දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ මෙකී හේතුව නිසාය. කෙසේවෙතත්, මෙම ලිපි පෙල තුලින්, මම බලාපොරොත්තු වන්නේ “දර්ශනය” යන වචනය දාර්ශනික විවරණයකට බදුන් කිරීම නොවේ. මෙම ලිපි පෙලේ අරමුණ වන්නේ දර්ශනය යන විෂය පිළිබදව හා එම විෂයේ අන්තර්ගතය හා පරාසය ගැන “දළ අදහසක්” ඉදිරිපත් කිරීමයි.

ඉංග්‍රීසි භාෂාවේ ඇති “philosophy” යන වදන වනාහී පුරාතන ග්‍රීක භාෂාවෙන් බිදී එන්නකි. එහි වචනාර්ථය වනුයේ “උගත්කමට ඇති ආදරය” යන්නයි. දර්ශනයේ ඉතිහාසය පිළිබදව වන ප්‍ර‍වාදයන්ට අනුව, මුලින්ම, තමාව හදුන්වාගැනීම පිණිස, “philosopher” යන වචනය යොදාගෙන ඇත්තේ පයිතගරස්ය. එසේම, ජනප්‍රවාදයන්ට අනුව, “ඔබ උගතෙක්ද?” යැයි යමෙක් පයිතගරස්ගෙන් ඇසූ විට ඔහු ඊට දී ඇති පිළිතුර වන්නේ දෙවියෙකු මිස සාමාන්‍ය මිනිසෙකු වනාහී සැබෑ උගතෙකු නොවන බවයි. එසේවුවද, තමා වනාහී උගත්කමට ආදරය කරන “උගත්කමේ රසිකයෙකු” යැයි පයිතගරස් විසින් කියා ඇත. පයිතගරස් විසින් “philosopher” යන වදන හදුන්වාදුන්නද එය ප්‍ර‍චලිත කරනු ලැබූවේ සොක්‍ර‍ටීස් විසිනි. මේ අනුව, දාර්ශනිකයෙකු යනු උගත්කමට ඇලුම් කරන පුද්ගලයෙකුයි.

එමෙන්ම, දාර්ශනිකයන් විසින් “විශ්වය මැවූ දෙවිකෙනෙකු සිටීද? ” හා “මානව ජීවිතයට අර්ථයක් තිබේද?” යනාදී ප්‍ර‍ශ්න සාකච්ඡාවට ලක්කරන බව අප කවුරුත් දනිමු. මෙවන් ප්‍ර‍ශ්න “දාර්ශනික ප්‍ර‍ශ්න” ලෙස සැළකීමට හේතුව කුමක්ද? පිළිතුර නම්, මෙවන් ප්‍ර‍ශ්න වනාහී දෙවියන්, අර්ථය බදු ඉතාමත් මෞලික සංකල්ප කේනද්‍ර‍ කරගත් ඒවා වීමය. චිත්ත පර්යේෂණයක් ලෙස, “බෙහෙත් තෙල් කුප්පිය ඇත්තේ කොහිද?” යන ප්‍ර‍ශ්නය හා “සැබෑ සතුට ලැබිය හැක්කේ කුමන මාර්ගයකින්ද?” යන ප්‍ර‍ශ්නය සළකන්න. මෙම ප්‍ර‍ශ්නයන් දෙක එකිනෙකින් ඉතා වෙනස්ය. මින් පළමුවැන්න වනාහී සංයුක්තවූත් ස්පර්ශනීයවූත් බෙහෙත් තෙල් කුප්පියක් පිළිබදව වන ගැටලුවකි. දෙවැන්න, වනාහී වියුක්තවූත් නොපැහැදිලිවූත් “සතුට” යන සංකල්පය ආශ්‍ර‍ය කොටගත් ගැටලුවකි. අප විසින් අපගේ සංකල්පීය නිම්වළලු සංයුක්ත හා ප්‍ර‍ත්‍යක්ෂ වන අදහස් වලට පමණක් සීමාකරන්නේ නම් අප විසින් කෙදිනකවත් “බෙහෙත් තෙල් කුප්පිය ඇත්තේ කොහිද?” යන්නට වඩා සංකීර්ණ ප්‍ර‍ශ්න නොඅසනු ඇත. මින් පෙනීයන කරුණක් නම්, සැබෑ දාර්ශනික ගැටලු වනාහී වියුක්ත හා වඩා මෞලික සංකල්ප ආශ්‍ර‍ය කොටගත් ඒවා බවයි. මෙම කරුණු මත පදනම්ව අපට “දර්ශනය” යන වදනට තවත් අර්ථකථනයක් ලබාදිය හැකිය. එනම්, දර්ශනය යනු වියුක්ත හා මෞලික සංකල්ප ගැන මෙන්ම මානව ජීවිතයට ඒවායේ ඇති අදාලත්වය පිළිබදව වන්නා වූ ගැඹුරු අධ්‍යනයයි.

එක් අතකින් බැලූ කල, අප සමාජයේ වෙසෙන සියලු දෙනා දාර්ශනිකයෝය. මන්දයත්, අප කවුරුත් ස්වඡන්දය, මනස හා මොලය, දෙවියන්ගේ පැවැත්ම, හොද නරක යනාදී විවිධ දාර්ශනික මාතෘකා පිළිබදව වන නානාප්‍ර‍කාර දාර්ශනික නිගමනයන්ට එළඹ ඇති බැවිනි. එසේවුවද, අප අතරින් බොහෝ දෙනා මෙකී දාර්ශනික නිගමන වලට එළඹ ඇත්තේ ඒ ඒ දාර්ශනික ගැටලු පිළිබදව පුළුල් හා ගැඹුරු අධ්‍යනයක් කිරීමෙන් පසුව නොවේ. බොහෝදෙනා සිය දාර්ශනික විශ්වාස වලට එළඹෙන්නේ හෙම්බිරිස්සාව වැනි රෝගයක් වැළදගන්නා ආකාරයටය. හෙම්බිරිස්සාව ඇතිකරන වෛරසය සැළකුවහොත්, එය වනාහී මුලින්ම අප අවට පරිසරයේ පමණක් තියෙන දෙයක් වන අතර අප විසින් නොදැනුවත්වම එය අප තුලට සමාග්‍ර‍හණය (internalize) කරගැනීම සිදුකරනු ලබයි. එලෙසම, අපගේ දාර්ශනික විශ්වාසයන් හා නිගමනයන් වනාහී අපගේ සංස්කෘතියේ හා ආගමේ අන්තර්ගත දෑ වන අතර අප විසින් නොදැනුවත්වම ඒවා සමාග්‍ර‍හණය කරගෙන ඇත. මෙලෙස, අප විසින් නොදැනුවත්වම සමාග්‍ර‍හණය කරගෙන ඇති නානාවිධ දාර්ශනික විශ්වාසයන් වනාහී සැබවින්ම යුක්තියුක්ත කර ඇති ඒවාදැයි යම් විමසීමකට භාජනය කිරීම අප විසින් “දර්ශනය” යැයි හදුන්වනු ලැබේ.

මෙතෙක් සිදුකරනු ලැබූ කරුණු දැක්වීම් හරහා අපට “දර්ශනය” යන වදන සදහා මාන තුනක් ඔස්සේ විහිද යන ත්‍රිමාන අර්ථකථනයක් ලැබී ඇත. එනම්, “දර්ශනය” යනු,

  • උගත්කමට ඇලුම් කිරීමයි.

  • වියුක්ත හා මෞලික සංකල්ප ගැන මෙන්ම මානව ජීවිතයට ඒවායේ ඇති අදාලත්වය පිළිබදව වන්නා වූ ගැඹුරු අධ්‍යනයයි.

  • අපගේ ලෝකදැක්මේ ඇති මූලික දාර්ශනික විශ්වාස තාර්කිකව යුක්තියුක්ත කර ඇතිදැයි විමසා බැලීමයි.

  • මෙම ලිපි පෙලේ දෙවැනි ලිපියෙන් අප දර්ශනය නැමති විෂයේ අන්තර්ගතය හා පරාසය පිළිබදව අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    ලිව්වේ – අසීයා මිතුරුසිංහ

    Advertisements
    This entry was posted in දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

    2 Responses to දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

    1. mayya says:

      දාර්ශණිකයෙකුට තමන්ගෙ දර්ශණය සෑම විටම ඔප්පු කර පෙන්වන්න බැහැ නේද…? ඒ වගේම දර්ශණය කියන දේ ඇති වෙන්නෙම එහෙම ඔප්පු කරලා පෙන්වන්න බැරි උත්තර කීපයක් එකම ප්‍රශ්ණෙට තියෙන හින්දා නේද?

      විද්‍යාඥයෙක් ගත්තම මේ තත්වය වෙනස් නේද…ඔහුගේ හයිපොතෙසිස් එක සෑම විටම කිසියම් විදිහටක මහපොලොවේදී ඔප්පු කර පෙන්විය යුතුයි නේද?

      Like

    2. මහාපොලොවේදී ඔප්පු කර පෙන්විය යුතුය කියලා ඔතන අදහස් කරේ “පර්යේෂණ“ හරහා යම් විද්‍යා උපකල්පනයක් සනාථ කර දැක්වීම කියලා මම හිතනවා….හ්ම්ම්… හැබැයි ඒක එහෙම විය යුතුද නැද්ද කියන එකත් දාර්ශනික ගැටලුවක්…හේතුවාදීන්ට අනුව විද්‍යාව පර්යේෂණ මතම පදනම් විය යුතු නෑ….පර්යේෂණ කියන එක විද්‍යාවේ ultimate deciding factor එක විය යුතුයි කියන්නෙ අනුභූතිකවාදීන්…දැන් බලන්න ඇල්බට් අයින්ස්ටයින් හේතුවාදියෙක්..ඔහු ඉදිරිපත් කළ සාපේක්ෂතාන්‍යාය තනිකරම විචාරය මත පදනම් වූවක් විනා පර්යේෂණ මත පදනම් වූවක් නොවේ…පසුකාලීනව ඒ තියරි එකට experimental support එකක් ලැබුණු බව ඇත්ත හැබැයි!

      දාර්ශනිකයෙක් අනිවාර්යයෙන්ම සිය දර්ශනය යුක්තියුක්ත කල යුතුයි….නැත්නං ඒක දර්ශනයක් නෙවෙයි නිකංම හිතලු සමුදායක් වෙනවනෙ 🙂

      Like

    පාඨක ප්‍රතිචාර...

    Fill in your details below or click an icon to log in:

    WordPress.com Logo

    You are commenting using your WordPress.com account. Log Out / Change )

    Twitter picture

    You are commenting using your Twitter account. Log Out / Change )

    Facebook photo

    You are commenting using your Facebook account. Log Out / Change )

    Google+ photo

    You are commenting using your Google+ account. Log Out / Change )

    Connecting to %s