“දැනුම” අර්ථදැක්වීම

නානාවිධ දාර්ශනික තේමාවන් අතර “දැනුම” පිළිබදව වන කතිකාවන් ගැනෙන්නේ ඥාන විභාගය නම් විෂය පථය යටතට ය. “දැනුම” යන වචනය අර්ථදැක්වීමට ගත් උත්සහය වනාහී ඥාන විභාගය නම් විෂයේ එන ප්‍රධාන විමසුමකි. ඉදින්, “දැනුම” යනු කුමක්ද? S නම් පුද්ගලයා විසින් P නම් ප්‍රස්තුථය “දන්නවා” යනුවෙන් පැවසීමේදී අප ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද? (What does it mean to say that S knows P?)

යම් කරුණක් කෙරෙහි කිසිදු අදහසක් යමෙකු සතුව නැතිනම් ඔහු විසින් එකී කරුණ පිළිබදව යමක් “දන්නවා” යැයි කිව නොහැකි ය. උදාහරණයක් ලෙස, Xගේ උපන්දිනය පිළිබදව Y සතුව කිසිදු විශ්වාසයක් නොමැති තැන Xගේ උපන්දිනය Y දන්නවා විය නොහැක. (If Y has no idea about when is X’s birthday, then it does not make sense to say Y knows X’s birthdate) එබැවින්, දෙන ලද කරුණක් පිළිබදව යම් විශ්වාසයක් තිබීම වනාහී දැනුම සදහා අවශ්‍ය වන මූලික සාධකයක් ය. නමුත්, යමක් පිළිබදව යමෙකු තුල හුදු විශ්වාසයක් තිබුණු පමණින් එකී දේ පිළිබදව ඔහු යමක් දන්නවා යැයි කිව නොහැකිය. යමක් පිළිබදව වන විශ්වාසය සත්‍ය ද විය යුතු ය. යම් දෙයක් පිළිබදව අප සතුව පවතින විශ්වාසය අසත්‍ය නම්, අප ඒ දෙය පිළිබදව “දැනගෙන හිටියා” වන්නේ නැත. උදාහරණයක් ලෙස, Xගේ උපන්දිනය ජනවාරි විසි වෙනිදා යැයි Y තුළ විශ්වාසයක් ඇත. නමුත්, Xගේ සැබෑ උපන්දිනය වනාහී පෙබරවාරී දහඅට වෙනිදා ය. එනම්, Y විසින් Xගේ උපන්දිනය “දැනගෙන සිට” නැත. Y තුළ Xගේ උපන්දිනය පිළිබදව “විශ්වාසයක්” තිබී ඇතිමුත් Xගේ උපන්දිනය පිළිබදව “දැනුමක්” තිබී නැත. අප තුළ ඇති විශ්වාසයක් දැනුමක් ලෙස ගැනීමට නම් එකී විශ්වාසය සත්‍ය විය යුතු බව මින් පැහැදිලි වේ. “අසත්‍ය විශ්වාස” තිබිය හැක. නමුත්, “අසත්‍ය දැනුම” කියා දෙයක් නොමැත. එබැවින්, දැනුම බොරු විය නොහැක. නමුත්, විශ්වාස බොරු විය හැක. දැනුම පට්ටපල් බොරු වීමට කිසිසේත්ම නොහැක. නමුත් යමක් පිළිබදව වන විශ්වාසයක් පට්ටපල් බොරුවක් විය හැක.

මෙතුවක් කරන ලද විචාරයන් හරහා පැහැදිලි වුන එක් කරුණක් ඇත. එනම්, S විසින් P නම් ප්‍රස්තුථය “දන්නවා” යැයි පැවසීමේදී අප විසින් කාරණා දෙකක් අදහස් කරන බවයි. එම කාරණා දෙක නම්,

1. S විසින් P විශ්වාස කිරීම

2. P සත්‍ය වීම

මෙම සාධක දෙකට අමතරව දැනුම සදහා අවශ්‍ය වන තවත් සාධකයක් ඇත. එනම්, S විසින් P නම් ප්‍රස්තුථය සාධාරණීකරණය කර තිබීමයි. වාසනාවන්ත අනුමාන කිරීම් (lucky guesses) වලින් සැබෑ දැනුම වෙන්කර හදුනාගැනීමට සාධාරණීකරණය පිළිබදව මෙකී තෙවන නිර්නායකය වැදගත් වේ. මේ අනුව, S විසින් P නම් ප්‍රස්තුථය “දන්නේ”,

1. S විසින් P ප්‍රස්තුථය විශ්වාස කරන්නේ නම්

2. S විසින් P ප්‍රස්තුථය සාධාරණීකරණය කර ඇත්නම්

3. P සත්‍ය නම් ය.

මේ අනුව, අපට “සාධාරණීකරණය කරන ලද සත්‍ය විශ්වාසයක්” (justified true belief) ලෙස “දැනුම” යන්න අර්ථදැක්විය හැකිය. මෙම අර්ථදැක්වීම පුරාතන ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝගේ කාලයේ සිට පැවත එන්නකි. එබැවින්, මෙය දැනුම පිළිබදව වන සාම්ප්‍රදායික අර්ථදැක්වීම ලෙස හදුන්වයි. ඇතැම් දාර්ශනිකයින් විසින් මෙකී සාම්ප්‍රදායික අර්ථදැක්වීම අභියෝගයට ලක්කර ඇති නමුත් බොහෝ දාර්ශනිකයින් තුල මෙම අර්ථදැක්වීම සදහා යම් පිළිගැනීමක් ඇත.

Advertisements
This entry was posted in දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

9 Responses to “දැනුම” අර්ථදැක්වීම

  1. රාජ් says:

    නොදන්නා දෙයක් දැනගත්ත බොහොම ස්තුතියි
    විශ්වාසයි, සාධාරණයි වගේ පේනව 😛

    Like

  2. Mayya says:

    මං හිතං හිටියේ මේ නිරාගමික පොරවල් ඔය ආගම් වල එන ස්වර්ගේ, නිවන වගේ අවසාන නිගමන වලට එච්චර කැමැත්තක් නෑ කියලා..

    ./// නමුත්, “අසත්‍ය දැනුම” කියා දෙයක් නොමැත. එබැවින්, දැනුම බොරු විය නොහැක.///

    ඒත් මේ වාක්‍ය දැක්කම මං හිතං හිටපු දේ එච්චර නිවැරදි නෑ කියලා හිතුනා…

    අපි පොඩි උදාහරණයක් ගමුකෝ පරමාණුව ගෑන…ඩෝල්ටන් මහත්තයගෙ පරමානුව, ඒ දවස් වල තිව්ව කුඩාම විභෙදනය…ඒ දවස් වල තිබ්බ විද්‍යාත්මක් නිරීකශන අනුව ඒ කථාව වැරදි නෑ…ඒත් ‍තෝම්සන් මහත්තයා කැ‍තෝඩ් නලයක් එක්ක සෙල්ලං කරන්න ගිහිල්ලා දැකපු නිරීක්ෂණත් එක්ක පරමානුවේ සෘණ අරෝපන තියෙනවයි කියලා පෙනුනා….අළුත් නිරීක්ෂනත් එක්ක ඩෝල්ටන් මහත්තයගේ පරන දැනුම බොරු උනා….ආයේ දවසක් රද්ෆඩ් මහත්තයා තව මොකක්ද පරීක්ශනයක් කොරන්න ගිහිල්ලා ධන ආරෝපණ හොයා ගත්තා….ඒවා තියෙන්නේ ඕනේ විදිහ ගැන ආකෘතිය කිව්වා…ඒවාට ප්‍රතිවිරුද්ධනිරීකශණ තිබ්බේ නැති හින්දා ඒ කාලේ ඒ දැනුම ඇත්ත උනා…

    ඊට පස්සේ ප්‍රිස්මයක් එක්ක සෙල්ලං කොරලා නිල්ස් බෝර මහත්ත්යා ඒ න්රීක්ශණ අතේ තියා ගෙන රදර්ෆඩ්ගේ අකෘතිය වැරදියි කියලා පෙන්නුවා….ඔහෝම ගිහිල්ලා පරමානුව තරංග ආකරයෙනුත් හැසිරෙනවයි කිව්වා,…..ඩෝල්ටන්ගේ පරමානුව දැන් තියෙන්නේ ඩෝල්ටන් ගේ කාලේ නිරීක්ශණ වඩා බොහෝම වෙනස් විදිහට….

    මට කියන්න ඕනේ කලේ, අළුත් නිරීක්ශනත් එක්ක දැනුම වෙනස් වෙනවා….කාලයත් එක්ක එක්කෝ දැනුම අප්ග්‍රෙඩ් වෙනවා නැත්තං එහෙම් පිටින්ම කණ පිට ග හලා අලුත් දැනුමක් බිහි වෙනවා… ඉතින් කොහොමද කියන්නේ දැනුම ඇත්තයි කියලා…..දැන් තියෙන නිරීක්ශන වලට දැනුම ගැලපෙන්න පුලුවන්…ඒත් අනාගතේ නව නිරීක්ශණත් එක්ක මේ දැනුම එහෙම පිටින්ම වෙන්ස් වෙන්න ඉඩ කඩ තියෙනවා……

    ඒත් මේ //අසත්‍ය දැනුම” කියා දෙයක් නොමැත. එබැවින්, දැනුම බොරු විය නොහැක/// කිව්ව්ම දැන් දැන් නිරාගමික සයිට් එකත් ආගමික් සයිට් එකක් වගේ වෙනවද කියලා මට හිතෙනවා… ස්වර්ගේ, නිවන අදහනවා වගේ අපටත් දැනුම අදහන්න පුලුවන් ඒතකොට

    Like

    • මේ ලිපිය තුලින් කතා කරලා තියෙන්නෙ “දැනුම“ යන වචනය එදිනෙදා ජීවිතයේ ව්‍යවහාර වෙන ආකාරය සම්බන්ධයෙන්

      දැන් උදාහරණයක් විදියට සූරියකාන්ත මලක් ගන්න..මම හිතන් ඉන්නවා සූරියකාන්ත මල සුදු පාටයි කියලා-එනම්-මගෙ තුල “විශ්වාසයක්“ තියනවා සූරියකාන්ත මල සුදු පාටයි කියලා…මේ විශ්වාසය සත්‍ය වෙන්නත් පුලුවන්..අසත්‍ය වෙන්නත් පුලුවන්..ඒ කිව්වෙ මේ විශ්වාසය “දැනුම හැටියට ගැනෙන විශ්වාසයක්“ වෙන්නත් පුලුවන් හුදු විශ්වාසයක් පමණක් වෙන්නත් පුලුවන්…දැනුම කියන්නෙ විශ්වාස කියන කුලකය තුල තියෙන උපකුලකයක්…දැන් සූරියකාන්ත මල් කහ පාටයිනෙ…ඒ කියන්නේ මම හිතන් හිටපු දේ වැරදියි…මගේ විශ්වසය අසත්‍ය විශ්වාසයක්…ඒ නිසා අපි කියනවා මම සූරියකාන්ත මලේ පාට ගැන “දැනගෙන ඉදලා“ නෑ කියලා…ඔය විදියට නෙ “දැනුම“, “දන්නවා“, “දැනගෙන ඉන්නවා“ වගේ වදන් සාමාන්‍ය ව්‍යවහාරය තුල භාවිත වෙන්නෙ

      ජෝන් ඩෝල්ටන් පරමාණුවේ ස්වභාවය ගැන යම් විශ්වාස වගයක් ඉදිරිපත් කලා…ඒ විශ්වාස වනාහී “දැනුම හැටියට ගැනෙන විශ්වාස“-ඒ කිව්වෙ “දැනුම“ කියලා ඒ කාලෙ මිනිස්සු හිතන් හිටියා..නමුත් පසුකාලීනව තේරුම් ගියා අපි දැනුම කියලා හිතන් හිටපු දේ වනාහී ඇත්තටම දැනුම නෙමේ කියලා..ඒවා හුදු විශ්වාස පමණක් කියලා

      දැන් වර්තමානය තුල විද්‍යාව තුලින් යම් ප්‍රස්තුථ වගයක් ඉදිරිපත් කරනවා..ඒවා පරීක්ෂණ හරහා සාධාරණීකරණය කරලා තියනවා…අපි හිතන් ඉන්නවා මේ ප්‍රස්තුථ වනාහී “දැනුම“ කියලා…නමුත් ඒවා “දැනුම“ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්-ඒ කිව්වෙ ඒ විශ්වාස ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්…නමුත් ඒ විශ්වාස වනාහී දැනුම නොවේ කියලා යමෙක් කියනවානං ඒක නිකං කියලා විතරක් හරියන්නෙ නෑ…ඔප්පු කරලා පෙන්නන්නත් ඕනි

      Like

      • Mayya says:

        //අසත්‍ය දැනුම” කියා දෙයක් නොමැත. එබැවින්, දැනුම බොරු විය නොහැක.//

        ඔන්න ඕකටයි මම කොමෙන්ට් කලේ..

        ඒත් දැන් ඔබතුමාම කියනවා
        //වර්තමානය තුල විද්‍යාව තුලින් යම් ප්‍රස්තුථ වගයක් ඉදිරිපත් කරනවා..// //නමුත් ඒවා “දැනුම“ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්-//
        ඊලගග ඔබතුමාම කියනවා//විශ්වාස වනාහී දැනුම නොවේ කියලා යමෙක් කියනවානං ඒක නිකං කියලා විතරක් හරියන්නෙ නෑ…ඔප්පු කරලා පෙන්නන්නත් ඕනි//

        ඔප්පු කොරලා පෙන්නන්න මම එහෙම දෙයක් කියලා නෑ…මගේ මුලු කොමෙන්ට් එකම ලියලා තියෙන්නේ වර්ථමානයේ පිලිගන්නා විද්‍යාත්මක ප්‍රස්තූත, දැනුම ලෙස උපකල්පනය කරමින් තමා..

        බලාගෙන ගියාම ඔබතුමත් කියන්නේ මං කියන දේම තමා…ආගම්කාරයෝ නිර්වාණය , අපාය, දිව්‍යලෝකේ විශවාස කරනවා වගේ ඔබතුමත් කවදාවත් කවරුත් හොයා ගෙන නැති යමක් (දැනුමක්) ඇත්තයි කියලා විශ්වාස කරනවා….

        ඉතින ඔය ඇත්තම ඇත්ත දැනුම මොකක්ද කියලා දැනගත්ත දවසක අපටත් කියන්න්කෝ….

        පලි: මේ සයිට් එකේ දීර්ඝ කාලින පාඨකයෙකු වශයෙන් මට තියෙන ගැටලුව තමයි මේ සයිට් එකේ ලිපි වල එන අදහස් කන්සිස්ටන්සි නොවීම…ලේඛකයන් කීප දෙනෙක් ලිපි සැපයීම ඊට හේතුව වෙන්න පුලුවන්….

        ලිපියට අදාල ලේඛකයන් අනවර්ත නාම වලින් හෝ වෙන්වෙන්ව ලිපි ඉදිරිපත් කරන්න මම පාඨකයෙකු ලෙස යෝජනා කරනවා..ඒමගින් එම අනවශය ලිපි කියැවීමට හා ඒවට කමෙන්ට කර අනවශ්‍ය සංවාද වල පැටලීමට ගතවෙන පාඨකයාගේ කාලය ඉතිරි කිරීමක් මෙන්ම ලේඛකයාගේ ස්වයං ආතල් එක කැඩීමේ පාපකර්මයෙන්ද පාඨකයාට ගැලවී හිටිය හැකියි…:))

        Like

        • මට මේක පැහැදිලි නෑ….යම් ප්‍රස්තුථයක් දැනුම වන්නේ නම් ඒක බයි ඩෙෆිනිෂන් සත්‍ය වෙනවා කියලනෙ srilankanatheists කියලා තියෙන්නෙ

          Like

  3. magenama says:

    ඇත්තටම ඇත්ත කියන්නේ මොකක්ද?යම් දෙයක් අපි දැන ගත්තම ඒක ඇත්තම ඇත්තයි කියලා දැන ගන්නේ කොහොමද ඒක සංකල්පයක් වුනාම,හරියට ඊරි යකා වගේ?

    Like

  4. Pingback: දැනුම පිළිබද විවිධ මතවාද | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

  5. වටිනා සංවාද වලට දොරවිවර වීමට ලිපිය සමත්වෙනවා. ඒ නිසා සංවාදයට එක්වන අදහස් වගේම ලිපයේ වටිනාකමත් ඉතාම ඉහළයයි යන්න මගේ //දැනුම// බවට පත්ව තිබෙනවා.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s