

        Like

      • ප්‍රභංග මහතා මෙහි පැමින වැදගත් අදහස පලකිරීම ගැන මාගෙ ස්තූතිය. මා හට එල්ල කර ඇති චෝදනාව ගැන් කතා කරතොත්, මාගෙ පලමු කමෙන්ටුව නැවත කියවන්නෙ නම්. එහි දෙවැනි වාක්‍යය වන්නෙ. “නමුත් මෙයට ඉතා වැදගත් ඌන පූර්ණයක් කරන්නට අවශ්‍ය බව මට හිතෙනවා.”. යන්නයි. එතැන් සිට මාගෙ ඉතිරි වාක්‍ය වලින් මා පෙන්වා දෙන්නේ ඔහුගෙ ලිපියේ ඇති අඩුපාඩු මිස වෙන කුමක්ද. මාගෙ පලමු වාක්‍යයත් බොරු වරුනාවක් නොවේ. මෙය ඉතා වැදගත් සංවාදයකට මුල පුරන ලිපියක්. එය ඔබත් පිලිගන්නවා ඇති.

        නලින් ගැන ඔහුගේ දේශපාලනික චෝදනාව ඔබට ප්‍රශ්නයක් වූවාට මට එතරම් ප්‍රශ්නයක් නොවෙ. එය වැරදි චෝදනාවක් නම් ඔබ දැන් එය නිවැරදි කර තිබෙනවා හා ඒ කමෙන්ටුවට ඔහු ඉඩ ලබාදී තිබෙනවා. ඉන් එහා දෙයක් ගැන මම වද වෙන්නෙ නෑ.

        කෙසේ වුවත් srilankanatheists තරුණ මහතා සමග මම දුර්කථන සංවාදයක යෙදුනා. එහිදී අප දෙදෙනාම තේරුම් ගත්තා අප දෙදෙනා ඇතැම් කරුනු සම්බන්ධව තරමක් වෙන්ස් මත වල ඉන්නා බව. මේ ලෝ-දැක්මේ වෙනස මා කලින් සිතුවාට වඩා තරමක් වැඩි බවත් මට වැටහුනා.

        නමුත් මේ වෙනස් කම් හුදෙක්ම වචන වල තේරුම් සම්බන්දව ඇති ප්‍රශ්නයක් වීමටත් පුලුවන්. උදාහරණයක් කියතොත් “යථාර්තවාදය” හා “ප්‍රති-යථාර්තවාදය” යන්නෙන් මා අදහස් කරන දේ නොවේ srilankanatheists මහතා අදහස් කරන්නෙ. මේවා ගැන පසුවට වැඩිදුර කතාකරන්නට බලාපොරොත්තු වෙනවා.

        Like

        • Prabhanga says:

          1. ප්‍රභංග (මහතා) දන්න හිංගළේ නම් ඌණ පූරණ කියන්නෙ අඩුව පුරවන එකටය. වැරදි පෙන්වා දෙන එකට කියන්නෙ විවේචන කියාය. කෙසේ වෙතත් ප්‍රභංගට වචන අල්ලං නහින්න උවමනාවක් නැත. මෙම ලිපියේ ඇති දුර්වලකම් තමුන් දු‍ටු බව රිටිගල පසුව හෝ කියත් නම් එය පිළිගැනීම ප්‍රභංගට ගැටළුවක් විය නොහැක. ප්‍රභංගට මස් රාත්තලම අවශ්‍ය නැත.

          2. රිටිගල සඳහන් කොට ඇති ප්‍රති-යථාර්තවාදය ගැන වටින් ගොඩින් අසා ඇතත් ප්‍රභංගට ඒ සම්බන්ධව මුහුකුරා ගිය දැනුමක් නැත. එබැවින් රිටිගලට ඒ ගැන කරුණු දැක්විය හැකි නම් එය මහත් ඵල මහානිසංස දෙනු ඇත.

          3. රිටිගල මෙම අඩවියේ සහ වෙනත් තැන්වල දක්වා ඇති අදහස් කියවා ඇති ප්‍රභංගට සිතෙන්නේ ඔහුට රිටිගලත් සමග පියවා ගැනීමට ඇති මූලිකම ගණුදෙණුව ඇත්තේ විද්‍යාවක තිබිය යුතුයැයි රිටිගල අනුදකින ‘ප්‍රයෝජ්‍ය වටිනාකම්’ සම්බන්ධයෙන් බවය. ඒ ගැන රිටිගලගෙන් පසුව ගේම ඉල්ලන බළපොරොත්තුවක් ප්‍රභංගට ඇත.

          Like

        • /** රිටිගල මෙම අඩවියේ සහ වෙනත් තැන්වල දක්වා ඇති අදහස් කියවා ඇති ප්‍රභංගට සිතෙන්නේ ඔහුට රිටිගලත් සමග පියවා ගැනීමට ඇති මූලිකම ගණුදෙණුව ඇත්තේ විද්‍යාවක තිබිය යුතුයැයි රිටිගල අනුදකින ‘ප්‍රයෝජ්‍ය වටිනාකම්’ සම්බන්ධයෙන් බවය. ඒ ගැන රිටිගලගෙන් පසුව ගේම ඉල්ලන බළපොරොත්තුවක් ප්‍රභංගට ඇත.**/

          බොහොම හොඳයි! ඔබ හරි. ඔබටත් මටත් ගේමක් ඇත්නම් ඒ විද්‍යාවෙ ප්‍රයෝජ්‍ය අගය පිලිබඳව තමයි. ඒත් එක්කම, මානවයා තුල ඇති, සංස්කෘතීන් අතික්‍රමනය කරන පොදු මානව ලක්ෂන බර ගනනක් නොතකා ගොඩ නගන කෘතිම සමාජයන්ට පැවැත්මක් නැත යන කරුන සම්බදවත් අපිට කතා කරන්නට සිදු වෙනවා. නූතන විද්‍යාව හා නූතන හර පද්ධතීන් සමාජයක් තුල ස්ථාපිතවීම වැදගත් ඒ නිසයි.

          ඔය තත්වයට මුහුකුරා ගිය සමාජයන් තුල නම් ප්‍රභංග (මහතා) හෝ මයියා (මහතා) මතුකරන්නට හදන සංවාදයට යම් ‘ප්‍රයෝජ්‍ය අගයක්’ තියෙනවා. ලාංකිය සමාජයට ඔබේ කතිකාව තරමක් ප්‍රී-මැචුවර්. ලාංකීය සමාජය තුල ඔය වැනි කතිකාවන් නිසා ප්‍රී-මැචුවර් ඉජෙකියුලේෂන් ඇතිවී ප්‍රයෝජ්‍ය අගය ලත් තැනම හබක් වෙනවා.

          බටහිර සමාජය තුල සෑම් හැරිස් (මහතා) මතු කරමින් පවතින සංවාදය ගැන ඔබට යම් අදහසක් තියෙනවාද?

          Like

  4. සියලුම බටහිර විද්‍යාඥයින් කාලය පඤ්ඤත්තියක් ලෙස නොසළකන්නෙ නෑ නේද…මම දන්න තරමින් කාලය පඤ්ඤත්තියක් ද නැද්ද කියන එක පිළිබද බටහිර විද්‍යාව තුල අවසන් නිගමනයක් නෑ…අයිසැක් නිව්ටන්නං කාලය අපෙන් පරිභාහිර යථාර්තයක් ලෙස හිතපු කෙනෙක්…නමුත් සෑම බටහිර විද්‍යාඥයෙකුම අයිසැක් නිව්ටන්ගේ මතයට එකග නෑ…Wheeler-DeWitt Equation එකේ කාලය ඇතුලත් නොවන බැවින් කාලය පඤ්ඤත්තියක් ලෙස තර්ක කරන බටහිර විද්‍යාඥයොත් ඉන්නවා නේද

    Like

  5. Prabhanga says:

    ඇතැම් බටහිර විද්‍යාඥයින් කාලය මනසින් පැනවූවක් යනුවෙන් ගත් පමණින් බටහිර විද්‍යාව පොදුවේ කාලය පඤ්ක්නාප්තියක් ලෙස සලකනව වෙන්නෙ නැහැ. බටහිර විද්‍යාඥයො කිහිප දෙනෙක් නිවුටන්ව පිළිනොගත්තට තවම එහි බහුතරයක් කාලය වගේ දේවල් සම්බන්ධව ඉන්නෙ නිවුටන් හිටපු තැන (අවම වශයෙන් අයින්ස්ටයින් හිටි තැනවත් නෙමෙයි). ඒක හින්ද srilankanatheistsගෙ පිළිතුරෙන් මම ගෙනාපු තර්කය නිශේධනය වෙන්නෙ නැහැ.

    – ප්‍රභංග.

    Like

  6. බටහිර විද්‍යාව පොදුවේ කාලය පඤ්ඤත්තියක් ලෙස සළකනවා කියලා මම කියන්නෙත් නෑ…මම කියන්නෙ මේ ප්‍රශ්නය පිළිබද අවසන් නිගමනයක් බටහිර විද්‍යාව තුළ නෑ කියලා…දෙපැත්තටම කරුණු දක්වන පිරිස් බටහිර විද්‍යාඥයො අතර ඉන්නවා…වැඩියෙන්ම ඉන්නෙ මොන පැත්තට පක්ෂ අයද කියලා බලන්නනං ඉතිං සංගණනයක් පවත්වන්න ඕනි..කෙසේවෙතත්, කාලය පිළිබද මේ ප්‍රශ්නය තාමත් නොවිසදුණ ගැටලුවක්…නමුත් මේ ගැටලුව නොවිසදුණු එකක් වුනා කියලා ඒක විද්‍යාවේ ප්‍රගතියට මහලොකු බලපෑමක් කරලා නෑ

    Like

    • කාලය සම්බන්දව ප්‍රභංග ගේ අදහස් හා එමෙන්ම ඊට srilankanatheists ලබාදී ඇති පිලිතුරු යන දෙකේම මට ඒ තරම් තේරුමක් පේන්නෙ නෑ. කාලය කියන්නෙ අපි කතාකරන වෙනත් නොයෙකුත් දේවල් එක්ක ගත්තහම, හරියටම අර්ථ දක්ව ගන්න අමාරු එකක්. කාලය සම්බන්ද නොයෙකුත් අපූරු අර්ථකතන දෙන්න පුලුවන්. කාලය යනු මනසින් තනාගත් ප්‍රඥ්ඥප්තියක්ය කියන දාර්ශනික කතාව විද්‍යාවට අදාල වෙන්නෙ නෑ. මම හිතන්නෙ නෑ බටහිර විද්‍යාඥයන් අතරෙ මේ පිලිබඳව මත විමසුමක් කරන්න පුලුවන් කියල. මොකද එහෙම “මතයක්” විද්‍යාව තුල තියෙන්න විදිහක් නෑ.

      කාලය නිරපේක්ෂ දෙයක්ද, නැතිනම් විශ්වයේ පවතින නොයෙකුත් අනෙක් දේවල් හා බැඳුනු, ඒවා මත රඳා පවතින සාපේක්ෂ දෙයක්ද යන ප්‍රශ්නය නම් විද්‍යාව තුල කතා බහට ලක්වුනා. නමුත් මේ ගැනත් විද්‍යඥයන්ට “මතයක්” කියල එකක් තියෙන්න බෑ. නිව්ටන්ගේ සම්භ්‍යාව්‍ය භෞතිකය තුල ඒක නිරපේක්ෂයි. අයින්ස්ටයින්ගේ මොඩලයේදී ඒක සාපෙක්ෂයි. ඉතින් මේක “මතයක්” නොවෙ, ප්‍රවාදයක කොටසක්. අපි කාගෙන් හරි අහුවොත් ඔයා පිලිගන්නෙ නිව්ටන්ගේ “මතයද” නැත්නම් අයිස්න්ටයින්ගෙ “මතයද” කියල ඇහුවොත් ඒක මෝඩ ප්‍රශ්නයක් වෙනවා.

      විද්‍යාඥයන්ගෙ ඔයවගේ ප්‍රශ්න අහල හරියන්නෙ නෑ. ඒක අර මයිකල් ෂූමාකර්ගෙන් ෆෝමියුලා වන් එන්ජින් එකේ තාක්ෂනය ගැන ඇහුවා වගෙ. මිනිහා ඒක ගැන දන්නව වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. දන්නවා උනත් එක එයාගෙ ජොබ් එකේ කෑල්ලක් නොවේ.

      හැබැයි ඔය වගේ ප්‍රශ්න විද්‍යාඅව පිලිබඳ දාර්ශනිකයන්ගෙන් ඔනේ නම් අහන්න පුලුවන්. ඒ කිව්වෙ බ්ට්‍රන්ඩ් රසල්, ෆෙන්මන්, ෆෙයාබොන්ඩ්, කාල් පොපර්, තෝමස් කූන් වගේ අය.

      නලින් ඇතුලු පිරිස කරන එක සෙල්ලමක් තමයි ෂූමාකර් ගෙන් ෆෝමියුලා වන් එන්ජිමේ තාක්ෂනය ගැන අහල, පොරට ඒකට හරියට උත්තර දෙන්න බැරි උනාහම ඌව කින්ඩි කරල නැති කරල දාන එක. ඒ කිව්වෙ විද්‍යාර්ථීන්ගෙන් දාර්ශනික ප්‍රශ්න අහල ඔවුන් කින්ඩි කිරීම පිලිබඳව….

      Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s