නිරාගමිකත්වය යනු අද ඊයේ හෝ මෑතක දී හදිසියේ හටගැනුණු දෙයක් නො වේ. පුරාතන ග්‍රීසියේ මෙන්ම පුරාතන භාරතය තුළ ද නිරාගමිකත්වය පිළිගත් සහ නිරාගමිකත්වය ප්‍රචලිත කරනු ලැබූ දාර්ශනිකයෝ සිටියහ. මෙම ලිපිය මගින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ පුරාතන ග්‍රීසියේ පැතිර තිබුණු නිරාගමික මතවාද පිළිබදව සහ පුරාතන ග්‍රීක නිරාගමික චින්තකයින් පිළිබදව ය.
මුලින්ම අප විසින් වටහාගත යුතු කාරණය නම්, පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය වනාහී වර්තමානයේ අප විසින් “ග්‍රීසිය” යනුවෙන් හදුන්වනු ලබන රටට අයත් භූමියට සීමාවූවක් නොවන බවයි. අප විසින් “පුරාතන ග්‍රීසිය” යනුවෙන් අදහස් කරනුයේ එවකට ග්‍රීක සංස්කෘතිය හා ග්‍රීක භාෂාවේ උපව්යවහාරයන් පැතිර තිබුණු ප්‍රදේශයන් ය. එම ප්‍රදේශ අතරට, වර්තමාන ග්‍රීසියට අයත් භූමියට අමතරව දකුණුදිග ඉතාලිය ද බටහිර තුර්කිය ද අයත් විය. පුරාතන ග්‍රීක සමාජය වනාහී දැඩි ආගමික භක්තියෙන් යුත් මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටි සමාජයකි. එහි දේවස්ථාන හා සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තිබුණු අතර එකල භාවිත වූ කාසි වලද දේව රූප නොඅඩුව තිබිණි. එමෙන්ම, එම සමාජය තුළ ආගමික උත්සව මෙන්ම ආගමික වත් පිලිවෙත් ද නොඅඩුව දක්නට ලැබිණි. පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකයන් සිටියේ සුළුතරයකි. නමුත්, එකල දාර්ශනිකයන් විසින් ගෙන ගිය දාර්ශනික කතිකාවත තුල නිරාගමිකයන්ගේ සහභාගිත්වය කැපී පෙනිණි.
ක්‍රිස්තු පූර්ව 500 දී, එවකට අයොනියාවට අයත්ව තිබූ නගරයක් වන Clazomenae නගරයේ උපන් දාර්ශනිකයෙකු වන ඇනැක්ස්සැගරස් (Anaxagoras) වනාහී නිරාගමිකයෙකි. ඔහු ස්වභාවාත්මක ලෝකදැක්මකින් යුත් පුද්ගලයෙක් විය. හෙතෙම අයොනියාවේ සිට ඇතැන්ස් නගරයට සංක්‍රමණය කළ අතර, ඔහු එවකට ඇතැන්ස්හි දේශපාලඥයෙකු වන Periclesගේ හොද මිතුරෙකු විය.
විශ්වයේ ආරම්භය සම්බන්ධයෙන් ඇනැක්ස්සැගරස් විසින් ඉදිරිපත් කරන ලද අදහස වර්තමානයේ පිළිගෙන ඇති මහා පිපිරුම් න්‍යායට තරමක් දුරට සමාන ය. විශ්වයේ මුල් කාලය තුල, සියලු ද්‍රව්‍යයන් අනන්තවත් කුඩා වූත්, අනන්තවත් සංකීර්ණ වූත්, ගල් කැටයක් බදු ව්‍යුහයක් තුළ එකට තිබූ බවත්, පසුව, විශ්වය ප්‍රසාරණය වත්ම, ඉර, හද, තරු වෙන්වූ බවත් ඇනැක්ස්සැගරස් විසින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, විශ්වය වර්තමානයේ දී ප්‍රසාරණය වන බවත්, අනාගතයේ දී ද විශ්වය ප්‍රසාරණය වීමට ඉඩ ඇති බවත් ඇනැක්ස්සැගරස් විසින් පැවසී ය. එසේවුවද, ඇනැක්ස්සැගරස් විසින් මෙම කරුණු ඉදිරිපත් කළේ කුමන සාධක පදනම් කරගනිමින්දැයි පැහැදිලි නැත.
එකල ග්‍රීක සමාජය තුළ සූර්යයාට දේවත්වයක් ආරෝපණය කර තිබිණි. එවන් වතාවරණයක් තුළ, “සූර්යයා යනු දෙවියෙක් නොව හුදෙක් ගිනි ගෙන දැවෙන ස්කන්දයක් පමණි” යන මතය ඇනැක්ස්සැගරස් විසින් සමාජගත කරන ලදී. මේ හේතුවෙන් ඇතැන්ස් නගර වැසියෝ ඔහුව “මිථ්‍යා-දෘෂ්ටිකයෙකු” ලෙස සළකා ඇතැන්ස් නගරයෙන් පිටුවහල් කළහ. මෙම සිදුවීම වූයේ ක්‍රිස්තු පූර්ව 430 දී පමණ ය. ඇතැන්ස් නගරයෙන් නික්මුණු ඇනැක්ස්සැගර්ස් වර්තමාන තුර්කියට අයත් ප්‍රදේශයක් වන Lampsacus නගරයේ සිය ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීය. ඇනැක්ස්සැගරස් මිය ගියේ ක්‍රිස්තු පූර්ව 428 දී ය.
පුරාතන ග්‍රීක සමාජයේ විසූ තවත් නිරාගමික දාර්ශනිකයෙකු වන්නේ ප්රොටගරස් (Protagoras) ය. හෙතෙම උතුරු ග්‍රීසියේ Abdera නගරයේ උපත ලද්දේ ය. අඥේයවාදියෙකු (agnostic) මෙන්ම සංශයවාදියෙකු (skeptic) වූ ප්රොටගරස් විසින් මිනිස් දැනුම යොදාගෙන දෙවියන් සිටීද නැද්ද යන්න ගැන ස්ථිරව පැවසිය නොහැකි බව කියා සිටියේ ය. ප්රොටගරස් විසින් මෙසේ සදහන් කරන ලදී,
Concerning the gods, I am unable to discover whether they exist or not, or what they are like in form; for there are many hindrances to knowledge, the obscurity of the subject and the brevity of human life.
පුරාතන ග්‍රීක සමාජය තුළ සිටි තවත් නිරාගමික දාර්ශනිකයින් පිළිබද තොරතුරු ඉදිරි ලිපි වලින් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි.
ලිව්වේ – කුමාර සංකල්ප
ඔබගේ මෙවන් ලිපි, සාමාන්‍ය බ්ලොග් සටහනකට වඩා මදක් ශ්‍රාස්ත්‍රීය භාවයයක් ඇතිනිසා ඒයට ආශ්රිත ලිපි සම්භන්ධ සටහනක් ද ඇමනීම පාඨකයාට වඩා පුලුල් පරාසයක් සදහා පිවීසිමට හා ඔබ ගෙනහැර දක්වන කරුණු වල වලංගුතාවය ඉහල නැංවීමටත් රුකුලක් වේවි….
LikeLike
මෙයට මා එකතු කිරීමට කැමති අනිත් කාරණය පුරාතන ඉන්දියාවේද නිරාගමිකත්වය සම්භන්ධ සංකල්ප ග්‍රීක ඉතිහාසය හා සමගාමිව පැවති බවයි….
උදාහරණයක් ලෙස මට හැගෙන පරිදි ෂට් ශාර්තෲවරුන්ගේ ඉගැන්වීම් බොහොමයක් වර්තමානයේ නිරාගමිකත්වය ලෙස සැලකෙන විවිද මතිමතාන්තර වල පදනම ලෙස දැක්විය හැක..
කෙසේ නමුත් ග්‍රීසියේ දාර්ශනිකයනුත් , ඉන්දීය දාර්ශනිකයනුත් අතර සමකාලිනව තිබු සම්භන්ධතාවය කුමක්දැයි සෙවිම අයාසකර නමුත් ඉන්ට්ර්රෙස්ටින් කටයුත්තක් බව මගේ අත්දැකිමයි….
LikeLike
පුරාතන ඉන්දියාවේ ද නිරාගමිකත්වය පැතිර තිබී ඇත…..ඇතැම් විට පුරාතන ග්‍රීසියේ හිටියාට වඩා වැඩි ප්‍රමාණයක් නිරාගමිකයින් පුරාතන ඉන්දියාවේ සිටියා වන්නට ද බැරි නැත. මා දන්නා පරිදි ෂඩ් ශාස්තෘෘවරු නමින් හදුන්වනු ලබන පිරිසට අයත් වූ අජිත කේසකම්බලී නිරාගමිකයෙකි…(හරියටම ෂුවර් නෑ…මම වැරදි වෙන්න පුලුවන්) එලෙසම, භෞතිකවාදී ලෝදැක්මක් දැරූ කාර්වකයින් ද පුරාතන ඉන්දියාවේ සිටියහ.
ඒ කාලෙ ග්‍රීසියේ දාර්ශනිකයන් හා ඉන්දීය දාර්ශනිකයින් අතර අදහස් හුවමාරුවක් වුනාදැයි මම නොදනිමි. නමුත්, ඒ ගැන හොයන එක ඉන්ටරස්ටින් බව පිළිගනිමි.
LikeLike
Pingback: පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ