සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා සටහන වනාහී මේ බිය යම් පමණකට අඩු කිරීම උදෙසා ලියැවුණ සටහනකි.

මූණුපොතේ එක් තැනක ඇති වූ සංවාදයක් කියැවීමේදී, ආගම් අදහන බොහෝ දෙනා හට වර්තමානයේ සමාජගතව පවතින “නූතන හර පද්ධතීන්” හා “නීතියේ ආධිපත්‍යය” වැනි සංකල්ප පිළිබද අවබෝධයක් නැති බව මට පෙනීගියේය. ඇත්තටම, “නූතන හර පද්ධතීන්” යන යෙදුම පවා ගැටලු සහගතය. මන්දයත්, වර්තමානයේ ගෝත්‍රික නොවන සමාජයන් තුළ ගරු බුහුමනට ලක්වන චාරවත් දිවියක් පවත්වාගෙන යාම, අනන්‍යයන්ගේ දුකට හා වේදනාවට තුඩු දෙන ක්‍රියාවලින් වැළකීම හා අන්‍ය අයිතිවාසිකම් වලට ගරුකිරීම වැනි සංකල්ප වනාහී අද ඊයේ හදිසියේ හටගත් ඒවා නොවන බැවිනි. උදාහරණයක් ලෙස, Nicomachean Ethics නම් ග්‍රන්ථය තුළින් ඇරිස්ටෝටල් ද, නානාවිධ දාර්ශනික ප්‍රකාශන හරහා ඉමෑනුවෙල් කාන්ට් ද අප මේ කියන “නූතන හරයන්” පිළිබදව “පුරාතනයේ” – එනම් – “නූතන” යුගයට පෙර කතාකොට ඇත.

එසේවුවද, ආගම් විසින් මානව සමාජ-සංස්කෘතික ව්‍යුහය ආක්‍රමණ කර තිබුණු කාල වකවානු තුල, වහල් භාවය වැනි දෑ මානවයා විසින් පිළිකෙව් කොට දැමිය යුතු දේ යැයි මතයක් නොවිණ. වහල් භාවය අතහැරිය යුතුය යන අදහසට සමාජයේ යම් පිළිගැනීමක් ලැබුනේ සමාජ හර පද්ධතීන් ටිකෙන් ටික ආගමෙන් වියෝ වූ විටය. නමුත්, වර්තමානයේ වුවද, සමාජ හරයන් ආගමෙන් වියෝව නොමැති සංස්කෘතීන් තුළ වහල් භාවය වැනි දේ සාමාන්‍ය දේ ලෙස ක්‍රියාත්මක වේ.


එසේවුවද, ආයතනගත ආගම් වලින් නූතන සමාජයට කිසිම මෙහෙයක් නොවේ යැයි මින් අදහස් නොවේ. ආගම් අදහන අය බොහෝවිට කරනුයේ තමතමන්ගේ ආගම් වලට පිටතින් ගොඩනැගෙන සදාචාරාත්මක ප්‍රමේයයන් සිය ආගම් තුළට අවශෝෂනය කරගෙන, එලෙස අවශෝෂණය කරගත් සදාචාරාත්මක හරයන් වලට තම ආගමේ වෙළද නාමය ගසා සමාජයේ ස්ථාපිත කිරීමයි. මෙහිදී, ඔවුන් සදාචාරය “නිෂ්පාදනය” කිරීමක් නොකරයි – “ඇසිරීම හා වෙළද නාමය ගසා බෙදාහැරීම” පමණක් සිදුකරයි. මෙය සමාජයේ බොහෝ අයට ප්‍රයොජනවත් වුවද, ආගම හරහා බෙදා හැරෙන සදාචාරය වෙනුවට එම සදාචාරයේම “ඓහික මූලයන්” වලින් උකහාගත් සදාචාරය භාවිතා කරන පිරිසක්ද සිටී. අපි ඔවුන් හැදින්වීමට “නිරාගමිකයන්” යන වදන යොදාගන්නෙමු.

ලිව්වේ – රිටිගල ජයසේන

සංස්කරණය – කුමාර සංකල්ප

This entry was posted in දර්ශනය, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

11 Responses to සදාචාරය හා නිරාගමික භීතිකාව

  1. සාංචිආරච්චි says:

    මහසෝනා හෙවත් රිටිගල ජයසේන. නිර්ආගමිකයන් විසින් උපත මරණය නැවත ඉපදීම හේතුඵල වාදය ගැන දරන අදහස් සහ චතුරාර්ය සත්‍යය බොරුවකි කියලා ඔප්පු කරන්න ඉදිරිපත් කරන කරුණු මොනවාද

    Like

  2. මම නම් කියන්නේ මේ නිරාගමික කියලා කියා ගන්න පිරිස තමන්ගේ වාසි තකාගෙන එසේ කරනවා විනා එහි වැඩකට ඇති දෙයක් නැහැ කියලයි. සමාජ හර පද්ධතීන්, මිනිස් බව, සමානාත්මතාවය වැනි මානව ධර්මතාවයන් නිවැරදිව සමාජයට ලබාදෙන දර්ශනයකින් සමාජය නිසි මගට ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබෙනවා. කොහොමත් මම බෞද්ධ නිසාත්, බුදු දහම ආගමත් නොවන නිසාත්, නිවැරදිව බුදු දහම අනුගහනය කරන පුද්ගලයාත් සැබවින්ම නිරාගමිකයෙක්. නමුත් මොවුන් පවසන් නිරාගමිකයෙක් නොවේ.

    Like

    • රාජ් says:

      කියන්න බලන්න වාසි එකක් දෙකක්

      Like

    • තමන්ගේ වාසි තකා යම් ආගමක භක්තිකයෙකු ලෙස පෙනී සිටීන අයත්, තමන්ගේ වාසා තකා නිරාගමික ලෙස පෙනී සිටින අයත් නැතිවා නොවේ….නමුත්, බොහෝමයක් නිරාගමිකයින් නිරාගමික වන්නේ යම් යම් වාසි බලාගෙන නොවේ. ඇත්තටම, නිරාගමික වුනා කියලා අපට ලැබෙන විශේෂ වාසියක් නැහැ.

      Like

  3. Mayya says:

    භාණ්ඩේ කොච්චර ස්ටේට් ඔෆ් ද ආර්ට් උනත් මාකටිං අවුල් නම් බඩු යන්නේ නෑයි කියන එක ”නූතන”වෙලද සම්මතයක්….

    සදාචාරය මාර්කට් කරන්න ආගම කොච්චර ඉවහල් වෙලා තියෙන එක ගැන ලේඛකයාත් කතා කරලා තියෙන හින්දා ඒගැන කතා කරන්න යන්නේ නෑ…

    ඒත් සදාචාරය මාර්කට් කරන්න ‘නිරාගමිකයන්ට’ කොච්චර ලොකු හැකියාවක් තියෙනවද කියන එක නම් ප්‍රශ්ණයක්….මොකද ‘නිරාගමිකයනුත්’ සදාචාරය මාර්කට් කරන්න ගිය ගමන් ඒ ‘නිරාගමිකත්වයත්’ ආගමක් වෙන හින්දා :)))

    වැඩිය ලියන්නත් බයයි…මොකද ආගම් කාරයෝ වගේම මේ ඇතැම් නිරාගමිකයන්ටත් අපහාසයයි උපහාසයයි අතර සිමා ඉර තේරුම් ගන්න බැරි හින්දා …..

    Like

  4. Mayya says:

    අපහාසය හා උපහාසය අදුනන අයවලුන් පමනක් බලත්වා …….

    නිරාගමිකත්වයේ සීතාම්බර සළුපට…….

    දහසක් මත ගැටේවා….දහසක් මල් පිබිදේවා…….

    Like

  5. සංස්කරණයට පෙර, රිටිගල ජයසේන විසින් මා වෙත ලබා දුන් මුල් ලිපිය තුළ “සදාචාරය වනාහී ආගමේ සයිඩ් බිස්නස් එකක්ය“ යනුවෙන් සදහන් වෙනවා. මෙම ප්‍රකාශය “සදාචාරය හා නිරාගමික භීතිකාව“ කියන මාතෘකාවට ඍජුවම සම්බන්ධ නැති නිසාත්, එමෙන්ම සෑම ආගමක් තුලම සදාචාරය සයිඩ් බිස්නස් එකක් ලෙස සළකා නැති නිසාත් මම ඒ කොටස ඉවත් කරා….ඒ සම්බන්ධයෙන් රිටිගල ජයසේන මා සමග අමනාප නැතිව ඇතැයි සිතනවා

    Like

  6. Ajith Dharma says:

    කුමාර ඔබ එසේ කිරීමෙන් රිටිගල ජයසේනගේ ලිපියේ අදහසට කිසියම් පලුද්දක් ඇති කර තිබෙනවා කියා මට හිතෙනවා. හැම ආගමක්ම වගේ සදාචාරය ඉදිරියට තම තම වෙළඳාම කරගෙන යන අතර (බුද්ධාගම – ලොකු පන්සල් ගන්න , කාසි කැට , වෙන්දේසි , අනිත් සෑම ආයතනගත ආගමක්ම ) නිරගමික අයට සදාචාරයක් නැති මොර දෙනවා. මා ලඟදි දුටු දත්ත සමුහයක ඇමෙරිකාවේ සිර ගෙවල අපරාධ ක රුවන් අතරින් බහුතරයක් දෙවියන් විශ්වාස කරන අතර ඉනිදු බහුතරය ක්‍රිස්තියානි ආගමේ. දෙවියන් විශ්වාස නොකරන නිරගමිකයන් 0.1% ට අඩු ප්‍රමාණයක් තමා සිරයේ සිටින්නේ.

    Like

    • jagath pathirana says:

      එ්බ්‍රහම් ටී ෙකාවුර් මහතාෙග් ලිපියකත් එෙහම ෙදයක් තිබුනා එ් වුනාට ෙම් දත්ත වල වරදක් තියෙනවා. අරාබි නමක් තියෙන හිර කාරයෙක් ගෙන් ආගම මොකක්ද කියලා ඇහුවොත් මුස්ලිම් කියයි, සාමාන්‍ය පෙලට බුද්ධාගම ප්‍රශ්න පත්තරේට ලියපු කෙනෙක්ගෙන් ඇහුවොත් මම බෞද්ධ කියයි, අම්මා පොට්ටු තියන හිරකාරයෙක්ගෙන් ආගම මොකක්ද ඇහුවොත් හින්දු කියයි. මම නිර් ආගමිකයෙක් කියන්නේ ටිකක් රැඩිකල් උණක් තියෙන කෙනෙක් විතරයි.
      හරිනම් ඔයවගේ සමීක්‍ෂණ කරන්න ඕනෙ යෙහෝවා වගේ මූලධර්මවාදී ආගම් අදහන අය ද නිර් ආගමිකයොද වැඩියෙන් සදාචාර සම්පන්න කියලා බලන්න.

      Like

  7. නිරාගමික මහත්වරු සදාචාරය ගැන බටහිර උගතුන් ලියු කියූ දේ සඳහන් කරයි. නමුත් බුදුදහම තුලින් උගන්වන සදාචාරය පිළිබඳව සඳහන් කිරීමට මැලිවෙයි. මා දන්නා පරිදි කොවුර් මහතාද බුදුදහම සම්බන්ධව සිටියෙ ධනාත්මක අදහසකය. එය සමාජ දර්ශනයක් ලෙස භාවිතයට ඉතාම උචිත බව ඔහුගේ අදහස විය (නැවත ඉපදීම, දෙවු, බ්‍රහ්ම, පෙරේත වැනි සතුන් පිලිබඳ ඔහු එකඟවූයේ නැත.) නමුත් තමන් නිරාගමික යයි කියාගන්න සමහර පුද්ගලයන් තමතමන්ගේ සහ අනුන්ගෙ බ්ලොග් අඩවිවල පලකරන අදහස් දකිනවිට ඉහත සඳහන් “සදාචාරය” පවතිනවාද යන්න ගැටළුවකි. බොහෝදෙනෙක් බුදුදහම මනිනුයේ ආධානග්‍රාහී ව තමන් බෞද්ධ යයි කියාගන්නා පුද්ගලයන්ගේ හැසිරීම ඇසුරුකරගෙනය. නමුත් ඔවුන් කිසිවිටක බුදුදහමේ හරය හෝ එහි ඉගැන්වෙන සදාචාරය පිලිබඳ කිසිදු අධ්‍යනයක නොයෙදේ. එම හරපද්ධති ඉහත සඳහන් කල ආධානග්‍රාහී මිනිසුන්ගේ ක්‍රියාකලාප සමග කොතරම් ගැලපෙන්නේදැයි සොයා නොබලති.
    පුද්ගලිකව මා ආගමිකයෙක් නොවේ. නමුත් ආගමික ලක්ෂණ වලින් වියුක්තව ජීවත්වීමට මාහට නොහැකිය. මා විද්‍යාවේ සඳහන් බොහෝදේ පිළිගනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් නොවේ. එසේ අවබෝධ කරගෙන මිස පිලිනොගනිමි යයි සිතුවේනම් මාහට තවම නිවුටන්ගේ නියමයන්වත් ඉගෙනගෙන හමාර කිරීමට නොහැකිය. මා f=ma හෝ e=mc^2 හෝ ප්‍රකාශ විද්‍යුත් ආචාරණය පිලිබඳ ගැටළු විසඳන්නට සමීකරණ භාවිත කලේ එම සමීකරණ ඔප්පුකල ආකාරය පිළිබද හෝ එම සංකල්ප පිළිබඳව ප්‍රාමාණික අවබෝධයකින් තොරවය. මා විශ්වාස කරන ආකාරයට බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙක්ට එම සංකල්ප පිලිබඳ මනා අවබෝධයක් නොමැත. ඇත්තේ කොහෙන්හෝ කියවා දැනගත් දැනුම ස්වල්පයක් පමණි. (එසේ ප්‍රාමාණික දැනුමක් ඇති පුද්ගලයින් බ්ලොග් අවකාශයේ රස්තියාදු ගසමින් කාලය කන්නේ නැත. ඔවුන් කරනුයේ තවදුරටත් නව දැනුමක් දියුණු කිරීමට තම කාලය කැප කිරීමයි)
    ඕනෑම දර්ශනයකට මෙන්ම විද්‍යාවකද මතු පැවැත්මට ආගමික ලක්ෂණ අවශ්‍ය වේ. අප ගුරුවරු පරම්පරාවක් හරහා මෙන්ම පොත්පත් ඇසුරින් විද්‍යාව ඉගෙනගනිමු. අප දෙමාපියන්, පුජ්‍ය පක්ෂයේ උතුමන් මෙන්ම පොත්පත් හරහාද විවිධ ආගම් ඉගෙනගනිමු. සමහර ආගම්වල දර්ශනය ඉතා අඩුය එමෙන්ම සමහර ආගම්වල ආගමික ලක්ෂණ වලට වඩා දර්ශනය වැඩිය. නමුත් පිරිසිදු දර්ශනයක් පමණක් ලොව කොතනකවත් පවතින්නේ නැත යන්න මාගේ පුද්ගලික විශ්වාසයයි.
    මා හොල්මන් දැක නැත, අවතාරද දැක නැත, දෙවියන් දැකලාම නැත. එමෙන්ම මා ශක්ති පැකට් දැක නැත, සුපිරි තන්තුද දැක නැත, පනුකුහරද දැක නැත. නමුත් ඔය කියූ ඕනෑම එකක් දැකඇති හෝ ඇති බවට සාධක දැක ඇති බව පවසන පුද්ගලයන් ඕනෑතරම් සොයාගත හැක. නමුත් අප එසේ පවසන පුද්ගලයන් කෙරෙහි අපගේ ඇති විශ්වාසය මත (අසවලා ඔප්පුකලා, අර පොතේ තිබ්බ ආදියද ඇතුලත්ව) පවසන දේ විශ්වාස කරමු. බොහෝ නිරාගමිකයන්ද සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් විද්‍යාව, තන්තු වාදය ආදිය පිළිගන්නේ ආගමික ස්වරූපයකින් බව ඔවුනට නොහැඟේ. ඔවුනට ආගම වන්නේ දෙයියෙක්, යකෙක්, බුතයෙක් ගැන කියවෙන දේවල් පමණි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය දේවත්වයෙන් “අදහති”. මාක්ස් කියුදේ “දේවභාෂිතය” වැනිය.
    මා විශ්වාස කරනුයේ සෑම පුද්ගලයෙක්ම නිරාගමික විය යුතුය, යුතුමය. අනුන් විසින් අප පිට පටවන අදහස් වලට වහල් නොවී ලෝකය දෙස බලන්නට උත්සාහ කල යුතුය. සත්‍ය ඒ අයුරින්ම දැකිය යුතුය. එය සම්මුති සත්‍යයක් නොවිය යුතුය. පරමාර්ථ වශයෙන්ම සත්‍ය විය යුතුය. බොහෝ නිරාගමිකයින් විද්‍යාවේ ඇතැයි කියන “විද්‍යාත්මක” භාවය, ප්‍රශ්න කිරීමේ ඇති නිදහස විද්‍යාවට පෙර ලෝකයට ඉදිරිපත්කලේ බුදුන්වහන්සේ යයි අමතක කරති.
    අද නිරාගමික යයි කියාගන්නා බොහෝදෙනෙකුගේ හැසිරීම IS සටන්කාමීන් වැනිය. (ISIS නොවේ. ඒ නම භාවිතා නොකරයි.ISIS යනු නෙට්වර්ක් ප්‍රොටෝකෝලයකි). ඔවුන් නියම නිරාගමික මහත්වරුන්ට අපහාස කරයි.

    Like

පාඨක ප්‍රතිචාර...