ස්පෙශල් යුනිෆෝම් හැදි ස්පෙශල් මිනිස්සු

අප සමාජයේ සාමාන්‍ය මිනිසුන් සේ නොසැලකෙන, සෑම අවස්ථාවකදීම වාගේ විශේෂ සැලකිලි වලට ලක්වන, සමාජය විසින් “ස්පෙශල්” යැයි සලකණු ලබන විශේෂ වූ මිනිසුන් කොටසක් වේ.

මොවුන් විසින් අප සමාජයට නිතර “අවවාද” හා “අනුශාසනා” කරනු ලබයි. හොද හා නරක පිළිබදව යම් යම් උපදෙස් දෙයි. පාලකයින්ට රට කරවන හැටි ගැන උපදේශන ලබා දෙයි. අප ආහාරයට ගත යුතු මාංශ වර්ග හා නොගත යුතු මාංශ වර්ග, ඝාතනය කල යුතු සහ නොකල යුතු සතුන් ගැන තීරණ ගනියි. කාන්තාවන්ගේ ඇදුම් වල දිග පළල තීරණය කරයි. එමෙන්ම, රටේ ජනතාව මත්පැන් ගත යුතු සහ නොගත යුතු දවස් තීරණය කරයි. තවද, මොවුන් විසින් රටේ මිනිස්සු නයිට් ක්ලබ් යා යුතුද නැද්ද යන්න පිළිබදව නියෝග දේ.

මොවුන්ට සියල්ලන්ම සවන් දෙන අතර බොහෝ දෙනා මොවුන් දෙන උපදේශන හිස් මුදුනින් පිළිගනී. හේතුව නම්, ඔවුන් සියල්ල ගැන අනෙක් අයට වඩා හොඳින් දන්නා බවට මතයක් අප සමාජය තුළ තිබීම ය.

ඔවුන් තමා අපේ සමාජයේ “මහදැනමුත්තෝ”!

එසේ වුවද, මෙලෙස පාලකයන්ට සහ මුලු සමාජයටම අවවාද අනුශාසනා දෙන මේ මහදැනමුත්තන් අතුරින් බහුතරයකට සමාජය ගැන ප්‍රායෝගික දැනුමක් නැත. සැලකිය යුතු මට්ටමක උගත්කමක් නැත. රට කරවන ආකාරය සහ රටේ මිනිසුන් ජීවත්විය යුතු ආකාරය කියා දීම තම “වෘත්තිය” කොට ගෙන සිටිනමුත් මොවුන් බොහෝදෙනා නීතිය හදාරා නැත. එමෙන්ම, මෙකී “ස්පෙශල් මිනිසුන්” අතුරින් බොහෝදෙනා හට විද්‍යාව ගැන දැනුමක් නැත. ආර්ථිකය ගැන දැනුමක් නැත. දර්ශනය ගැන දැනුමක් නැත. කුඩා කල තම දෙමාපියන් ආර්ථික හා සමාජීය ප්‍රශ්න නිසා පන්සලට රැගෙන ගොස් දැමූ දිනයේ සිටම එකම විෂයක් ගැන පොත් ගොඩක් පමණක් ගිරව් සේ කටපාඩම් කරගෙන අවසානයේ මුලු සමාජයටම ජීවත් විය යුතු අන්දම කියා දීමට මොවුන් වීරයන් සේ ඉදිරිපත් වේ.

කෙසේවෙතත්, අප සමාජයේ මිනිසුන් මේ මහදැනමුත්තන්ට අතිවිශේෂ වූ ස්ථානයක් ලබා දෙන්නේ හේතු කාරණා කිහිපයක් පදනම් කොටගෙනය.

ඒවා නම්, ඔවුන් විසින් භාවිතා කරනා නිල ඇඳුමත්, ඔවුන් විසින් සම්මත කර ගත් කොණ්ඩය කැපීමේ ක්‍රමයත්, සහ ඔවුන් විසින් පිළිගන්නවා යැයි කියන ආගමට අදාල දේ කටපාඩමින් ඇද බෑමට ඇති හැකියාවත් යන කාරණයන් ය. මේවා මෙසේ නොවේ – මීට වඩා ගැඹුරුය – අරකය – මේකය යනුවෙන් කෙනෙක්ට තර්ක කල හැකි වුවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ “මහදැනමුතු පට්ටම” ලබා ගැනීමට සපුරාලිය යුතු මූලික කාරණා වනාහී ඉහත සඳහන් කල ඒවා ය.

මෙතෙක් කල් සමාජය විසින් ඔවුන්ගේ දැනමුතුකම් ඉස්මුදුනින් පිළිගත් නිසාම සන්සුන් ලෙස අවවාද අනුශාසනා දෙමින් සිටි මේ මහදැනමුත්තන් වර්තමානයේ තමාගේ දැනමුතුකම් මිනිසුන්ගේ ජීවිත මත බලෙන් පැටවීමට උත්සාහ දරයි. තමාගේ වාසභූමිය වන පන්සල තුල සහ විශේෂ ආගමික අවස්ථා වලදී ගිහියන්ගේ නිවෙස් වල සන්සුන් ලෙස තමාගේ දැනමුතුකම් එළිදැක්වූ මොවුන් දැන් පාරට බැස උද්ඝෝශණ කරයි, වැටලීම් සිදුකරයි. තමාගේ අවශ්‍යතා සහ වුවමනා මුදුන්පත් කරගැනීම උදෙසා හමුදාවක් සේ ක්‍රියා කරයි.

අප සමාජය මේ හැසිරීම් දෙස වික්ෂිප්ත වී බලා සිටී. ඔවුන්ට මේ නුහුරු හැසිරීම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙස ද කියා සිතාගත නොහැකි ය. නීතිය ඉදිරියට පැමිණවිය යුතු තක්කඩියෙක් සහ තමා කොන්දේසි විරහිතව ගරු කරන තැඹිලි පැහැති නිල ඇඳුමත් යන කාරණා දෙකෙන් තමා මුල් තැන දිය යුත්තේ කුමකට දැයි සිතාගත නොහැකිව අසරණ වන අප සමාජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. තමා විසින් අතිවිශේෂ කොට සැලකූ මහදැනමුත්තන් තුලින් තක්කඩි පිරිසක් බිහීවීම ඔවුන්ට නුහුරු ගැටලුවකි.

තක්කඩි හැසිරීමට ලැබිය යුතු ප්‍රතිචාරය ලබාදීම වළකාලන එකම සහ ප්‍රධානතම සාධකය වී ඇත්තේ මෙම තක්කඩි “මහදැනමුත්තන්” විසින් භාවිතා කරන “නිල ඇඳුමයි”. මෙය විවේචන නොවදින නිල ඇඳුමකි. රටේ පාලකයින් දණ නමන නිල ඇඳුමකි. ඇඳගෙන සිටින පුද්ගලයාගේ ක්‍රියාකලාපය, දැන උගත්කම, භාශා විලාශය, කුමක් වුවත් එම පුද්ගලයාට ගරු බුහුමන් ලබාදෙන නිල ඇඳුමකි. ස්පෙශල් යුනිෆෝම් එකකි. මේ නිල ඇඳුම ඇදගත් ඇතැමුන්ගේ පාදඩ, තක්කඩි හැසිරීම් ඉදිරියේ නීතියේ නිල ඇඳුම හැදි අය බල රහිත වී බලා සිටින්නේ ඇටිකෙහෙල් කෑ රිලව් ලෙස ය. සැකවින් කිවතොත්, මේ නිල ඇඳුම ඇන්ද වූ කල බල්ලෙක් වුවත් “ස්පෙශල් බල්ලෙක්” වේ.

එමෙන්ම, සැබෑ ලෝකයෙන් ඈත්ව, වෙනම මනෝ ලෝකයක ජීවත් වෙමින්, නොමිලයේ ලැබෙන දේ ආහාරයට ගනිමින්, දෙමාපියන්ගෙන් පවා වැඳුම් ලබමින් සිටින්නා වූ මෙකී ස්පෙශල් මිනිසුන් සාමාන්‍ය ජීවන රටාවක් අහිමිවීම නිසා තමා තුල ගොඬනැඟුන, අමාරුවෙන් සිරකරගෙන සිටින මානසික සහ ලිංගික පීඩනයන් නිදහස් කර ගැනීමට සිය නිල ඇඳුම පාවිච්චි කරයි. මොවුන් පිළිගන්නවා යැයි කියන ලෝක දැක්මට පවා අනුගත නොවන මොවුන්ගේ හැසිරීමෙන් සක්සුදක් සේ පැහැදිලි වන කාරණය නම් මොවුන්ද අප සමාජයේ අනෙක් මිනිසුන් සේම සාමාන්‍ය මිනිසුන්ම බවයි.

මීට කාලයකට පෙර මෙකී ස්පෙශල් මිනිසෙක් විසින් සමාජය ඉදිරියේ නොමනා හැසිරීමක් දැක්වූ විට ඒ එක් සිද්ධිය වූවත් මුලු මහත් සමාජය තුලම කම්පනයක් ඇති කෙරුවේ ය. එවන් ප්‍රවෘත්ති ඉතාම දුර්ලභ වූ අතර එවන් දේ සිදුවූ විට එම ප්‍රවෘත්තිය පැතිර ගියේ ලැව් ගින්නක් ලෙසිනි. නමුත් වර්තමාන තත්වය මීට හාත්පසින්ම වෙනස් ය. වර්තමානයේ මේ ස්පෙශල් මිනිසුන්ගේ පාදඩ හැසිරීම් වනාහී සමාජයට සැලකිය යුතු ප්‍රවෘත්ති නොවේ. එවන් සිදුවීම් අප සමාජයේ මිනිසුන්ට කම්පනයක් ඇති කරන්නේ ද නැත. හේතුව නම්, මෙකී ස්පෙශල් මිනිසුන් විසින් එම හැසිරීම් රටාවන් සාමාන්‍ය හැසිරීම් බවට පත් කොට ඇති නිසාය. අප සමාජයේ මිනිසුන්ට ඒවා දැන් දවසේ තවත් එක් ප්‍රවෘත්තියක් පමණි.

මෙපමණ කල් සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වෙනස් හැසිරීම් රටාවක් පෙන්නුම් කල මේ ස්පෙශල් මිනිසුන් තමාගේ අවවාද අනුශාසනා දුන්නේ ද ඔවුන්ටම ආවේණික වූ ක්‍රමයකට යි. නිසි ස්ථානයේදී, නිසි වටපිටාවක් තුල, නිසි හැසිරීම් රටාවක් පෙන්වමින් ඉදිරිපත් කල ඒ අදහස් සමාජය පිළිගත්තේ කොන්දේසි විරහිතව ය. නමුත් වර්තමානයේ තත්ත්වය එසේ නො වේ. නිසි වටපිටාවක් තුල සන්සුන් අන්දමට ආගමික අදහස් සහ අනුශාසනා පමණක් ඉදිරිපත් කල පෙර සිටි ස්පෙශල් මිනිසුන් වෙනුවට වර්තමාන සමාජය දකින්නේ වේදිකා වල නැග යටිගිරියෙන් කෑගසමින්, පරුෂ වචන කියමින්, ආගමික මතවාද වලට සීමා නොවී දේශපාලනික මතවාද පවා ඉදිරිපත් කරන සාමාන්‍ය මිනිසෙක්ගේ හැසිරීම් රටාවකි. තමන් සහ මෙකී ස්පෙශල් මිනිසෙකු අතර ඇති එකම වෙනස වනාහී ස්පෙශල් මිනිසා අඳින නිල ඇඳුම පමණක්ය යන්න සාමාන්‍ය මිනිසාට දැන් දැන් වැටහී තිබේ. තත්ත්වය මෙසේ තිබිය දී සමාජයේ තවත් කොටසක් තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට සහ තමාගේ ආගම්වාදී, ජාතිවාදී ෆැන්ටසි ඉටුකර ගැනීමට මෙන්ම තමාගේ එදිනෙදා ජීවිතයේ ආර්ථික සහ ලිංගික පීඩනයන් එළියට දැමීමට නානසාර ඇතුළු මෙකී ඇතැම් ස්පෙශල් මිනිසුන්ගේ තක්කඩි හැසිරීම් වලට වීරත්වයක් ආරෝපණය කරයි. අතීතයේ මෙම ස්පෙශල් මිනිසුන් විසින් ආගමික අවවාද, අනුශාසනා ලබා දෙන විට සාධු කාර දුන් මොවුන් දැන් ස්පෙශල් මිනිසුන්ගේ කුණුහරප ඉදිරියේ විසිල් ගසයි, හුරේ දමයි, ජය ඝෝෂා – ප්‍රීති ඝෝෂා නඟයි, අත්පොළසන් දෙයි.

සිංහලබෞද්ධ ගෝත්‍රික සමාජය විසින් මෙකී මහදැනමුත්තන්ව “ස්පෙශල්” ලෙස සැළකුවද ඔවුන් ද රටේ සාමාන්‍ය පුරවැසියන් ය. එම නිසා, රටේ සාමන්‍ය නීතියෙන් ඔවුන්ව නිර්මුක්ත කළ යුතු නැත. යථාර්තය නම් එය යි. නමුත්, මේ බව අපට සමාජය ඉදිරියේ කියන්නට නොහැකි ය. කිව්වොත්, “ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති අය” ලෙස අපව ලේබල් කර අපව සමාජයෙන් කොන් කිරීම සිදු වේ.

මෙවන් පිරිසකට විශේෂ තැනක් දෙන අප සමාජයේ බහුතරය විසින් අප රටේ පාලකයින් තෝරා ගනු ලබයි. ඔවුන් විසින් පාලකයින් සේ තෝරාගනු ලබන්නේ හොරුන්ව ය, මැරයින්ව ය, කුඩුකාරයින්ව ය, වංචාකාරයින්ව ය, ස්ත්‍රී දූශකයන්ව ය, දේශපාලනය ගැන දැනුමක් නැති නලු නිළියන්ව ය, ක්‍රීඩකයන්ව ය.

සිංහලබෞද්ධ ගෝත්‍රයේ සංස්කෘතිය ගැන හා බෞද්ධකම ගැන අනිත් අයට වැදිබණ දෙසන්නේත්, අන් අයගේ ලිංගික ජීවිත ගත කල යුතු අන්දම ගැන සම්මුති සාදන්නේත්, ගැහැණිය විසින් ඇඳිය යුතු ඇඳුම් වර්ග සහ ඒවායේ දිග පළල තීරණය කරන්නේත්, ධනවතුන් සිය මුදල් පරිහරනය කල යුත්තේ කෙසේද යන්න ගැන නිගමන දෙන්නේත්, ධනවතුන්ගේ දරුවන් නයිට් ක්ලබ් යෑම ප්‍රශ්න කිරීමට තමාට අයිතියක් ඇති බව සිතන්නේත්, සමාජය ගැන ප්‍රායෝගික දැනුමක් නැති මෙකී ස්පෙශල් මිනිසුන් ය.

ලිව්වේ – ජේමිස් බණ්ඩා

සංස්කරණය – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in කාලීන, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

2 Responses to ස්පෙශල් යුනිෆෝම් හැදි ස්පෙශල් මිනිස්සු

  1. amilac2014 says:

    බොහෝ ලාංකික වෙබ් ලිපි වල දැකිය හැකි පොදු රෝගලක්ෂණයක් වන ඒකපාර්ශවික වීම මෙ ්ලිපිය තුලද දකින්නට තිබෙනවා. බස්නාහිර මැතිවරණ අවස්ථාවේ මැල්කම් රන්ජිත් විසින් ජනතාවට කෙලින්ම ක්‍රිස්තියානි අයට ඡන්දය දෙන්නැයි ඉල්ලන ලදී. එසේම වර්ථමානයේ විල්පත්තු ඉඩම් බෙදීමේදී එය නීතියට අනුකූලවන ආකාරයක් පෙන්නුම් කරන්නේ නැත.
    දැනට තටු කැපී සිටින ද්‍රවිඩ පූජකයින් ගේ වැඩ කිඩ මේ පවතින කාලයේ නම් වැඩිපුර ආරංචි වූ යේ නැත. බෞද්ධ සිවුරුධාරින් පමණක් මෙසේ විවේචනය කිරීම ගැටළුසහගතයි. අනික මෙතනදි මුස්ලිම් අයට එයාලගේ ගැටළුවක් කතාකරගන්න කහරෙදි හොරු අවශ්‍ය වුනේ මොකටද? එතනදි එයාලත් වැරදියි. නමුත් එක වචනයක් ඒ ගැන ලියවිලා නැහැ. මොන නිර්ආගමික වුනත් මධ්‍යස්ථ බව වැදගත්. නැත්තං නිර්ආගමිකත්වයටත් කාලයක් යනකොට පිලිම ආදේශ වෙලා ඒකටත් වැදුම් පිදුම් කරන්නට මිනිස්සු පෙළඹේවි.

    රාජසිංහ රජු දවස භික්ෂූන්ට පැවරුනේ රජතුමාට උපදෙස් දීම සහ ශෘසනික හා ආගමික කටයුතු සම්බන්ධයෙන් රජුට කරුණු දැක්වීම පමණයි. එතනින් එහාට ගිහින් රජතුමාගේ දේශපාලනය, මූළ්‍ය කටයුතු, යුද කටයුතු ආදිය විවේචනය කිරීමේ බලයක් භික්ෂූවට තිබුනේ නැහැ. එහෙම එකක් තිබුනා කියල කිව්වට නුවර යුගයේ අවසාන භාගයේ ලියවුනු ලේඛන වල රජුගේ කාලයේදී යම් උපදේශක රදල බවක් විනා සැබෑ දේශපාලනික බලයක් භීක්ෂූන්ට නොතිබුන බව පෙනී ගොස් තිබෙනවා.

    රජුට සහ ඇමතිලාට කරන උපදේශක රැකියාව සහ දැනට සංඝයා විසින් කරන සමාජ විවේචනය සහ කඩාපැනීම් විශය පථය තනිකර වෙනස් දෙයක්. ඥානසාර හැමදාම එකම තැටිය විදියට ඉතිහාසයේ ස්වාමින් වහන්සේලා අපේ රට අහම මෙහෙම රැකගෙන තියෙනවා කියලා ඇත්තටම බැලුවොත් 1818 කැරැල්ල පටන් ගන්න සංඝයා මුල් වුනා වගේම 1815දිත් 1818දිත් රට සුද්දට පාව දෙන්න සංඝයා වහන්සේ මූළික වුනා. ඒවාගේ කාරණා අදින්න අවාසනාවට කාරුවත් නැහැ. හුදෙක් සිදුවීම පමනක් වාර්ථා කිරීම පමණයි බොහෝතැන්වල සිදුවෙන්නෙ. අතීතයේ කවර යුගයකදී පවා කොටින්ම බුදුන් දවස පවා සංඝයාට නීතිමය සහ දේශපාලනික බලයක් තිබුනේ නැහැ. තිබුනෙ පුරෝහිත කම වැනි උපදේශනය කිරීම් හැකියාවක් විතරයි… සංඝයා නීතිය අතට ගැනීම කියන්නෙ රජතුමා නඩු අහන තැනට චීවරකාරයකේ වාඩි වෙනවා වගේ අප්‍රසන්න වැඩක්..

    Like

    • Kumara Sankalpa says:

      තනි ලිපියකින් ලෝකයේ ඇති හැම ප්‍රශ්නයක් ගැනම කතා කළ නොහැක. ක්‍රිස්තියානි ගෝත්‍රිකයන් විසින් කරන වැරදි මෙන්ම මුස්ලිම් ගෝත්‍රිකයන් විසින් කරන වැරදි ඇත. ක්‍රිස්තියානි හා මුස්ලිම් ගෝත්‍රිකයින් වනාහී අන්තවාදයෙන් තොර විනීත චාම් පිරිසක් යැයි අපි නොකියමු. උදාහරණයක් ලෙස, විල්පත්තු වනය එලිපෙහෙලි කර “මුස්ලිම් ගමක්” සෑදීම වැරදි ක්‍රියාවකි. මන්දයත්, ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇති රක්ෂිත ප්‍රදේශයක් පරිසරය සම්බන්ධ රාජ්‍ය ආයතන වල නිසි අවසරයකින් තොරව එලිපෙහෙලි කිරීම නෛතික වශයෙන් වැරදි බැවිනි. ඇරුත්, ඒ ඒ ගම්මාන ඒ ඒ ගෝත්‍ර වලට ලියා දිය යුතු නැත. එබැවින් “මුස්ලිම් ගම” යන සංකල්පය පවා අතිශයින් ගෝත්‍රික සංකල්පයකි.

      එමෙන්ම, මැල්කම් රංජිත් විසින් ක්‍රිස්තියානිය අදහන ගෝත්‍රිකයන්ට පමණක් ඡන්දය දෙන්නැයි කී කතාවේ සත්‍යතාවයක් තිබෙනවාදැයි මම දන්නේ නැත. නමුත්, මැල්කම් රංජිත් විසින් එහෙම කීවා නම් එය අන්තවාදී ප්‍රකාශයකි. මන්දයත්, ඡන්දය දීමේදී සළකා බැලිය යුතු වන්නේ ඒ ඒ අපේක්ෂකයන්ගේ සුදුසුකම් විනා ඔවුන්ගේ ආගම හෝ ගෝත්‍රය නොවන බැවිනි.

      නමුත්, අප විසින් අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ වෙනත් වැරදි වෙත ඇගිල්ල දිගු කල පමණින් නානසාර ඇතුළු බෞද්ධ චීචරධාරීන් 100%ක් නිවැරදි බව ඔප්පු නොවේ යන්නයි. චිත්ත පර්යේෂණයක් ලෙස, එක්තරා හොරෙක් සිටියා යැයි සිතන්න…මේ හොරා හොරකම් කර මාට්ටු වූ විට “උඹලා හරි ඒකපාර්ශවිකයි…ඇයි තවත් හොරු ඉන්නෙ…මොකද මාව විතරක් අල්ලගත්තෙ” යනුවෙන් අසයි. හොරාගේ මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ ඔහු නිවැරදි බවද? නැත. ඔහු විසින් හොරකමක් කර ඇත. එය වැරදි වැඩකි. තවත් හොරු ඉන්නා බව සැබෑය. නමුත් තවත් හොරු සිටි පමණින් අර හොරා කරපු වැඩේ වනාහී නිවැරදි වැඩක් බව ඔප්පු නොවේ. එලෙසම රටේ නො-බෞද්ධ ගෝත්‍රිකයින් කරන වැරදි ගෙනහැර දැක්වූ පමණින් බෞද්ධ ගෝත්‍රිකයන් වනාහී 100%ක් නිවැරදි පිරිසක් බව ඔප්පු නොවේ.

      Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s