සිරිසේන දිනුවේ ඇයි?

මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත.

දැන් අප “මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ඇයි? ” යන ප්‍රශ්නය වෙත සහ “සිරිසේන දිනුවේ කොහොමද? ” යන ප්‍රශ්නය වෙත අවධානය යොමුකරමු.

සිරිසේන දිනුවේ සියයට පනහට වැඩියෙන් ඡන්ද ලබාගත් නිසාය. ඔහුට එලෙස ඡන්ද ලබාගැනීමට හැකිවූයේ සිරිසේන පරාද වූ ඡන්ද කොට්ඨාශ වල පවා බොහෝවිට සියයට හතලිහක් හෝ ඒ ආසන්නයේ හෝ ඊට ඉහලින් සිටීමට ඔහුට හැකිවූ නිසාය. එමෙන්ම, උතුරු නැගෙනගිර ප්‍රදේශවල දෙමල හා මුස්ලිම් ඡන්ද අතිවිශාල “කුට්ටි පිටින්” ලබාගත් නිසාය.

එතකොට, සිරිසේනගේ ජයග්‍රහනයේ ප්‍රධාන සාධකය කුමක්ද? එම ප්‍රධාන සාධකය වනාහී ලංකාව පුරාම 40% හෝ ඊට ආසන්න ඡන්ද පදනමක් පවත්වා ගැනීමට හැකිවීමයි. එතකොට, අමතක කිරීමට නොහැකි, අතුරු සාධකය කුමක්ද? එකී අතුරු සාධකය වනාහී දෙමල හා මුස්ලිම් ඡන්ද “කුට්ටි පිටින්” සිරිසේනට වැටීමය. සිරිසේනගේ සංධානයේ ජයග්‍රහනය ගැන නොමනාප හා සිරිසේනගේ සංධානය ඇනගන්නවා දකින්න කැමති හා මෙම සංධානය අන්නවන්න කැමති අයට මේ වෙලාවේ මතුකරන්න පුලුවන් හොඳම දේශපාලන තුරුම්පුව කුමක්ද? ඒ වනාහී අන් කවරක්වත් නොව, කුට්ටි පිටින් වැටුන දෙමල හා මුස්ලිම් ඡන්ද වලට නොයෙකුත් භයානක අර්ථකථන සැපයීමය. එවන් භයානක අර්ථකථනයන් බොහොම ස්වභාවිකව තැන් තැන් වලින් මතුවෙමින් පවතී.

අපි මෙම අර්ථකථන ගැන මදක් විමසා බලමු. TNA හා මුස්ලිම් කොංග්‍රසය යනු රටේ පොදු පුරවැසි අයිතීන් හෝ ජාතික තලයේ සමාජ-ආර්ථික කරුණු ගැන ලොකු උනන්දුවක් නොමැති, නිශ්චිත වාර්ගික හා ආගමික අනන්‍යතාවයකින් යුත් පුරවැසියන් කාණ්ඩ දෙකක් වෙනුවෙන් පමණක් පෙනීසිටිනා පක්ෂයන්ය. කෙටියෙන් කිවතොත්, මේවා “ගෝත්‍රික” පක්ෂයන්ය. මේවායේ පැවැත්ම හා අරමුණු ගැන මා තුළ එතරම් පැහැදීමක් නැත. කෙසේනමුත්, මෙවන් ගෝත්‍රික පක්ෂ වල පැවත්ම අනවශ්‍ය වෙන දේශපාලන වටපිටාවක් තවමත් හැදිල නැති තත්ත්වයක් මත සහ එවන් “ආගමික/වාර්ගික අයිතීන්” වෙනුවෙන් පමණක් පෙනී ඉන්න පක්ෂ වල පැවත්ම නීති විරෝධී නැති නිසා එම පක්ෂ පවතිනවාය. එබැවින්, ඒවායේ පැවැත්ම අපි කැමති උනත් අකමැති උනත් පිලිගැනීමට සිදුවේ.

ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් වැනි ජාතික තලයේ මැතිවරණයක් ජයගැනීමට උත්සාහ කරන ඕනෑම කන්ඩායමක් තමන්ගේ පැත්තට ඡන්ද මිලියන බාගයක් විතර ගන්න පුලුවන් ක්‍රමයක් පේනවා නම් ඒ දෙස අනිවාර්යයෙන්ම බලනවා. එවන් අවස්ථා වලදී කවුරුවත් මෙකී “ගෝත්‍රික පක්ෂ” නොතකා ඉන්නේ නැත. වැදගත්ම කාරණය නම්, මේ පක්ෂ සමග සංධාන ගතවීමේ දී ජාතික තලයේ අභිලාෂ වලට හානි දායක කිසියම් “ඩීල්” ගහනවද නැද්ද යන්නයි. එවන් වූ “ඩීල්” එකක්, මේ කිසිම පක්ෂයක් සමග නැති බවට සහතිකයක් තියෙන මේ අවස්ථාවේ, සිරිසේනගෙ කන්ඩායමට ලැබුන දෙමල හා මුස්ලිම් ඡන්ද ගැන කෙරෙන අර්ථකථන ගැන දැන් විමසා බලමු.

දෙමල හා මුස්ලිම් ඡන්ද කුට්ටි පිටින් නොවැටුනා නම් සිරිසේන දිනයිද? පැහැදිලිවම නැත. ඒ ඡන්ද බොහොම වැදගත් විය. දැන් මෙහි ඇති “වැරද්ද”, අපි මේ ගැන ආඩපාලි කියන සිංහලබෞද්ධෙ ගෝත්‍රිකයන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලමු.

ලංකාවේ මැතිවරණ සිතියමේ උතුර හා නැගෙනහිර තියෙනවාද? ඔව්! තියෙනවානෙ. ඒක නැතිකරන්නනෙ ඊලාම් යුද්ධයක් ගියේ. ඒක තියාගන්න ඕනේ හින්දනෙ ප්‍රභාකරන් එක්ක ඔච්චර අමාරුවෙන් යුද්ධ කලේ. ඒ යුද්දෙ රජය (ඒ කියන්නෙ “අපි”) දිනුවානෙ. ඒ හින්ද මැතිවරන සිතියමේ උතුර හා නැගෙනහිර තියෙනවා. ඒවායේ ඉන්න මිනිස්සු ඡන්දෙත් දානවා. ඒ ඡන්ද අපි ගණනුත් කරනවා. මේවා මෙහෙම කරන්න ඕනේ නිසයි අච්චර වියදම් කර, අච්චර ජීවිත පරිත්‍යාග කර යුද්ධයක් කලේ. ඒ බව සියලු දෙනා මතක තබාගත යුතුය. උතුරු නැගෙනහිර ඡන්ද පෙට්ටි පිටින් මුහුදට දානවා නම්, ඒ කෑල්ල ප්‍රභාකරන්ටම දුන්නා හා සමානය. අමාරුවෙන් යුද්ධ කර ඒ කෑල්ල තියාගත්තෙ එහෙම කරන්න කැමති නැති හෙයිනි.

දැන්, ඒ කෑලි වල ඉන්න මිනිසුන් පුරවැසි අයිතීන් නැති හා ජනාධිපතිවරණයක දී තමන් වඩාත් කැමති අපේක්ෂකයාට ඡන්දය දාන්න බැරි දෙවැනි ගණයේ පුරවැසියන් විදිහට ඉන්න ඕනේද? “එහම වෙනවා නම් හොඳයි” කියන නරුමයෝ එක්කෙනෙක් දෙන්නෙක් නම් ඇති. නමුත් එවන් නරුමයෙක් මේ ලිපිය වගේ එකක් කියවන එකකුත් නැති බැවින් එහෙම කියන කවුරුත් නැහැයි කියා උපකල්පනය කරන්නෙමි.

දැන්, මේ උතුරු නැගෙනහිර ඉන්න දෙමල හා මුස්ලිම් මිනිස්සු “සිරිසේනට මෙච්චර කුට්ටි පිටින් ඡන්දෙ දැම්මෙ ඇයි?” කියල සමහරු ප්‍රශ්න කරති. මෙම ප්‍රශ්නය අහන බොහෝ දෙනා මේකට උත්තරෙත් දනී. නමුත්, කුහකකමට මේ ප්‍රශ්නය අහනවා. උත්තරේ තමයි ඒ මිනිස්සු අතරෙ මහින්ද රාජපක්ෂ කිසිසේත්ම ජනප්‍රිය නොවීම. එලෙස මහින්ද රාජපක්ෂ මෙම මිනිසුන් අතර ජනප්‍රිය නොවීමට හේතුද මෙම ප්‍රශ්න අහන අයම දනී. හැබැයි දන්නේ නෑ වගේ ඒ ප්‍රශ්නෙම අහනවා. මේ දෙමල/මුස්ලිම් මිනිස්සු සමහරෙක් මෛත්‍රීපාල කවුද කියල දන්නෙත් නැතුව ඇති. නමුත් මහින්ද එලවන්න නම් මෛත්‍රීට ඡන්දය දෙන්න ඕනේ කියන එක විතරක් දන්නවා ඇති. ඉතින් ඒ මිනිස්සු මෛත්‍රීගේ ලකුණ ඉස්සරහ පොදි පිටින් කතිරෙ ගැහුවා.

මෙහි ඇති අයිරොනිය තමයි “ඇයි මේ මිනිස්සු මහින්දට විරුද්ධව සිරිසේනට ඡන්දය දුන්නෙ?” කියන ප්‍රශ්නය අහන ගොඩක් දෙනෙක් මහින්දගෙ දකින ලොකුම හොද දෙය වනුයේ සුළු ජාතික අභිලාෂ වලට ඉඩ නොදීම, යුද්ධය වසරක් පාසා උත්කර්ෂයට නංවමින් දෙමල ජනතාවගෙ හිත් පෙලීම, උතුරේ මංසන්ධිවල බලෙන් බුදු පිලිම පිහිටුවීම හා උතුරේ දිගටම හමුදා පාලනයක් පවත්වා ගැනීම. ඉතින් දෙයියනේ!! ඕවා කරනකොට දෙමල ඡන්ද හම්බු වෙයිද? එමෙන්ම, මහින්ද මහතා දෙමල ඡන්ද නැතිකර ගැනීමෙන් නොනැවතී බොදු බල සේනාවට නිදහසේ ජාතිවාදය හා ගෝත්‍රවාදය වැපිරීමට ඉඩ දෙමින් මුස්ලිම් ඡන්ද ටිකත් හෝල් සේල් නැතිකර ගත්තේය.

මේ ආකාරයට මැටි මෝල් වැඩකර ඡන්දය පරාදවූ පසු “කරුණාකර තවත් ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන්නෙ නැතිව ඉන්න” කියන එක තමයි මහින්දවාදීන්ගෙන් මට ඉල්ලන්න තියෙන එකම දේ. සුළු ජාතිකයන් හා සුළු ආගමිකයන් දෙවන ගණයේ පුරවැසියන් විදිහට ජීවත්වෙමින් හෝ ඔවුන් සිංහලබෞද්ධ ගෝත්‍රික මහාසම්ප්‍රදායට “අවශෝෂණය” වී ජීවත්විය යුතුයි කියා කියන කට්ටිය ඉන්නෙ ලංකාවේ මුලු ජනගහනයට බාගයකටත් වඩා අඩුවෙන්ය. මොවුන් තේරුම් ගතයුතු කාරණය තමයි තමන් තවදුරටත් බහුතරය නොවන බව. මේ අය විශාල සුළුතරයක්. නමුත් විශාලම සුළුතරය වීම හා බහුතරය වීම කියන්නෙ දෙකක් බව මේ ඡන්දෙන් අවබෝධ කරගත යුතුය. කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට සිංහලබෞද්ධ අධිපතිවාදී මතයට පමණක් කේටර් කිරීමෙන් ජනාධිපතිවරණයක් ජයගත නොහැක.

සිංහලබෞද්ධ අධිපතිවාදයට පමණක් කේටර් කරල ඡන්දයක් දිනන්න අවශ්‍යම නම් අඩු ගානෙ බිලියන ගණන් මහජන මුදල් ගසා නොකා, යහපාලනයට කෙළ නොකර සිටිය යුතුය. එහෙමත් බැරි වෙච්ච රාජපක්ෂ රෙජීමය කඩා වැටීම අරුමයක් නොවේ.

පොඩිකාලේ සිට වංගෙඩියේ දා කොටල පොවපු සිංහලබෞද්ධ ගෝත්‍රවාදය අත් හැර ගන්න බැරිනම්, එම ගෝත්‍රවාදයට කේටර් කරන ආණ්ඩුවක් ඔනේ නම්, අඩුගානෙ තමන්ගෙ බැනර් එක උස්සාගෙන යන්න හොරු, මංකොල්ලකාරයො, කප්පම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මගඩි කාරයෝ, මන්ද බුද්ධිකයෝ නොවන පිරිසක් එකතු කරගන්න.

ඒ වැඩේ කරගන්න පුලුවන් වෙනකම්, තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය නොදුන් පලියට තමන්ගේ සහෝදර ජනකොටස් වල හැම එකාම “බෙදුම් වාදියෙක්”, “ත්‍රස්තවාදියෙක්”, “අන්තවාදියෙක්” කියල නම් කිරීමෙන් කරුණාකර වලකින්න. ඉක්මනින් නොවුනත්, කවදාහරි ඇතිවෙන්න පොඩි ඉඩක් හරි තියෙන, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාව හා සැබෑ ජාතික සමගිය තිඹිරිගෙයිදීම මරල දාන්න හදන්න එපා! ගෝත්‍රවාදී නොවී පොදු අනන්‍යතාවයක් වෙනුවෙන් වැඩකරන්න. දැන්වත් හැදෙන්න බලන්න!

පසුව ලිවීම – මෙම සටහන මුහුණුපොතේ පළකර පැය කීපයකට පමණ පසු මහින්ද මහත්මයා එයාගේ මැදමුලන ජනතාව අමතනවා දුටුවෙමි. ජනතාව අතර සිටි එක්කෙනෙක් “ඇයි මැතිතුමා සිරිසේන මරල හරි ජනාධිපතිකම ගත්තෙ නැත්තෙ?” යනුවෙන් ඇසීය. අපි එය නූගත් ගැමියෙකුගේ ප්‍රකාශයක් විදිහට වැඩිය ගනන් නොගෙන බැහැර කරමු. නමුත්, මේ කතාවේදී මහින්ද කියපු දෙයක් එහෙම සුළුවට බැහැර කළ නොහැක. මහින්ද කියනවා “එයා (සිරිසේන) ඊලාම් ඡන්ද අරන් දිනුවා” කියල. මෙය කෙතරම් නරුම ප්‍රකාශයක්ද? ඊලාම් යුද්ධය අවසන් කලා කියා තමන්ට මහා ගෞරවයක් ආරූඪ කරගත්තු හිටපු ජනාධිපති කියනවා උතුරු නැගෙනහිර පලාත් තාමත් “ඊලාම්” කියල. දේශපාලන බලය ලබාගන්න මෙහෙම සාපරාධී විදිහට උතුරු පලාතේ සාමාන්‍ය ජනතාවට “ඊලාම්” ලේබලය ඇලවීම කෙතරම් සදාචාරාත්මකද?

ලිව්වේ – රිටිගල ජයසේන

සංස්කරණය – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in කාලීන, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

7 Responses to සිරිසේන දිනුවේ ඇයි?

  1. raj says:

    “හැබැයි ඉතිං……”
    “උඹල ඔහොම කිව්වට ඔන්න බලාපල්ල……”

    ඔන්න සමහරක් කොමෙන්ටු කරුවන්ට කොපි කරගන්න පුලුවන් කෑලි 2ක් දැම්ම.

    Like

  2. Mayya says:

    මේ ගැන මම ජනවාරී 9 දින අළුයම 2.00 ෆෙස්බුක් හී අම්බලම පි‍ටුවේ තැබූ සටහන නැවත සටහන් කරමි….

    //මහින්ද පරදින්නේ උතුරෙන් චන්ද වැටීම නිසා නොව ගාල්ල, පොලොන්නරුව ඇතුලු සිංහල පලාත්වලින් මෛත්‍රිට 40% වඩා ස්කෝර් කරන්න දුන්න නිසාය…//

    ඊට අමතරව තවත් අයෙකුට අද දිනයේ තැබූ පිලිතුරක්ද සටහන් කරමි…..

    //උදේම මහින්දගේ පරාජය, සිංහල බෞද්ධයන්ගේ පරාජය ලෙස කියවන කෙනෙක් ගැන ඇහැ ගැ‍ටුනා…මගේ පිලිතුර මෙලෙස සදහන් කලා…………
    සිංහල බෞද්ධ සංස්කෲතිය පැරදී ඇතැයි ඔබ කියන කථාව සත්‍යක් නම් එයට මූලික හේතුව ඔබ පෙන්වන බිල්ලා වන බටහිර සංස්කෘතිය නොව ,බෞද්ධකමේ මුල් උදුරා ගත් සිංහල බෞද්ධ සංස්කෘතියමය. මහින්දගේ ගෝලයන්ට තේරේන විදිහට කියනව නම් ‘මහින්දව පැ‍රැද්දුවේ මහින්දමය’
    වෛරය වෙනුවට කරුණාව මුදා හල බෞද්ධයෙකුට මුස්ලිම්වරුනට එරෙහිව මුදා හල වෛරය අනුමත කිරීමට නොහැක. මුස්ලිම් ව්‍යප්තවාදය සැබෑවක් උවද, එයට වෛරයෙන් පිලිතුරු බදින්නට යෑම බෞද්ධකමේ මුල් සිද ගැනීමකි. සිංහල බෞද්ධයන්ට තරම් නොවූවකි. මොලේ වෙනුවට බාහු බලය ඉදිරියේ ඇස් කන් පියා සිටීම සිංහල බෞද්ධයන් වරද්දා ගත් තැනයි…
    සොරකමට එරෙහිව නැගී සි‍ටුනු වෙනුවට රට මුදා ගත් නායකයා කියමින් ඇස් කන් පියා සීටීමේ පාපය…කොන්ද උකස් කල වරද, අද මහින්දට ඡ්න්දය පාවිච්චි කල සැබෑ උගත් දේශප්‍රේමීන් අත්විදමින් සිටී…
    බොරු කියන්නනාට නොකල හැකි පවක් නැත..සැබෑ බුදුවදන සමග හිට ගන්න.. බුදුවදන සමග හිට ගැනීම යනු එය ජප කිරීම හෝ වන්දනාමාන කිරීම එය ක්‍රියාවෙහි යෙදවීමය…සැබෑ බුදුවදන සමග සිට ගන්නා තාක් සිංහල බෞද්ධ සංස්කෘතිය කිසි විටෙක පාරජය කල නෝහැක..ඒය අන් සියලු සංස්කෲතීන්ටද සමාගාමීව නැගී සිටිය හැකි ආදර්ශවත් සංස්කෘතියකි….//

    Like

  3. උතුරු නැගෙන හිරින් මහින්ද පරාජය වීම ගැන දාන්න තියෙන්නේ මේ තර්ක දෙක
    1-මහින්ද එම ප්‍රදේශ වල ජනප්‍රිය නොවීම
    2-සිරිසේන TNA හා මුස්ලිම් කොන්ග්‍රස් ඉල්ලීම් වලට එක්කංග වීම.
    මේ හේතු දෙකෙන් එකක් හෝ දෙකම බල පෑවා. මෙතනදී ඇස්පනාපිට පෙනෙන සාක්ෂිඅනුව දෙවෙනි සාධකය ඉදිරියට එනවා. මොනවාද ඒ සාක්ෂි ඊයේ යාපනයේ දී හමුදකන්දවුරක් ඉදිරිපිටට ආ පිරිසක් ජාතික කොඩියක් ගිනි තැබීම. සහ උතුරු නැගෙනහිර පැවැත්වූ ප්‍රීති ගෝෂා වල කියපු දේවල්. මේ අනුව දෙවන සාධකය බලවත්.

    //”ඇයි මැතිතුමා සිරිසේන මරල හරි ජනාධිපති කම ගත්තෙ නැත්තෙ?” කියල. අපි ඒක නූගත් ගැමියෙකුගේ ප්‍රකාශයක් විදිහට වැඩිය ගනන් නොගෙන බැහැර කරමු. // ඕනෑම දේශපාලන පක්ෂයක බිම් මට්ටමේ ඔය වගේ පාහරයෝ ඉන්නවා. නමුත් මහින්ද ඒ ප්‍රකාශය අනුමත කලේ නැහැ.

    //මහින්ද කියනවා “එයා (සිරිසේන) ඊලාම් ඡන්ද අරන් දිනුවා” කියල. මේක කොච්චර නරුම ප්‍රකාශයක්ද? ඊලාම් යුද්ධය අවසන් කලා කියා තමන්ට මහා ගෞරවයක් ආරූඩ කරගත්තු හිටපු ජනාධිපති කියනවා උතුරු පලාත තාමත් “ඊලාම්” කියල. දේශපාලන බලය ලබාගන්න මෙහෙම සාපරාධී විදිහට උතුරු පලාතෙ සාමාන්‍ය ජනතාවට “ඊලාම්” ලේබලය ඇලවීම කොච්චර සදාචාරාත්මකද?//
    මහින්ද යුදයෙන් පරාජය කලේ කොටි මිස ඊළාම් වාදය නොවේ. ඊළාම් වාදය පරාජය කිරීම ලේසි නැත, TNA යනු කොටි නොවුනත් ඔවුන් ඊළාම් වාදයේ වත්මන් නියෝජිතයෝ වේ. එම TNA එකේ කීම මත තමයි උතුරේ චන්ද සිරිසේනට ගියේ(මම මුලින් මෙය පෙන්වා ඇත). එබැව්න් එම චන්ද ඊළාම් චන්ද ලෙස සැලකීම වරදක් නොවේ.

    ජාතීන් නියෝජනය කරන සියලු සංවිධාන ජාතිවාදී වේ. ඔවුන්ගේ චන්ද වල බලපෑම නිර්ණය කිරීමට යාම ජාතිවාදය නොවේ. කියා ඔබට මතක් කරන්න ඕන. එබැවින් මහින්දගේ ඉහත ප්‍රකාශය ජාතිවාදී ලෙස සැලකීම වැරදි වේ

    Like

  4. Ritigala Jayasena says:

    මේ කෑල්ල මගේ සටහනට පස්සෙ එකතු කලා.

    [[ ඒ උනාට තනි තනි පුද්ගලයන් විදිහට හිතන්නෙ නැතුව සුලු ජාතිකයන් බ්ලොක් පිටින් සිරිසේනට ඡන්දෙ දුන්නෙ ඒ අයගෙ තියෙන ගෝත්‍රවාදය නිසා කියල සමහරු තර්ක කරනවා. තර්කයක් නෑ ඔව් කතාව ඇත්ත. දෙමල හා මුස්ලිම් බහුතරය ගෝත්‍රවාදී තමයි. හැබැයි ගෝත්‍රවාදයයි බෙදුම් වාදයයි කියන්නෙ පැහැදිලිවම දෙකක්.

    රටේ ජනගනහයෙන් 70% කිට්ටු ප්‍රතිශතයක් වෙලත් සිංහල-බෞද්ධයන්ගෙන් බාගෙකට වැඩියෙන් තියෙන්නෙ සුලු-ජාතික ගෝත්‍රවාදී මානසිකත්වයක්. දෙමල මුස්ලිම් ප්‍රජාව සිංහල ප්‍රජාවට වඩා සිරා ප්‍රගතිශීලී නූතන පිරිසක් වෙන්න ඔනේ කියල බලාපොරොත්තු වෙන්නෙ බෑනෙ. උනුත් මුනුත් ඔක්කොම එකයි තමයි. ආයෙ ඒකෙ දෙකක් නෑ. රටේ ජනගනහයෙන් 10% වඩා අඩුවෙන් ඉන්න හැම තැනම “සිංහල-බෞද්ධ” ලේබල් තියෙන තැනක ජීවත් වන ඇත්තම සුලු ජාතිකයන් ඒ වෙගේ දෙතුන් ගුනයක් ගෝත්‍රවාදී වෙන්නෙ ඇයි කියල හොයාගන්න මට නම් වෙනම රිසර්ච් එකක් කරන්න ඔනේ නෑ. “තොපි ගෝත්‍රවාදී නිසා අපිත් ගෝත්‍රවාදී වෙනව බොල!” කියන මානසිකතවයෙන් නම් ඉතින් කවදාවත් මේක ඉවර වෙන්නෙ නෑ තමයි.

    දැන් කවුරුවත් ආයුධ අරන් යුද්ධ කරන්නෙ නෑනෙ. තියෙන්නෙ ඡන්ද සටනක් විතරයි.මගඩි, දූෂන, වංචා නැති ඇත්තටම යහපානයක් ගෙනියන්න පුලුවන් රජයක් තියෙනවා නම් (අඩුගානෙ ඒවා ඉහින් කනින් බේරෙන්නෙ නැති සාපේක්ෂ යහපාලනයක් නම්) මේ සුලු ජාතික වෝටින් බ්ලොක් එක ගැන මහලොකුවට වොරී වෙන්න ඔනේ නෑ. මේ ඡන්දෙන්ම ඒක පේනවා. සුලු ජාතික ඡන්ද බ්ලොක් පිටින් ලැබිලත් සිරිසේන ගත්තෙ 51%. මහින්දගෙ රජය දූෂිත එකක් නොවුනා නම් මොකා එක්ක ඩීල් ගහලවත් ඒක හොලවන්න බෑ. මහින්ද රජය දූෂිත එකක් නොවුනා නම් සුලු ජාතිකයන් මේ විදිහට බ්ලොක් පිටින් දෙන්නෙ නෑ. ඒක අමතක කරමු. ඒත් උන්ගේ තියෙන කුපාඩි කමට බ්ලොක් පිටින් දුන්න කියමු. ඒත් මහින්දට දිනන්න තිබුනා මේ විදිහට දූෂනයේ පවුල් වාදයෙ, අවනීතියේ ගෙරි මස් උනත් බෙල්ලෙ එල්ලන් කන්නෙ නැතුව පිලිවෙලකට කෑවනම්.

    ඔව් සුලු ජාතිකයන්ගෙ වර්ගවාදය ප්‍රශ්නයක් තමයි. සුල්ජාතිකයන්ගෙ වර්ගවාදය විසදන්නෙ කොහොමද? එක ක්‍රමයක් තමයි කොනක ඉඳන් මරාගෙන මරාගෙන යන එක. (එහෙම කරන්න බැරිවෙයි නේද?) අනික තමයි සිංහල පිරිසත් දරුනු ගෝත්‍රික බ්ලොක් එකක් වෙන එක (දැන් මේ අහවර වෙච්ච මහින්ද පාලනය කියන්නෙ එහෙම එකක් තමයි. එතකොට වෙන්නෙ ඔය බ්ලොක් එකේ ඉන්න එක එක හාල්පරුවො රට උලාකන්න මේ වාතාවරනය උපයෝගී කරගන්න එක. ඇයි කියනවා නම් ‘සුලු ජාතික ප්‍රශ්නය’ විසදන්න ඒවා ඉවසාගෙන ඉන්න එපැයි. ඒකත හරියන වැඩක් නෙමෙයි කියල ඔප්පු උනා නේද?). අනික තමයි පුලුවන් තරම් යහපාලන සාධාරන වාතාවරනයක් ඇති කරල සුලු ජාතික ගෝත්‍රිකත්වය ඇතුලෙන්ම ටික ටික දියකර හරින එක. පලමු එක දෙවැනි එක ට්‍රයි කරල බැලුව හරිගියේ නෑ නේද? තුන් වැනි එක කරල බලමුද? නැත්නම් වෙන අදහස් තියෙනවද?

    මම ඉන්න රටේ මෙහෙම කියමනක් තියෙනවා. “When you are skidding, don’t focus on the pole that you want to avoid, but focus on the road that you want to get back to” පාරෙ අයිස් තිබිලා වාහනෙ පාරෙන් ඉවතට ලිස්සන් යනවා නම්, තමන් හැප්පෙන්න ඉඩ තියෙන ලයිට් කනුව දිහා බලාගෙන සුක්කානම එක පොරබදන්නෙ නැතුව, තමන්ට ආපාහු යන්න ඔනේ පාර දිහා බලාගෙන එලවන්න කියල. ආන්න ඒ වගේ තමයි යහපාලන මාවතට එන්න පුලුවන් නම් පාරෙ දෙපැත්ත තියෙන සුලු ජාතික ලයිට් කනු ගැන එච්චර වදවෙන්නෙ ඔනේ නෑ.

    මහින්දවාදීන් මේ ටික පිලිගන්නෙ නැත්නම් මට වෙන කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ.]]

    Like

  5. ඔ‍බේ ලිපිය අනුමත කරනවා. සටහනක් ලිවීමට තරම් කාලයක් නෑ. නමුත්, මහින්ද යනු ඉලලෝභී කුහක දේශපාලකයෙක් බව වටහා ගන්න ජනතාවට තව කලාන්තරයක් ගත වේවි.

    Liked by 1 person

  6. jagath pathirana says:

    ලංකාවේ තිබුනේ අටමස්ථානයක් මහින්ද බලයෙන් මත්වෙලා ඒක නවමස්ථ‍ොනයක් ඩකරන්න හැදුවා
    මහින්දට වස් වැදුනා
    අන්තිමේදී මහින්ද 8 වෙනිදා පැරදිලා 9වෙනිදා “ම” යන්නේ පටන්ගන්නා නමක් ඇති කෙනෙක් රජවුනා

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s