රසායන විද්‍යාඥයන්ට මෙන්, ගණිතඥයන්ට පර්යේෂණාගාර අනවශ්‍ය ඇයි? ගණිතඥයින් යම් යම් ගණිතමය සත්‍යතාවයන් දැනගන්නේ කෙසේද? සමතලා පෘෂ්ඨයකදී, සියලු ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් බව අප ඉගෙනගතිමු. මෙම ප්‍රකාශය සාක්ෂි සහිතව ස්ථාපනය කරන්නේ කෙසේද? අපට කඩදාසි ත්‍රිකෝණ සිය ගණනක් කපා කෝණමානයකින් ඒවායේ කෝණ මැන ඉහත ප්‍රකාශය ඔප්පු කළ හැකිද? එසේ කරත්, අපට දැනගන්නට ලැබෙන්නේ අප විසින් කැපූ ත්‍රිකෝණ වල කෝණ වල ඓක්‍යය අංශක 180ක් බව විනා සියලු සමතලා ත්‍රිකෝණ වල කෝණ වල ඓක්‍යය අංශක 180ක් වන බව නොවේ. එසේනම්, සියලු සමතලා ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව සොයාගැනීමට සමතලා ත්‍රිකෝණ රාශියක් නිරීක්ෂණයට බදුන් කළ යුතු නොවන්නේ මන්ද?
මෙකී ප්රශ්නයන් වනාහී පුරාතන යුගයේ මෙන්ම වර්තමානයේද “හේතුවාදය” නමින් හැදින්වෙන දාර්ශනික ස්ථාවරය ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූ ප්රශ්නයන්ය. එසේවුවද, දාර්ශනික සන්දර්භයෙන් බාහිරව, “හේතුවාදය” යන වදන තරමක් ලිහිල් ලෙසද අප සමාජය තුල භාවිතා වේ. “හේතුවාදය” යන වදනේ මෙම එකිනෙකට වෙනස් භාවිතයන් දෙක වෙන් කර හදුනාගැනීම අප විසින් කළයුතුමය. ඒ අන් කවරටවත් නොව, සංවාදයන් තුල හටගන්නා පටලවාගැනීම් දුරු කරගැනීම උදෙසාය.
දාර්ශනික සන්දර්භයන්ගෙන් පිටත, එදිනෙදා ජීවිතය තුල, “හේතුවාදය” යන වදන යෙදෙන්නේ මා කලින් සදහන් කල පරිදි තරමක් ලිහිල් ලෙසය. අදේවවාදය, නිරාගමිකත්වය, විද්‍යාවට මුල්තැන දීම, හා “මිථ්‍යාවන්ට” එරෙහිවීම යන කරුණු මෙකී “හේතුවාදය” යටතට ගැනේ. මෙය දාර්ශනික වශයෙන් නොගැඹුරු ස්ථාවරයකි. එමෙන්ම, මෙය මෑතකදී පැනනැගුනු සමාජ කතිකාවකි. කොවුර් වැනි අය මෙම “හේතුවාදය” ශ්‍රී ලාංකේය සමාජය තුල ප්‍රචලිත කලේය. සංවාදයේ පහසුව තකා සහ පටලැවිල්ල ලිහා ගැනීම උදෙසා, අප විසින් මෙම “හේතුවාදයට”, සාමාන්‍ය හේතුවාදය යනුවෙන් නම් තබමු.
සාමාන්‍ය හේතුවාදයට වඩා අධ්‍යාපනික කුහුලක් ඇතිකිරීමට සමත්වන්නේ හා සාමාන්‍ය හේතුවාදයට වඩා අප ජීවිතයට බලපාන්නේ දාර්ශනික හේතුවාදයයි. මෙකී දාර්ශනික හේතුවාදය වනාහී ලිපිය ආරම්භයේ සදහන් කර ඇති ආකාරයේ ප්‍රශ්න වලින් පැනනැගුනු දාර්ශනික ස්ථාවරයක්ය. ගණිත කරුණු වල සත්‍ය-අසත්‍යභාවය දැනගන්නේ නිරීක්ෂණයන් හරහා නොව ශුද්ධ විචාරය හරහාය යන ප්‍රස්තුථය “මානව දැනුම ප්‍රධාන කොට ලැබෙන්නේ විචාරය හරහාය” යන ප්‍රස්තුථය දක්වා වර්ධනය කිරීම වනාහී දාර්ශනික හේතුවාදයයි.
බොහෝ දාර්ශනික සන්දර්භයන් තුල, මෙලෙස විස්තර කරන ලද දාර්ශනික හේතුවාදය හැදින්වීමට “හේතුවාදය” යන වචනය යොදාගනී. නමුත්, කොවුර් වැනි අය ප්‍රචලිත කල සාමාන්‍ය හේතුවාදය මෙකී දාර්ශනික හේතුවාදයට වඩා ලංකාව තුල ප්‍රචලිත වීම නිසාදෝ බොහෝ ශ්‍රී ලාංකික ජනයා තුල දාර්ශනික හේතුවදය පිළිබද අවබෝදය අඩුය. වචන වල භාවිතය සම්බන්ධයෙන් පටලැවිල්ලක් හටගෙන ඇත්තේ ඒ නිසාය. මෙම ලිපියෙන් එම පටලැවිල්ල තරමක් දුරට හෝ නිරාකරණය වූයේ යැයි සිතමි.
ලිව්වේ – අසීයා මිතුරුසිංහ