අද පෝය!!!

අද පෝය!!! ඒ කිව්වෙ, භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස. ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක.

පූජකයන් හරි, භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මුහුදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක්. ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද, මනුස්සයෙක්ට මෝඩයෙක් වෙන්නත් අයිතිය තිබිය යුතු නිසා සහ මිනිස්සුන්ට මෝඩ වැඩ කිරීමට තියෙන අයිතිය වෙනුවන් අපි පෙනී සිටිය යුතු නිසා. මොකද හැමෝටම “නිදහස් මිනිස්සු” වෙන්න කියලා බල කරන්න බැහැ. එනිසා, කැමති අයට කැමති මහදැනමුත්තෙක්ගේ උපදෙස් අරගෙන ඒවා තමාගේ ජීවිතය තුළ පිළිපදින්න පුළුවන් – අනිත් අයට හානියක් හරි බලපෑමක් හරි නොවන විදියට.

අවුල තියෙන්නේ, තමා මහදැනමුත්තෝ කියල හිතාගෙන ඉන්න අය කිව්ව පළියට හැමෝටම ඒ පඬිවදන් අනුගමනය කරන්න කියලා බලකරන්න යන එකේ හා සමාජයේ නීතිරීති වගේ දේවල් ඒ පඬිවදන් මත පදනම් වෙමින් හදන්න, පවත්වාගෙන යන්න හදන එකෙයි.

හරි නම් වෙන්න ඕන පණ්ඩිතයෙක්ගේ පඬිවදන් උපුටා දක්වමින් ඒ වදන් පණ්ඩිතයෙක්ගේ කටින් කියපු ඒවා නිසාම එහෙම කරන්න ඕනෑය කියන එක නෙමේ. අවංක සංවාදයකින්, බුද්ධිමත් කරුණු දැක්වීම් වලින්, තර්කානුකූලව ඉදිරිපත් කෙරෙන විචාර වලින් නිගමන වලට එන එකයි (ඕක ඉතින් ලංකාවේ නොවෙන එක වෙනම කතාවක්).

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, යම් පූජකයෙක් හෝ භික්ෂුවක් යම් දෙයක් ගැන තමා පිළිගන්නවා කියල කියන ආගම හරි දර්ශනය තුළින් ඒ ඉගැන්වීම් හුවා දක්වමින් කතා කරන එක සාධාරණයි. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. ඔවුන්ගේ පැවැත්ම රඳාපවතින්නේ ඒ මත. උදාහරණයක් විදියට, මිනීමරන එකෙන් වැළකිය යුතුය, මිනීමැරුවොත් ඒකේ පලවිපාක මෙහෙමයි කියලා ආගමික ඉගැන්වීම් හුවා දක්වමින් ඒවා තමාගේ අනුගාමිකයන්ට කියලා දෙන එක සාධාරණයි. මොකද කිව්වොත්, ඒ ආගමික ඉගැන්වීම් වල සත්‍ය-අසත්‍ය බව කෙසේවෙතත් මිනීමරන එකෙන් වළකින එකෙන් සමාජයට “හොදක්”වෙන බව අත්දැකීමෙන් කවුරුත් දන්න නිසා.

ඒත් “ගෑණු අය කොටට අඳින්න හොඳ නැහැ, මොකද සංස්කෘතියට කෙළවෙන නිසා” වගේ කතාවක් භික්ෂුවක් කියනවා නම් හරි නම් ඒක එච්චර සීරියස් ගන්න ඕන කතාවක් නෙමේ. මොකද ගෑණු කොටට ඇඳීම හෝ නොඇඳීම කියන එක ගැන කතිකාවත ඇතිවෙන්න ඕන ආගමික පදනමකින් නෙමේ. ඒක ගැන කතිකාවත එන්නේ වෙනස් පදනමකින්. එතනදී, භික්ෂුවකගේ මතය සමාන වෙන්නේ තවත් එක් පුද්ගලයෙකුගේ මතයට පමණයි. ඔන්න බුදුහාමුදුරුවො කියල තියෙනවා නම් කොටට අඳින්න එපා කියලා ඒ බණ පදය කටපාඩමින් ඇදලා අරින එක වෙනම කතාවක්. ඒත් මම දැනුවත්ව එහෙම දෙයක් කියලා නෑ. බැරි වෙලාවත් එහෙම කියලා තියෙනවා නම් වෙන උදාහරණයක් ගමු!

තව එකක් ඔන්න ඔහේ කියලා දාන්නම්. අද බුදුබණ කියන එක පත්වෙලා තියෙන්නේ සමාජයේ තියෙන තවත් එක බොරු ෂෝ වලින් එකක් ගානට. බණ කියන අය බණ කියන්නේත් බොරුවට. බණ අහන උන් බණ අහන්නේත් බොරුවට. කියන උන්වත් අහන උන්වත් දෙගොල්ලොම බණ පිළිපදින්නේ නැහැ. පිළිපදින්න උවමනාවකුත් නැහැ. කට්ටිය සෙට් වෙලා “අනේ අපේ බුදුන්ගේ දර්ශනය කොච්චර නම් සිරාද? මාරද?” කියලා කියමින් “බුදුබණ වෙනුවන් හයියෙන් සාධුකාරයක් දෙන්න බලන්න” යැයි කෑගහමින් සාධුකාර දෙනවා. ආතල් එකක් ගන්නවා. එච්චරයි. නැද්ද? ටිකක් විතර උපකල්පිත සාදෘශ්‍යයක් ගත්තොත්, හරියට ජිම් එකක් ඉස්සරහට ගිහින් එළියට වෙලා “අනේ මේ ජිම් එක මාරයි. ව්‍යායාම කරන මැෂින් හේම ඔක්කෝම ගානට තියෙනවා. නියමයි ඈ” කිය කිය එළියට වෙලා ඉන්නවා වගේ වැඩක්. ජිම් එක සිරා නිසා ජිම් එක ආරක්ෂා කරගන්න කිය කිය එළියේ ඉඳගෙන මරා ගන්නවා වගේ වැඩක්. අන්තිමට බල්ද්දී, ජිම් එක ඇතුලේ ව්‍යායාම කරන්න බල්ලෙක්වත් නෑ. ජිම් එකේ මකුළුදැල් බැඳිලා. පාළුවට ගිහින්. කට්ටිය එළියේ ඉඳගෙන ජිම් එක ගැන ගුණ වයනවා. ඔන්න ඔහොම සීන් එකක් තමා අද වෙලා තියෙන්නෙ.

මොනවා වුනත් හදිසියේ හරි බුදුන්වහන්සේ අද වෙන දේවල් දැක්කා නම්, තමාගේ භික්ෂු ශාසනයේ ඈයෝ නිවන් මග සොයනවා වෙනුවට, තමන් සාරාසංඛ කල්ප බර ගානක් පට්ටම කට්ටක් කාලා හොයාගත්තු දර්ශනය ගිහියන්ට දේශනා කරනවා වෙනුවට, කොහේදෝ තියෙන රටවල, ජාතීන්, සංස්කෘතීන් වලට ඇලිලා, මෝහයෙන් අන්ධ වෙලා සමහර ගිහියන්ටත් වඩා චාටර් තත්වයට වැටිලා ඉන්න හැටි දැක්කා නම්, උන්වහන්සේ එතනම හාර්ට් ඇටෑක් එකක් හැදිලා ඔන් ද ස්පොට් පිරිනිවන් පාන එක නම් බුදුම ශුවර් බවත් කියන්න ඕන (පොඩි විහිලුවක් විතරයි. දෙන මැසේජ් එක ගන්න. කේන්ති යනවා නම්, උපේක්ෂාව ප්‍රගුණ කරන්න. ඒ ක්‍රමය සංකීර්ණ වැඩිනම්, හොඳ හුස්මක් අරගෙන එකේ ඉඳලා දහයට ගනින්න).

පසුව ලිවීම – මේ සටහන බුකියේ දාලා ටික වෙලාවකින් මෙහෙම ප්‍ර‍තිචාරයක් ලැබුනා. “අද ලෝක ඒඩ්ස් දිනය. ජීවිතේට ඒඩ්ස් හැදිච්ච නැති දොස්‍තරලා කියාගන්න පිරිසක් ඒඩ්ස්වලින් බේරිලා ජීවත්වෙන විදිය කියාදෙන දවස” යනුවෙන්. බැලුබැල්මට මේක හොද ප්‍ර‍තිතර්කයක් වගේ පෙනුනට මේකෙ හෙන අවුලක් තියනවා. ඒ අවුල විස්තර කරන්න තරමක් දාර්ශනික තලයකට සංවාදය අරන් යන්න වෙනවා. මුලින්ම අපි, දැනුමේ ප්‍රභේද – ඒ කිව්වෙ එක එක ආකාරයේ දැනුම – හදුනගෙන ඉන්න ඕන. දැනුම අපිට “propositional knowledge” සහ “skills” යනුවෙන් වර්ග කරන්න පුලුවන්. “මම බයිසිකල් පදින්න දන්නවා” කියලා යමෙක් කියන කොට ඔහු එතනදි අදහස් කරන්නෙ අර දෙවනියට කියපු “skills” කියන කැටගරි එක යටතට ගැනෙන දැනුම. නමුත්, ඒඩ්ස් පිළිබද දැනුම හා ඒඩ්ස් වැලැක්වීම ගැන දැනුම ගැනෙන්නේ “propositional knowledge” කාණ්ඩය යටතට. ඒ නිසා මේ සංසන්දනය වලංගු නෑ. භික්ෂූන් කරන්නේ ජීවත් වෙන විදිය, පවුල් කන විදිය ගැන උපදෙස් දෙන එක මිසක් ජීවත් වීම හෝ පවුල් කෑමට අදාල වන “propositional knowledge” බෙදාහරින එක නෙවේ.

ලිව්වේ – ජේමිස් බණ්ඩා

This entry was posted in කාලීන, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

4 Responses to අද පෝය!!!

  1. jagath pathirana says:

    මම සිංහල ජාතිකවාදියෙක්.
    මම පාරේ යනකොට මට බඩගිනි වෙනවා.
    ඒ ප්‍රදේශයේ තියෙන්නේ කඩ දෙකයි.
    එකක් හාමුදුරු කෙනෙක් දාපු බත් කඩයක්
    අනික නිර් ආගමිකයෙක් දාපු හාර්ඩ්වෙයා එකක්.
    බත්කඩේ කෑම කොච්චර සවුත්තු වුනත් මම යන්නේ බත්කඩේට.
    නිර්ආගමිකයට මං වගේ අයව ඌ ගාවට ගෙන්නගන්න ඕනෙ නම් එයාට තියෙන්නේ කෑම කඩයක් දාගන්න.

    කතෝලික සහ මුස්ලිම් ආගම්වල ලක්ෂණයක් වන්නේ ඒවා ජාතිකත්වයන්ට විරුද්ධ වීමයි.
    යුරෝපය තුල සහ තුර්කියේ නිර්ආගමිකත්වය ජනප්‍රිය වුනේ එය ජාතිකවාදයට උදව්වුන නිසයි.
    නමුත් සිහල බෞද්ධයන්ට එහෙම ප්‍රශ්ණයක් නෑ.
    ඉහත ලිපියේ දක්වා ඇති ආකාරයේ අදහස්වලින් වෙන්නේ නිර්ආගමිකත්වය සිංහලයන්ට එපාවීම විතරයි.

    Like

  2. කාට කවුරු එපාවුනත් ඇත්ත ප්‍ර‍කාශ කරන්න එපැයි සහෝ!!

    Like

  3. jagath pathirana says:

    හෙළ හවුල කියන්නේ නිර්ආගමික ජාතිකවාදී සංවිධානයක්.

    Like

  4. Isaiah Mithurusinghe says:

    හෙළ හවුලෙ අය නිරාගමික ජාතියේ ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නවද

    Like

පාඨක ප්‍රතිචාර...