හොද විය යුත්තේ ඇයි?

ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් පසුම්බිය අහුලාගනු දකින්නේ නැතැයි උපකල්පනය කරමු.) ඔබට පසුම්බියේ අයිතිකරුට කතාකර ඔහුගේ පසුම්බිය නැවත ඔහු වෙත ලබාදීමට හැකියාව ඇත. ඔබ කරන්නේ කුමක්ද? නැවත පසුම්බිය එහි අයිතිකරුට බාරදෙනවාද? නැතහොත් එම පසුම්බියේ තිබුණු මුදල් ඔබ තියාගන්නවාද?

අප අතරින් බොහෝ දෙනා, ඉහත චිත්ත පර්යේෂණය තුලින් ඉදිරිපත් කෙරුණු මෙම පැනයට දෙන පිළිතුර වනුයේ “මම පසුම්බිය අයිතිකරුට නැවත ලබාදෙමි” යන්නයි. එයට හේතුව නම්, අයිතිකරුට සිය පසුම්බිය නැවත භාරදීම වනාහී “නිවැරදි ක්‍රියාව” යැයි අප තුළ යම් ප්‍රතිභානාත්මක විශ්වාසයක් තිබීමයි. මෙහිදී, අප විසින් නිරායාසයෙන්ම උපකල්පනය කරන තවත් ප්‍රස්තුථයක් වේ. එනම්, “අප සෑම විටම නිවැරදි ක්‍රියාව කළ යුතුය” යන ප්‍රස්තුථයයි. වෙනත් වචනයෙන් කිවතොත්, අපි “හොද” විය යුතු යැයි උපකල්පනයක් අප අතර සිටින බොහෝදෙනෙක් තුල ඇත.

නමුත්, අප “හොද මිනිසුන්” විය යුත්තේ ඇයි? සද්භාවය (moral goodness) වනාහී අප විසින් සද්භාවය උදෙසාම ප්‍රගුණ කළ යුතු ගුණයක්ද? නැතහොත්, අප සද්භාවී විය යුත්තේ එසේ වීම තුලින් අපට ලැබෙන ප්‍රතිලාභ හේතුකොට ගෙනද? සාදෘශ්‍යයක් ඉදිරිපත් කරන්නේ නම්, අප ව්‍යායාම කරනුයේ ව්‍යායාම හරහා අපට ලැබෙන ප්‍රතිලාභ – එනම් – නිරෝගී සිරුරක්, ශක්තිමත් මස්පිඩු වැනි දෑ – නිසාය. යම් හෙයකින් ව්‍යායාම තුලින් අපට නිරෝගී සිරුරක් හා ශක්තිමත් මස්පිඩු නොලැබේ නම් අපට ව්‍යායාම කිරීම සදහා පදනම් වන මූලකාරණයක් නැත. සද්භාවයත් ව්‍යායාම බදුද? අපි සද්භාවී වනුයේ එසේ වීම තුලින් අපට ලැබෙන ප්‍රතිලාභ වන අත්අඩංගුවට ලක්වීමෙන් වැළකීම, “පින්” ලබාගැනීම හා දෙවියන්ගේ දඩුවම් වලට ලක්වීමෙන් වැළකීම වැනි දෑ හේතුකොට ගෙනද?

නැවතත්, ඉහතින් දැක්වූ චිත්ත පර්යේෂණය වෙත යොමුවෙමු. ඔබ විසින් මුදල් පසුම්බිය අහුලාගනු දකින කිසිවෙක් නැතැයි අප එම චිත්ත පර්යේෂණය තුලදී උපකල්පනය කර සිටියෙමු. එනම්, ඔබට එකී මුදල් පසුම්බියේ ඇති මුදල්, අවශ්‍ය නම් තියාගත හැක. එය “වැරදි” වුවද එසේ කළ පමණින් ඔබට මනුලොව කිසිවෙක් දඩුවම් කරන්නේ නැත. එසේවුවද, අප අතරින් බොහෝදෙනා මෙවන් අවස්ථාවක මුල්තැන දෙන්නේ සද්භාවී වීම නැතහොත් “හොද” වීම උදෙසාය. බොහෝදෙනෙක් තමන්ට “නොමිලයේ” ලැබෙන්නට තිබුණ මුදල හොද මිනිසෙකු වීම උදෙසා කැපකරනු ඇත. මින් පැහැදිලි වෙන්නේ, සද්භාවී වීම නැතහොත් “හොද වීම” පිණිස අප විසින් යම් යම් කැප කිරීම් කළ යුතු බවයි.

මෙකී කැපකිරීම් කිරීම පිණිස මිනිසා පොළඹවන්නේ ආගමින් යැයි මතයක් අප සමාජයේ පවතී. එම මතය මත පදනම්ව ඇතැමුන් තර්ක කරන්නේ නිරාගමික මිනිසුන් හට සද්භාවය උදෙසා සිය කාලය, ශ්‍රමය හා ධනය කැපකිරීමට පොළඹවන “මූලාශ්‍රයක්” නැති බවයි. මේ නිසා, නිරාගමිකයන්ට සිය ජීවිතය තුළ, නීතියෙන් බේරී, සද්භාවී නොවී සිටීමට “නිදහස” ඇතැයි ඇතැමුන් තර්ක කරනු දැකිය හැකිය. සිංහල බ්ලොග් අවකාශය තුල දක්නට ලැබුන එවන් තර්කයක් මෙසේය,

“නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා… අනං මනං නිර්වාණ හොයන්නේ නැතුව…. ඕන වැරදි වැඩක් කරපන් පුතේ…. නීතීයට අහුනොවෙන්න…ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ.. ඒවා බොරු….. හැබැයි පු‍තෝ….නීතීයට අහු උනොත් නං උඹ පරාදයි….. නිරාගමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං…. ”

සද්භාවය උදෙසා යම් යම් කැප කිරීම් කිරීමට මිනිසාව පොළඹවනු ලබන මූලාශ්‍රයක් (දෙවියන්, කර්මය වැනි) ඇත්ද නැද්ද යන ගැටලුව වනාහී පාරභෞතික ගැටලුවකි. සදාචාරය පිළිබදව වන මෙම ලිපිය තුළින් එකී පාරභෞතික ගැටලුව යම් විමසීමකට ලක්කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. එසේවුවද, “නිරාගමිකයන් හට සද්භාවී විය නොහැක” යන අදහසට හා ඊට ළගින් යන අදහස් වලට පිළිතුරක් දිය යුතුමය.

ආගම් අදහන අය විසින් සද්භාවී වීම වනාහී ව්‍යායාම කිරීම වැනි දෙයක් යැයි සළකනු ලැබේ. එනම්, අප සද්භාවී වීම උදෙසා කැපකිරීම් කළ යුතු වන්නේ සද්භාවී වීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ නිසාය යන අදහස ආගම් අදහන පිරිස් තුල ඇත. මොවුන් විසින් නිරාගමිකයින්ට “නිරාගමිකයන් හට සද්භාවී විය නොහැක” යැයි චෝදනා කරන්නේද ඉහත කී අදහස ඔවුන්ගේ සිත් තුල කිදාබැස ඇති බැවිනි. නමුත්, සද්භාවී වීම යනු ව්‍යායාම කිරීම බදු දෙයක් නොවේ. අප සද්භාවී විය යුත්තේ සද්භාවයම උදෙසා (being moral for the sake of morality itself) මිස යම් යම් ලෞකික හා ලෝකෝත්තර ප්‍රතිලාභ උදෙසා නොවේ. මෙම ප්‍රස්තුථය වැඩිදුරටත් විස්තාරණය කිරීම ඉදිරි ලිපි තුලින් කිරීමට බලාපොරොත්තු වෙමි.

ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in දර්ශනය, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

16 Responses to හොද විය යුත්තේ ඇයි?

  1. කුමාර සංකල්ප ඉදිරි ලිපියේ මේ ගැන වෙනත් ආකාරක පැහැදිලි කිරීමක් කරයිද දන්නෙ නෑ. නමුත් මෙහි ලිපිය අවසන් කල ආකාරය සමග නම් මම එකඟ නෑ. මං හිතන්නෙ මෙතැනදී ‘සද්භාවය’ වගේ සංකල්පයකට නිර්පේක්ෂ පැවත්මක් ඇති බවක් ගම්‍ය වෙනවා. ඔය කියන සද්භාවයන් සද්භාවයන් විදිහට පිලිගැනීමක් එන්න මොකක් හරි උපයෝගීතා හේතුවක් කොහේ හරි තියෙන්නෙ ඔනේ නේද? මම හිතන්නෙ අපි අන්න ඒ උපයෝගීතා හේතුව නිසා මිසක් “සද්භාවය වෙනුවෙන් සද්භාවී වීම” වගේ කතාවක් ඔස්සෙ ගියොත් මේ තර්කය ඔස්සෙ වැඩි දුර යන්න බෑ. මම නම් මුදල් පසුම්බිය ආපහු අයිතිකාරයාට දෙන්නෙ “ගේම් තියරි” එක අනුව අවසානයේ ඒ ක්‍රියාව යනු කරන්න පුලුවන් නොයෙකුත් ක්‍රියා අතුරින් හොඳම එක වගේ පේන නිසා. එයින් සමාජයෙ දිගුකාලීන සම්බරතාවය සුරැකෙන නිසා. ඒ සමබරතාවය නිසා මටත් සතුටින් ඉන්න පුලුවන්, හා මගේ දරුවන්ටත් සතුටින් ඉන්න පුලුවන් අනාගතයක් නිර්මානය වන නිසා. (මෙහෙම වෙන්නෙ කොහොමද කියල දීර්ඝ ලෙස විස්තර නොකලත්, තරමක් දුරට හරි පැහැදිලි ඇති කියල හිතනවා)

    Like

    • ඇත්ත! කරන්න පුලුවන් “හොදම ක්‍රියාව” මුදල් පසුම්බිය ආපසු ඒ පුද්ගලයා හට ලබා දීම. නමුත්, ප්‍රශ්නය වන්නේ කරන්න පුලුවන් හොදම ක්‍රියාව මොකක්ද කියා නොව අප විසින් ඒ අවස්ථාවේ දී එකී “හොදම ක්‍රියාව” තෝරාගන්නේ ඇයිද කියන එක…ඇයි අපි “හොදම ක්‍රියාව” කරන්නෙ… නරකම ක්‍රියාව කරන්නෙ නැතිව….ඒ තමයි අපි we should be moral කියලා හිතාගෙන ඉන්න නිසා….Question here is not “What is the most moral thing to do?” Instead, question here is “Why we should do the most moral thing at the first place?”

      ඇත්තටම කිව්වොත්, මෙම ලිපියට පාදක වී තියෙන හොද විය යුත්තේ ඇයිද කියන ප්‍රශ්නය අපට තවත් උප-ප්‍රශ්න දෙකකට කඩන්න පුලුවන්.
      1. සමාජයට හොද මිනිසුන් අවශ්‍ය ඇයිද?
      2. “මම“ හොද විය යුත්තේ ඇයිද?
      යනුවෙන්….මේකෙන් පලවෙනි ප්‍රශ්නෙ ටිකක් ලේසියි උත්තරයක් දෙන්න…අමාරු දෙවැනි ප්‍රශ්නෙ
      ඇත්තටම කිව්වොත් රිටිගල විසින් සමාජයට හොද මිනිසුන් අවශ්‍ය ඇයිද? කියන ප්‍රශ්නෙට ඔහුගේ කමෙන්ට් එක තුලින් සාර්ථකව උත්තර දීලා තියනවා

      Like

      • Mayya says:

        ///එයින් සමාජයෙ දිගුකාලීන සම්බරතාවය සුරැකෙන නිසා. ඒ සමබරතාවය නිසා මටත් සතුටින් ඉන්න පුලුවන්, හා මගේ දරුවන්ටත් සතුටින් ඉන්න පුලුවන් අනාගතයක් නිර්මානය වන නිසා. (මෙහෙම වෙන්නෙ කොහොමද කියල දීර්ඝ ලෙස විස්තර නොකලත්, තරමක් දුරට හරි පැහැදිලි ඇති කියල හිතනවා)///

        ඕන්න ඕක තියරියක් විදිහට සමාජයට දෙන්න ගියාම තමයි ආගම බිහිවෙන්නේ…..ප්‍රාථමික ආගම් ප්‍රාථමික මිනිසුන්ට ප්‍රාථමික විදිහට ඕක උගන්වන අතර බුද්ධ දර්ශනය වගේ ඒවා ඕක බුද්ධිමත් විදිහට සමාජයට කියලා දෙනවා….

        රිටිගල උනත් ඔය කථාව..දැනුම් පද්ධතියක් විදිහට සමාජ ගත් කරන්න ගියොත් වෙන්නේ රිටිගලත් ආගමික ශාස්තෲවරයෙක් වෙලා තමයි..දැන්ටමත් එහෙම වෙලාද මන්දා…:))

        කොහොම උනත් මිනිසා කියන සත්වයා ආත්මාර්තකාමියෙකි..ඒ ආත්මාර්ථකාමිත්වය පරිසරයට/සමාජ සංස්ථාවට හානි නොවන ‘සස්ටේනබල්’ හැසීරීමකට පත් කිරිමට යත්න දරන උතසහය කිසියම් මතවාදයකට උප්පත්තිය දෙන අතරම ඒම මතවාදය පවත්වා ගැනීම සංස්තාගත ආගමකට පරිඅර්තනය වීම, ඉතිහාසය පුරාම දැකිය හැක්කක්….

        Like

        • Mayya says:

          @කුමාර සංකල්ප

          ‘මම’ හොද උනොත් ‘සමාජයටත් හොදක්’ වෙනවායි කියලා අපට බලාපොරොත්තු වෙන්න පුලුවන්…

          බුද්ධ දර්ශණා වගේ දර්ශන කථා කරන්නේ ‘මම’ හොද වෙන්න ඔනා ඇයි කියලා මිනිසුන්ට පැහැදිලි කරලා දෙන එකයි…කොටින්ම මම හොද වෙන්න ඕනා මට සතුටින් සිටිය හැකි එකම ක්‍රමය එය හින්දයි….එනම් මට සතුටින් සිටිය හැක්කේ ‘අත්හැරීමෙන්”’

          බඹයක් වූ ශරීරය තුල ලෝකය දකින්නයි වඩා සංක්ශිප්තව කියන්නේ මේ කියන කාරනේම යි…..

          Like

          • හොද වෙනවා කියන්නෙ කැප කිරීමක්….ඇතැම් අවස්ථා වල හොද වීම නිසා සතුටක් ඇතිවෙනවා තමයි..නමුත්, අපට හොද වීම පිණිස කැපකිරීම් කරන්න වෙනවා..සාමාන්‍යෙයන් එදිනෙදා ජීවිතයේ අපි කැප කිරීමක් කරන්නෙ යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්….හොද වීම පිණිස කැප කිරීම් කරන්නෙත් මේ වගේ ප්‍රතිලාභ (පින්, දෙවියන්ගෙන් වරදාන, නීතියෙන් බේරීම) බලාපොරොත්තුවෙන් පමණක්මයි කියලා තර්ක කරන අයත් ඉන්නවා…ඒත් මමනං ඒකට එකග වෙන්නෙ නෑ…මමනං දකින්නෙ අපි හොද විය යුත්තේ ඇයිද කියන ප්‍රශ්නයත් අපි සතුටු විය යුත්තේ ඇයිද කියන ප්‍රශ්නය වගේ කියලා

            Like

            • Mayya says:

              අපි හොද වෙන්නා ඔනා ….අපි හොද වෙන්න ඕනා නිසා කිව්වම ඕක කී දෙනෙක් පිලිගනීද කියන්න නම් මම දන්නේ නෑ…….(උදාහරනයක් ලෙස රිටිගල දැනටම මේ අදහස පදනම් කරගෙන හොද වෙන්න ඕනා කියන එක පිලිගන්නේ නෑ,….තවත් අය කියයි අපි හොද වෙන්න ඕන… නීතියෙන් අපට නියම කරලා තියෙන ප්‍රමාණයට කියලා..) ඒත් මොකක් හරි තියරියක් ඔබ්බ ගන්න පුලුවන් උනොත් කුමාර ගේන ඒ වගේ අදහසක් උනත් සමාජගත කර ගන්න පුලුවන් වේවී..දේශපාලනයත් ගාව ගෙන ඕක පොඩ්ඩක් ශක්තිමත් කරන්නත් පුලුවන් වේවී….. ඉතිහාසය තුලදී ආගම මෙන්ම නිරාගමයද දේශපාලනය සමග යහන්ගත් උනා වගේ…..ඒත් කුමාර කථා කරන්නේ මං පෙන්වන චිත්‍රයේ එක පින්සල් පහරක් ගැනයි….මුලු චිත්‍රයම බැලුවම මං කියන්නේ වෙන දෙයක්….
              මට කියන්න ඔනා කුමාර සංකල්පගේ සංකල්පයක් විතරයි කියලා…ඕක පුළුල් ලෙස ව්‍යාප්ත කරලා බහුතර සමාජය එත්තු ගන්නවන්නගිය දාට අ ඕකත් ආගමකින් වෙනස් වෙන්නේ නැති බව පිලිගන්න තරම ඔබ නිහතමානී යැයි මම උපකල්පනය කරනවා….

              වර්තමානයේ නිව් එතීස්ට්ලා ලෝක ඉතිහාසය තුල ආගමෙන් වෙච්චි කාර්‍යබාරය හෑල්ලු කරලා කථා කරන මං එකට හිස නමන්නේ නැති කාරණයත් ඕකමයි……

              Like

              • සමාජය තුල සදාචාරාත්මක ප්‍රමේයයක් ව්‍යාප්ත කළ පමණින් එය වනාහී ආගමකින් නොවෙනස් දෙයක් කියන මතයනං පිළිගන්න අමාරුයි..ඇරිස්ටෝටල්, ඉමෑනුවෙල් කාන්ට්, ජෝන් ස්ටුවර්ට් මිල්, සොක්‍රටීස්, ප්ලේටෝ වගේ දාර්ශනිකයින් නානාවිධ සදාචාරාත්මක ප්‍රමේයයයන් ඉදිරිපත් කරලා ප්‍රචලිත කරලා තියනවා….නමුත්, ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද්දේ ආගමක්ය කියා කිසිවෙක් කියන්නෙ නෑ….විශේෂයෙන්ම ඉමෑනුවෙල් කාන්ට් ඉදිරිපත් කෙරූ හර පද්ධතිය ආගමෙන් වියෝ වූ එකක් බවට පත්කරන්න ඔහු උත්සහ කළා…කාන්ට්ට අනුව හොද-නරක වල මූලාශ්‍රය දෙවියන් නොවේ….විචාරයයි.

                Like

                • Mayya says:

                  ඉතින් කුමාර කියන්නේ මං කියන එකමනේ…..කානට් හරි වෙන කවුරු හරි ලියපුවා කියවලා පෘතුල වශයෙන් සමාජය වෙනස් වෙලා නෑනේ….හැබැයි එගෝල්ලෝ කියපුවා සංස්ථාගතව ගොඩ නැගුවා නම් කාන්ට් කියලා ආගමකුත් අපට වර්තමානයේ බලා ගන්න තිව්වා..ඒත් ඒගොල්ල්ලෝ එහෙම කලේ නැති හරි කර ගන්න බැරි උන නිසා හරි ඒ කියපු දේවල් උගතුන් කීප දෙනෙක් පරිශය කරන දේවල් බවට පත් වෙලා…සාමාන්‍ය මිනිහෙක්ගෙන් කාන්ට් කියන්න්නේ කවුද ඇහුවෝත් දෙන උත්තරෙයි…යෙසුස් , බුදුන් ගැන දෙන උත්තරෙනුයි මං කියන්න හදන දේ තේර්ම් ගන්න ලෙස ආරාධනා කරනවා…

                  Like

    • ලිපිය කියවද්දි හිතට ආපු ප්‍රශ්නෙ තමයි රිටිගල කියන කේස් එක. ලිපියෙන් මතුකරන සද්භාවය වෙනුවෙන් සද්භාවී වීම කියන එක මට හිතෙන විදියටත් සාර්ථක නෑ. රිටිගල කියන ගේම් තියරිය ඊට හොඳයි.

      Like

  2. ඒ වගේම මේ ප්‍රශ්නය මතුකලේ (මතක විදියට) මයියා. ඒ වගේම බුදු හාමුදුරුවන්ගෙම දේශනාවකින් මේක අපෝහනය කරන්නත් පුළුවන්. අර, යම් ක්‍රියාවක් කිරීම හොඳද නරකද කියන එක තමන්ටම කිරල මැනල තෝරාගන්න පුළුවන් දේශනාවක් ඒක. තමන්ටත් අන් අයටත් යහපතක් වේද, උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ප්‍රශංසාවට ලක්වේද………. ආදී වශයෙන් තියන දේශනා කොටස (ඒක හරියටම මතක නෑ). නමුත් ඒක “ආගමික” අර්ථදැක්වීමකට වැඩිය එහාට ගිහිල්ල සලකල බලන්න පුළුවන් නිර්වචනයක් (කර්මය වගේ දේවල් අයින් කරල).

    Like

  3. රාජ් says:

    මයියා,
    // ඕන්න ඕක තියරියක් දිහට සමාජයට දන්න ගියාම තමයි ආගම

    හිවන්න්…//
    මට හිතෙන විදියට මයියා කියන කතාව එච්චර නිවැරදි නෑ.
    ආගම් ඇතිවෙන්න මූලික හේතුව උනේ “පරම සත්ය”, “නිවන” ,”ස්වර්ගය” වගේ සංකල්ප විස්තර කිරීම වෙනුවෙන්. සදාචාරය වගේ කාරනා වලට ආගම් වල හිමිවුනේ ඊට පහල ස්තානයක්. උදාහරනයක් විදියට බුද්ධාගමේ මූලික දේ නිවන වෙනකොට පන්සිල්, සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් යුතුකම් වගකීම් වගේ කාරනා දෙවැනි මට්ටමේ දේවල්.

    Like

  4. මයියා කියන කතාවෙත් හිතන්න දෙයක් තියනවා…මයියාගේ තර්කයේ වලංගු අවලංගුභාවය අප විසින් “ආගම“ හා “දර්ශනය“ වගේ වචන වලට දෙන සෛධාන්තික අර්ථකථන මත පදනම් වෙනවා….මේ වචන වලට සෛධාන්තික අර්ථකථන දෙන එක බොහොම අභියෝගාත්මක වැඩක්. අපි “ආගම“ යන වදන “සංස්ථාපිත හර පද්ධතියක්“ කියලා අර්ථදැක්වුවොත් මයියාගේ තර්කය පිළිගන්න පුලුවන්…නමුත් “ආගම යනු සංස්ථාපිත හර පද්ධතියකි“ කියන අර්ථදැක්වීමේ අඩුපාඩු තියනවා….එකක් තමයි රාජ් කියලා තියනවා වගේ ආගම් වල පාරභෞතික පැතිකඩ මේ නිර්වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ නෑ

    Like

  5. Mayya says:

    සාමාන්‍යයෙන් ආගමක් කරන්නේ මොකක් හරි ෆැන්ටසියක් හදලා ඒ ෆැන්ටසි එක ලබා ගන්න යන පාර එහෙමත් නැත්තං හර පද්ධතිය ඩිෆයින් කරන එකයි….ඇත්ට්තටම ෆැන්ටසිය හදන එක වෙන්නේ පස්සෙ…මුලින් ඔය ආගම් හැම ඒකක්ක්ම පටන් අරං තියෙන්නේ මොකක් හරි සමාජ අවශ්‍යතාවයක් මත, ගොඩක් වෙලාවට හර පද්ධතියක් පිහි‍ටුවා ගැනීමේ අවශ්‍යතාවය මත සුලු පිරිසකගෙන්… ඕක ආයතනගත උනාම විශ්වාසය කියන එක ‍රැකගන්න් ඒක එක ආගාම විවිධ මට්ටමේ ස්ථර වලට යනවා,,නැතිනම් ආයතනගත පැවැත්මක් නැති හින්දා.

    කෙසේ නමුත් බුද්ධාගමේ කෙසේ උනත් බුද්ධ දර්ශනයේදි නම් ඔය ෆැන්ටසි එක ඇවිල්ලා මේ ජීවීතයේ සතුට ලබා ගැනීම…නිවන කියන එක වෙනත් ශාස්තෲවරුත් එක එක විදිහට ඩිෆයින් කරත් ඒක බුද්ධ දර්ශන්යේ පෙන්වා දෙන ක්‍රමය බැලුවොත් නම් එතැන තියෙන්නේ තමන්ගේ මනස හික්මවා ගන්නා තත්වය්ක්..බාහිර ලෝකය කොව්ව්හර දරුණු උනත් සතුට තමන්ගේ මනසේ පාලනය මත තෙයෙන්බවක් එයින් පෙන්වනවා..’අත්හැරීම’ තුල මනස පාලනය්ත් ජීවීතයේ සතුට ලබා දීමටත් බුදු දහම ලබා දේන සංවෘත දැනුම් පද්ධතියේ විශේශ ගුණාංගයක්…

    Like

  6. මයියා බුදුදහම ගැන කියපු දේ මට පැහැදිලි මදි….ඒ නිසා ඒ කොටසට පිළිතුරක් නොදී ඉන්න තීරණය කළා…ආගම් හැම එකක්ම සමාජ අවශ්‍යතා මත පදනම්ව පටන්ගන්නවා කියන ප්‍රකාශය නං වියහැකි එකක්..නමුත්, එසේ වූ පමණින් සෑම සමාජ අවශ්‍යතාවයක්ම ආගමකට තුඩුදෙනවා කියලා කියන්න බෑ නේද? ඇතැම් විට, සමාජ අවශ්‍යතා ආගමික නොවන නිරාගමික හර පද්ධති, දේශපාලන හා ආර්ථික දර්ශන වගේ දේවල් වලටත් යීල්ඩ් වෙනවා

    Like

  7. Theist says:

    මිනිසා තුළ බයි ඩිෆෝල්ට් සද්භාවයක් ඇතැයි යන්න විවාදාත්මකයි – කොංගෝවල ගැහැණු ළමුන් හා කාන්තාවන් ඉතාම කුරිරු ලෙස සමූහ දූෂණයට ලක්කරන හමුදා කණ්ඩායම්, ලංකාවේ භීෂණ සමය, අයිසිස් ත්‍රසතයන්ගේ ක්‍රියාකාරකම් ආදිය මිනිසා තුළ පවත්න්නේයැයි කියන “යහපත්“ බව දැඩි විවාදයට භාජනය කරයි – පුනුරුද යුග්‍ය් මේ මිනිසා තුළ ඉන්නේට් සද්භාවය ගැන තිබූ පොදු පිළිගැනීම දැඩි විවේචනයට ලක්කරමින් මාකි්‍යු ද සාද් 120 Days of Sodom නැමැති ඉතාම ජුගුපුස්සාජනක නවකතාවක් රචනා කළේය .
    එහෙත් සමස්ත ලෝකයෛ් බිලියන ගනනක් වන මිනිස් ගහනය සමඟ සසඳන විට මෙවැනි මිනිස්බවට තරම් නොවන ක්‍රියාවන් සිදු කරන්නේ කෙතරම් සුළු පිරිසක්ද යන්න ප්‍රතිතර්කයක් ලෙස ඉදිරිපත් කළ හැක. අද ලෝකයේ දිළින්දනක් , අවවරප්‍රසාදිත කොටස් වෙනුවෙන් සහෝදර මානව ගහනය සිදු කරන විවිධ වූ සද්කටයුතු මානව දයාව ගැන අපේ හැඟීම් අවදි කරවයි – මෙරට සුනාමි ව්‍යසනය මෙවැනි එක් අවස්ථාවකි – 1983 කළු ජූලියේදි සහෝදර දෙමළ ජනතාව ගලවාගැනීමට සිංහලයන්ම ඉදිරිපත් වූ හ. ඔස්කා ෂින්ඩ්ලර් මෙන්ම නැන්ජිං සංහාරයේදී එම නගරයේ ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත්වූ ජර්මානු ජාතිකයාද මිනිස් බවේ උපරිම අවස්ථා බව මගේ හැඟිමයි.
    මෙම ස්වභාවයෙන් ඇතිවන යම් සද්භාවයක් මිනිසා තුළ පැවතුනද එය කුළුගැන්වීමට ආගමික උගැන්වීම් ද පිටුවහලක් සපයන බව මගේ හැඟීමයි. ඒ ස්වර්ගයේ මහාසම්පත් හෝ නිර්වාණය ගැන අපේක්ෂා නිසාම නොවේ – බොහෝවිට අදේවවාදීන් /නිර්ආගමිකයන් ආගම් පටු ලෙස විවේචනය කිරීමට තැත්කරන තැනකි මේ – උදාහරණයකය ජේසුතුමා දේශනා කරන ලද යහපත් සමාරිතයාගේ කතාව නම් ජනප්‍රිය කතාව ගනිමු – එහි අදාළ සමාරියානුවා විපතට පත් මඟියෙක් ගලවා ගන්නේ ස්වර්ගයේ සැපසම්පත් ගැන විස්වාසයෙන් හෝ දෙවියන්වහන්සේට ඇති බිය හෝ නිසා නොවේ – ඔහු තුළ ඇති මානව දයාව නිසාය . “පොළොවේ ලුණු මෙන් වන්න“ යැයි බයිබලය පවසන්නේ සහෝදර මිනිස් වර්ගයාට වැඩදායක පුද්ගලයෙක් ලෙස ජීවත් වන්න යන අර්ථයෙනි .
    මගේ පුද්ගලික අදහස අප හොඳ විය යුත්තේ අපේ සහෝදර මිනිස් වර්ගයාට වැඩදායක එමෙන්ම සමාජයටද වැඩදායක පුද්ගලයෙක් බවට පත්වීමේ මූලික අභිප්‍රාය නිසාය – ඒ මිස මරණින් මතු සැපවත් ජීවිතයක් ගත කිරීම ආදී පටු පරමාර්ථවලට සිර වීම ආත්මාර්තකමකි . අප වඩාත් ප්‍රීති විය අප නිසා තවත් අයෙක් යම් සැනසිමක් ලබයි නම් ඒ නිසාය

    Like

  8. Atheism යන්නෙහි තේරුම අදේවවාදය මිසක , නිරාගමික බව නොවේ .
    මෙවන් සාවද්‍ය විකුර්ති කිරීම් කිරීමට පෙර atheism ඉගෙන ගන්න

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s