අද පෝය!!!

අද පෝය!!! ඒ කිව්වෙ, භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස. ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක.

පූජකයන් හරි, භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මුහුදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක්. ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද, මනුස්සයෙක්ට මෝඩයෙක් වෙන්නත් අයිතිය තිබිය යුතු නිසා සහ මිනිස්සුන්ට මෝඩ වැඩ කිරීමට තියෙන අයිතිය වෙනුවන් අපි පෙනී සිටිය යුතු නිසා. මොකද හැමෝටම “නිදහස් මිනිස්සු” වෙන්න කියලා බල කරන්න බැහැ. එනිසා, කැමති අයට කැමති මහදැනමුත්තෙක්ගේ උපදෙස් අරගෙන ඒවා තමාගේ ජීවිතය තුළ පිළිපදින්න පුළුවන් – අනිත් අයට හානියක් හරි බලපෑමක් හරි නොවන විදියට.

අවුල තියෙන්නේ, තමා මහදැනමුත්තෝ කියල හිතාගෙන ඉන්න අය කිව්ව පළියට හැමෝටම ඒ පඬිවදන් අනුගමනය කරන්න කියලා බලකරන්න යන එකේ හා සමාජයේ නීතිරීති වගේ දේවල් ඒ පඬිවදන් මත පදනම් වෙමින් හදන්න, පවත්වාගෙන යන්න හදන එකෙයි.

හරි නම් වෙන්න ඕන පණ්ඩිතයෙක්ගේ පඬිවදන් උපුටා දක්වමින් ඒ වදන් පණ්ඩිතයෙක්ගේ කටින් කියපු ඒවා නිසාම එහෙම කරන්න ඕනෑය කියන එක නෙමේ. අවංක සංවාදයකින්, බුද්ධිමත් කරුණු දැක්වීම් වලින්, තර්කානුකූලව ඉදිරිපත් කෙරෙන විචාර වලින් නිගමන වලට එන එකයි (ඕක ඉතින් ලංකාවේ නොවෙන එක වෙනම කතාවක්).

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, යම් පූජකයෙක් හෝ භික්ෂුවක් යම් දෙයක් ගැන තමා පිළිගන්නවා කියල කියන ආගම හරි දර්ශනය තුළින් ඒ ඉගැන්වීම් හුවා දක්වමින් කතා කරන එක සාධාරණයි. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. ඔවුන්ගේ පැවැත්ම රඳාපවතින්නේ ඒ මත. උදාහරණයක් විදියට, මිනීමරන එකෙන් වැළකිය යුතුය, මිනීමැරුවොත් ඒකේ පලවිපාක මෙහෙමයි කියලා ආගමික ඉගැන්වීම් හුවා දක්වමින් ඒවා තමාගේ අනුගාමිකයන්ට කියලා දෙන එක සාධාරණයි. මොකද කිව්වොත්, ඒ ආගමික ඉගැන්වීම් වල සත්‍ය-අසත්‍ය බව කෙසේවෙතත් මිනීමරන එකෙන් වළකින එකෙන් සමාජයට “හොදක්”වෙන බව අත්දැකීමෙන් කවුරුත් දන්න නිසා.

ඒත් “ගෑණු අය කොටට අඳින්න හොඳ නැහැ, මොකද සංස්කෘතියට කෙළවෙන නිසා” වගේ කතාවක් භික්ෂුවක් කියනවා නම් හරි නම් ඒක එච්චර සීරියස් ගන්න ඕන කතාවක් නෙමේ. මොකද ගෑණු කොටට ඇඳීම හෝ නොඇඳීම කියන එක ගැන කතිකාවත ඇතිවෙන්න ඕන ආගමික පදනමකින් නෙමේ. ඒක ගැන කතිකාවත එන්නේ වෙනස් පදනමකින්. එතනදී, භික්ෂුවකගේ මතය සමාන වෙන්නේ තවත් එක් පුද්ගලයෙකුගේ මතයට පමණයි. ඔන්න බුදුහාමුදුරුවො කියල තියෙනවා නම් කොටට අඳින්න එපා කියලා ඒ බණ පදය කටපාඩමින් ඇදලා අරින එක වෙනම කතාවක්. ඒත් මම දැනුවත්ව එහෙම දෙයක් කියලා නෑ. බැරි වෙලාවත් එහෙම කියලා තියෙනවා නම් වෙන උදාහරණයක් ගමු!

තව එකක් ඔන්න ඔහේ කියලා දාන්නම්. අද බුදුබණ කියන එක පත්වෙලා තියෙන්නේ සමාජයේ තියෙන තවත් එක බොරු ෂෝ වලින් එකක් ගානට. බණ කියන අය බණ කියන්නේත් බොරුවට. බණ අහන උන් බණ අහන්නේත් බොරුවට. කියන උන්වත් අහන උන්වත් දෙගොල්ලොම බණ පිළිපදින්නේ නැහැ. පිළිපදින්න උවමනාවකුත් නැහැ. කට්ටිය සෙට් වෙලා “අනේ අපේ බුදුන්ගේ දර්ශනය කොච්චර නම් සිරාද? මාරද?” කියලා කියමින් “බුදුබණ වෙනුවන් හයියෙන් සාධුකාරයක් දෙන්න බලන්න” යැයි කෑගහමින් සාධුකාර දෙනවා. ආතල් එකක් ගන්නවා. එච්චරයි. නැද්ද? ටිකක් විතර උපකල්පිත සාදෘශ්‍යයක් ගත්තොත්, හරියට ජිම් එකක් ඉස්සරහට ගිහින් එළියට වෙලා “අනේ මේ ජිම් එක මාරයි. ව්‍යායාම කරන මැෂින් හේම ඔක්කෝම ගානට තියෙනවා. නියමයි ඈ” කිය කිය එළියට වෙලා ඉන්නවා වගේ වැඩක්. ජිම් එක සිරා නිසා ජිම් එක ආරක්ෂා කරගන්න කිය කිය එළියේ ඉඳගෙන මරා ගන්නවා වගේ වැඩක්. අන්තිමට බල්ද්දී, ජිම් එක ඇතුලේ ව්‍යායාම කරන්න බල්ලෙක්වත් නෑ. ජිම් එකේ මකුළුදැල් බැඳිලා. පාළුවට ගිහින්. කට්ටිය එළියේ ඉඳගෙන ජිම් එක ගැන ගුණ වයනවා. ඔන්න ඔහොම සීන් එකක් තමා අද වෙලා තියෙන්නෙ.

මොනවා වුනත් හදිසියේ හරි බුදුන්වහන්සේ අද වෙන දේවල් දැක්කා නම්, තමාගේ භික්ෂු ශාසනයේ ඈයෝ නිවන් මග සොයනවා වෙනුවට, තමන් සාරාසංඛ කල්ප බර ගානක් පට්ටම කට්ටක් කාලා හොයාගත්තු දර්ශනය ගිහියන්ට දේශනා කරනවා වෙනුවට, කොහේදෝ තියෙන රටවල, ජාතීන්, සංස්කෘතීන් වලට ඇලිලා, මෝහයෙන් අන්ධ වෙලා සමහර ගිහියන්ටත් වඩා චාටර් තත්වයට වැටිලා ඉන්න හැටි දැක්කා නම්, උන්වහන්සේ එතනම හාර්ට් ඇටෑක් එකක් හැදිලා ඔන් ද ස්පොට් පිරිනිවන් පාන එක නම් බුදුම ශුවර් බවත් කියන්න ඕන (පොඩි විහිලුවක් විතරයි. දෙන මැසේජ් එක ගන්න. කේන්ති යනවා නම්, උපේක්ෂාව ප්‍රගුණ කරන්න. ඒ ක්‍රමය සංකීර්ණ වැඩිනම්, හොඳ හුස්මක් අරගෙන එකේ ඉඳලා දහයට ගනින්න).

පසුව ලිවීම – මේ සටහන බුකියේ දාලා ටික වෙලාවකින් මෙහෙම ප්‍ර‍තිචාරයක් ලැබුනා. “අද ලෝක ඒඩ්ස් දිනය. ජීවිතේට ඒඩ්ස් හැදිච්ච නැති දොස්‍තරලා කියාගන්න පිරිසක් ඒඩ්ස්වලින් බේරිලා ජීවත්වෙන විදිය කියාදෙන දවස” යනුවෙන්. බැලුබැල්මට මේක හොද ප්‍ර‍තිතර්කයක් වගේ පෙනුනට මේකෙ හෙන අවුලක් තියනවා. ඒ අවුල විස්තර කරන්න තරමක් දාර්ශනික තලයකට සංවාදය අරන් යන්න වෙනවා. මුලින්ම අපි, දැනුමේ ප්‍රභේද – ඒ කිව්වෙ එක එක ආකාරයේ දැනුම – හදුනගෙන ඉන්න ඕන. දැනුම අපිට “propositional knowledge” සහ “skills” යනුවෙන් වර්ග කරන්න පුලුවන්. “මම බයිසිකල් පදින්න දන්නවා” කියලා යමෙක් කියන කොට ඔහු එතනදි අදහස් කරන්නෙ අර දෙවනියට කියපු “skills” කියන කැටගරි එක යටතට ගැනෙන දැනුම. නමුත්, ඒඩ්ස් පිළිබද දැනුම හා ඒඩ්ස් වැලැක්වීම ගැන දැනුම ගැනෙන්නේ “propositional knowledge” කාණ්ඩය යටතට. ඒ නිසා මේ සංසන්දනය වලංගු නෑ. භික්ෂූන් කරන්නේ ජීවත් වෙන විදිය, පවුල් කන විදිය ගැන උපදෙස් දෙන එක මිසක් ජීවත් වීම හෝ පවුල් කෑමට අදාල වන “propositional knowledge” බෙදාහරින එක නෙවේ.

ලිව්වේ – ජේමිස් බණ්ඩා

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – දෙවැනි කොටස

ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දාර්ශනිකයින් පිළිබදව වන තොරතුරු මූලාශ්‍ර‍ වලට හැදින්වීමක් පසුගිය ලිපිය හරහා ලබාදෙන ලදී. මෙම ලිපිය වනාහී එකී හැදින්වීම තුල අඩංගු වූ කරුණු වලට ඌණපූර්ණයකි.

ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ මෙන්ම ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෙකු වූ තියොෆ්‍රැස්ටස්ගේද ලියමන් තුල ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දාර්ශනිකයින්ගේ උද්ධෘත සහ එම දාර්ශනිකයින්ගේ අදහස් පිළිබද අනුවාදයන් අන්තර්ගතව තිබෙන බව පසුගිය ලිපිය තුලින් අවධාරණය කරන ලදී. නමුත්, ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින් ගැන ඇති තොරතුරු මූලාශ්‍ර‍ එපමණකින් අවසන් නොවේ.

Opinions of the Philosophers නැතහොත් Placita Philosophorum යන නමින් හැදින්වෙන ග්‍ර‍න්ථය වනාහී නානාවිධ දාර්ශනික මාතෘකා ගැන නානාවිධ මුල්කාලීන ග්‍රීක දාර්ශනිකයින් දැරූ මතයන් සාරාංශ කර ඉදිරිපත් කර ඇති ග්‍ර‍න්ථයකි. ක්‍රිස්තු වර්ෂ 50ත් 120ත් අතර කාලයේ විසූ, ප්ලූටාච් නම් ග්‍රීක රචකයා මෙකී Opinions of the Philosophers ග්‍ර‍න්ථය රචනා කරන්නට ඇතැයි යන්න සාම්ප්‍ර‍දායික මතය වුවද, වර්තමාන ශාස්ත්‍ර‍ධරයින්ගේ මතය වනුයේ මෙම ග්‍ර‍න්ථය රචනා කර තිබෙන්නේ වෙනත් අයෙකු බවයි. එමෙන්ම, මෙකී Placita ග්‍ර‍න්ථය ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ ලියා ප්‍ර‍කාශයට පත් කෙරූවක් වීමට ඉඩ ඇත. තවද, පස්වන සියවසේ මැකඩෝනියාවේ Stobi නමින් හැදින්වෙන ප්‍රදේශයේ විසූ ජෝන් නැමැත්තා විසින් රචිත Eclogue Physicae හෙවත් Selections on Natural Philosophy යන ග්‍ර‍න්ථය තුලද ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්ගේ උද්ධෘත සහ ඔවුන් පිළිබද විස්තර විශාල ප්‍ර‍මාණයක් අන්තර්ගතය.

ඉහතින් සදහන් කරනු ලැබූ ග්‍ර‍න්ථ දෙකේම අඩංගු තොරතුරු බොහෝදුරට එක සමාන බැවින් එම ග්‍ර‍න්ථ දෙකම එක් පොදු මූලාශ්‍ර‍යක් ආශ්‍ර‍ය කොටගෙන ලියැවී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. එසේවුවද, මෙකී “පොදු මූලාශ්‍ර‍ය” වර්තමානය දක්වා සුරක්ෂිතව නැත. කෙසේවෙතත්, සම්භාව්‍ය ශාස්ත්‍ර‍ධරයෙකු වන හර්මන් ඇලැක්සැන්ඩර් ඩීල්ස් විසින් කරන ලද ගවේෂණ වලට අනුව එම “පොදු මූලාශ්‍ර‍ය” ක්‍රිස්තු වර්ෂ 100 දී පමණ ඒටියස් (Aetius) නම් අයෙකු විසින් රචනා කර ඇත. හර්මන් ඩීල්ස් විද්වතාගේ ගවේෂණ තුලින් ඒටියස්ගේ නිබැදුම අර්ධ වශයෙන් ප්‍ර‍තිනිර්මාණය කිරීමට හැකියාව ලැබී ඇතිමුත් ක්ෂේත්‍රයේ සියලු විද්වතුන් ඩීල්ස්ගේ ගවේෂණයන් වල නිගමන වලට එකග නොවන බවද කිව යුතුය.

එමෙන්ම, ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින් පිළිබදව වන තොරතුරු මූලාශ්‍ර‍ අතර තවත් වැදගත් මූලාශ්‍ර‍යක් වන්නේ රෝම චින්තකයෙකු වූ සිසේරෝ විසින් රචිත ලියමන්ය. තවද, රෝම දාර්ශනිකයෙකු වූ සෙනෙකා (Seneca the elder) විසින් ප්‍ර‍කාශයට පත්කරන ලද Natural Questions නම් පොතද ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක චින්තකයන් ගැන තොරුතුරු උල්පතකි. එලෙසම, සංශයවාදී දාර්ශනිකයෙකු වූ Sextus Empiricus ද සිය දාර්ශනික න්‍යායන් තහවුරු කිරීම පිණිස ඇතැම් ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්ගේ උද්ධෘත උපුටා දැක්වූ බැවින් අපට Sextus Empiricusගේ ලේඛනද ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනය පිළිබද මූලාශ්‍ර‍ සේ සැළකිය හැකිය.

ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනයේ තවත් මූලාශ්‍ර‍ ගැන ඉදිරි ලිපි වලින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

ලිව්වේ – අසීයා මිතුරුසිංහ

Posted in දර්ශනය, දර්ශනයේ ඉතිහාසය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍ර‍කාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ කතිකාව සිදුවන බව පෙනෙන්නට තිබුණි.

සුපුරුදු පරිදි, හිස් වාගලංකාර යොදාගනිමින් නලින් ද සිල්වා මෙරට “සිංහලබෞද්ධ” යන ලේබලය යොදාගෙන තමන් හදුන්වාගන්නා ජනතාවගේ හැගීම් ආමන්ත්‍ර‍ණය කිරීමට එම ලිපිය තුල කටයුතු කර තිබෙණු දක්නට ලැබේ. නලින්ගේ ලිපියේ දාර්ශනික ගැඹුරකින් යුත් තර්කයන් කිසිවක් නැත. ඇත්තේ “මෙන්න මුන් සිංහලබෞද්ධ මෙව්වා එකට කෙලවන්න හදනෝ” යන කන්දොස්කිරියාව පමණි.

නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ එක් අදහසක් නම් “ලංකාව දැනට සිංහලබෞද්ධ රටක් නිසා, ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන අදහසයි. තර්කයේ පහසුව තකා පමණක්, දැනට ලංකාව සිංහලබෞද්ධ රටක්ය යන කාරණය පිළිගත්තද, එයින් “ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන ප්‍ර‍ස්තුථය ගම්‍ය නොවන බව කිය යුතුය. “දැනට තත්ත්වය මෙසේය එබැවින් සැමදාම තත්ත්වය මෙසේ විය යුතුය” යනුවෙන් තර්ක කිරීම දෝෂ සහිතය. “දැනට රට තුල හොරකම් හා මිනීමැරුම් සිදුවන බැවින් හොරකම් හා මිනීමැරුම් වලට විශේෂත්වයක් දිය යුතුය” යන තර්කයේ ඇත්තේද නලින් විසින් ඉදිරිපත් කරනු ලැබූ “ලංකාව දැනට සිංහලබෞද්ධ රටක් නිසා, ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන තර්කයේ ඇති දෝෂයමය. දර්ශනය පිළිබදව විද්වතෙකු වන නලින් ද සිල්වා මේ බව දන්නාමුත් ඔහුගේ පාඨකයින් අතර බහුතරය මේ බව නොදන්නා නිසා ඔහුට එම වාගලංකාරය නිතර නිතර භාවිත කිරීමට ඉඩ ප්‍ර‍ස්ථාව සැලසී ඇත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි.

ලිව්වේ – අසීයා මිතුරුසිංහ

Posted in කාලීන, තර්කනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – පළමු කොටස

පුරාතන ග්‍රීක දර්ශනය යම් අධ්‍යනයකට බදුන් කිරීමේදී, එකල විසූ ග්‍රීක දාර්ශනිකයන්ව “ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයන්” හා “පශ්චාත්-සොක්‍ර‍ටික දාර්ශනිකයන්” ලෙස බෙදා වෙන්කිරීම වනාහී දහනව වන සියවසේ සිට සාම්ප්‍ර‍දායිකව සිදුකරන්නකි. එසේවුවද, මෙම බෙදීම හා “ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයන්” වදන එතරම් උචිත නොවේ. මන්දයත්, ඇතැම් “ප්‍රාග්සොක්‍ර‍ටිකයින්” වනාහී සොක්‍ර‍ටීස් ජීවත්ව සිටියා යැයි කියන කාලයේත්, තවත් “ප්‍රාග්සොක්‍ර‍ටිකයින්” සොක්‍ර‍ටීස්ගෙන් පසු කලත් සිටි අය නිසාය.

කෙසේවෙතත්, අපට පැහැදිලිව කිව හැකි වන්නේ ප්‍රාග්සොක්‍රටික හා පශ්චාත්-සොක්‍ර‍ටික යන දෙවර්ගයටම ගැනෙන පුරාතන ග්‍රීක දාර්ශනිකයන් ලියූ ලියමන් අතිශය බහුතරයක මුල් පිටපත් අද අප අතර නොමැති බවයි. ඔවුනගේ අදහස් හා න්‍යායන් අප දන්නේ මුල් පිටපත් වල පසුකාලීන පිටපත් – ඇතැම් විට පිටපත් වල පිටපත් වල පිටපත් – අධ්‍යනය හරහාය. උදාහරණයක් ලෙස, අප අතර දැනට ඇති පිටපත් වලින් ප්ලේටෝගේ දාර්ශනික ග්‍ර‍න්ථයක පරිපූර්ණම සහ පැරණිම පිටපත සකස් කර ඇත්තේ ප්ලේටෝගේ මරණයෙන් වසර 1250කට පමණ පසුවය. එමෙන්ම, මුද්‍ර‍ණය සදහා යන්ත්‍ර‍ නොතිබුණු ඒ කාලයේ “පොත් ප්‍ර‍කාශනය” යනු අත්අකුරින්ම පිටපත් විශාල ප්‍ර‍මාණයක් සකසා බෙදාහැරීම විය. එබැවින්, “පිටපත් දෝශ” වනාහී එකල බහුල හා සුලභ දෙයක්ය. මෙවන් තත්ත්වයක් යටතේ නූතන පාඨානුගත විවේචකයින් (textual critics) නානාවිධ පුරාවිද්‍යාත්මක හා අභිලේඛවිද්‍යාත්මක සාක්ෂි ඇසුරෙන් හැකි පමණින් “ප්‍රාග්සොක්‍ර‍ටිකයින්” යනුවෙන් ලේබල් කර ඇති පුරාතන ග්‍රීක දාර්ශනිකයින්ගේ අව්‍යාජ අදහස් ප්‍ර‍තිනිර්මාණය කිරීමට උත්සහ කරයි.

ගෝජයස් (Gorgias) නම් දාර්ශනිකයා විසින් ලියන ලද කෙටි රචනා දෙකක් හැරුණුකොට “ප්‍රාග්සොක්‍ර‍ටිකයින්” විසින් ලියන ලද ග්‍ර‍න්ථ හෝ රචනා අද දක්වා සුරක්ෂිතව නැත. ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දාර්ශනිකයින් පිළිබද දැනුම මූලික වශයෙන්ම අපට ලැබෙනුයේ වෙනත් පසුකාලීන කතුවරුන් විසින් කරන ලද උපුටාගැනීම් හා සාරාංශකිරීම් හරහාය. එසේවුවද, මෙකී “පසුකාලීන කතුවරුන්” විසින් ලියන ලද දෑද මුලින් කී පරිදි පිටපත් කිරීම් වලට භාජනය විය. එමෙන්ම, අප විසින් මෙම පසුකාලීන ලේඛකයින්ගේ උවමනාවන් හා පක්ෂපාතකම්ද සැළකිල්ලට බදුන් කල යුතුය. මෙමගින් පැහැදිලි වන්නේ මුල්කාලයේ විසූ ග්‍රීක දාර්ශනිකයින්ගේ ලෝකදැක්ම ප්‍ර‍තිනිර්මාණය කිරීම වනාහී අසීරු පිංතූර ප්‍රෙහේලිකාවක් විසදනවා වැනි කාර්යයක් බවයි.

ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්ගේ අදහස් පිළිබදව වන මූලාශ්‍ර‍ ප්‍ර‍ධාන වශයෙන්ම දෙවර්ගයකි. Fragments හා Testimonia යනුවෙන් ඒවා නම් කර ඇත. මෙයින් Fragments යනු ප්‍රාග්සොක්‍රටික චින්තකයින්ගේ අව්‍යාජ (යැයි සිතා සිටින) උද්ධෘතයන්ය. මෙකී උද්ධෘතයින් අතර කෙටි පාඨයන් මෙන්ම දිගු පරිඡේදයන්ද අන්තර්ගත වෙයි. උදාහරණයක් ලෙස, පර්මෙනිඩ්ස්ගේ පේලි පනහකට වැඩි දිගකින් යුත් ‍‍උද්ධෘතයක් මෙකී Fragments අතර ඇත. එමෙන්ම, මෙම උද්ධෘතයන්ගෙන් ඇතැම් ඒවා ප්ලේටෝගේ ග්‍ර‍න්ථ හා රචනා තුල හමුවන අතර තවත් ඒවා ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ ලියමන් තුලින්ද හමුවේ.

මෙකී උද්ධෘතයන් අධ්‍යනයේදී නිරායාසයෙන්ම ඒවායේ අව්‍යාජබව පිළිබද ගැටලු පැනනගී. විශේෂයෙන්ම, පුරාතනයේ විසූ ප්ලේටෝ හා ඇරිස්ටෝටල් ප්‍ර‍මුඛ නානාප්‍ර‍කාර කතුවරුන් නිතරම පාහේ මතකයෙන් උපුටාදැක්වීම සිදුකළහ. එබැවින්, අව්‍යාජ ලෙස ඔවුන් හුවාදැක්වූ ඇතැම් උද්ධෘතයින් වනාහී සැබවින්ම වැරදි ලෙස ධාරණය කෙරූ, සාරාංශිත “දල අදහස්” පමණක් වීමට ඉඩකඩ ඇත. තවත් ගැටලුවක් වනුයේ, පුරාතන ලේඛකයින් විසින් උද්ධෘතයන් පෙරලි කොමාවන් තුලට කැටිකර දැක්වීම සිදුනොකිරීමයි. මේ නිසා, උද්ධෘතයන්ගේ ආරම්භය හා අවසානය කොතැනද යන ගැටලුව පැනනැගී ඇති අතර ඒ ඒ උද්ධෘත ඒවායේ සන්දර්භයන්ගෙන් වෙන්කර ගැනීමද අසීරු කටයුත්තක් වී ඇත.

Fragments වලට අමතරව ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්ගේ ජීවිතය, න්‍යායන් හා ඔවුන් ලියන ලද ග්‍ර‍න්ථ පිළිබදව තොරතුරු රැසක් Testimonia, නැතහොත් “අනුවාදයන්” (paraphrases), තුල අඩංගු වේ. මෙකී අනුවාදයන් අතර ඇතැම් ඒවා විශ්වසනීය වේ. එමෙන්ම, තවත් ඒවා වනාහී හුදු ප්‍ර‍බන්ධ පමණි. මින් සමහර අනුවාදයන් අපට හමුවන්නේ ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්ගෙන්ම වන අතර තවත් අනුවාදයන් පසුකාලීන කතුවරුන්ගේ ලියමන් තුලින් හමුවේ. එමෙන්ම, ඇතැම් අනුවාදයන් තුල උද්ධෘතයන්ද ඔබ්බවා ඇති බව අප අමතක කල යුතු නැත.

ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනය පිළිබද මූලාශ්‍ර‍ අතරින් ප්‍ර‍ධානම මූලාශ්‍ර‍යක් වන්නේ ප්ලේටෝගේ ග්‍ර‍න්ථයන් හා රචනාවන්ය. ක්‍රිස්තු පූර්ව 427 සිට 347 දක්වූ කාලයේ විසූ ප්ලේටෝ විසින් බොහෝ ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්ව පෞද්ගලිකව හැදිනුවා විය හැකිය. එසේවුවද, ප්ලේටෝගේ ලියමන් හරහා ප්‍රාග්සොක්‍ර‍ටිකයින් පිළිබද තොරතුරු දැනගන්නට යාමේදී අප ප්‍රවේසම් විය යුතුය. මන්දයත්, ප්ලේටෝගේ කාලයේ දර්ශනයේ ඉතිහාසය හදෑරීම යන අදහස නොතිබුණ අතර ප්ලේටෝ සිය පූර්වකයන්ගේ අදහස් ගෙනහැර දැක්වූයේ සිය දාර්ශනික අරමුණු වෙනුවෙනි. විශේෂයෙන්ම, එකල “චිතණ්ඩවාදීන්” (sophists) ලෙස ලේබල් කරනු ලැබූ දාර්ශනිකයින්ගේ අදහස් වලට සතුරු ආකල්පයක් ප්ලේටෝ තුල විය. ප්ලේටෝගේ ආභාෂයෙන් මෙකී සතුරු ආකල්පය ඇරිස්ටෝටල් ඇතුලු පසුකාලීන කතුවරුන්ටද සම්ප්‍රේෂණය විය.

ක්‍රිස්තු පූර්ව 384 සිට 322 දක්වා වන කාලයේ විසූ ඇරිස්ටෝටල්ගේ ලියමන්ද ප්‍රාග්සොක්‍ර‍ටික දර්ශනය පිළිබද වටිනා තොරතුරු උල්පතකි. ඇරිස්ටෝටල් තුල, තමාට පෙර සිටි දාර්ශනිකයින්ගේ අදහස් හා න්‍යායන් ගවේෂණයෙහිලා බැරෑරුම් අධ්‍යාපනික කුහුලක් තිබුණි. ඇරිස්ටෝටල් සාමාන්‍යයෙන් යම් දාර්ශනික මාතෘකාවක් පිළිබදව සිය අදහස් දැක්වීම ආරම්භ කලේ එකී මාතෘකාව ගැන තමාට පෙර විසූ අනෙක් දාර්ශනිකයින්ගේ අදහස් යම්කිසි සමාලෝචනයකට ලක්කිරීමෙනි. එමෙන්ම, ඇරිස්ටෝටල්ගේ සිසුවන් වූ ඉයුඩෙමස්, මේනෝ, හා තියොෆ්‍රැස්ටස් යන අයද දර්ශනයේ ඉතිහාසය පිළිබදව උනන්දු විය. ඇත්තෙන්ම, තියොෆ්‍රැස්ටස් විසින් තේලස්ගේ සිට ප්ලේටෝ දක්වා වූ ග්‍රීක දාර්ශනිකයින්ගේ න්‍යායන් ගැන විස්තරාත්මකව ලියන ලදී. එලෙස ලියූ ග්‍ර‍න්ථ බොහෝමයක් අද දක්වා සුරක්ෂිතව නැතිමුත් තියොෆ්‍රැස්ටස්ගේ “On sensation” ග්‍රන්ථයෙන් අපට පැහැදිලි වන්නේ ඔහු විසින් පූර්ව-දාර්ශනිකයන්ගේ අදහස් ඒ ඒ දාර්ශනික මාතෘකා අනුව වෙන් කර සැකසූ බවයි. තවද, තියොෆ්‍රැස්ටස්ගේ “Opinions on nature” යන ග්‍ර‍න්ථයේ මුල්පිටපත් අද නොමැතිමුත් එහි පසුකාලීන සාරාංශකිරීම් හරහා අපට ප්‍රාග්සොක්‍ර‍ටික දර්ශනය පිළිබද තොරතුරු රාශියක් ලබාගත හැකිය.

ලිව්වේ – අසීයා මිතුරුසිංහ

Posted in දර්ශනය, දර්ශනයේ ඉතිහාසය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

සාමාන්‍ය හේතුවාදය හා දාර්ශනික හේතුවාදය

රසායන විද්‍යාඥයන්ට මෙන්, ගණිතඥයන්ට පර්යේෂණාගාර අනවශ්‍ය ඇයි? ගණිතඥයින් යම් යම් ගණිතමය සත්‍යතාවයන් දැනගන්නේ කෙසේද? සමතලා පෘෂ්ඨයකදී, සියලු ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් බව අප ඉගෙනගතිමු. මෙම ප්‍ර‍කාශය සාක්ෂි සහිතව ස්ථාපනය කරන්නේ කෙසේද? අපට කඩදාසි ත්‍රිකෝණ සිය ගණනක් කපා කෝණමානයකින් ඒවායේ කෝණ මැන ඉහත ප්‍ර‍කාශය ඔප්පු කළ හැකිද? එසේ කරත්, අපට දැනගන්නට ලැබෙන්නේ අප විසින් කැපූ ත්‍රිකෝණ වල කෝණ වල ඓක්‍යය අංශක 180ක් බව විනා සියලු සමතලා ත්‍රිකෝණ වල කෝණ වල ඓක්‍යය අංශක 180ක් වන බව නොවේ. එසේනම්, සියලු සමතලා ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව සොයාගැනීමට සමතලා ත්‍රිකෝණ රාශියක් නිරීක්ෂණයට බදුන් කළ යුතු නොවන්නේ මන්ද?

මෙකී ප්‍ර‍ශ්නයන් වනාහී පුරාතන යුගයේ මෙන්ම වර්තමානයේද “හේතුවාදය” නමින් හැදින්වෙන දාර්ශනික ස්ථාවරය ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූ ප්‍ර‍ශ්නයන්ය. එසේවුවද, දාර්ශනික සන්දර්භයෙන් බාහිරව, “හේතුවාදය” යන වදන තරමක් ලිහිල් ලෙසද අප සමාජය තුල භාවිතා වේ. “හේතුවාදය” යන වදනේ මෙම එකිනෙකට වෙනස් භාවිතයන් දෙක වෙන් කර හදුනාගැනීම අප විසින් කළයුතුමය. ඒ අන් කවරටවත් නොව, සංවාදයන් තුල හටගන්නා පටලවාගැනීම් දුරු කරගැනීම උදෙසාය.

දාර්ශනික සන්දර්භයන්ගෙන් පිටත, එදිනෙදා ජීවිතය තුල, “හේතුවාදය” යන වදන යෙදෙන්නේ මා කලින් සදහන් කල පරිදි තරමක් ලිහිල් ලෙසය. අදේවවාදය, නිරාගමිකත්වය, විද්‍යාවට මුල්තැන දීම, හා “මිථ්‍යාවන්ට” එරෙහිවීම යන කරුණු මෙකී “හේතුවාදය” යටතට ගැනේ. මෙය දාර්ශනික වශයෙන් නොගැඹුරු ස්ථාවරයකි. එමෙන්ම, මෙය මෑතකදී පැනනැගුනු සමාජ කතිකාවකි. කොවුර් වැනි අය මෙම “හේතුවාදය” ශ්‍රී ලාංකේය සමාජය තුල ප්‍ර‍චලිත කලේය. සංවාදයේ පහසුව තකා සහ පටලැවිල්ල ලිහා ගැනීම උදෙසා, අප විසින් මෙම “හේතුවාදයට”, සාමාන්‍ය හේතුවාදය යනුවෙන් නම් තබමු.

සාමාන්‍ය හේතුවාදයට වඩා අධ්‍යාපනික කුහුලක් ඇතිකිරීමට සමත්වන්නේ හා සාමාන්‍ය හේතුවාදයට වඩා අප ජීවිතයට බලපාන්නේ දාර්ශනික හේතුවාදයයි. මෙකී දාර්ශනික හේතුවාදය වනාහී ලිපිය ආරම්භයේ සදහන් කර ඇති ආකාරයේ ප්‍ර‍ශ්න වලින් පැනනැගුනු දාර්ශනික ස්ථාවරයක්ය. ගණිත කරුණු වල සත්‍ය-අසත්‍යභාවය දැනගන්නේ නිරීක්ෂණයන් හරහා නොව ශුද්ධ විචාරය හරහාය යන ප්‍ර‍ස්තුථය “මානව දැනුම ප්‍ර‍ධාන කොට ලැබෙන්නේ විචාරය හරහාය” යන ප්‍ර‍ස්තුථය දක්වා වර්ධනය කිරීම වනාහී දාර්ශනික හේතුවාදයයි.

බොහෝ දාර්ශනික සන්දර්භයන් තුල, මෙලෙස විස්තර කරන ලද දාර්ශනික හේතුවාදය හැදින්වීමට “හේතුවාදය” යන වචනය යොදාගනී. නමුත්, කොවුර් වැනි අය ප්‍ර‍චලිත කල සාමාන්‍ය හේතුවාදය මෙකී දාර්ශනික හේතුවාදයට වඩා ලංකාව තුල ප්‍ර‍චලිත වීම නිසාදෝ බොහෝ ශ්‍රී ලාංකික ජනයා තුල දාර්ශනික හේතුවදය පිළිබද අවබෝදය අඩුය. වචන වල භාවිතය සම්බන්ධයෙන් පටලැවිල්ලක් හටගෙන ඇත්තේ ඒ නිසාය. මෙම ලිපියෙන් එම පටලැවිල්ල තරමක් දුරට හෝ නිරාකරණය වූයේ යැයි සිතමි.

ලිව්වේ – අසීයා මිතුරුසිංහ

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

පුරාතන ඊජිප්තු ගණිතය හා රයින්ඩ් පැපිරසය

දර්ශනීය සිද්ධස්ථාන, පිරමීඩ හා ස්මාරක වලින් බහුල වූ “පැරෝවරුන්ගේ භූමිය” නැතහොත් පුරාතන ඊජිප්තුව වනාහී පුරාතන ග්‍රීකයන්ගේ සිටම නානාප්‍රකාර ශිෂ්ඨාචාරයන් තුල විසූ නානාවිධ පුද්ගලයන් විශාල ප්‍ර‍මාණයක් වසගයට ගත් භූමියකි. මමීවරුන් ප්‍ර‍ධාන කොටගත්, කලක් තිස්සේ ආරක්ෂිතව පැවති, කාබනික සාක්ෂි මෙන්ම දහස් ගණනක් පාෂාණමය අභිලේඛනද එකී වසගය අධ්‍යාපනික කුතුහලයක් බවට ත්‍රීව්ර කරවයි.

පුරාතන ඊජිප්තුව පිළිබදව කරන අධ්‍යනය හෙරොඩෝටස් නම් ග්‍රීක ඉතිහාසඥයාගේ කාලයේ සිටම වරින්වර සිදුකර තිබුනද, මහාපරිමාණයෙන් ඊජිප්තු පුරාවිද්‍යාව අධ්‍යනයට භාජනය වන්නේ වර්ෂ 1798 දී ප්‍රංශ ජාතික නැපෝලියන් බොනපාට් විසින් ඊජිප්තුව ආක්‍ර‍මණය කිරීමෙන් අනතුරුවය. නැපෝලියන්ගේ සේනාංකයන් තුල යුධ භටයින්ට අමතරව විද්‍යාඥයින් ඇතුළු කොටගත් නානාවිධ විෂයන් වල ශ්‍රාස්ත්‍ර‍ධරයන් 165ක පමණ පිරිසක් විය. මෙම ශ්‍රාස්ත්‍ර‍ධරයන් අතර සුප්‍ර‍කට ගණිතඥයෙකු වන Joseph Fourier ද විය.

නැපෝලියන්ගේ හමුදාවට ඊජිප්තුව තුල හමුවූ දේ අතර ඉතා වැදගත් වන්නේ රොසෙට්ටා ශිලාලේඛනයයි. දැනට, මෙකී රොසෙට්ටා ශිලාලේඛනය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත.‍රොසෙට්ටා ශිලාලේඛනය වැදගත් වනුයේ එය පුරාතන ඊජිප්තු ලිඛිතය වූ හයිරෝලේඛණ විකේතනය කිරීම පිණිස උපකාරී වූ බැවිනි. රොසෙට්ටා ශිලාලේඛනය තුල හයිරෝලේඛණ වලින්ද, ඩීමටික භාෂාවෙන්ද, ග්‍රීක භාෂාවෙන්ද ලියැවුණු පුරාතන ඊජිප්තු පූජකවරුන්ගේ තීන්දුවක් ඇත. මෙකී ශිලාලේඛනයේ පිටපත් අධ්‍යනය කරමින් හයිරෝලේඛණයන් විකේතනය පිණිස පුරෝගාමී වූවෙක් වන්නේ ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ තෝමස් යන්ග් නම් තැනැත්තාය. රොසෙට්ටා පාෂාණය පිළිබද තෝමස් යන්ග්ගේ පර්යේෂණ පසුව ප්‍රංශ ජාතික භාෂා විශාරදයෙකු මෙන්ම ඊජිප්තු-විද්‍යාඥයෙකු ද වන Jean Francois Champollion විසින් ඉදිරියට ගෙන යන ලදී.

රොසෙට්ටා පාෂාණයට අමතරව, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඊජිප්තු අංශයේ ඇති තවත් වැදගත් පුරාවස්තුවක් වනුයේ රයින්ඩ් පැපිරසයයි. අඩි 18ක් දිගින්ද අගල් 13ක් පළලින්ද යුක්ත වන රයින්ඩ් පැපිරසය පුරාතන ඊජිප්තු ගණිතය පිළිබදව අපට දැනුම සපයන වැදගත් ලියවිල්ලකි. මෙම පැපිරසය වර්ෂ 1858 දී ස්කොට්ලන්ත ජාතික නීතිඥයෙකු මෙන්ම පුරාවිද්‍යාඥයෙකුද වන ඇලැක්සැන්ඩර් හෙන්රි රයින්ඩ් විසින් වර්තමානයේ Luxor නමින් හැදින්වෙන ප්‍ර‍දේශයෙන් ලබාගත් එකකි. 1863 දී හෙන්රි රයින්ඩ්ගේ මරණයෙන් පසු මෙකී පැපිරසය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සතු විය.

රතු හා කලු දෙවර්ණයෙන්, දකුණේ සිට වමට, හීරටික අක්ෂරයෙන් ලියැවුණු රයින්ඩ් පැපිරසය තුල ප්‍ර‍ධාන වශයෙන්ම ගණිත ගැටලු 84ක් (හා ඒවාට අදාල රූප සටහන්) අන්තර්ගතය. මෙකී පැපිරසය ප්‍ර‍ථමයෙන්ම නූතන භාෂාවකට පරිවර්තනය කරනු ලැබුවේ ජර්මානු ජාතික ශ්‍රාස්ත්‍ර‍ධරයෙකු වන August Eisenlohr ය. පැපිරසයේ ඉංග්‍රීසි පරිවර්තනයක් 1923 දී තෝමස් එරික් පීට් විසින් ප්‍ර‍කාශයට පත්කරනු ලැබුවද, පැපිරසය සාමාන්‍ය මහජනතාව අතරට ගියේ 1929 දී ඇමරිකානු ජාතික ආර්නෝල්ඩ් බුෆම් චේස් විසින් කළ පර්වර්තනයෙන් පසුවය.

ඇත්තෙන්ම, රයින්ඩ් පැපිරසය වනාහී අව්‍යාජ පැපිරසයක් නොව වඩාත් පැරණි ලියවිල්ලක පිටපතකි. ඒ බව එම පැපිරසය පිටපත් කරනු ලැබූ අහ්මෝස් නම් රචකයා විසින් සිය පෙරවදන තුල සදහන් කර තිබේ. එමෙන්ම, අහ්මෝස්ගේ පෙරවදනට අනුව, රයින්ඩ් පැපිරසයට පාදක වන මුල් ලියවිල්ල ලියා ඇත්තේ තුන්වන අමිනෙම්හැට් පැරෝවරයාගේ කාලයේ වන අතර අහ්මෝස් විසින් එය පිටපත් කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1650 දී පමණය.

රයින්ඩ් පැපිරසය ආරම්භ වනුයේ කතුවරයා විසින් පාඨකයාට “සියලු රහස් පිළිබද දැනුම” හා “සියලු දේ ගැන පරිපූර්ණ අවබෝධයක්” ලබාදෙන බවට වන පොරොන්දුවකිනි. මෙකී පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කර නොතිබුනත්, පැපිරසය වනාහී පුරාතන ඊජිප්තු ගණිතය පිළිබදව වන තොරතුරු උල්පතකි. කෙසේවෙතත්, ග්‍රීක ආභාෂය ලත් වර්තමාන ගණිතයේ ව්‍යුහයට හා කාඨින්‍යයට හුරුවූ අයට රයින්ඩ් පැපිරසයේ ඇති ගණිතය “නොදියුණු” සේ පෙනෙන්නට පුලුවන. පැපිරසය තුල සාධාරණ, පොදු නියමයන් නොමැති අතර ස්වසිද්ධි මගින් න්‍යායන් ව්‍යුත්පන්න කිරීමක්ද දක්නට නොලැබේ. පැපිරසය බහුල වනුයේ කතන්දර ආකාරයට ඇති ගණිත ගැටලු වලිනි. ඒ සියල්ලම පාහේ ධන්‍යාගාරයක පරිමාව සෙවීම යනාදී ප්‍රයෝගික හා එදිනෙදා ජීවිතයේ නිතර ඉස්මතු වන ගැටලුය. මීට අමතරව, විනෝදාත්මක ගණිත ගැටලුද පැපිරසයේ අන්තර්ගතය.

රයින්ඩ් පැපිරසයේ ආරම්භය වගු දෙකකින් යුක්තය. මින් එක් වගුවක දෙක නම් සංඛ්‍යාව තුනේ සිට 101 දක්වා වන ඔත්තේ සංඛ්‍යා වලින් බෙදූ විට ලැබෙන පිළිතුරු, ලවය එක වන්නා වූ භාග වල ඓක්‍යයක් ලෙස සදහන් කර ඇත. උදාහරණයක් ලෙස, 2/5 යන්න 1/3 හා 1/15 යන භාග වල එකතුව ලෙස වගුව තුල සදහන් කර ඇත. කුමන හෝ හේතුවක් නිසා, පුරාතන ඊජිප්තු වැසියන් භාග සංඛ්‍යා ප්‍රකාශ කලේ ලවය එක වන්නා වූ භාග වල එකතුවක් ලෙසය. එකම, විශේෂත්වය නම් 2/3 යන භාග සංඛ්‍යාව පමණකි. පුරාතන ඊජිප්තු ගණිතඥයින් විසින් සිය කාලය හා ශ්‍ර‍මයෙන් සැළකිය යුතු කොටසක් යම් භාගයක් ලවය එක වන භාග කිහිපයක එකතුවක් ලෙස ලිවීමට වැය කළහ. එමෙන්ම, ඔවුන් යම් පූර්ණ සංඛ්‍යාවක පරස්පරය ලියා දැක්වීම පිණිස එකී සංඛ්‍යාවේ සංකේතය උඩින් තිතක් තැබීම සිදුකලේය. තවද, “එකතු කිරීම” සදහා විශේෂ සංකේතයක් ඔවුනට නොවීය. ඉහතකී ලවය එක වන භාගයන් එක පේලියට ලිවීම ඔවුන් සිදුකළ අතර ඒවා එකතු කළ යුතු බව ඔවුන් ඇගවීය. එමෙන්ම, දෙවැනි වගුව තුල එකේ සිට නවය දක්වා පූර්ණ සංඛ්‍යා දහයෙන් බෙදූ විට ලැබෙන පිළිතුරු අන්තර්ගත විය. ඒවාද, ප්‍ර‍කාශ කර තිබුනේ ලවය එක වන්නා වූ භාග සංඛ්‍යා කිහිපයක එකතුවක් ලෙසය.

මෙම වගු දෙකින් පසුව, අංක ගණිතය හා මාන ශාස්ත්‍ර‍ය යන ගණිත අංශ යටතට ගැනෙන ගැටලු වලින් පැපිරසය සමන්විත වේ. පැපිරසයේ මුල් ගැටලු කිහිපය අංක ගණිතමය ඒවාය. ඒවා මූලික වශයෙන්ම අඩු කිරීම හා ගුණ කිරීම යන ගණිත කර්ම භාවිතයෙන් යම්කිසි අඥාණයක් සොයාගැනීම පිළිබදව වේ. මෙම ගැටලු, “අහ් ගැටලු” (aha problems) යනුවෙන් හදුන්වනු ලැබේ. එයට හේතුව, මෙකී ගැටලු “අහ්” යනුවෙන් උච්චාරණය කරන වදනින් ආරම්භ වන ඒවා වීමය. එම වදන බොහෝදුරට ප්‍ර‍මාණය (සෙවිය යුතු) යන අරුතින් ව්‍යවහාර වන්නට ඇත. උදාහරණයක් ලෙස, රයින්ඩ් පැපිරසයේ තිස්වන ගැටලුව ගතහොත්, එය – තත්කාලීන ගණිත අංකනයෙන් – මෙසේ ලියා දැක්විය හැකිය:

(2/3+1/10)x=10

මෙය මූලික වශයෙන්ම රේඛීය සමීකරණයකි. එසේවුවද, රේඛීය සමීකරණ විසදීමෙහිලා අවැසි වන වීජ අංකනය හා වීජ ක්‍ර‍මවේද පුරාතන ඊජිප්තු වැසියන් හට නොතිබුණි. එබැවින්, ඔවුන් මෙම ගැටලුව අංක ගණිත ගැටලුවක් සේ සළකණු ලැබීය.

ඉහත ගැටලුව විසදමේදී ඔවුන් මුලින්ම කලේ අඥාණය සදහා පහසු අගයක් උපකල්පනය කිරීමය. උදාහරණයක් ලෙස, අඥාණය 30 ලෙස ගතහොත් සමීකරණයේ වම් පස 23 වේ. නමුත්, අපට අවශ්‍ය සමීකරණයේ වම් පස 10 කිරීමටය. දහය, 23 මෙන් 10/23 ගුණයකි. එබැවින්, සැබෑ පිළිතුර උපකල්පිත පිළිතුර මෙන් 10/23 ගුණයක් විය යතුය. එනම්, සැබෑ පිළිතුර වනාහී 30*(10/23) යි. එනම්, අනවශේෂ 13කුත් අවශේෂ 1/23කුත්ය (13+1/23). පුරාතන ඊජිප්තුවාසීන්ගේ මෙම ක්‍ර‍මවේදය වර්තමානයේ rule of false position යනුවෙන් හැදින්වේ. මින් පැහැදිලි වන්නේ, එතරම් පහසු හා එතරම් කාර්යක්ෂම නොවුනද, රේඛීය සමීකරණ විසදීමට ක්‍ර‍මයන් එකල ඊජිප්තුවාසීන් දැනසිටි බවය.


ලිව්වේ – අසීයා මිතුරුසිංහ

Posted in ගණිතය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ මෙකී හේතුව නිසාය. කෙසේවෙතත්, මෙම ලිපි පෙල තුලින්, මම බලාපොරොත්තු වන්නේ “දර්ශනය” යන වචනය දාර්ශනික විවරණයකට බදුන් කිරීම නොවේ. මෙම ලිපි පෙලේ අරමුණ වන්නේ දර්ශනය යන විෂය පිළිබදව හා එම විෂයේ අන්තර්ගතය හා පරාසය ගැන “දළ අදහසක්” ඉදිරිපත් කිරීමයි.

ඉංග්‍රීසි භාෂාවේ ඇති “philosophy” යන වදන වනාහී පුරාතන ග්‍රීක භාෂාවෙන් බිදී එන්නකි. එහි වචනාර්ථය වනුයේ “උගත්කමට ඇති ආදරය” යන්නයි. දර්ශනයේ ඉතිහාසය පිළිබදව වන ප්‍ර‍වාදයන්ට අනුව, මුලින්ම, තමාව හදුන්වාගැනීම පිණිස, “philosopher” යන වචනය යොදාගෙන ඇත්තේ පයිතගරස්ය. එසේම, ජනප්‍රවාදයන්ට අනුව, “ඔබ උගතෙක්ද?” යැයි යමෙක් පයිතගරස්ගෙන් ඇසූ විට ඔහු ඊට දී ඇති පිළිතුර වන්නේ දෙවියෙකු මිස සාමාන්‍ය මිනිසෙකු වනාහී සැබෑ උගතෙකු නොවන බවයි. එසේවුවද, තමා වනාහී උගත්කමට ආදරය කරන “උගත්කමේ රසිකයෙකු” යැයි පයිතගරස් විසින් කියා ඇත. පයිතගරස් විසින් “philosopher” යන වදන හදුන්වාදුන්නද එය ප්‍ර‍චලිත කරනු ලැබූවේ සොක්‍ර‍ටීස් විසිනි. මේ අනුව, දාර්ශනිකයෙකු යනු උගත්කමට ඇලුම් කරන පුද්ගලයෙකුයි.

එමෙන්ම, දාර්ශනිකයන් විසින් “විශ්වය මැවූ දෙවිකෙනෙකු සිටීද? ” හා “මානව ජීවිතයට අර්ථයක් තිබේද?” යනාදී ප්‍ර‍ශ්න සාකච්ඡාවට ලක්කරන බව අප කවුරුත් දනිමු. මෙවන් ප්‍ර‍ශ්න “දාර්ශනික ප්‍ර‍ශ්න” ලෙස සැළකීමට හේතුව කුමක්ද? පිළිතුර නම්, මෙවන් ප්‍ර‍ශ්න වනාහී දෙවියන්, අර්ථය බදු ඉතාමත් මෞලික සංකල්ප කේනද්‍ර‍ කරගත් ඒවා වීමය. චිත්ත පර්යේෂණයක් ලෙස, “බෙහෙත් තෙල් කුප්පිය ඇත්තේ කොහිද?” යන ප්‍ර‍ශ්නය හා “සැබෑ සතුට ලැබිය හැක්කේ කුමන මාර්ගයකින්ද?” යන ප්‍ර‍ශ්නය සළකන්න. මෙම ප්‍ර‍ශ්නයන් දෙක එකිනෙකින් ඉතා වෙනස්ය. මින් පළමුවැන්න වනාහී සංයුක්තවූත් ස්පර්ශනීයවූත් බෙහෙත් තෙල් කුප්පියක් පිළිබදව වන ගැටලුවකි. දෙවැන්න, වනාහී වියුක්තවූත් නොපැහැදිලිවූත් “සතුට” යන සංකල්පය ආශ්‍ර‍ය කොටගත් ගැටලුවකි. අප විසින් අපගේ සංකල්පීය නිම්වළලු සංයුක්ත හා ප්‍ර‍ත්‍යක්ෂ වන අදහස් වලට පමණක් සීමාකරන්නේ නම් අප විසින් කෙදිනකවත් “බෙහෙත් තෙල් කුප්පිය ඇත්තේ කොහිද?” යන්නට වඩා සංකීර්ණ ප්‍ර‍ශ්න නොඅසනු ඇත. මින් පෙනීයන කරුණක් නම්, සැබෑ දාර්ශනික ගැටලු වනාහී වියුක්ත හා වඩා මෞලික සංකල්ප ආශ්‍ර‍ය කොටගත් ඒවා බවයි. මෙම කරුණු මත පදනම්ව අපට “දර්ශනය” යන වදනට තවත් අර්ථකථනයක් ලබාදිය හැකිය. එනම්, දර්ශනය යනු වියුක්ත හා මෞලික සංකල්ප ගැන මෙන්ම මානව ජීවිතයට ඒවායේ ඇති අදාලත්වය පිළිබදව වන්නා වූ ගැඹුරු අධ්‍යනයයි.

එක් අතකින් බැලූ කල, අප සමාජයේ වෙසෙන සියලු දෙනා දාර්ශනිකයෝය. මන්දයත්, අප කවුරුත් ස්වඡන්දය, මනස හා මොලය, දෙවියන්ගේ පැවැත්ම, හොද නරක යනාදී විවිධ දාර්ශනික මාතෘකා පිළිබදව වන නානාප්‍ර‍කාර දාර්ශනික නිගමනයන්ට එළඹ ඇති බැවිනි. එසේවුවද, අප අතරින් බොහෝ දෙනා මෙකී දාර්ශනික නිගමන වලට එළඹ ඇත්තේ ඒ ඒ දාර්ශනික ගැටලු පිළිබදව පුළුල් හා ගැඹුරු අධ්‍යනයක් කිරීමෙන් පසුව නොවේ. බොහෝදෙනා සිය දාර්ශනික විශ්වාස වලට එළඹෙන්නේ හෙම්බිරිස්සාව වැනි රෝගයක් වැළදගන්නා ආකාරයටය. හෙම්බිරිස්සාව ඇතිකරන වෛරසය සැළකුවහොත්, එය වනාහී මුලින්ම අප අවට පරිසරයේ පමණක් තියෙන දෙයක් වන අතර අප විසින් නොදැනුවත්වම එය අප තුලට සමාග්‍ර‍හණය (internalize) කරගැනීම සිදුකරනු ලබයි. එලෙසම, අපගේ දාර්ශනික විශ්වාසයන් හා නිගමනයන් වනාහී අපගේ සංස්කෘතියේ හා ආගමේ අන්තර්ගත දෑ වන අතර අප විසින් නොදැනුවත්වම ඒවා සමාග්‍ර‍හණය කරගෙන ඇත. මෙලෙස, අප විසින් නොදැනුවත්වම සමාග්‍ර‍හණය කරගෙන ඇති නානාවිධ දාර්ශනික විශ්වාසයන් වනාහී සැබවින්ම යුක්තියුක්ත කර ඇති ඒවාදැයි යම් විමසීමකට භාජනය කිරීම අප විසින් “දර්ශනය” යැයි හදුන්වනු ලැබේ.

මෙතෙක් සිදුකරනු ලැබූ කරුණු දැක්වීම් හරහා අපට “දර්ශනය” යන වදන සදහා මාන තුනක් ඔස්සේ විහිද යන ත්‍රිමාන අර්ථකථනයක් ලැබී ඇත. එනම්, “දර්ශනය” යනු,

  • උගත්කමට ඇලුම් කිරීමයි.

  • වියුක්ත හා මෞලික සංකල්ප ගැන මෙන්ම මානව ජීවිතයට ඒවායේ ඇති අදාලත්වය පිළිබදව වන්නා වූ ගැඹුරු අධ්‍යනයයි.

  • අපගේ ලෝකදැක්මේ ඇති මූලික දාර්ශනික විශ්වාස තාර්කිකව යුක්තියුක්ත කර ඇතිදැයි විමසා බැලීමයි.

  • මෙම ලිපි පෙලේ දෙවැනි ලිපියෙන් අප දර්ශනය නැමති විෂයේ අන්තර්ගතය හා පරාසය පිළිබදව අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    ලිව්වේ – අසීයා මිතුරුසිංහ

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

    ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1

    එදිනෙදා ජීවිතය තුල පැනනගින නානාවිධ සංවාදයන් තුල අප විසින් යම් යම් තර්කයන් (arguments) ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස, ඉදිරිපත් කරනු ලබන තර්කයන්ගෙන් ඇතැම් ඒවා “සාර්ථක” යැයි සැළකිය හැකි අතර තවත් ඒවා “අසාර්ථක තර්කයන්” වේ. ඇතැම් අවස්ථා වලදී, අප විසින් යම් යම් ප්‍රතිභානාත්මක අදහස් මත පදනම්ව සාර්ථක තර්කයන් හා අසාර්ථක තර්කයන් වෙන්කර හදුනාගනී. එසේවුවද, බොහෝ අවස්ථා වලදී අපට සාර්ථක තර්කයන්ගෙන් සාර්ථක නොවන තර්කයන් වෙන්කරගැනීම පිණිස අපගේ ප්‍ර‍තිභානයන් යොදාගත නොහැකිය. ඒ වෙනුවට, අප විසින් කළ යුතු වන්නේ, සාර්ථක හා අසාර්ථක තර්ක එකිනෙකින් වෙන්කරන නිර්නායක මාලාවක් ස්ථාපනය කරගැනීමයි. තර්කශාස්ත්‍ර‍ය (logic) නම් විෂයපථයේ මූලික අභිප්‍රායක් වනුයේ ඉහතින් සදහන් කල නිර්නායක මාලාව ස්ථාපිත කිරීමයි.

    ඕනෑම තර්කයක අරමුණ වනුයේ යම්කිසි ප්‍ර‍ස්තුථයක හෝ යම් ප්‍ර‍ස්තුථ කිහිපයක සත්‍යතාවය ගෙනහැර දැක්වීමයි – එනම් – යම් ප්‍ර‍ස්තුථයක් (හෝ ප්‍ර‍ස්තුථ කිහිපයක්) සත්‍ය බවට සනාථ කිරීම ඕනෑම තර්කයක අරමුණයි. මෙලෙස, යම් තර්කයකින් සත්‍ය යැයි කියාපෑමට බලාපොරොත්තු වන ප්‍ර‍ස්තුථ, නිගමනයන් (conclusions) ලෙස හදුන්වයි. මෙකී නිගමනයන් සනාථ කිරීම පිණිස ඉදිරිපත්කරන කරුණු තර්කාංග (premises) තුල අන්තර්ගත වේ. ඕනෑම තර්කයක් අසාර්ථක විය හැකි ආකාර දෙකකි. එනම්, එකී තර්කයේ අන්තර්ගතය නිවැරදි නොවීම හා තර්කයේ ව්‍යුහය නිවැරදි නොවීමයි. එමෙන්ම, ප්‍ර‍ධාන වශයෙන්ම අප අවධානය යොමුකළ යුතු තර්ක වර්ග දෙකක් ඇත. එනම්, උද්ගාමී තර්කයන් හා ආපෝහනයන්ය. ඕනෑම ආපෝහනයක මුඛ්‍ය අරමුණ වනුයේ නිගමනයේ සත්‍යතාවය සියයට සියයක සහතිකත්වයෙන් යුතුව ගෙනහැර දැක්වීමය. මෙම අරමුණ ඉටුකරගැනීම පිණිස, ඕනෑම ආපෝහනයක් විසින් සපුරාලිය යුතු කරුණු දෙකක් ඇත. ඉන් වඩා වැදගත් කරුණ වනුයේ, තර්කාංගයන් සත්‍ය නම් නිගමනයද සත්‍ය වන ලෙස ආපෝහනයයේ ව්‍යුහය සකස් කර තිබීමය. දෙවනුව, තර්කාංගයන් සත්‍ය වීමය. මෙකී කරුණු දෙකම සපුරාලන ආපෝහනයන් “සම්පූර්ණ ආපෝහනයන්” (sound deductive arguments) ලෙස හැදින්වේ. එමෙන්ම, තර්කාංගයන්ගේ සත්‍යතාවය මගින් නිගමනයේද සත්‍යතාවය සහතික කරන ආපෝහනයන් වනාහී වලංගු ආපෝහනයන්ය. එලෙසම, යම් ආපෝහනයක තර්කාංගයන්ගේ සත්‍යතාවය මගින් නිගමනය ගම්‍ය නොවන්නේ නම් එකී ආපෝහනය අවලංගු ආපෝහනයකි.

    ආපෝහනයන් පිළිබදව කරන අධ්‍යනය “ආපෝහන න්‍යාය” (theory of deduction) ලෙස හැදින්වේ. මෙකී ආපෝහන න්‍යාය තුලින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ ඒ ඒ ආපෝහනයන්ගේ ව්‍යුහය පිළිබදවය. ව්‍යුහමය වෙනස්කම් මත පදනම්ව වලංගු ආපෝහනයන් අවලංගු ආපෝහනයන්ගෙන් වෙන්කර හදුනාගැනීමට අවශ්‍ය කරන නිර්නායක ඉදිරිපත්කිරීම ආපෝහන න්‍යාය නම් විෂයපථයේ අරමුණකි. මෙකී අභිප්‍රාය සාක්ෂ්‍යවත් කරගැනීම පිණිස ගොඩනැගුණු න්‍යාය ප්‍ර‍ධාන වශයෙන්ම කොටස් දෙකකි. එනම්, සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනය (classical Aristotelian logic) හා නූතන සංකේතමය තර්කනයයි (modern symbolic logic).

    ඇරිස්ටෝටල් වනාහී පුරාතන ග්‍රීක සමාජයේ විසූ විද්වතෙකි. ඔහු විසින් මානව දැනුමේ සෑම ක්ෂේත්‍ර‍යකටම සිය දායකත්වය සපයා ඇත. අප විසින් අද සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනය ලෙස හදුන්වන්නේ එකල ඇරිස්ටෝටල් විසින් තර්කශාස්ත්‍ර‍ය පිළිබදව ලියූ ග්‍ර‍න්ථ සමූහයක (මෙම ග්‍ර‍න්ථ සමූහය වර්තමානයේ Organon යනුවෙන් හදුන්වයි) අන්තර්ගතයයි. පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා ගතවූ කාලය තුල, මෙකී සම්භාව්‍ය තර්කනය නානාවිධ සුෂිශ්ටතාවයන්ට භාජනය වී ඇත. එහි අංකනය දියුණු වී ඇති අතර එහි මූලධර්මයන්ද සියුම්කරණයට ලක්ව ඇත. ඇරිස්ටෝටල් ප්‍ර‍මුඛ වූ නානාප්‍රකාර තර්ක විශාරදයන් රැසකගේ මැදිහත්වීමෙන් ස්ථාපනය කරන ලද මෙකී න්‍යාය-පද්ධතිය වනාහී ඉතා බලසම්පන්න වූවක් වන අතර එය මානව සංහතියේ විශිෂ්ඨ බුද්ධිමය ජයග්‍ර‍ණයකි. ඉදිරි ලිපි වලින් අප මෙකී සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනයේ අන්තර්ගතය පිළිබදව සවිස්තරාත්මකව විශ්ලේෂණය කරමු.


    ලිව්වේ – අසීයා මිතුරුසිංහ

    Posted in තර්කනය, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , | 13 Comments

    උපත හා ජෝතිෂ්‍යය

    “උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට පැමිණි අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්ථාවද, දරුවා අඩන්නට පටන්ගත් අවස්ථාවද, නොඑසේ නම්, ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් නර්ස් නෝනා වේලාව බලා සටහන් කල අවස්ථාවද යන උභතෝකෝටික, කෙස් පැලෙන විවාදයක් බුකිය තුල පැන නැගී තිබෙනු දුටු බැවින් මෙම සටහන තබමි.

    ඔය කතාකරන්නේ වේලාපත්කඩය සෑදීමට “උපන් වේලාව” සොයාගැනීම ගැන නම්, ඒ ගැන ඔච්චර කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. “උපන් වේලාව” නම් ප්‍රසූතියේ (ස්වාභාවික හෝ සිසේරියන්) වැඩකටයුතු අවසන් කොට අත පිහදාගත් නර්ස් නෝනා විසින් තමන් කසාද බැඳපු මුල් කාලයේ උපන්දිනයකට සැමියා විසින් තෑගි දුන් ලාභ අත් ඔරලෝසුවෙන් හෝ ප්‍රසූති කාමරයේ බිත්තියේ ගසා ඇති පොට්ට ඔරලෝසුවෙන් බලා කොල කෑල්ලක ලියා දෙන වේලාවයි. දෛවෝපගත ලෙස, මෙම වේලාව ඔබේ අනාගතයට බලපානු ඇත. නර්ස් නෝනාට වේලාව වැරදුනි නම් එයත් ඔබගේ දෛවය අනුව සිදුවූ දෙයකි. කලින්ම කේන්දරය බලා සිසේරියන් කොට “නියමිත” වේලාවට එලියට ගත්තේ නම් එයත් දෛවෝපගතය. දෛවය සිසේරියන් කරලාවත් වෙනස් කල නොහැක. සෑම දොන්, සිමන්, ටොම්, ඩික් සහ හැරීගේ ළමයාම ඔය ආකාරයට කලින් යොදාගත් වේලාවක එලියට ගත නොහැක. ඉන්පසු ඔබ කේන්දරය බලවාගැනීමට යන දෛවඥයා කියන දේ අනුව (එක එක දෛවඥයා කියන්නේ එක එක දේවල්ය) වැඩ කොට ලැබෙන ඵල විපාකද දෛවෝපගතය. ඔබට කේන්දරය බැලීමට යන්න හිතෙන්නේද, නොහිතෙන්නේද, යන්නේ මොකා ගාවට දැයි තීරණය වන්නේද දෛවයට අනුවය.

    කෝකටත් කියා ළමයින් උපන් වේලාව නර්ස්ගෙන් අසා සටහන් කර ගත්තද, මේ වෙන තුරු මොනම කාරණයකටවත් කේන්දරයක් නොහැදූ හා නොබැලූ, ළමයින්ට දෙන නම්ද බිරිද ගර්භනී වෙන්නත් පෙරම තීරණය කෙරූ, මා වැනි අයටද එසේ කිරීමට හිතෙන්නේ දෛවයට අනුවය. බැරිවෙලාවත්, අනාගතයේ ඔය කේන්දර ටික හදවා බලවා ජෝතිශ්‍යකරු කියන යමක් ඇසීමට හෝ එසේ අසා වැඩකිරීමට (කුමන හෝ අවාසනාවක් නිසා) අපි හෝ අපේ පවුලේ යමෙක් තීරණය කළහොත්, එසේ වන්නේද දෛවයට අනුවය.

    කොටින්ම කියනවා නම්, දොරමඩලාව බලා, මින්පසු, “උපන් වේලාව” යනු කලලයේ පලමු හෘද ස්පන්දනය සිදුවූ වේලාව යැයි තීරණය කොට ලංකාවේම දෙමව්පියන් ඒ ආකාරයට කේන්දරය සෑදීමට තීරණය කළහොත්, ඒක වෙන්නේද මුලු ලංකාවේම දෛවය අනුවය (රටටත් කේන්දරයක් තියනවලු හොඳේ!).

    තව අවුරුදු මිලියනකින් පමණ පසු බ්‍රහස්පතීගේ චන්ද්‍රයන් මත ජනාවාස තනන මිනිස් පරපුරක් බිහිවුවහොත්, උපන් වේලාව අනුව ඔවුන්ද කේන්දර හදනු ඇත. ඒ කේන්දර වල පොඩි වෙනසකට ඇති දෙය නම්, කොටුවල ලොකුවටම ඉන්නේ අයියෝ, යුරෝපා, ගැනිමේඩ් හා කැලිස්ටෝ යන උපග්‍රහයන් වීමයි. මෙහෙම වෙන්නේ නැතැයිද, පෘථිවියෙන් බැහැර ජනාවාස තැනීමට තරම් දියුණු තත්ත්වයකට එලැඹෙන මිනිස් ශිෂ්ඨාචාරය ජෝතිශ්‍ය වැනි “මිථ්‍යාවන්” අත් හැර දමනු ඇතැයිද යමෙකු තර්ක කිරීමට පුලුවන. එවන් පුද්ගලයන් හට, පහත කරුණු ටික මතක් කර දෙනු කැමැත්තෙමි.

    මීට අවුරුදු දහස් ගනකට පෙරද, මානවයා විසින් අහසේ තරු රටා වලට සාපේක්ෂව ග්‍රහයන්ගේ පිහිටීම වෙනස්වන ආකාරය බොහෝදුරට නිවැරදිව හඳුනා ගෙන තිබුණි. එකල ගණිතය දියුණුව තිබුණද, දවසේ වේලාව “හරියටම” මැනීමේ ක්‍රම දියුණු වී තිබුනේ නැත. “ඉර මුදුන් වෙන්න පොඩ්ඩකට කලින්”, “ඉර අවරට ගිහින් හෝරාවකට විතර පස්සෙ” වැනි දල අදහසක් පමණි එකල සාමාන්‍ය ජනතාවට තිබුනේ. “ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා – කිතුල් පිත්ත උඩ පියවර මැන්නා ” පිරුල අහල තියෙනවද? මේ පිරුල හැදුනේ මෙහෙමයි. ඉස්සර කාලෙ ලංකාවේ, තමන්ගේ බිරිඳ ළමයා බිහිකරපු ආරංචිය වින්නඹු අම්මා ගෙදරින් එලියට ඇවිල්ල කිව්වහම, ළමයින්ගෙ පියා කරන්නේ (දවල් නම්) තමන්ගේ හෙවනැල්ලේ දිග පියවර කීයක්ද කියල මැනල තියාගන්න එක (රෑ නම් කලේ මොකක්ද කියල අහන්න නම් එපා. දන්නේ නෑ). මේ පියවර ගාන “ගණිතයා” හෙවත් නක්ෂත්‍රකරුවාට කිව්වහම මනුස්සයා වේලාව ගනන් බලලා වේලාපත්කඩය හදල දෙනවා. දැන් ඔය කිතුල් පිත්ත උඩ පියවර මැනපු කාලෙ ඉඳන්, පරමාණුක ඔරලෝසු වලින් අන්තිම තත්පර දශමෙට වේලාව මනින කාලෙ වෙනකන් ලෝකය කොච්චර වෙනස් උනාද? ඒ උනාට, ජෝතිෂ්‍යයට බිස්නස් අඩුවක් තියෙනවද? නෑ නේ. ඒ වගේ තමයි බ්‍රහස්පතීගෙ චන්ද්‍රයන් මත ජනාවාස ඉදිකරන කාලෙ වෙන කොටත්.

    ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන ආකාරය වගුගත කිරීම සම්පූර්ණයෙන්ම ගණිතමය වැඩක්. වැඩේ සංකීරණයි තමයි. මේ රටා එකක්වත් සරල සමීකරන වලට “ෆිට් වෙන්නෙ” නෑ. හැබැයි සංකීර්ණ වුනාට සම්පූර්ණයෙන්ම ගණිතමයයි. ඉස්සර කාලේ නක්ෂත්‍රකරුවාට “ගණිතයා” කීව්වෙ ඒකයි. (බරණ ගණිතයා ගැන අහල ඇතිනෙ!)

    දැන් මේ ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරණය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ. මෙන්න මේ වගේ දෙයක් තමයි වුනේ කියලා මම පොඩි කාලෙ හිතාගෙන හිටියා. දැන් ඔය කියපු අතීත ගණිතයන්ට කියන්න පුලුවන්නේ අහවල් දවසේ අහවල් වේලාවට සූර්යග්‍රහනයක් වෙනවා කියල. ගමේ මිනිස්සු මේ කතාව මුලින් විශ්වාස නොකරන්න ඇති. ගණිතයාට හිනා වෙන්නත් ඇති. හැබැයි කියපු වෙලාවට වැඩේ උනාම ගමේ මිනිස්සු හොඳටම බයවෙන්න ඇති. “අනේ ගණිතයෝ, ඔය වගේ කියන්න පුලුවන්ද ඊලඟ කන්නෙ නියඟෙට පාලු වෙයිද නැද්ද කියල” යනුවෙන් ඇහුවහම ගණිතයා කියන්න ඇති “ඔව් බොල, ඒ විතරක් නෙමෙයි තා මැරෙන දවස කියන්නත් පුලුවන්” කියල. ඔන්න ඔහොම තමා ඕක පටන් ගන්න ඇත්තෙ කියල තමයි පොඩි කාලෙ නොදන්නකමට මට හිතුනේ.

    දැන් මේ “අහසට වැටකොලු ප්‍රශ්නය” විසදන්න මහාචාර්ය නලින් ද සිල්වා “ප්‍රත්‍යක්ෂ” කියන සංකල්පය ඉදිරිපත් කරලා තියනවා. අපේ ගණිතයො හැන්දෑවේ රා කට්ටක් එහෙම ගහලා, හාන්සි පුටුවෙ වාඩි වෙලා, කකුල උඩ තියාගෙන කල්පනා කරන කොට එක පාරටම හිතෙනවා “අඩේ, මම මෙහෙම වේලි වේලි හිටියට, මගේ මස්සිනාට යන යන තැන ගෑනු පරාණයක් සෙට් වෙනවනේ. මොකද අප්පා ඒ…. හරි හරි මිනිහගෙ කේන්දරේ අහවල් ග්‍රහයා අහවල් තැන තියෙන නිසා තමයි ඒ!!” අන්න ප්‍රත්‍යක්ෂයෙන් පහල වූ අලුත් දැනුමක්! සුරාවෙන් සූදුවෙන් මෙන්ම දුම් පානයෙන්ද වැලකිලා, හත් දවසක් පේවෙලා, නාථ දෙවියන් ආරූඪ වෙච්ච ගෑනු කෙනෙක්ගෙන් අහල උනත් “ප්‍රත්‍යක්ෂ දැනුම්” ලබා ගන්න පුලුවන්. ඔන්න ඕකයි කතාව.

    දැන් ඉස්සර කාලෙ කේන්දරේ නොතිබිච්ච අලුත් ග්‍රහ වස්තු කේන්දරේට ආවට පස්සෙ ඒ ග්‍රහ වස්තු වලින් වෙන අපල උපද්‍රව හොයාගන්නෙ ප්‍රත්‍යක්ෂයෙන්. අන්න ඒ විදිහට ඉස්සරහට පහලවන ගණිතයො හොයාගනීවි බ්‍රහස්පතීගේ චන්ද්‍රයාමත ඇති ජනාවාසයක ජීවත් වන කෙනෙකුගේ ගැනිමේඩ් අටේ හිදීම නිසා විවාහය කල් යන බව!

    ලිව්වේ – රිටිගල ජයසේන

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

    නීතිය හා පාෂාණ්ඩනය

    නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා රටක පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමත්, යුක්තිගරුක සමාජයක් බිහිකිරීමත් සාමාන්‍යයෙන් නීතිය තුලින් අරමුණු කරගනී. එමෙන්ම, යම් සමාජයක් සුසම්පාදිත (well-ordered) වීමට නම්, සද්භාවී නොවන ක්‍රියාවන් අතුරින් කිහිපයක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පනවනවාට අමතරව, යම් යම් “කෘතිම නීති” ප්‍රමාණයක් සැකසීමද අවශ්‍යය. මෙහිදී, “කෘතිම නීති” යනුවෙන් අදහස් කරනුයේ සද්භාවය (morality) මත පදනම් නොවූ නීතීන්ය. උදාහරණයක් ලෙස, කහඉරක් නොමැති ස්ථානයකින් පාර මාරු වීම වනාහී සද්භාවී නොවන දෙයක් නොවේ. එසේවුවද, බහුතරයක් මිනිසුන් තමාට හිතෙන හිතෙන තැනින් පාර මාරුවීම සිදුකළහොත් මහමග සුසම්පාදිත බව නැතිවී ගමනාගමනය අසීරු වේ. එසේ වීම වළක්වාගැනීම පිණිස අප “කහ ඉරෙන් පමණක් පාර මාරු විය යුතුය” යන මාර්ග නීතිය ඇතුළු කොටගත් මාර්ග නීති පද්ධතියක් ස්ථාපනය කිරීම සිදුකරනු ලැබේ.

    සද්භාවී නොවන ක්‍රියා සියල්ලම නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස විවරණය කිරීම කළ නොහැකිය. අප විසින් සියලු සද්භාවී නොවන ක්‍රියා නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස නම් කළහොත් ඉන් අදහස් වන්නේ අප සියලු දෙනාම සිටිය යුත්තේ සිරගෙවල් වල බවයි. මන්දයත්, අප අතරින් කිසිකෙනෙක් සද්භාවයෙන් සුසාධිත (morally perfect) නොවන බැවිනි. එබැවින්, සමාජයේ සමෘද්ධිය නවතාලන හා අඩාල කරවන මිනීමැරීම යනාදී “දරුණු” සද්භාවී නොවන ක්‍රියා පමණක් නීතියෙන් තහනම් කළ යුතුය.

    දැන් අප, පාෂාණ්ඩනය (blasphemy) යන සංකල්පය වෙත යොමුවෙමු. පාෂාණ්ඩනය වනාහී සද්භාවී ක්‍රියාවක්ද නැතහොත් සද්භාවී නොවන ක්‍රියාවක්ද යන්න ගැටලුවකි. මෙකී ගැටලුව විසදීමෙහිලා අප විසින් මුලින්ම කළ යුතු වන්නේ “පාෂාණ්ඩනය” යන වදන අර්ථදැක්වීමයි. යම්කිසි වචනයක් නිර්වචනය කිරීම වනාහී රේඛීය චින්තනයෙන් පැවත එන පුරුද්දක් යැයි පවසමින් යම් දාර්ශනික ගැටලුවක මූලපද (keywords) විවරණය කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඇතැමුන් පෙළඹේ. එසේවුවද, වචන කේන්ද්‍ර කොටගෙන හටගන්නා වාග් ආරවුල් (verbal disputes) නිරාකරණය කරගැනීමට මෙන්ම යම් වදනකින් සන්නිවේදනය කරන අදහස පැහැදිලි කරගැනීමටද නිර්වචනයන් මහෝපකාරී වේ. එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථා වලදී අපට වචන අර්ථදැක්වීමේ අවශ්‍යතාවය පැනනගින්නේ නැත. එනමුත්, යම් සමාජ ගැටලුවක් දෙස දාර්ශනික, විද්‍යාත්මක හා නීතිමය කෝණයන්ගෙන් බලද්දී නිර්වචනයන්ගේ අවශ්‍යතාවය ඉස්මතු වේ.

    “පාෂාණ්ඩනය” නැතහොත් “ආගමට අපහාස කිරීම” යන සංකල්පයට පැහැදිලි හා ප්‍රමාණවත් සෛද්ධාන්තික විවරණයක් වර්තමාන සමාජය තුල නැත. මේ නිසා, ආගමිකයන්ට තමන් අකමැති ඕනෑම දෙයක් තම ආගමට එල්ලවන “අපහාසයක්” ලෙස සැළකීමේ “නිදහස” ලැබී ඇත. මෙය බරපතල තත්ත්වයකි. උදාහරණයක් ලෙස, මුස්ලිම් ගෝත්‍රිකයින් විසින්, ඉස්ලාමය සාධාරණ ලෙස විවේචනය කරන සාහිත්‍යමය නිර්මාණ පවා “අපහාස” ලෙස සළකා ප්‍රචණ්ඩත්වය මුදාහරින වත්මන් සන්දර්භය තුල “පාෂාණ්ඩනය” යන්න පැහැදිලිව නිර්වචනය කර නොමැතිවීම බරපතල තත්ත්වයකි.

    පාෂාණ්ඩනය සද්භාවී නොවන ක්‍රියාවක් යැයි මදකට උපකල්පනය කරමු. එසේවුවද, පාෂාණ්ඩනය වනාහී නීතියෙන් තහනම් කළ යුතු දෙයක්ය යන්න ඉන් ගම්‍යමාන නොවේ (සද්භාවී නොවන ක්‍රියාවන් සියල්ල නීතියෙන් තහනම් විය යුතු නොවන්නේ ඇයි දැයි ලිපිය මුලදී කරුණු දක්වා ඇත). මෙම ප්‍රකාශයට පදනම් වන ප්‍රධාන හේතු දෙකකි. එකක් නම්, ඍජුව හෝ වක්‍රාකාරව ආගමකට “අපහාස” කරනවා යැයි සැළකෙන ප්‍රකාශන තහනම් කිරීම තුල, මානවයාගේ මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අකුල් හෙලීම සිදුවීමයි. අප තේරුම්ගත යුතු අනෙක් කාරණය නම්, නීතිය ඇත්තේ මිනිස් අයිතිවාසිකම් වලට ගරුකරන යුක්තිගරුක සමාජයක් බිහිකිරීමට විනා යම් ආගමක් හෝ යම් සංස්කෘතියක් “සුරැකීමට” නොවන බවයි.

    එමෙන්ම, යම් ක්‍රියාවක් “සංස්කෘතියට පටහැනි” වූ පමණින් එය නීතිවිරෝධී විය යුතු යැයි තර්ක කිරීම බුද්ධිගෝචර නොවේ. මන්දයත්, කලින් සදහන් කළ පරිදි, නීතියේ අරමුණ “සංස්කෘතිය සුරැකීම” නොවන බැවිනි. ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් නීතියේ අභිප්‍රාය පිළිබදව වන මෙම මූලික මූලධර්මය පවා වටහාගෙන නොමැත. සමලිංගිකත්වය, රාත්‍රී සමාජ ශාලා පවත්වාගෙන යාම, ගවමස් කෑම යනාදී දේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයින්ගේ සංස්කෘතියට පටහැනි නිසා නීතියෙන්ද තහනම් කළ යුතුය යන ගුඩු තර්කය අපට නිතර නිතර අහන්නට ලැබෙන්නේ එබැවිනි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

    හොද විය යුත්තේ ඇයි?

    ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් පසුම්බිය අහුලාගනු දකින්නේ නැතැයි උපකල්පනය කරමු.) ඔබට පසුම්බියේ අයිතිකරුට කතාකර ඔහුගේ පසුම්බිය නැවත ඔහු වෙත ලබාදීමට හැකියාව ඇත. ඔබ කරන්නේ කුමක්ද? නැවත පසුම්බිය එහි අයිතිකරුට බාරදෙනවාද? නැතහොත් එම පසුම්බියේ තිබුණු මුදල් ඔබ තියාගන්නවාද?

    අප අතරින් බොහෝ දෙනා, ඉහත චිත්ත පර්යේෂණය තුලින් ඉදිරිපත් කෙරුණු මෙම පැනයට දෙන පිළිතුර වනුයේ “මම පසුම්බිය අයිතිකරුට නැවත ලබාදෙමි” යන්නයි. එයට හේතුව නම්, අයිතිකරුට සිය පසුම්බිය නැවත භාරදීම වනාහී “නිවැරදි ක්‍රියාව” යැයි අප තුළ යම් ප්‍රතිභානාත්මක විශ්වාසයක් තිබීමයි. මෙහිදී, අප විසින් නිරායාසයෙන්ම උපකල්පනය කරන තවත් ප්‍රස්තුථයක් වේ. එනම්, “අප සෑම විටම නිවැරදි ක්‍රියාව කළ යුතුය” යන ප්‍රස්තුථයයි. වෙනත් වචනයෙන් කිවතොත්, අපි “හොද” විය යුතු යැයි උපකල්පනයක් අප අතර සිටින බොහෝදෙනෙක් තුල ඇත.

    නමුත්, අප “හොද මිනිසුන්” විය යුත්තේ ඇයි? සද්භාවය (moral goodness) වනාහී අප විසින් සද්භාවය උදෙසාම ප්‍රගුණ කළ යුතු ගුණයක්ද? නැතහොත්, අප සද්භාවී විය යුත්තේ එසේ වීම තුලින් අපට ලැබෙන ප්‍රතිලාභ හේතුකොට ගෙනද? සාදෘශ්‍යයක් ඉදිරිපත් කරන්නේ නම්, අප ව්‍යායාම කරනුයේ ව්‍යායාම හරහා අපට ලැබෙන ප්‍රතිලාභ – එනම් – නිරෝගී සිරුරක්, ශක්තිමත් මස්පිඩු වැනි දෑ – නිසාය. යම් හෙයකින් ව්‍යායාම තුලින් අපට නිරෝගී සිරුරක් හා ශක්තිමත් මස්පිඩු නොලැබේ නම් අපට ව්‍යායාම කිරීම සදහා පදනම් වන මූලකාරණයක් නැත. සද්භාවයත් ව්‍යායාම බදුද? අපි සද්භාවී වනුයේ එසේ වීම තුලින් අපට ලැබෙන ප්‍රතිලාභ වන අත්අඩංගුවට ලක්වීමෙන් වැළකීම, “පින්” ලබාගැනීම හා දෙවියන්ගේ දඩුවම් වලට ලක්වීමෙන් වැළකීම වැනි දෑ හේතුකොට ගෙනද?

    නැවතත්, ඉහතින් දැක්වූ චිත්ත පර්යේෂණය වෙත යොමුවෙමු. ඔබ විසින් මුදල් පසුම්බිය අහුලාගනු දකින කිසිවෙක් නැතැයි අප එම චිත්ත පර්යේෂණය තුලදී උපකල්පනය කර සිටියෙමු. එනම්, ඔබට එකී මුදල් පසුම්බියේ ඇති මුදල්, අවශ්‍ය නම් තියාගත හැක. එය “වැරදි” වුවද එසේ කළ පමණින් ඔබට මනුලොව කිසිවෙක් දඩුවම් කරන්නේ නැත. එසේවුවද, අප අතරින් බොහෝදෙනා මෙවන් අවස්ථාවක මුල්තැන දෙන්නේ සද්භාවී වීම නැතහොත් “හොද” වීම උදෙසාය. බොහෝදෙනෙක් තමන්ට “නොමිලයේ” ලැබෙන්නට තිබුණ මුදල හොද මිනිසෙකු වීම උදෙසා කැපකරනු ඇත. මින් පැහැදිලි වෙන්නේ, සද්භාවී වීම නැතහොත් “හොද වීම” පිණිස අප විසින් යම් යම් කැප කිරීම් කළ යුතු බවයි.

    මෙකී කැපකිරීම් කිරීම පිණිස මිනිසා පොළඹවන්නේ ආගමින් යැයි මතයක් අප සමාජයේ පවතී. එම මතය මත පදනම්ව ඇතැමුන් තර්ක කරන්නේ නිරාගමික මිනිසුන් හට සද්භාවය උදෙසා සිය කාලය, ශ්‍රමය හා ධනය කැපකිරීමට පොළඹවන “මූලාශ්‍රයක්” නැති බවයි. මේ නිසා, නිරාගමිකයන්ට සිය ජීවිතය තුළ, නීතියෙන් බේරී, සද්භාවී නොවී සිටීමට “නිදහස” ඇතැයි ඇතැමුන් තර්ක කරනු දැකිය හැකිය. සිංහල බ්ලොග් අවකාශය තුල දක්නට ලැබුන එවන් තර්කයක් මෙසේය,

    “නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා… අනං මනං නිර්වාණ හොයන්නේ නැතුව…. ඕන වැරදි වැඩක් කරපන් පුතේ…. නීතීයට අහුනොවෙන්න…ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ.. ඒවා බොරු….. හැබැයි පු‍තෝ….නීතීයට අහු උනොත් නං උඹ පරාදයි….. නිරාගමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං…. ”

    සද්භාවය උදෙසා යම් යම් කැප කිරීම් කිරීමට මිනිසාව පොළඹවනු ලබන මූලාශ්‍රයක් (දෙවියන්, කර්මය වැනි) ඇත්ද නැද්ද යන ගැටලුව වනාහී පාරභෞතික ගැටලුවකි. සදාචාරය පිළිබදව වන මෙම ලිපිය තුළින් එකී පාරභෞතික ගැටලුව යම් විමසීමකට ලක්කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. එසේවුවද, “නිරාගමිකයන් හට සද්භාවී විය නොහැක” යන අදහසට හා ඊට ළගින් යන අදහස් වලට පිළිතුරක් දිය යුතුමය.

    ආගම් අදහන අය විසින් සද්භාවී වීම වනාහී ව්‍යායාම කිරීම වැනි දෙයක් යැයි සළකනු ලැබේ. එනම්, අප සද්භාවී වීම උදෙසා කැපකිරීම් කළ යුතු වන්නේ සද්භාවී වීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ නිසාය යන අදහස ආගම් අදහන පිරිස් තුල ඇත. මොවුන් විසින් නිරාගමිකයින්ට “නිරාගමිකයන් හට සද්භාවී විය නොහැක” යැයි චෝදනා කරන්නේද ඉහත කී අදහස ඔවුන්ගේ සිත් තුල කිදාබැස ඇති බැවිනි. නමුත්, සද්භාවී වීම යනු ව්‍යායාම කිරීම බදු දෙයක් නොවේ. අප සද්භාවී විය යුත්තේ සද්භාවයම උදෙසා (being moral for the sake of morality itself) මිස යම් යම් ලෞකික හා ලෝකෝත්තර ප්‍රතිලාභ උදෙසා නොවේ. මෙම ප්‍රස්තුථය වැඩිදුරටත් විස්තාරණය කිරීම ඉදිරි ලිපි තුලින් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 16 Comments

    සදාචාරය හා නිරාගමික භීතිකාව

    අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා සටහන වනාහී මේ බිය යම් පමණකට අඩු කිරීම උදෙසා ලියැවුණ සටහනකි.

    මූණුපොතේ එක් තැනක ඇති වූ සංවාදයක් කියැවීමේදී, ආගම් අදහන බොහෝ දෙනා හට වර්තමානයේ සමාජගතව පවතින “නූතන හර පද්ධතීන්” හා “නීතියේ ආධිපත්‍යය” වැනි සංකල්ප පිළිබද අවබෝධයක් නැති බව මට පෙනීගියේය. ඇත්තටම, “නූතන හර පද්ධතීන්” යන යෙදුම පවා ගැටලු සහගතය. මන්දයත්, වර්තමානයේ ගෝත්‍රික නොවන සමාජයන් තුළ ගරු බුහුමනට ලක්වන චාරවත් දිවියක් පවත්වාගෙන යාම, අනන්‍යයන්ගේ දුකට හා වේදනාවට තුඩු දෙන ක්‍රියාවලින් වැළකීම හා අන්‍ය අයිතිවාසිකම් වලට ගරුකිරීම වැනි සංකල්ප වනාහී අද ඊයේ හදිසියේ හටගත් ඒවා නොවන බැවිනි. උදාහරණයක් ලෙස, Nicomachean Ethics නම් ග්‍රන්ථය තුළින් ඇරිස්ටෝටල් ද, නානාවිධ දාර්ශනික ප්‍රකාශන හරහා ඉමෑනුවෙල් කාන්ට් ද අප මේ කියන “නූතන හරයන්” පිළිබදව “පුරාතනයේ” – එනම් – “නූතන” යුගයට පෙර කතාකොට ඇත.

    එසේවුවද, ආගම් විසින් මානව සමාජ-සංස්කෘතික ව්‍යුහය ආක්‍රමණ කර තිබුණු කාල වකවානු තුල, වහල් භාවය වැනි දෑ මානවයා විසින් පිළිකෙව් කොට දැමිය යුතු දේ යැයි මතයක් නොවිණ. වහල් භාවය අතහැරිය යුතුය යන අදහසට සමාජයේ යම් පිළිගැනීමක් ලැබුනේ සමාජ හර පද්ධතීන් ටිකෙන් ටික ආගමෙන් වියෝ වූ විටය. නමුත්, වර්තමානයේ වුවද, සමාජ හරයන් ආගමෙන් වියෝව නොමැති සංස්කෘතීන් තුළ වහල් භාවය වැනි දේ සාමාන්‍ය දේ ලෙස ක්‍රියාත්මක වේ.


    එසේවුවද, ආයතනගත ආගම් වලින් නූතන සමාජයට කිසිම මෙහෙයක් නොවේ යැයි මින් අදහස් නොවේ. ආගම් අදහන අය බොහෝවිට කරනුයේ තමතමන්ගේ ආගම් වලට පිටතින් ගොඩනැගෙන සදාචාරාත්මක ප්‍රමේයයන් සිය ආගම් තුළට අවශෝෂනය කරගෙන, එලෙස අවශෝෂණය කරගත් සදාචාරාත්මක හරයන් වලට තම ආගමේ වෙළද නාමය ගසා සමාජයේ ස්ථාපිත කිරීමයි. මෙහිදී, ඔවුන් සදාචාරය “නිෂ්පාදනය” කිරීමක් නොකරයි – “ඇසිරීම හා වෙළද නාමය ගසා බෙදාහැරීම” පමණක් සිදුකරයි. මෙය සමාජයේ බොහෝ අයට ප්‍රයොජනවත් වුවද, ආගම හරහා බෙදා හැරෙන සදාචාරය වෙනුවට එම සදාචාරයේම “ඓහික මූලයන්” වලින් උකහාගත් සදාචාරය භාවිතා කරන පිරිසක්ද සිටී. අපි ඔවුන් හැදින්වීමට “නිරාගමිකයන්” යන වදන යොදාගන්නෙමු.

    ලිව්වේ – රිටිගල ජයසේන

    සංස්කරණය – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

    සිරිසේන දිනුවේ ඇයි?

    මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත.

    දැන් අප “මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ඇයි? ” යන ප්‍රශ්නය වෙත සහ “සිරිසේන දිනුවේ කොහොමද? ” යන ප්‍රශ්නය වෙත අවධානය යොමුකරමු.

    සිරිසේන දිනුවේ සියයට පනහට වැඩියෙන් ඡන්ද ලබාගත් නිසාය. ඔහුට එලෙස ඡන්ද ලබාගැනීමට හැකිවූයේ සිරිසේන පරාද වූ ඡන්ද කොට්ඨාශ වල පවා බොහෝවිට සියයට හතලිහක් හෝ ඒ ආසන්නයේ හෝ ඊට ඉහලින් සිටීමට ඔහුට හැකිවූ නිසාය. එමෙන්ම, උතුරු නැගෙනගිර ප්‍රදේශවල දෙමල හා මුස්ලිම් ඡන්ද අතිවිශාල “කුට්ටි පිටින්” ලබාගත් නිසාය.

    එතකොට, සිරිසේනගේ ජයග්‍රහනයේ ප්‍රධාන සාධකය කුමක්ද? එම ප්‍රධාන සාධකය වනාහී ලංකාව පුරාම 40% හෝ ඊට ආසන්න ඡන්ද පදනමක් පවත්වා ගැනීමට හැකිවීමයි. එතකොට, අමතක කිරීමට නොහැකි, අතුරු සාධකය කුමක්ද? එකී අතුරු සාධකය වනාහී දෙමල හා මුස්ලිම් ඡන්ද “කුට්ටි පිටින්” සිරිසේනට වැටීමය. සිරිසේනගේ සංධානයේ ජයග්‍රහනය ගැන නොමනාප හා සිරිසේනගේ සංධානය ඇනගන්නවා දකින්න කැමති හා මෙම සංධානය අන්නවන්න කැමති අයට මේ වෙලාවේ මතුකරන්න පුලුවන් හොඳම දේශපාලන තුරුම්පුව කුමක්ද? ඒ වනාහී අන් කවරක්වත් නොව, කුට්ටි පිටින් වැටුන දෙමල හා මුස්ලිම් ඡන්ද වලට නොයෙකුත් භයානක අර්ථකථන සැපයීමය. එවන් භයානක අර්ථකථනයන් බොහොම ස්වභාවිකව තැන් තැන් වලින් මතුවෙමින් පවතී.

    අපි මෙම අර්ථකථන ගැන මදක් විමසා බලමු. TNA හා මුස්ලිම් කොංග්‍රසය යනු රටේ පොදු පුරවැසි අයිතීන් හෝ ජාතික තලයේ සමාජ-ආර්ථික කරුණු ගැන ලොකු උනන්දුවක් නොමැති, නිශ්චිත වාර්ගික හා ආගමික අනන්‍යතාවයකින් යුත් පුරවැසියන් කාණ්ඩ දෙකක් වෙනුවෙන් පමණක් පෙනීසිටිනා පක්ෂයන්ය. කෙටියෙන් කිවතොත්, මේවා “ගෝත්‍රික” පක්ෂයන්ය. මේවායේ පැවැත්ම හා අරමුණු ගැන මා තුළ එතරම් පැහැදීමක් නැත. කෙසේනමුත්, මෙවන් ගෝත්‍රික පක්ෂ වල පැවත්ම අනවශ්‍ය වෙන දේශපාලන වටපිටාවක් තවමත් හැදිල නැති තත්ත්වයක් මත සහ එවන් “ආගමික/වාර්ගික අයිතීන්” වෙනුවෙන් පමණක් පෙනී ඉන්න පක්ෂ වල පැවත්ම නීති විරෝධී නැති නිසා එම පක්ෂ පවතිනවාය. එබැවින්, ඒවායේ පැවැත්ම අපි කැමති උනත් අකමැති උනත් පිලිගැනීමට සිදුවේ.

    ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් වැනි ජාතික තලයේ මැතිවරණයක් ජයගැනීමට උත්සාහ කරන ඕනෑම කන්ඩායමක් තමන්ගේ පැත්තට ඡන්ද මිලියන බාගයක් විතර ගන්න පුලුවන් ක්‍රමයක් පේනවා නම් ඒ දෙස අනිවාර්යයෙන්ම බලනවා. එවන් අවස්ථා වලදී කවුරුවත් මෙකී “ගෝත්‍රික පක්ෂ” නොතකා ඉන්නේ නැත. වැදගත්ම කාරණය නම්, මේ පක්ෂ සමග සංධාන ගතවීමේ දී ජාතික තලයේ අභිලාෂ වලට හානි දායක කිසියම් “ඩීල්” ගහනවද නැද්ද යන්නයි. එවන් වූ “ඩීල්” එකක්, මේ කිසිම පක්ෂයක් සමග නැති බවට සහතිකයක් තියෙන මේ අවස්ථාවේ, සිරිසේනගෙ කන්ඩායමට ලැබුන දෙමල හා මුස්ලිම් ඡන්ද ගැන කෙරෙන අර්ථකථන ගැන දැන් විමසා බලමු.

    දෙමල හා මුස්ලිම් ඡන්ද කුට්ටි පිටින් නොවැටුනා නම් සිරිසේන දිනයිද? පැහැදිලිවම නැත. ඒ ඡන්ද බොහොම වැදගත් විය. දැන් මෙහි ඇති “වැරද්ද”, අපි මේ ගැන ආඩපාලි කියන සිංහලබෞද්ධෙ ගෝත්‍රිකයන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලමු.

    ලංකාවේ මැතිවරණ සිතියමේ උතුර හා නැගෙනහිර තියෙනවාද? ඔව්! තියෙනවානෙ. ඒක නැතිකරන්නනෙ ඊලාම් යුද්ධයක් ගියේ. ඒක තියාගන්න ඕනේ හින්දනෙ ප්‍රභාකරන් එක්ක ඔච්චර අමාරුවෙන් යුද්ධ කලේ. ඒ යුද්දෙ රජය (ඒ කියන්නෙ “අපි”) දිනුවානෙ. ඒ හින්ද මැතිවරන සිතියමේ උතුර හා නැගෙනහිර තියෙනවා. ඒවායේ ඉන්න මිනිස්සු ඡන්දෙත් දානවා. ඒ ඡන්ද අපි ගණනුත් කරනවා. මේවා මෙහෙම කරන්න ඕනේ නිසයි අච්චර වියදම් කර, අච්චර ජීවිත පරිත්‍යාග කර යුද්ධයක් කලේ. ඒ බව සියලු දෙනා මතක තබාගත යුතුය. උතුරු නැගෙනහිර ඡන්ද පෙට්ටි පිටින් මුහුදට දානවා නම්, ඒ කෑල්ල ප්‍රභාකරන්ටම දුන්නා හා සමානය. අමාරුවෙන් යුද්ධ කර ඒ කෑල්ල තියාගත්තෙ එහෙම කරන්න කැමති නැති හෙයිනි.

    දැන්, ඒ කෑලි වල ඉන්න මිනිසුන් පුරවැසි අයිතීන් නැති හා ජනාධිපතිවරණයක දී තමන් වඩාත් කැමති අපේක්ෂකයාට ඡන්දය දාන්න බැරි දෙවැනි ගණයේ පුරවැසියන් විදිහට ඉන්න ඕනේද? “එහම වෙනවා නම් හොඳයි” කියන නරුමයෝ එක්කෙනෙක් දෙන්නෙක් නම් ඇති. නමුත් එවන් නරුමයෙක් මේ ලිපිය වගේ එකක් කියවන එකකුත් නැති බැවින් එහෙම කියන කවුරුත් නැහැයි කියා උපකල්පනය කරන්නෙමි.

    දැන්, මේ උතුරු නැගෙනහිර ඉන්න දෙමල හා මුස්ලිම් මිනිස්සු “සිරිසේනට මෙච්චර කුට්ටි පිටින් ඡන්දෙ දැම්මෙ ඇයි?” කියල සමහරු ප්‍රශ්න කරති. මෙම ප්‍රශ්නය අහන බොහෝ දෙනා මේකට උත්තරෙත් දනී. නමුත්, කුහකකමට මේ ප්‍රශ්නය අහනවා. උත්තරේ තමයි ඒ මිනිස්සු අතරෙ මහින්ද රාජපක්ෂ කිසිසේත්ම ජනප්‍රිය නොවීම. එලෙස මහින්ද රාජපක්ෂ මෙම මිනිසුන් අතර ජනප්‍රිය නොවීමට හේතුද මෙම ප්‍රශ්න අහන අයම දනී. හැබැයි දන්නේ නෑ වගේ ඒ ප්‍රශ්නෙම අහනවා. මේ දෙමල/මුස්ලිම් මිනිස්සු සමහරෙක් මෛත්‍රීපාල කවුද කියල දන්නෙත් නැතුව ඇති. නමුත් මහින්ද එලවන්න නම් මෛත්‍රීට ඡන්දය දෙන්න ඕනේ කියන එක විතරක් දන්නවා ඇති. ඉතින් ඒ මිනිස්සු මෛත්‍රීගේ ලකුණ ඉස්සරහ පොදි පිටින් කතිරෙ ගැහුවා.

    මෙහි ඇති අයිරොනිය තමයි “ඇයි මේ මිනිස්සු මහින්දට විරුද්ධව සිරිසේනට ඡන්දය දුන්නෙ?” කියන ප්‍රශ්නය අහන ගොඩක් දෙනෙක් මහින්දගෙ දකින ලොකුම හොද දෙය වනුයේ සුළු ජාතික අභිලාෂ වලට ඉඩ නොදීම, යුද්ධය වසරක් පාසා උත්කර්ෂයට නංවමින් දෙමල ජනතාවගෙ හිත් පෙලීම, උතුරේ මංසන්ධිවල බලෙන් බුදු පිලිම පිහිටුවීම හා උතුරේ දිගටම හමුදා පාලනයක් පවත්වා ගැනීම. ඉතින් දෙයියනේ!! ඕවා කරනකොට දෙමල ඡන්ද හම්බු වෙයිද? එමෙන්ම, මහින්ද මහතා දෙමල ඡන්ද නැතිකර ගැනීමෙන් නොනැවතී බොදු බල සේනාවට නිදහසේ ජාතිවාදය හා ගෝත්‍රවාදය වැපිරීමට ඉඩ දෙමින් මුස්ලිම් ඡන්ද ටිකත් හෝල් සේල් නැතිකර ගත්තේය.

    මේ ආකාරයට මැටි මෝල් වැඩකර ඡන්දය පරාදවූ පසු “කරුණාකර තවත් ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන්නෙ නැතිව ඉන්න” කියන එක තමයි මහින්දවාදීන්ගෙන් මට ඉල්ලන්න තියෙන එකම දේ. සුළු ජාතිකයන් හා සුළු ආගමිකයන් දෙවන ගණයේ පුරවැසියන් විදිහට ජීවත්වෙමින් හෝ ඔවුන් සිංහලබෞද්ධ ගෝත්‍රික මහාසම්ප්‍රදායට “අවශෝෂණය” වී ජීවත්විය යුතුයි කියා කියන කට්ටිය ඉන්නෙ ලංකාවේ මුලු ජනගහනයට බාගයකටත් වඩා අඩුවෙන්ය. මොවුන් තේරුම් ගතයුතු කාරණය තමයි තමන් තවදුරටත් බහුතරය නොවන බව. මේ අය විශාල සුළුතරයක්. නමුත් විශාලම සුළුතරය වීම හා බහුතරය වීම කියන්නෙ දෙකක් බව මේ ඡන්දෙන් අවබෝධ කරගත යුතුය. කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට සිංහලබෞද්ධ අධිපතිවාදී මතයට පමණක් කේටර් කිරීමෙන් ජනාධිපතිවරණයක් ජයගත නොහැක.

    සිංහලබෞද්ධ අධිපතිවාදයට පමණක් කේටර් කරල ඡන්දයක් දිනන්න අවශ්‍යම නම් අඩු ගානෙ බිලියන ගණන් මහජන මුදල් ගසා නොකා, යහපාලනයට කෙළ නොකර සිටිය යුතුය. එහෙමත් බැරි වෙච්ච රාජපක්ෂ රෙජීමය කඩා වැටීම අරුමයක් නොවේ.

    පොඩිකාලේ සිට වංගෙඩියේ දා කොටල පොවපු සිංහලබෞද්ධ ගෝත්‍රවාදය අත් හැර ගන්න බැරිනම්, එම ගෝත්‍රවාදයට කේටර් කරන ආණ්ඩුවක් ඔනේ නම්, අඩුගානෙ තමන්ගෙ බැනර් එක උස්සාගෙන යන්න හොරු, මංකොල්ලකාරයො, කප්පම් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මගඩි කාරයෝ, මන්ද බුද්ධිකයෝ නොවන පිරිසක් එකතු කරගන්න.

    ඒ වැඩේ කරගන්න පුලුවන් වෙනකම්, තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය නොදුන් පලියට තමන්ගේ සහෝදර ජනකොටස් වල හැම එකාම “බෙදුම් වාදියෙක්”, “ත්‍රස්තවාදියෙක්”, “අන්තවාදියෙක්” කියල නම් කිරීමෙන් කරුණාකර වලකින්න. ඉක්මනින් නොවුනත්, කවදාහරි ඇතිවෙන්න පොඩි ඉඩක් හරි තියෙන, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාව හා සැබෑ ජාතික සමගිය තිඹිරිගෙයිදීම මරල දාන්න හදන්න එපා! ගෝත්‍රවාදී නොවී පොදු අනන්‍යතාවයක් වෙනුවෙන් වැඩකරන්න. දැන්වත් හැදෙන්න බලන්න!

    පසුව ලිවීම – මෙම සටහන මුහුණුපොතේ පළකර පැය කීපයකට පමණ පසු මහින්ද මහත්මයා එයාගේ මැදමුලන ජනතාව අමතනවා දුටුවෙමි. ජනතාව අතර සිටි එක්කෙනෙක් “ඇයි මැතිතුමා සිරිසේන මරල හරි ජනාධිපතිකම ගත්තෙ නැත්තෙ?” යනුවෙන් ඇසීය. අපි එය නූගත් ගැමියෙකුගේ ප්‍රකාශයක් විදිහට වැඩිය ගනන් නොගෙන බැහැර කරමු. නමුත්, මේ කතාවේදී මහින්ද කියපු දෙයක් එහෙම සුළුවට බැහැර කළ නොහැක. මහින්ද කියනවා “එයා (සිරිසේන) ඊලාම් ඡන්ද අරන් දිනුවා” කියල. මෙය කෙතරම් නරුම ප්‍රකාශයක්ද? ඊලාම් යුද්ධය අවසන් කලා කියා තමන්ට මහා ගෞරවයක් ආරූඪ කරගත්තු හිටපු ජනාධිපති කියනවා උතුරු නැගෙනහිර පලාත් තාමත් “ඊලාම්” කියල. දේශපාලන බලය ලබාගන්න මෙහෙම සාපරාධී විදිහට උතුරු පලාතේ සාමාන්‍ය ජනතාවට “ඊලාම්” ලේබලය ඇලවීම කෙතරම් සදාචාරාත්මකද?

    ලිව්වේ – රිටිගල ජයසේන

    සංස්කරණය – කුමාර සංකල්ප

    Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

    සරාර්ථවිද්‍යා සංරචක හා ගුරුත්වාකර්ෂණය

    මිදුලට ගොස් රාත්‍රී අහස දෙස බලන්න. අහස වළාකුලු වලින් ආවරණය වී නොමැති නම් ඔබට නානාවිධ ආකාශ වස්තු රාශියක් දැකගත හැකි වනු ඇත. මෙම ආකාශ වස්තූන් අතුරින් බොහෝමයක් තාරකාය. අපගේ සාමාන්‍ය ප්‍රතිභානයන්ට අනුව, අපි මෙලෙස දකින්නේ “මේ මොහොතේ” අහසේ “තියෙන” තාරකාය. නමුත්, තාරකා විද්‍යාඥයින්ට අනුව, මෙලෙස අප “දකින” තාරකා බොහෝමයක් වනාහී තවදුරටත් “පවතින” දේවල් නොවේ. එනම්, අප දකින්නේ නොපවතින දෙයකි. එසේවුවද, මෙම තාරකා වනාහී හුදු ව්‍යාමෝහයන් නොවේ. මන්දයත්, අපට කැමරාවක් ගෙන එම තාරකා වල ඡායාරූපයක් ගත හැකි හෙයිනි. නමුත්, අපට හුදු ව්‍යාමෝහ වල හා හීනෙන් පෙනෙන දේ වල ඡායාරූප ගත නොහැක. මෙකී තාරකා නොපවතී නම් අපි ඒවා “දකින්නේ” ඇයි? පිළිතුර පැහැදිලි ය. පෘථිවියට ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් පිහිටා ඇති මෙකී තාරකා වලින් නිකුත් වන ආලෝකය පෘථිවියට ළගාවීමට විශාල කාලයක් ගත වේ. එම කාල වකවානුව තුළ එකී තාරකාවන් විනාශ වී ගොසිනි. සැකවින් කිවතොත්, අප දකින්නේ “මේ මොහොතේ” එම තාරකාවන්ගේ ස්වභාවය නොව මීට විශාල කාලයකට ඉහත එම තාරකා තිබුණු ආකාරයයි.

    එක් අතකින් බැලූවිට, අප මෙලෙස දකින තාරකා වනාහී තාත්ත්වික දේ නොවේ. ඊට හේතුව නම්, මේ වන විට එකී තාරකා නොපැවතීම යි. නමුත්, තවත් අතකින් බැලූවිට පෙනීයන්නේ මෙම තාරකාවන් වනාහී විද්‍යාත්මක මිනුම් වලට භාජනය කළ හැකි වස්තූන් බවයි. උදාහරණයක් ලෙස, අපට දුරේක්ෂයකින් එම තාරකා දෙස බැලිය හැකිය. එමෙන්ම, අපට එම තාරකා ඡායාරූපගත කළ හැකිය. එනම්, ඔබ මේ මොහොතේ වාඩිවී සිටින පුටුව මෙන්ම එම තාරකා ද නිරීක්ෂණයන්ට හා මිනුම් වලට භාජනය කළ හැකිය. දැන් පැනනගින ගැටලුව වනුයේ මෙකී තාරකා තාත්ත්විකද අතාත්ත්විකද යන්නයි. තාත්ත්වික නොවන දෙයක් අප අත්දැකීම් තුළ පමණක් තාත්ත්වික විය හැකිද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමට උත්සහ කිරීමේ දී තවත් ගැටලුවක් ඉස්මතු වේ. එනම්, තාත්ත්වික දේ තාත්ත්වික නොවන දෙයින් වෙන්කරන නිර්නායකය කුමක්ද යන්නයි.

    අප අවට පරිසරයේ සැබෑවටම පවතින දේවල් හෙවත් තාත්ත්වික දේවල් අතාත්ත්වික දේවල් වලින් වෙන්කර හදුනාගැනීම වනාහී ලේසි පහසු කටයුක්තක් නොවේ. සරාර්ථවිද්‍යාව (ontology) හා පාරභෞතිකවේදය (metaphysics) යන විෂය පථයන් වනාහී මෙකී අපහසු කාර්යභාරය සිදුකිරීමට ඉදිරිපත් වුන විෂයන් දෙකකි. මෙම විෂයන් දෙක තුලින් සියලුම වර්ගයේ “දේවල්” ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ තුනකට බෙදා වෙන් කිරීමට උත්සහ දරයි. එම කාණ්ඩ තුන නම්, අතාත්ත්වික දේවල්, තවදුරටත් ඌනනය කළ හැකි තාත්ත්වික දේවල් හා තවදුරටත් ඌනනය කළ නොහැකි තාත්ත්වික දේවල්ය.

    මෙම පුළුල් සංරචක තුනට සියලුම ආකාරයේ “දේවල්” ඇතුළත් කිරීමට වන උත්සහය තුලින් අපට යථාර්තය පිළිබදව පුළුල් අවබෝධයක් ලැබිය හැක. පළමුව, “අතාත්ත්වික දේවල්” යන සංරචකය සළකමු. මෙම සංරචකයට නත්තල් සීයා යන ප්‍රපංචය අයත් වන බව අප අතරින් බොහෝ දෙනා පිළිගනී. මීට අමතරව, මෙම සංරචකයට අයත් දේ පිළිබද සාමාන්‍ය ජනයා අතර මෙන්ම දාර්ශනිකයින් අතරද පොදු එකගතාවයක් නැත. බැලූබැල්මට “ඇතැයි” යැයි පෙනෙන සිත හා ස්වච්ඡන්දය (freewill) වැනි දෑ වනාහී ඇත්තටම අතාත්ත්වික දේවල් බව ඇතැම් දාර්ශනිකයින්ගේ මතයයි. මෙලෙස “මෙවැනි දේවල් අතාත්ත්විකයි” යනුවෙන් පවසන ප්‍රවේශය අපි බැහැරකිරීමේ උපාය (eliminativist strategy) ලෙස හදුන්වමු.

    බැහැරකිරීමේ උපායට අමතරව අප විසින් අවධානය යොමුකළ යුතු තවත් ප්‍රවේශයක් ඇත. එනම්, ඌනනය කිරීමේ උපාය (reductionist strategy) යි. ඌනනය කිරීමේ උපාය තුලින් “මේ වනාහී ඇත්තටම අරකයි” (this is really that) යනුවෙන් විවිධ දේවල් වෙනත් දේවල් අනුසාරයෙන් විස්තර කිරීමට උත්සහ කරයි. උදාහරණයක් ලෙස, “කාලගුණය” සළකමු. කාලගුණය යන ප්‍රපංචය ඍජුවම ඉන්ද්‍රියගෝචර නොවේ. එනම්, අපට ඇපල් ගෙඩියක් අල්ලන ආකාරයට කාලගුණය යන ප්‍රපංචය ඇල්ලිය නොහැකිය. නමුත්, කාලගුණය යනු නත්තල් සීයා මෙන් අතාත්ත්වික දෙයක් නොවේ. “කාලගුණය” යන වචනයෙන් හදුන්වනු ලබන්නේ උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළග, වායු පීඩනය ආදී තාත්ත්වික දේවල් ය. එනම්, “කාලගුණය” යන ප්‍රපංචය අපට උෂ්ණත්වය, වර්ෂාපතනය ආදී වඩා මෞලික ප්‍රපංච වලට ඌනනය කර දැක්විය හැකිය. එබැවින්, “කාලගුණය” යනු තවදුරටත් ඌනනය කළ හැකි තාත්ත්වික දෙයකි.

    අතාත්ත්වික දේවල් හා තවදුරටත් ඌනනය කළ හැකි තාත්ත්වික දේවල් පිළිබදව අප කතා කලෙමු. ඉතිරිව ඇති සංරචකය වනුයේ “තවදුරටත් ඌනනය කළ නොහැකි තාත්ත්වික දේවල්” යන සංරචකය යි. මෙම සංරචකය යටතට ගැනෙන්නේ මෞලික ප්‍රපංචයන් ය. මෙකී මෞලිකවූත් වෙනත් දේ වලට ඌනනය කර විස්තර කළ නොහැකිවූත් දේවල් මොනවාද යන්න පිළිබද විවිධ දාර්ශනිකයින් තුළ විවිධ අදහස් ඇත.

    අප දැන් “ගුරුත්වාකර්ෂණය” යන සංකල්පය වෙත යොමුවෙමු. ගුරුත්වාකර්ෂණය අයත් වන්නේ ඉහතින් සදහන් කළ සරාර්ථවිද්‍යා සංරචක අතුරින් කවර සංරචකයටද? ඇතැමුන්ට අනුව, ගුරුත්වාකර්ෂණය යනු අතාත්ත්වික දෙයකි. එයට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ “ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රියගෝචර නොවේය” යන ප්‍රස්තුථය යි. නමුත්, බැලූබැල්මට පෙනීයන කරුණ නම්, කාලගුණය ද ඉන්ද්‍රියගෝචර නොවන බවයි. කාලගුණය යනුවෙන් හැදින්වෙන ප්‍රපංචයත් අපට නොපෙනේ – එමෙන්ම – නොදැනේ. නමුත්, එසේ වූ පමණින් අප අතරින් බොහෝ දෙනා කාලගුණය වනාහී නත්තල් සීයා බදු අතාත්ත්වික දෙයක් යැයි ප්‍රකාශ කරන්නේ නැත. ඊට හේතුව, “කාලගුණය” යන වදනින් විස්තර කරන්නේ උණුසුම සිසිල හා සුළග යනාදී මෞලික ප්‍රපංච බව අප බොහෝදෙනා දන්නා නිසාවෙනි.

    ගුරුත්වාකර්ෂණය ඇතුළු ඕනෑම බලයක් වනාහී කාලගුණය බදු තවදුරටත් ඌනනය කර දැක්විය හැකි ප්‍රපංචයන්ය. “බලය” යනු යම් වස්තුවක් විසින් තවත් වස්තුවක් කෙතරම් වැරෙන් ඇදගනී ද හෝ තල්ලුකරයි ද යන්න පිළිබදව අප ගන්නා මිම්මකි. අපගේ සාමාන්‍ය ප්‍රතිභානයන්ට අනුව පෙනීයන්නේ “බලය” කියා දෙයක් අපට ඉන්ද්‍රියගෝචර නොවන බවයි. එසේවුවද, අපට ඇදගැනීම් සහ තල්ලුකිරීම් ඉන්ද්‍රියගෝචර වේ. උදාහරණයක් ලෙස, යම් පුද්ගලයෙකු අපව තල්ලුකලහොත් අපට ඒ බව දැනේ. එමෙන්ම, අප විසින් සද්දන්ත ලී කුට්ටියක් එසවූ විට එකී ලී කුට්ටිය මගින් අපේ අත පහළට තල්ලුකරනු අපට දැනේ. එබැවින්, “බලය” යන සංකල්පය ඇදගැනීමකට හෝ තල්ලුකිරීමකට ඌනනය කර දැක්විය හැකිය. ඇදගැනීම් හා තල්ලුකිරීම් වනාහී තාත්ත්වික හා ඉන්ද්‍රියගෝචර ක්‍රියාවලි බැවින් බලයන් ද තාත්ත්විකය; ඉන්ද්‍රියගෝචරය.

    මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වේ. එනම්, යමක් ඉන්ද්‍රියගෝචර වීම යනු එකී දෙයෙහි තාත්ත්වික බව සහතික කරන කාරණයක් නොවන බවයි. නිදර්ශනයක් ලෙස, ලිපිය ආරම්භයේදී සදහන් කළ තාරකා පිළිබදව වන උදාහරණය දැක්විය හැකිය. ඈත අහසේ ඇතැයි යැයි අප විසින් අනුමාන කරන තාරකා ඉන්ද්‍රියගෝචරය. නමුත්, එසේ වූ පමණින් එම තාරකා තාත්ත්වික යැයි නිගමනය කිරීමට අප ඉක්මන් විය යුතු නැත. ඒ මක් නිසාද කියා ලිපිය ආරම්භයේ දී පැහැදිලි කළෙමි. මින් පැහැදිලි වන්නේ ඉන්ද්‍රියගෝචර සෑම දේම තාත්ත්විකයි කියා හෝ තාත්ත්වික සෑම දේම ඉන්ද්‍රියගෝචර විය යුතු යැයි කියා හෝ නිගමනය කළ නොහැකි බවයි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

    චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – තෙවන කොටස

    පසුගිය ලිපි (1, 2) හා බැදේ…

    John Stevens Henslow විසින් ඩාවින්ව පොත්පත් කියවීමට යොමු කරන ලදී. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ සිටින සමයේ ඩාවින් කියවූ පොත්පත් අතර Alexander Von Humboldt විසින් රචිත Personal Narrative නම් කෘතිය ද විය. එම කෘතිය තුළ, 1799 සිට 1804 දක්වා වන කාලය ඇතුළත Alexander Von Humboldt විසින් දකුණු ඇමරිකා මහද්වීපයේ කරන්නට යෙදුණු සංචාරය පිළිබදව තොරතුරු ඇතුළත් විය. Humboldtගේ ග්‍රන්ථය කියවීමෙන් පසුව දේශාටනයේ යෙදීමට ආශාවක් ඩාවින් තුළ ද පහල විය.

    Henslow විසින් එවකට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිටි භූවිද්‍යා මහාචාර්යවරයෙකු වන Adam Sedgwick හට ඩාවින්ව හදුන්වා දුන්නේ ය. Adam Sedgwick විසින් 1831 වර්ෂයේ අගෝස්තු මස උතුරු වේල්සයේ අධ්‍යාපන චාරිකාවකට ඩාවින්ව සහභාගී කරවීය. එම චාරිකාව තුළදී, Adam Sedgwick විසින්, ඩාවින්ට නානාවිධ මිනුම් උපකරණ පිළිබදව හා එම මිනුම් උපකරණ භාවිත කරන ආකාරය පිළිබදව කරුණු කියා දෙන ලදී.

    චාල්ස් ඩාවින් විසින් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිය අවසන් කලේ ද 1831 වර්ෂයේ අගෝස්තු මසයි. කේම්බ්‍රිජ්හි අධ්‍යන කටයුතු අවසන් කළ හෙතෙම නැවත Shrewsbury නගරයේ පිහිටි සිය නිවස වෙත පැමිණියේ ය. නිවසට ආ විගසම, ඩාවින් හට තමා වෙත යොමු කරවන ලද ලිපියක් හමුවිය. එම ලිපිය වනාහී Henslow විසින් එවන ලද්දකි. එම ලිපිය ඇතුළත, කේම්බ්‍රිජ්හි තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු වන George Peacock විසින් එවන ලද තවත් ලිපියක් විය. එකී ලිපිය තුලින් ඩාවින් හට බීගල් නෞකාවේ සවාරිය පිරිනමා තිබිණි.

    ඩාවින්ගේ පියා විසින් මුලදී ඩාවින්ව බීගල් නෞකාවේ සවාරියට සහභාගී කරවීමට විරුද්ධ විය. නමුත්, ඩාවින්ගේ බාප්පා විසින් පසුව ඩාවින්ගේ පියා හට කරුණු පහදා දුන්නේ ය. ඉන්පසු, ඩාවින්ගේ පියා වන Robert Waring Darwin විසින්, තරුණ චාල්ස් ඩාවින් හට බීගල් නෞකාවේ සවාරිය සදහා අවසර දෙන ලදී.

    බීගල් නෞකාව වනාහී ටොන් 242ක් පමණ බරින් මෙන්ම අඩි 90ක් පමණ දිගින් යුක්ත වූ නෞකාවකි. 1826 වසරේ සිට 1830 වසර දක්වා වූ කාලය ඇතුළත බීගල් නෞකාවේ ප්‍රථම සංචාරය සිදුවිණි. චාල්ස් ඩාවින් සහභාගී වූයේ බීගල් නෞකාවේ දෙවැනි සංචාරයට යි.

    බීගල් නෞකාවේ කපිතාන් ලෙස එවකට කටයුතු කළේ රොබට් ෆිට්ස්රෝයි ය. හෙතෙම කපාල-ලක්ෂණ ශාස්ත්‍රය (phrenology) විශ්වාස කරන්නෙකු විය. ඩාවින්ව හමුවූ පළමු දින, රොබට් ෆිට්ස්රෝයි විසින් ඩාවින්ව බීගල් නැවේ සවාරිය සදහා එක්කර ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඊට හේතුව ලෙස ෆිට්ස්රෝයි ඉදිරිපත් කල කාරණය නම්, කපාල-ලක්ෂණ ශාස්ත්‍රයට අනුව, ඩාවින්ගේ නහයේ හැඩය මගින් ඩාවින් වනාහී දුර්වල පුද්ගලයෙකු බව පෙනීයාමයි. කෙසේවෙතත්, තමාගේ නහයෙන් ගම්‍යමාන වන දේ අසත්‍ය බව ෆිට්ස්රෝයි හට තේරුම් කරදීමට ඩාවින් සමත් විය.

    බීගල් නෞකාවේ දෙවැනි සවාරියේ අරමුණ වූයේ දකුණු ඇමරිකානු මහද්වීපයේ වෙරළ තීරය සමීක්ෂණය කර අක්ෂාංශ හා දේශාංශ වල පාඨාංක ලබාගැනීම ය. ඒ සදහා නැවේ හෝරාමාන විසිහතරක් විය. බීගල් නෞකාව පිටවූයේ 1831 වර්ෂයේ දෙසැම්බර් මස 27 වෙනිදා ය. චාල්ස් ඩාවින් හට නෞකාවේ අවර කුටීරයක් හිමිවිය. ඩාවින් සිය පොත්පත් හා අන්වීක්ෂය ද රැගෙන බීගල් නෞකාවේ දෙවැනි සවාරියට සහභාගී විය.

    මතු සම්බන්ධයි…

    Posted in චරිතාපදාන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 2 Comments

    දැනුම පිළිබද විවිධ මතවාද

    මීට කලකට ඉහත ඉදිරිපත් කරන ලද ලිපියකින් අප “දැනුම” යන වචනය “සාධාරණීකරණය කරන ලද සත්‍ය විශ්වාසයක්” (justified true belief) ලෙස අර්ථ දක්වා සිටියෙමු. මානව දැනුමේ ශාක්‍යතාව හා ස්වභාවය මෙන්ම මානව දැනුමේ ප්‍රධාන මූලාශ්‍රයන් පිළිබද වන්නා වූ නානාවිධ ස්ථාවරයන් ගැන කෙටි කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකිරීම මෙම ලිපියේ අරමුණ යි.

    “දැනුම” යන මාතෘකාව පිළිබදව වන කතිකාවේ දී, දාර්ශනිකයින් විසින් නිතරම පාහේ භාවිතා කරන ප්‍රධාන පාරිභාෂික යෙදුම් දෙකක් වේ. ඒ වනාහී, “ප්‍රාග්-අනුභූත දැනුම” (a priori knowledge) හා “පශ්චාදනුභූත දැනුම” (a posteriori knowledge) යන යෙදුම් ය. ප්‍රාග්-අනුභූත දැනුම යනුවෙන් අදහස් කරනුයේ ඉන්ද්‍රයන්ගේ මැදිහත් වීමකින් තොරව ලැබෙන දැනුම යි. ඇතැම් දාර්ශනිකයන්ට අනුව, අපට ඉන්ද්‍රයන්ගේ මැදිහත් වීමකින් තොරව ලැබෙන දැනුමක් – එනම් – ප්‍රාග්-අනුභූත දැනුමක් ඇත. මෙම ස්ථාවරය දරන දාර්ශනිකයින් බොහෝ දෙනා හේතුවාදීන් ය. හේතුවාදීන් ප්‍රකාශ කරන ආකාරයට, ප්‍රාග්-අනුභූත දැනුම යනු මිනිසාට නෛසර්ගික වූ දැනුමයි. මේ අනුව, අප සෑම දෙනාටම “උපතින් ලැබෙන” යම් දැනුමක් ඇත. කෙසේවෙතත්, මෙකී ප්‍රාග්-අනුභූත දැනුමේ ස්වභාවය පිළිබදව විවිධ හේතුවාදීන් තුළ විවිධ අදහස් ඇත.

    හේතුවාදයේ ධ්‍රැවීය ප්‍රතිලෝමය ලෙස සැළකිය හැකි ස්ථාවරය වන්නේ අනුභූතිකවාදය යි. සියලු දැනුම ඉන්ද්‍රයන්ගේ මැදිහත් වීමෙන් ලැබෙන බවත්, ඉන්ද්‍රයන්ගේ මැදිහත් වීමකින් තොරව ලැබෙන නෛසර්ගික, ප්‍රාග්-අනුභූත දැනුමක් නොමැති බවත් අනුභූතිකවාදීන් පවසයි. අනුභූතිකවාදීන්ට අනුව, අප හට ලෝකයේ ස්වභාවය පිළිබද දැනගත හැකි හොදම ක්‍රමය වන්නේ නිරීක්ෂණය යි.

    හේතුවාදයට හා අනුභූතිකවාදයට අමතරව “දැනුම” පිළිබදව තවත් ස්ථාවරයන් ඇත. ඉන් එකක් නම්, සංශයවාදය යි. සංශයවාදය යනු “මිනිසාට කිසිම දෙයක් පිළිබදව දැනුම නැත” යන ස්ථාවරය යි. සංශයවාදීන් දෙවර්ගයකි. එනම්, විශ්වීය සංශයවාදීන් හා සීමාසහිත සංශයවාදීන් ය. විශ්වීය සංශයවාදීන්ට අනුව, අප කිසිවක් දන්නේ නැත. සංශයවාදීන් තර්ක කරන ආකාරයට, අප විශ්වාස කරන ඕනෑම ප්‍රස්තුථයක් අපට සැකයට භාජනය කළ හැක. එබැවින්, අප විශ්වාස කරන ප්‍රස්තුථයන් වනාහී නිශ්චිත දැනුම නොවේ. සීමාසහිත සංශයවාදීන්ට අනුව අපට යම් යම් ක්ෂේත්‍ර පිළිබදව දැනුම ලබා ගත හැක. මිනිසාට ලබාගත හැක්කේ කුමන් ක්ෂේත්‍රයන්ට අයත් දැනුමද යන කාරණය ගැන විවිධ සීමාසහිත සංශයවාදීන් විවිධ අදහස් දරයි.

    මානව දැනුමේ ස්වභාවය පිළිබදව වන තවත් ස්ථාවරයක් වනුයේ අභිනිර්මාණවාදය යි. මෙම ස්ථාවරය වනාහී දහ අට වන සියවසේ විසූ දාර්ශනිකයෙකු වන ඉමෑනුවෙල් කාන්ට් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මිනිසාට නෛසර්ගික වූ කිසිම දැනුමක් නොමැති බවත්, නිරීක්ෂණයන් හරහා ද දැනුම නොලැබෙන බවත් අභිනිර්මාණවාදයෙන් කියා සිටී. අභිනිර්මාණවාදය අනුව දැනුම යනු මනසේ නිර්මාණයකි. මීට අමතරව, ඥානවිභාගාත්මක සාපේක්ෂතාවාදය (epistemological relativism) ද නොසළකා හැරිය නොහැකිය. ඥානවිභාගාත්මක සාපේක්ෂතාවාදය යනු දැනුම වනාහී සාපේක්ෂ දෙයක් යැයි කියාසිටින දාර්ශනික ස්ථාවරය යි.

    මෙම ලිපිය තුළින්, දැනුම පිළිබදව වන්නා වූ මෙකී ස්ථාවරයන් අතුරින් “නිවැරදි” ස්ථාවරය කුමක්ද යන ප්‍රශ්නය විමසීමකට ලක් කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ පිළිබදව ඉදිරි ලිපි වලින් කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 1 Comment

    පාරභෞතික ද්වෛතවාදය, විඤ්ඤාණවාදය හා භෞතිකවාදය

    ගස් වනාහී විඤ්ඤාණයක් සහිත සවිඤ්ඤාණක වස්තූන් ද? ශුක්‍රාණුවට විඤ්ඤාණයක් තිබේ ද? යුක්තාණුව සවිඤ්ඤාණක ද? කලලයක් තුළ විඤ්ඤාණය හටගන්නේ සංසේචනය වූ අවස්ථාවේදීම ද? නැතිනම්, මාස තුනේදී ද? එසේත් නැතිනම්, මාස පහේදී ද? යනාදී වශයෙන් විඤ්ඤාණයේ “අගමුල” සෙවීමට මූණුපොතේ සිටින අප සහෘදයන් අතුරින් ඇතැමුන් උත්සහ කරනු දක්නට ලැබිණි. “විඤ්ඤාණය” යන මාතෘකව ඔස්සේ කිසියම් සටහනක් තබන්නනට පාදක වූයේ එම නිරීක්ෂණය යි.

    සිංහල භාෂාවේ එන “විඤ්ඤාණය” යන වචනය නානාවිධ සන්දර්භයන් තුළ නානාවිධ අර්ථයන්ගෙන් යෙදෙන බව පැහැදිලි ය. එමෙන්ම, විවිධ දාර්ශනික හා ආගමික ගුරුකුලයන් තුළ “විඤ්ඤාණය” යන වදන එකිනෙකට වෙනස් – ඇතැම් විට – එකිනෙකට පරස්පර – අර්ථයන් සන්නිවේදනය කිරීමට භාවිත කර තිබෙණු දැකිය හැක‍. කෙසේනමුත්, මෙම ලිපිය තුළ, “විඤ්ඤාණය” යන වචනය ඉංග්‍රීසි භාෂාවේ ඇති “consciousness” යන වචනයට සමාන අර්ථයකින් යෙදෙන බව කිව යුතු ය.

    “මනස” යනු “විඤ්ඤාණය” යන සංකල්පය ළගින් යන සංකල්පයකි. එසේවුවද, මෙම ලිපිය තුළ “මනස” හා “විඤ්ඤාණය” යන වචනයන් බොහෝදුරට සමාන අර්ථයෙන් යොදා ඇති බව කිව යුතු ය. එබැවින්, “මනස” හා “විඤ්ඤාණය” යන වචන වල අර්ථයන්ගේ ඇති සියුම් වෙනස්කම් පිළිබද කලබල වන්නන්ව මෙම සටහනින් ආමන්ත්‍රණය නොකරන බවද කිව යුතු ය.

    විඤ්ඤාණය හා එහි ස්වභාවය පිළිබදව වන දාර්ශනික හා ජීව විද්‍යාත්මක ගැටලු අතීතයේ සිටම ගැඹුරින් සාකච්ඡාවට ලක් වූ බව පෙනේ. මේ මාතෘකාව පිළිබදව විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කර ඇති න්‍යායන් හා අදහස් සංඛ්‍යාව අපමණ ය. අපට එකී න්‍යායන් මූලික වශයෙන්ම කාණ්ඩ තුනකට බෙදා වෙන් කළ හැකි ය. එනම්, පාරභෞතික ද්වෛතවාදී න්‍යායන් (metaphysical dualist theories), විඤ්ඤාණවාදී න්‍යායන් (idealist theories) හා භෞතිකවාදී න්‍යායන් (physicalist theories) යනුවෙනි.

    පාරභෞතික ද්වෛතවාදී න්‍යායන් තුළින් විශ්වය තුළ “භෞතික දේවල්” හා “මානසික දේවල්” යනුවෙන් දෙවර්ගයක “දේවල්” ඇති බව පවසයි. මෙම ස්ථාවරය මිනිසා පිළිබද බොහෝ දෙනා තුළ ඇති ප්‍රතිභානයන් සමගින් එකග වේ. මේ අනුව, අපට අභෞතික සිතක්/ මනසක්/ විඤ්ඤාණයක් සහ භෞතික ශරීරයක් ඇත. එමෙන්ම, පාරභෞතික ද්වෛතවාදය අනුව, විශ්වය තුළ ඇති භෞතික හා මානසික දේවල් එකිනෙක හා අන්තර්ක්‍රියා කරයි. 1596 වර්ෂයේ ප්‍රංශයේ උපන් දාර්ශනිකයෙකු වූ රෙනෙ ඩෙකාට් විසින් මෙකී පාරභෞතික ද්වෛතවාදය උදෙසා තර්කයන් ඉදිරිපත් කළේ ය.

    විඤ්ඤාණවාදී න්‍යායන්ට අනුව, විශ්වය තුළ ඇත්තේ “මානසික දේවල්” පමණි. එදිනෙදා ජීවිතයේ දී අපට දක්නට ලැබෙන ගල්, කදු, තණකොල වැනි “භෞතික වස්තූන්” වනාහී මනසේ නිර්මාණයන් බව මෙකී විඤ්ඤාණවාදී ලෝකදැක්මන් තුළින් ප්‍රකාශ කර සිටී. George Berkeley වනාහී විඤ්ඤාණවාදී ලෝකදැක්මක් දැරූ දාර්ශනිකයෙකි. එමෙන්ම, හින්දු ආගමේ ඇතැම් අනුවාදයන් වලද විඤ්ඤාණවාදී අදහස් අන්තර්ගතය.

    විඤ්ඤාණය යන මාතෘකාව සැළකූ විට, බොහෝ නිරාගමිකයන් භෞතිකවාදී න්‍යායන් සිය ලෝකදැක්ම තුළට ඇතුලත් කරගැනීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි. භෞතිකවාදයට අනුව විශ්වයේ ඇත්තේ “භෞතික දේවල්” පමණි. සිත, මනස හෝ විඤ්ඤාණය යනුවෙන් හදුන්වනු ලබන “අභෞතික දෙයක්” මිනිසා තුළ නොමැති බව භෞතිකවාදයෙන් ප්‍රකාශ කර සිටී. මොළය තුල ඇති විවිධ සංඝටක හා මොළයේ සිදුවන නානාවිධ සිදුවීම් අනුසාරයෙන් අපගේ මානසික ජීවිතය පැහැදිලි කළ හැකි බව භෞතිකවාදීන් කියා සිටී.

    මේ වනාහී “විඤ්ඤාණය” පිළිබදව දාර්ශනිකයන් අතර ඇති විවිධ මතවාදයන්ය. මෙම මතවාදයන් අතුරින් නිවැරදි මතවාදය කුමක්ද යන ප්‍රශ්නය මේ කෙටි ලිපිය තුළින් යම් විමසීමකට භාජනය කිරීමට මම උත්සුක නොවෙමි. නමුත්, ඉදිරි ලිපි වලින් ඒ පිළිබද සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

    ලිව්වේ – රිටිගල ජයසේන, කුමාර සංකල්ප

    Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

    පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස

    පසුගිය ලිපිය හා බැදේ…

    පුරාතන ග්‍රීක සමාජයේ විසූ දාර්ශනිකයන් අතරින් නිරාගමික චින්තනයකට සමාන චින්තනයක් තිබුණු තවත් දාර්ශනිකයෙකු වූයේ ඩිමොක්‍රිටස්ය. ඩිමොක්‍රිටස් ජීවත් වූ කාල පරාසය හරියටම කීමට අපට හැකියාවක් නොමැත. එසේවුවද, ආසන්න වශයෙන් ගත් කළ, ක්‍රිස්තු පූර්ව 460ත් ක්‍රිස්තු පූර්ව 360ත් අතර කාලය තුළ ඩිමොක්‍රිටස් ජීවත් වූවා යැයි පැවසිය හැක. උතුරු ග්‍රීසියේ Abdera නගරයේ උපන් හෙතෙම ලියුසිපස් (Leucippus) නම් විද්වතාගේ සිසුවෙකි.

    නිරාගමිකත්වයට ඩිමොක්‍රිටස් වැදගත් වනුයේ ඔහු භෞතිකවාදී ලෝදැක්මක් දැරූ පුද්ගලයෙක් හෙයිනි. ඩිමොක්‍රිටස්ට අනුව, විශ්වය ප්‍රධාන වශයෙන්ම සංඝටක දෙකකින් සමන්විත වේ. එනම්, පරමාණු හා හිස් අවකාශයයි. මෙහිදී අප අවධාරණය කර ගත යුතු කරුණ වන්නේ ඩිමොක්‍රිටස් විසින් “පරමාණුව” යන වචනය භාවිත කලේ වර්තමානයේ එම වචනය භාවිත වන අර්ථයෙන් නොවන බවයි. ඩිමොක්‍රිටස්ට අනුව “පරමාණුවක්” යනු තවදුරටත් බෙදා වෙන් කල නොහැකි කුඩා අංශුවකි. ඩිමොක්‍රිටස් ප්‍රකාශ කලේ විශ්වයේ ඇති සියලු දෑ “පරමාණු” වලින් – එනම් – තව දුරටත් බෙදා වෙන් කල නොහැකි කුඩා අංශු වලින් නිර්මිත බවයි.

    ඩිමොක්‍රිටස්ගේ ස්ථාවරය තේරුම් ගැනීමට මෙම චිත්ත පර්යේෂණයේ නියැලෙන්න. ලී කොටයක් ගෙන එය යම් ආකාරයකින් දෙකට කැපුවා යැයි සිතන්න. එනම්, අප විසින් මුලින් තනි වස්තුවක් ලෙස තිබූ ලී කොටය, දැන් වස්තු දෙකකට බෙදා වෙන් කර ඇත. එම ලී කැබලි දෙකෙන් එකක් ගෙන අපට නැවත වරක් කොටස් දෙකකට කැපිය හැක. එලෙස කපා ලබා ගත් ලී කැබලිද අපට නැවත වරක් කොටස් වලට කපා වෙන් කර හැක. නමුත්, ඩිමොක්‍රිටස් තර්ක කළ ආකාරයට, අපට අනන්තවත් වාරයක් මෙම ලී කොටය කපා වෙන් කල නොහැක. එනම්, ලී කොටය සෑදී තිබෙනුයේ තව දුරටත් බෙදා වෙන් කල නොහැකි අංශූන්ගෙනි.

    නිකමට මෙන්, පදාර්ථය අනන්තවත් වාරයක් බෙදා වෙන් කල හැකි යැයි සිතමු. එලෙස, පදාර්ථය අනන්තවත් වාරයක් බෙදා වෙන් කර, අප ලබාගන්නා එක් අංශුවක ප්‍රමාණය කොපමණ ද? එම අංශුවට යම් ප්‍රමාණයක් – එනම් – දිගක්, පළලක්, ඝනකමක් තිබේ නම්, එය පරමාණුවකි. එම අංශුව දිගක්, පළලක්, ඝනකමක් නැති ජ්‍යාමිතික ලක්ෂයක් බදු දෙයක් විය හැකිද? ඩිමොක්‍රිටස්ට අනුව එසේ විය නොහැකිය. මන්දයත්, ජ්‍යාමිතික ලක්ෂ අනන්තවත් සංඛ්‍යාවක් එකතු කර වුවද අපට පදාර්ථයක් තනාගත නොහැකි බැවිනි.

    ඩිමොක්‍රිටස් පැවසූ ආකාරයට, විවිධ ප්‍රමාණයේ “පරමාණු” ඇති අතර පරමාණු වනාහී සදාකාලික, වෙනස් නොවන දේවල් ය. එමෙන්ම, පරමාණු වලට පාටක්, උෂ්ණත්වයක්, සුවදක් නොමැති බව ද ඩිමොක්‍රිටස් විසින් කියා සිටියේය. තවද, ඩිමොක්‍රිටස් විසින් මරණයෙන් මතු පැවැත්මක් ඇතැයි යන මතය බැහැර කළේය.

    පුරාතන ග්‍රීක දාර්ශනිකයින් අතරින් නිරාගමිකයින්ට වැදගත් වන තවත් දාර්ශනිකයෙකු වන්නේ එපිකියුරස්ය. එපිකියුරස්ගේ ලෝකදැක්ම සියයට සියයක් නිරාගමික නැත. මන්දයත්, එපිකියුරස් විසින් නානාප්‍රකාර ග්‍රීක දෙවිවරුන්ගේ පැවැත්ම පිළිගත් බැවිනි. එසේවුවද, එපිකියුරස්ට අනුව, දෙවියන් හට මානව ජීවිතය පිළිබද උනන්දුවක් නැත. එබැවින්, දෙවියන් හිටියත් නෑ වගේය.

    ක්‍රිස්තු පූර්ව 341 දී, ග්‍රීක දූපතක් වන සැමොස් (Samos) දිවයිනේ උපත ලද එපිකියුරස් වයස අවුරුදු 35 දී පමණ ඇතැන්ස් නගරයට සංක්‍රමණය විය. එපිකියුරස් විසින් පොත් පත් තුන් සියයක් පමණ රචනා කර ඇත. නමුත්, ඒ සියල්ල අද දක්වා සුරක්ෂිතව නැත. වර්තමානයේ ඉතිරිව ඇත්තේ එපිකියුරස් විසින් ලියන ලද පොත් අතුරින් කිහිපයක් පමණි.

    එපිකියුරියානු ලෝකදැක්ම අනුව අප මරණයට බිය විය යුතු නැත. මරණ බය වනාහී නානාවිධ අධිස්වභාවාත්මක, ආගමික විශ්වාස නිසා හටගැනෙන්නක් බව එපිකියුරස්ගේ මතය විය. එමෙන්ම, එපිකියුරස් විසින් මරණයෙන් මතු පැවැත්මක් හෝ පුනර්භවයක් ඇතැයි යන ස්ථාවරය පිළිගත්තේ නැත.

    නිරාගමිකත්වය වනාහී හදිසියේ පැතිර ගිය සෝබනයක් නොවන බවත්, පුරාතනයේ සිට පැවත එන්නක් බවත් මෙම කරුණු හරහා පැහැදිලි වේ.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

    පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – පළමු කොටස

    නිරාගමිකත්වය යනු අද ඊයේ හෝ මෑතක දී හදිසියේ හටගැනුණු දෙයක් නො වේ. පුරාතන ග්‍රීසියේ මෙන්ම පුරාතන භාරතය තුළ ද නිරාගමිකත්වය පිළිගත් සහ නිරාගමිකත්වය ප්‍රචලිත කරනු ලැබූ දාර්ශනිකයෝ සිටියහ. මෙම ලිපිය මගින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ පුරාතන ග්‍රීසියේ පැතිර තිබුණු නිරාගමික මතවාද පිළිබදව සහ පුරාතන ග්‍රීක නිරාගමික චින්තකයින් පිළිබදව ය.

    මුලින්ම අප විසින් වටහාගත යුතු කාරණය නම්, පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය වනාහී වර්තමානයේ අප විසින් “ග්‍රීසිය” යනුවෙන් හදුන්වනු ලබන රටට අයත් භූමියට සීමාවූවක් නොවන බවයි. අප විසින් “පුරාතන ග්‍රීසිය” යනුවෙන් අදහස් කරනුයේ එවකට ග්‍රීක සංස්කෘතිය හා ග්‍රීක භාෂාවේ උපව්‍යවහාරයන් පැතිර තිබුණු ප්‍රදේශයන් ය. එම ප්‍රදේශ අතරට, වර්තමාන ග්‍රීසියට අයත් භූමියට අමතරව දකුණුදිග ඉතාලිය ද බටහිර තුර්කිය ද අයත් විය. පුරාතන ග්‍රීක සමාජය වනාහී දැඩි ආගමික භක්තියෙන් යුත් මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටි සමාජයකි. එහි දේවස්ථාන හා සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තිබුණු අතර එකල භාවිත වූ කාසි වලද දේව රූප නොඅඩුව තිබිණි. එමෙන්ම, එම සමාජය තුළ ආගමික උත්සව මෙන්ම ආගමික වත් පිලිවෙත් ද නොඅඩුව දක්නට ලැබිණි. පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකයන් සිටියේ සුළුතරයකි. නමුත්, එකල දාර්ශනිකයන් විසින් ගෙන ගිය දාර්ශනික කතිකාවත තුල නිරාගමිකයන්ගේ සහභාගිත්වය කැපී පෙනිණි.

    ක්‍රිස්තු පූර්ව 500 දී, එවකට අයොනියාවට අයත්ව තිබූ නගරයක් වන Clazomenae නගරයේ උපන් දාර්ශනිකයෙකු වන ඇනැක්ස්සැගරස් (Anaxagoras) වනාහී නිරාගමිකයෙකි. ඔහු ස්වභාවාත්මක ලෝකදැක්මකින් යුත් පුද්ගලයෙක් විය. හෙතෙම අයොනියාවේ සිට ඇතැන්ස් නගරයට සංක්‍රමණය කළ අතර, ඔහු එවකට ඇතැන්ස්හි දේශපාලඥයෙකු වන Periclesගේ හොද මිතුරෙකු විය.

    විශ්වයේ ආරම්භය සම්බන්ධයෙන් ඇනැක්ස්සැගරස් විසින් ඉදිරිපත් කරන ලද අදහස වර්තමානයේ පිළිගෙන ඇති මහා පිපිරුම් න්‍යායට තරමක් දුරට සමාන ය. විශ්වයේ මුල් කාලය තුල, සියලු ද්‍රව්‍යයන් අනන්තවත් කුඩා වූත්, අනන්තවත් සංකීර්ණ වූත්, ගල් කැටයක් බදු ව්‍යුහයක් තුළ එකට තිබූ බවත්, පසුව, විශ්වය ප්‍රසාරණය වත්ම, ඉර, හද, තරු වෙන්වූ බවත් ඇනැක්ස්සැගරස් විසින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, විශ්වය වර්තමානයේ දී ප්‍රසාරණය වන බවත්, අනාගතයේ දී ද විශ්වය ප්‍රසාරණය වීමට ඉඩ ඇති බවත් ඇනැක්ස්සැගරස් විසින් පැවසී ය. එසේවුවද, ඇනැක්ස්සැගරස් විසින් මෙම කරුණු ඉදිරිපත් කළේ කුමන සාධක පදනම් කරගනිමින්දැයි පැහැදිලි නැත.

    එකල ග්‍රීක සමාජය තුළ සූර්යයාට දේවත්වයක් ආරෝපණය කර තිබිණි. එවන් වතාවරණයක් තුළ, “සූර්යයා යනු දෙවියෙක් නොව හුදෙක් ගිනි ගෙන දැවෙන ස්කන්දයක් පමණි” යන මතය ඇනැක්ස්සැගරස් විසින් සමාජගත කරන ලදී. මේ හේතුවෙන් ඇතැන්ස් නගර වැසියෝ ඔහුව “මිථ්‍යා-දෘෂ්ටිකයෙකු” ලෙස සළකා ඇතැන්ස් නගරයෙන් පිටුවහල් කළහ. මෙම සිදුවීම වූයේ ක්‍රිස්තු පූර්ව 430 දී පමණ ය. ඇතැන්ස් නගරයෙන් නික්මුණු ඇනැක්ස්සැගර්ස් වර්තමාන තුර්කියට අයත් ප්‍රදේශයක් වන Lampsacus නගරයේ සිය ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීය. ඇනැක්ස්සැගරස් මිය ගියේ ක්‍රිස්තු පූර්ව 428 දී ය.

    පුරාතන ග්‍රීක සමාජයේ විසූ තවත් නිරාගමික දාර්ශනිකයෙකු වන්නේ ප්‍රොටගරස් (Protagoras) ය. හෙතෙම උතුරු ග්‍රීසියේ Abdera නගරයේ උපත ලද්දේ ය. අඥේයවාදියෙකු (agnostic) මෙන්ම සංශයවාදියෙකු (skeptic) වූ ප්‍රොටගරස් විසින් මිනිස් දැනුම යොදාගෙන දෙවියන් සිටීද නැද්ද යන්න ගැන ස්ථිරව පැවසිය නොහැකි බව කියා සිටියේ ය. ප්‍රොටගරස් විසින් මෙසේ සදහන් කරන ලදී,

    Concerning the gods, I am unable to discover whether they exist or not, or what they are like in form; for there are many hindrances to knowledge, the obscurity of the subject and the brevity of human life.

    පුරාතන ග්‍රීක සමාජය තුළ සිටි තවත් නිරාගමික දාර්ශනිකයින් පිළිබද තොරතුරු ඉදිරි ලිපි වලින් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

    විද්‍යාවේ දර්ශනය – කෙටි හැදින්වීමක්

    “විද්‍යාව” යනු කුමක්ද? බැලූ බැල්මට මෙය සරල ප්‍රශ්නයකි. පාසල් වල සහ විශ්ව විද්‍යාල වල උගන්වනු ලබන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන්” බවත් සංගීතය, චිත්‍ර කලාව, ආගම වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන් ලෙස නොගැනෙන විෂයන්” බවත් බොහෝ දෙනෙකු හට පැහැදිලි ය. එබැවින්, විද්‍යාව යනු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව යනාදී “විෂයන්” ලෙස යමෙකුට සරලව අර්ථ දැක්විය හැකි ය. නමුත්, දාර්ශනික මට්ටමෙන් ගත් කළ මෙකී සරල අර්ථ දැක්වීම වනාහී ප්‍රමාණවත් විවරණයක් නො වේ. මන්දයත්, “විද්‍යාව” යන වචනය දාර්ශනික විවරණයකට ලක් කිරීමේ දී, අප විසින් බලාපොරොත්තු වන්නේ සමාන්‍යයෙන් “විද්‍යාවන්” ලෙස සළකණු ලබන “විෂයන්” ලයිස්තුවක් පමණක් නොව සියලු විද්‍යා විෂයන්ට පොදු වූ ගුණාංග ලයිස්තුවක් බැවිනි.

    ඉදින්, සෑම විද්‍යා විෂයකටම පොදු වූ ගුණාංග මොනවාද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙස, “සෑම විද්‍යා විෂයක් මගින්ම අප ජීවත් වන විශ්වයේ ස්වභාවය හා හැසිරීම පිළිබදව කරුණු අනාවරණය කරගැනීමට උත්සහ කරයි” යනුවෙන් යමෙකුට තර්ක කළ හැකි ය. එමෙන්ම, විද්‍යාව මගින් අනාගතය පිළිබද යම් යම් අනාවැකි පළකිරීමක් සිදුකරන බවට ද යමෙකුට ප්‍රකාශ කළ හැක. උදාහරණයක් ලෙස, විද්‍යාව තුලින් රත් කරන ලද ලෝහ වල හැසිරීම, හංසයින්ගේ ස්වභාවය සහ හෙට දිනයේ කාලගුණය විස්තර කිරීම දැක්විය හැකි ය. නමුත්, විශ්වයේ ඇති නොයෙකුත් දෑ වල ස්වභාවය සහ හැසිරීමේ රටාවන් හෙලිදරව් කරගැනීමට උත්සහ කරන්නේ විද්‍යා විෂයන් පමණක් නො වේ. ආගම් මගින් ද, මාක්ස්වාදය වැනි දාර්ශනික ස්ථාවරයන් මගින් ද, මානව සමාජය, ස්වභාවික පරිසරය වැනි නානාවිධ දෑ වල ස්වභාවය හා හැසිරීම පිළිබද පැහැදිලි කිරීමට උත්සහ දරා තිබේ. එනමුත්, අප විසින් ආගම් හා මාක්ස්වාදය වැනි දාර්ශනික ස්ථාවරයන් “විද්‍යාවන්” ලෙස සළකණු නොලැබේ. එමෙන්ම, ජෝතිශ්‍ය මගින් අනාගතය ගැන අනාවැකි පළකිරීම සිදුකරනු ලැබුව ද සාමාන්‍යයෙන් අප ජෝතිශ්‍ය වනාහී “විද්‍යාවක්” යැයි සළකණු නොලැබේ. මින් පැහැදිලි වන්නේ, “පරිසරයේ ස්වභාවය මෙන්ම හැසිරීම විස්තර කිරීමේ හා අනාගතය පිළිබද අනාවැකි පළකිරීමේ උත්සහයක්” හැටියට “විද්‍යාව” යන වචනය අර්ථදැක්වීම සතුටුදායක නොවන බවයි.

    පර්යේෂණ කිරීම වනාහී විද්‍යා විෂයන්ට ආවේණික දෙයක් යැයි ද, එබැවින්, පර්යේෂණය යනු විද්‍යා විෂයන් විද්‍යාවන් නොවන විෂයන්ගෙන් වෙන්කෙරෙන සාධකයක් යැයි ද ඇතැමෙකුට තර්ක කළ හැක. එනමුත්, අප විසින් අවධානය යොමු කළ යුතු කාරණය වනුයේ බොහෝ විද්‍යා විෂයන් වල පර්යේෂණ තිබුණ ද සෑම විද්‍යා විෂයකම පර්යේෂණ කිරීම සිදු නොවන බවයි. උදාහරණයක් ලෙස, තාරකා විද්‍යාඥයින්ට ඈත අහසේ තරු එහාමෙහා කරමින් එම තරු සමග පර්යේෂණ කිරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැක. එම නිසා, තාරකා විද්‍යාඥයින්ට නානාවිධ න්‍යායන් ව්‍යුත්පන්න කරගැනීම පිණිස නිරීක්ෂණයන් මත පමණක් යැපීමට සිදු වේ.

    නානාප්‍රකාර න්‍යායන් ඉදිරිපත් කිරීම ද විද්‍යාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මීට පෙර ලිපියක ද සදහන් කළ පරිදි, “අහවල් හංසයා සුදු පාටය” යනුවෙන් තනි හංසයෙකුගේ ස්වභාවය විස්තර කිරීමට සීමා නොවී සියලුම හංසයින්ට පොදු වූ සත්‍යතාවන් සොයාගැනීම විද්‍යාව විසින් අරමුණු කර ගනී. විද්‍යාඥයින් විසින් සිය නිරීක්ෂණයන් යම්කිසි න්‍යායක් ඇසුරෙන් පැහැදිලි කිරීමට සෑමවිටම උත්සහ ගනී. මෙලෙස, න්‍යායන් ව්‍යුත්පන්න කරගැනීම සෑමවිටම ලේසි නැත. විද්‍යාවේ දර්ශනය යන විෂය පථයෙන් මූලික වශයෙන්ම කරනුයේ පර්යේෂණ කිරීම, නිරීක්ෂණ සිදු කිරීම හා න්‍යායන් ව්‍යුත්පන්න කරගැනීම වැනි ක්‍රියාවන් අපට බාහිර පරිසරයේ ස්වභාවය හා හැසිරීම දැනගනු වස් කෙතරම් ඉවහල් වී ඇද්දැයි මැන බැලීම ය.

    ලිව්වේ – කුමාර සංකල්ප

    Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , | 1 Comment